ග්‍රීක කම්කරු පන්තිය කොල්ලකෑම

The looting of the Greek working class

10 February 2012

යුරෝපීය කොමිසම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුවෙන් සැදුම්ලත් “ත්‍රිත්වය” ඉල්ලා සිටින්නේ, ග්‍රීක කම්කරු පන්ති‍ෙය් පරිපූර්න විනාශයට නොඅඩු දෙයක් නොවේ.

ග්‍රීක ජනතාවට එල්ල කරන ප්‍රහාර දුෂ්ඨ පරිමාවකට නැඟී ඇත. යුරෝපීය කොමිසම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව යන “ත්‍රිත්වය” ඉල්ලා සිටින්නේ ග්‍රීක කම්කරු පන්තියේ පරිපූර්න විනාශයට නො අඩු දෙයක් නොවේ.

මේවන විටත් ක්‍රියාවට නඟා තිබෙන කප්පාදු අසමානුපාතික සමාජ පරිහානියකට මුල්වී තිබේ. ග්‍රීසියේ වැඩිහිටියන් පහකට එකක් ද තරුනයින්ගෙන් අඩක් ද විරැකියාවට වැටී ඇත. අර්බුදයට පෙරාතුව ඇතන්ස්හි දක්නට නොතිබුනු ආකාරයෙන් නිවාස හිඟය පැතිර යයි. තියුනු ලෙස බදු වැඩිකිරීම නිසා දස දහස් ගනන් කුඩා ව්‍යාපාර බංකොලොත්වී තිබේ.

එහෙත් ධනවත් ප්‍රභූ ස්ථරය කප්පාදු පියවරයන්ගෙන් පීඩාවට පත්ව නැති තරම්ය. හැන්ඩෙල්බ්ලස්ට් පත්‍රයට අනුව ඔවුන්, ග්‍රීසියේ සමස්ත නයෙන් දෙගුනයක් තරම් වන යුරෝ බිලියන 560ක් විදේශ ගිනුම්වල තැන්පත්කර ඇත. ත්‍රිත්වය හා ඒ පිටුපස සිටින බැංකුවලට නම් මෙම කප්පාදු වුවත් සෑහෙන්නේ නැත. පසුගිය ග්‍රීෂ්මයේ දී එකඟ වූ පරිදි ගලවාගැනීමේ දෙවන පැකේජයේ නය මුදාහැරීම සඳහා දමා ඇති පූර්ව කොන්දේසියට අනුව ඔවුන්, මෙම වසරේදී පමනක් යුරෝ බිලියන 3.3ක අයවැය කප්පාදුවක් ඉල්ලා සිටිති. ඒ සියල්ල කම්කරු පන්තියේ විය‍දමෙනි.

සෞඛ්‍ය පිරිවැය යුරෝ බිලියන 1.1න් කැපිය යුතුය. එලඹෙන වසරේදී රජයේ සේවකයින් 15,000ක් දොට්ට දැමිය යුතු අතර ඉදිරි සිව් වසර තුල 150,000ක් සේවයෙන් පහකල යුතුය. ලක්ෂ තුනක සංඛ්‍යාවක් යැපෙන ෆෙඩරල් අවම වැටුප යුරෝ 750 සිට 600 දක්වා පහත හෙලිය යුතුය. විරැකියා දීමනනාව මසකට යුරෝ 460ක සිට 360 දක්වා අඩුකල යුතුය. බොහෝ ග්‍රීකයින් තම පන නල ගැටගසාගන්නා පරිපූරක විශ්‍රාම ගෙවීම් සියයට 15න් කැපීමට සිදුවෙයි.

පෞද්ගලික අංශයේ පවතින වැටුප් කොන්ත්‍රාත් අලුත් නොකල යුතු අතර සමාගම් මට්ටමෙන් නව ගිවිසුම් ඇතිකර නොගත යුතුය. ඒ අනුව පෞද්ගලික අංශයේ වැටුප් සියයට 20න් පහත දැමිය යුතුය. “අනාගත වැටුප් ගිවිසුම්වල පාදක මට්ටම, පහත හෙලන ලද අවම වැටුපට අනුකූල විය යුතු බැවින් වැටුප් කප්පාදුව විශාල වනු ඇත.” සොෂියෙටි ජෙනරාල් බැංකුවේ ජේම්ස් නික්සන් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුව තුල ලූකස් පපඩිමොස්ගේ ආන්ඩුවට සහාය දෙන පක්ෂ තුන, එනම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂය, තත්වාරක්ෂක නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය හා අන්ත දක්ෂිනාංශික ලාඕස් පක්ෂය, ත්‍රිත්වයේ ඉල්ලීම් බොහොමයකට එකඟව සිටිති. වියදම් කප්පාදුවෙන් සියයට 10ක් වන පරිපූරක විශ්‍රාම කැපීමේ සැලසුම් පිලිබඳ මතභේද ඇතිව තිබේ. කප්පාදු පියවර තුලින් ග්‍රීසිය අවපාතය තුල තවත් ගැඹුරට ගිලී යන බව පැහැදිලිව තිබෙන නමුත් ඔවුන් ඒවා පිලිගනිති.

කප්පාදුවල අරමුන ප්‍රමුඛ කොටම බැංකු සතුටු කිරීමයි. බොහෝ කලකට පෙර ඔවුන් ග්‍රීසියට දී තිබුනු හා පසුව කපාහරින ලද නයෙහි නාමික අගයෙන් සියයට 50 ඌනපූරනය කිරීම පිනිස, යුරෝපීය සංගමය විසින් සහතික කර ඇති පරිදි ඉහල පොලියක් ඔවුන්ගේ ඉතිරි සියයට 50 සඳහා ලැබෙනු ඇත. පැරිසියේ පැවති ඔවුන්ගේ අවසන් රැස්වීමේ දී ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි, බැංකු තමන්ගේ කොටස ලබාගන්නා තෙක් ඇතන්ස් පාලනයට අත නොගැසිය හැකි විශේෂ ගිනුමක් තුල කෙලින්ම ග්‍රීක ආන්ඩුවේ ආදායම් තැන්පත්කල යුතු බව පවා යෝජනා කර තිබුනි.

මේ අතර ග්‍රීසිය රාජ්‍ය බංකොලොත්කම ප්‍රකාශ කොට එය යුරෝ කලාපයෙන් පිටුවහල් කල යුතු බවට උපදෙස් දෙන්නන්ගේ හඬවල්වල ශබ්දය වැඩිවෙමින් තිබේ. යුරෝපීය කොමිසමේ නියෝජ්‍ය සභාපති නීලී ක්‍රෝස් අවධාරනය කලේ, ග්‍රීසිය මූල්‍ය සංගමයෙන් පිට වුවත් ප්‍රතිපලය “විඳ දරාගතහැකි” බවයි. ග්‍රීකයේ යුරෝපීය කොමසාරිස් මාරියා ඩැමනාකි, යුරෝ කලාපයෙන් පිටවීම “සැබෑ විකල්පයක්” බවට පත්ව තිබෙන බවත් එය “ප්‍රසිද්ධියේ සාකච්ඡා කර ඇති” බවත් සනාථ කලාය.

එවන් පියවරක අරමුන වනු ඇත්තේ, ඉතිරිව ඇති ආදායම්, ඉතිරිකිරීම් හා සමාජ යටිතලය රාජ්‍ය බංකොලොත්කමේ නාමයෙන් කටුගා දැමීම හා උද්ධමනය මඟ හැරීමත්ය.

ග්‍රීසිය සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රභූ පැලැන්තිය දැන් කරමින් සිටින්නේ, සමස්ත යුරෝපය සම්බන්ධයෙන්ම ඔවුන් කිරීමට අදහස්කර සිටින දේය. කිහිප වසරකට පෙර ඇදහීමට පවා නොහැකිව තිබුනු සමාජ ප්‍රතිවිප්ලවයක් දැන් ක්‍රියාවට නැ‍ගෙමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රභූවේ ලාභ ඉල්ලීම් සුරැකීම පිනිස ජනගහනයේ පුලුල් ස්ථරයන් දුප්පත්කමට, රෝගී භාවයට. විරැකියාවට හා මරනයට පවා නියමකර තිබේ.

පෘතුගාලය, ස්පාඤ්ඤය හා අයර්ලන්තය වැනි යුරෝ අර්බුදයේ සුලියට හසුව තිබෙන අනෙකුත් රටවල් හෝ හංගේරියාව, රුමේනියාව වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර මත යැපෙන රටවල් ද කම්කරු පන්තියට ඒ හා සමාන කුරිරු ප්‍රහාර එල්ල කරමින් සිටියි. නැ‍ගෙනහිර යුරෝපය තුල මෑතක හටගත් අධික සීතලෙන් මියගිය සිය ගනනක් දෙනා කාලගුනයේ ගොදුරු නොවේ. ඊටත් වඩා එය, විදුලි බලය, උනුසුම්කාරක හා නවාතැන් යනාදිය කප්පාදු පියවර හේතුකොටගෙන බොහෝ දෙනෙකුට දරාගත නොහැකිවීමේ ප්‍රතිපලය විය. ජර්මනිය වැනි “පොහොසත්” රටවල පවා “වැඩකරන දුගීන්” හා අඩු වැටුප් ලබන්නන්ගේ සංඛ්‍යාව නාටකාකාර ලෙස ඉහල යමින් තිබේ.

මෙහි වැදගත්කම තවත් ඔප් නංවන්නේ, ග්‍රීක කම්කරුවන් සමග සහයෝගය පලකරන වචනයක්වත්, යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් අසන්නට නොලැබෙන්නේය යන කාරනයෙනි. ඔවුහු ත්‍රිත්වයේ නිර්දේශයන්ට පූර්න සහාය දක්වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආධාර කරති.

යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති හා යුරෝපීය සමාජ ප්‍රජාතන්ත්‍රයේ ප්‍රමුඛ පුද්ගලයෙක් වන මාටින් ෂූල්ට්ස්, ත්‍රිත්වය විසින් පනවා තිබෙන කප්පාදුවලට එකඟ වන ලෙස ග්‍රීක දේශපාලන පක්ෂවලින් උදක්ම ඉල්ලා සිටියේය.

වැදගැම්මකට නැති සීමිත විරෝධතා වර්ජනවලට මෙහෙයවමින් ග්‍රීක කම්කරුවන්ගේ කෝපය නිවීමේ උත්සාහයක නිරතව සිටින එරට වෘත්තීය සමිතිවලට කිසිවක් පොරොන්දු නොවන සහයෝගයක් පලකරන වචන කිහිපයක්, යුරෝපීය වෘත්තීය සමිති සම්මේලනය විසින් පලකොට තිබේ. කෙසේ වෙතත් එම සමිති සම්මේලනය, සිය ග්‍රීක සහකරුවන් ආරක්ෂා කිරීමට අනෙකුත් රටවල කම්කරුවන් බලමුලු ගැන්වීම පිනිස ඇඟිල්ලක්වත් ඔසවා නැත. ඒ වෙනුවට ඔවුහු, ත්‍රිත්වය පිටුපස පෙලගැසී සිටිමින් එහි ආයතන සමග සමීපව වැඩ කරති.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා වෘත්තීය සමිති, මූල්‍ය කතිපයාධිකාරයේ කඳවුරෙහි පැලපදියම්ව සිටින බවට මීටත් වඩා පැහැදිලි සාක්ෂි අවශ්‍ය නොවන්නේ ය. ග්‍රීසියේ කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයන්ට සහාය දීම මගින් ඔවුහු, යුරෝපයේ සියලු රටවල කම්කරු පන්තියට එරෙහිව ඒ හා සමාන ප්‍රහාර සූදානම් කරති.

සමාජ ප්‍රජාතන්ත්‍රය හා යුරෝපීය සංගමය ප්‍රතිසංස්කරනය කිරීමේ හැකියාව පිලිබඳ මිත්‍යාව දල්වමින් හෝ ත්‍රිත්වයේ නිර්දේශ කෙරෙහි පලවන කෝපය ග්‍රීක ජාතිකවාදයේ ආවෘත අන්තයට හරවා යැවීමට උත්සාහ කරමින්, කම්කරුවන් බංකොලොත් වෘත්තීය සමිති නිලධරයට ගැටගැසීමේ අරමු‍න ඇතිව වැඩ කරන ව්‍යාජ වාම සංවිධාන රොත්තක්ම ඔවුන්ට සහාය දෙමින් ආරක්ෂා කරති.

ග්‍රීසියේ සිදුවීම් පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියට නව සංවිධාන හා නව ඉදිරිදර්ශනයක දැවෙන අවශ්‍යතාවයි. ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත පතිත කරන කුරිරු ප්‍රහාර නොවරදවාම බලගතු විපක්ෂයක් මතුකරනවා ඇත. ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ, රුමේනියාවේ හා අනෙකුත් රටවල මහජන විරෝධතා මගින් පෙන්නුම් කරන්නේ මෙයයි. එහෙත් මෙම විපක්ෂයට දේශපාලන දිශානතියක් අවශ්‍ය කෙරේ.

ඒවා යුරෝපීය සංගමය හා සියලු යුරෝපීය ධනපති ආන්ඩු පෙරලා දැමීම අරමුනු කරගත් ජාත්‍යන්තර සමාජවාදී මහජන ව්‍යාපාරයක් බවට එසවිය යුතුව තිබෙන අතර එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම පිනිස ඒවා එකට එක්කල යුතුය. මෙය ඉල්ලා සිටින්නේ යුරෝපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛා ගොඩනැගීමයි.

පීටර් ෂ්වාස්

Share this article: