වෝල් වීදියේ අපරාධකරුවන් මුදාහරින අත්පත්කර ගැනීම් පිලිබඳ ප්‍රෝඩාකාරී සම්මුතිය

The foreclosure fraud settlement: An amnesty for Wall Street criminals

13 February 2012

පවුල් පිටින් නිවාසවලින් දොට්ට දමා ඒවා අත්පත්කර ගැනීමට ප්‍රධාන බැංකු දක්වන තදියම හමුවේ ඔබාමා පාලනය, අමු අමුවේ නීතිය කඩකිරීම් පිලිබඳ චෝදනා සමතයකට පත්කිරීමේ අලුත්ම පියවර, වෝල් වීදියට වාසනාව ගෙන එන පරිදි පසුගිය 09දා නිවේදනය කලේය.

බොහෝ කොටම අපරාධකරුවන්ගේ බලපෑම හමුවේ අටවන ලද ගිවිසුම, දූෂනයේ හා අපරාධයන්ගේ නරා වලක් නිරාවරනය කිරීමේ තර්ජනය එල්ල කරමින් ප්‍රාන්ත අනාන්ඩුවල පරීක්ෂකයින් පැවැත්වූ විමර්ෂන නිෂ්ප්‍රභා කරයි. ගිවිසුමට අනුව, කූට ලේඛන සැකසීම, අධිකරනයට බොරුකිරීම හා නීති විරෝධී ලෙස නිවාස හිමිකරුවන් වරදකරුවන් කිරීම පිලිබඳ අනාගත නඩුවලින් හෝ මූල්‍යමය වගකීම්වලින් බැංකු නිදහස් කරයි.

මෙයට හිලව් වශයෙන්, බෑන්ක් ඔෆ් ඇමරිකා, ජේපී මෝගන් චේස්, සිටිගෲප්. වෙලස් ෆාගෝ හා අල්ලි ෆිනෑන්ෂල් වැනි ආයතන සාමුහිකව, ඩොලර් බිලියන පහක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් ප්‍රාන්ත හා මධ්‍යම ආන්ඩුවලට ගෙවිය යුතු අතර, නිවසේ වටිනාකමට වඩා වැඩියෙන් නයට ගෙන ඇති මිලියන 11ක් තරම් වන නිවාස හිමියන්ගෙන් සුලු කොටසක් සඳහා වසර තුනක කාලයකට බිලියන 20ක් වෙන්කල යුතුය.

2007 වසරේ පටන් මිලියන 4කට වැඩි වන අත්පත්කරගත් නිවාස හිමි එක් පවුලකටවත් නව නිවසක් නොලැබෙනු ඇත. ඒ වෙනුවට ගනන් බලා ඇති අත්පත්කරගත් නිවාස හිමියන් 750,000ක් දෙනාට තමන් අයුතු ලෙස නිවසෙන් ඉවත් කල බව තහවුරු කල හැකි නම් ඩොලර් 1,500ත් 2,000ත් අතර මුදල් චෙක් පතක් ලැබෙනු ඇත. මෙම අවඥාසහගත මුදල පවා ගෙවනු ලැබුවත් ඉන් ඇඟවුම් කරන්නේ බැංකු හා ආන්ඩුව වැඩකරන මිනිසුන් කෙරෙහි දක්වන සතුරු ආකල්පයයි.

මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ අනීතියට හා කොල්ලයට ඔබාමා විසින් පිරිනමා ඇති මෙම සමාව - එය ඔහුගේ වෙලඳ ලාංඡනය බවට පත්ව තිබේ - සලකනු ලබන්නේ ජනතාවට ලැබුනු වරප්‍රසාදයක් ලෙසය. මෙම සම්මුතිය “තීරනාත්මක ගිවිසුමක්” ලෙසත් “වඩාත්ම පීඩාවට පත් නිවාස හිමියන්ට පිදෙන ඉක්මන් සහනයක්” ලෙසත් ඔබාමා විසින් හඳුන්වා දුන්නේය.

ඔහු මෙසේ පැවසීය. “අද දිනයේ ඇතිකරගත් ගිවිසුම, නීතිය කඩකල අය වගකීමට බැ‍ඳෙන හා ඇමරිකානු ජනතාව වෙනුවෙන් සාධාරනය ඉටුකරන අවස්ථාවක් පිලිබඳවයි”

හැමවිටම ඔබාමා ක්‍රියා කරන්නේ ඇමරිකානු ජනතාව සදාතනිකව රැවටිය හැකි හා සාමුහික අසිහියෙන් පෙලෙන මිනිසුන් ලෙස සලකමිනි. බලයට පත්වූ තැන් පටන් ඔබාමා, අත්පත්කර ගැනීම් නතර කිරීමට හෝ පීඩාවට පත් නිවාස හිමියන්ට සහන සැලසීමට කිසිවක් කර නැත.

“හොර අත්සන්” හා අත්පත්කර ගැනීමේ කූට ලේඛන පිලිබඳ සෝලිය මතුවී ආ 2010 අවසානයේ, ප්‍රාන්ත 50 නීතිපතිවරු ඒකාබද්ධ පරීක්ෂනයක් දියත් කලහ. පවුල් නීති විරෝධී ලෙස ඔවුන්ගේ නිවෙස්වලින් දොට්ට දැමීම වැලැක්වීම පිනිස අත්පත්කර ගැනීම් අත්හිටුවන ලෙස පවා සමහරු ඉල්ලා සිටියහ.

ඔබාමා පාලනය ඝෝෂාකාරී ලෙස මෙම ඉල්ලීමට විරුද්ධත්වය පල කල අතර පුද්ගලිකව බැංකුවලින් ඉල්ලා සිටියේ, නිවාස වෙලඳපොල මන්දෝත්සාහී කර තිබෙන ගොඩගැසී ඇති අක්‍රීය උකස්කරයන් අවසන්කර දමන ලෙසයි. මූල්‍ය ක්ෂේත්‍රයේ කොටස් කඩා වැටෙද්දී හා පුද්ගලික මෙන්ම රාජ්‍ය අධිකරන ක්‍රියාපටිපාඨීන් නිසා ගෙවීමට සිදුවිය හැකි හෙලිකර නොමැති බිලියන ගනන් හමුවේ බැංකු ඇද වැටීමේ භීතිය මගින් ධවල මන්දිරය කුමන හෝ බැරෑරුම් පරීක්ෂනයක් පූර්ව භංග කර එවන් අපරාධ ප්‍රසිද්ධියට පත්කිරීම වැලැක්වීමට මැදිහත් විය.

මාස 16ක් තිස්සේ ආන්ඩුව බැංකු හා නීතිපති වරුන් සමග රහස් සාකච්ඡා පැවැත්වීය. එහි ප්‍රබලම උත්සාහය දරන ලද්දේ, ප්‍රතිරෝධය දක්වන ප්‍රාන්ත ඒවායේ අධිකරන ක්‍රියාවලීන්ගෙන් ඉවත්කර ගැනීමට හා වෝල් වීදියට වාසි සලසන මධ්‍යම ආන්ඩුවේ සම්මුතියකට එකඟකර ගැනීමටත්ය. පසුගිය 09දා ගිවිසුම එලිදැක්වුනේ එහි ප්‍රතිපලය වශයෙනි.

අත්පත්කර ගැනීමේ සෝලිය පිලිබඳ ආන්ඩුවේ ක්‍රියාකලාපය, බලයට පත්වූ තැන් පටන් මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කරන එහි ඒකායන අරමුනේ තවත් අන්තයකි. අත්පත්කර ගැනීමේ ලියවිලි හොරට සකස්කරන එකලස් පේලියම, නිවාස වෙලඳපොලේ බිඳවැටීම හා අත්පත්කර ගැනීමේ අර්බුදය නිර්මනය කලේය.

2004 හා 2008 වෝල් වීදියෙහි බිඳවැටීම අතර කාලය තුල බැංකු, බොහෝ විට ඉතා අඩු “ආකර්ශනීය” පොලී අනුපාතයන් යටතේ පුම්බන ලද මිල ගනන් සහිත අවමුඛ උකස්කරයන් වෙත දශ ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් ඇද බැඳගත් අතර පොලිය නිර්නිත කාලයකින් ඉක්බිතිව තියුනු ලෙස ඉහල දමන ලදී. නය ආපසු ගෙවීම කල නොහැක්කක් බව වෝල් වීදිය හොඳාකාරව ම දැන සිටියේය. එය කූට ව්‍යාපෘතියක් වූ අතර එවන් සියලු ව්‍යාපෘතීන්හිදී මෙන්ම මෙහිදී ද අපරාධකරුවෝ ජාවාරමෙන් හැකිතාක් දුරට ගරාගැනීමට අදිටන් කරගෙන සිටියහ. තව ද ප්‍රධාන බැංකු, අවසානයේදී ආන්ඩුව තමන්ගේ අලාභයන්ට කර ගසනු ඇති බව ගැන පූර්න විශ්වාසයකින් කටයුතු කලහ.

විස සහිත නය ගොනු ගසා, රක්ෂනය කර විකුනා දැමූ අතර ප්‍රෝඩාකාරී හා නීතිමය වශයෙන් සැක කටයුතු පදනම් මත රඳා පැවති දැවැන්ත ව්‍යුහයක් ගොඩනංවමින් බැංකු විධායකයෝ හා ප්‍රමුඛ කොටස් හිමියෝ, ඇස් නිලංකාර කරවන පෞද්ගලික ධන සම්භාරයන් පොදිගසාගත්හ. කූට ව්‍යාපෘතිය බිඳ වැටුනු කල, ඩොලර් ට්‍රිලියන ගනනින් අගය කල බැංකුවලට ඇප දීමේ පැකේජයන් ෆෙඩරල් ආන්ඩුව විසින් සම්පාදනය කලේය. එහි ප්‍රතිපල වශයෙන්, බැංකු දැන් ද්‍රවශීලතාව අතින් ඉහල මට්ටමකට ලඟාවූ අතර ඒවයේ විධායකයින් හා ලොකු කොටස් හිමිකරුවන් වෙන කවරදාකටත් වඩා පොහොසත් විය.

හොර මගඩිවලින් සමන්විත නිවාස නය මූල්‍ය සමපේක්ෂනයේ මෙවලම් බවට හැරවීම පිනිස බැංකු හා උකස් සමාගම් පෙන්වූ කුලප්පුව හමුවේ විධිමත් ලිපිගොනු වැනි නීතිමය කරුනු කෙරෙහි දැක්වූයේ සුලු අවධානයකි. එහි ප්‍රතිපලය වශයෙන් නිවාස බුබුල පුපුරාගොස් උකස් නය සහමුලින්ම වාගේ පැහැර හරින තතු හමුවේ බැංකු සතුව තමන් හිමිකම් කියන හා ඔවුන්ට අත්පත්කර ගැනීමට අවශ්‍ය දේපලවලට අදාල විශ්වාසදායක නීතිමය ලියවිලි කිසිවක් නොවීය.

මූල්‍ය අර්බුද පරීක්ෂන කොමිසම හා ‍ෙසනේට් සභාවේ ස්ථාවර පරීක්ෂන මන්ඩලය යන මූල්‍ය බිඳවැටීම ගැන ආන්ඩුවේ පරීක්ෂන ගෙන යන ආයතන දෙක, බැංකු විසින් ගෙනගිය ප්‍රෝඩාකාරී භාවිතාවන් හා නය වර්ගීකරන ආයතන ද මධ්‍යම ආන්ඩුවේ නියාමකයන්ද සිදුකල කුමන්ත්‍රන පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් පිටු දහස් ගනනක වාර්තා ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තා හමස් පෙට්ටියට දමනු ලැබින. වෝල් වීදියේ එකදු ඉහල විධායකයෙකුට විරුද්ධව දඬුවම් පැමිනවීම කෙසේ වෙතත්, සාපරාධීත්වය පිලිබඳ චෝදනාවක් හෝ ඉදිරිපත්කර නැත.

ඔබාමා පාලනයේ ද සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ද ආශීර්වාදය සහිතව සමපේක්ෂනය හා තක්කඩිකම් බාධාවකින් තොරව ම ක්‍රියාත්මක වෙයි. මේ මගින් සිදුවූව‍ාටත් වඩා උත්ප්‍රේරනාත්මක මූල්‍ය කඩා වැටීමක් හා අවපාතයක් සඳහා බීජ වපුරනු ලැබේ.

පූර්න වගකීම් විරහිත භාවයේ මෙම සංස්කෘතිය දිරාපත්වන ප්‍රභූත්වයේ සමාජයක් පිලිබඳ ලාංඡනයයි. ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූව, කුනුගඳ ගහන සමස්ත අට්ටාලයම හෙලිදරව් වීමට පටන් ගනිතියි යන භීතිය හමුවේ, වගකීම් පැවරීම පිලිබඳ ප්‍රශ්නය මතුකිරීම පවා කල නොහැකි, සාපරාධී කටයුතුවලට ඇලී ගැලී සිටියි.

ඔබාමා පාලනයටත්, මහා ව්‍යාපාරික පක්ෂ දෙකට හා ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූ කොටස්වලටත් විරුද්ධව කම්කරු පන්තියේ දැවැන්ත බලමුලු ගැන්වීමකින් පමනක්, දොට්ට දැමීම් හා උකස් වංචාවේ ගොදුරු බවට පත්වූවන්ට සහන සැලසිය හැකිය. වෝල් වීදියේ අපරාධකරුවන් පිලිබඳ පරීක්ෂන පවත්වා ඔවුන්ට නඩු පැවරිය යුතුය. ඔවුන් නීති විරෝධී ලෙස රැස්කරගත් ධනය අත්පත්කර ගත යුතුය. මුදල් වැඩකරන ජනතාවට දැරිය හැකි මට්ටමේ නිවාස සඳහා වියදම් කල යුතුය.

උකස් නය දෙන්නන් හා බැංකු විසින් ගොදුරු කරගත් සියල්ලන්ම පුනරුත්ථාපනය කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය යහපත් නිවාස පහසුකම සමාජ අයිතියක් බව අවධාරනය කරයි. සියලු උකස්කරයන් දැරිය හැකි මට්ටම්වලට ප්‍රති ව්‍යුහගත කල යුතු බව අපි කියා සිටිමු. එය ආදායමට හා රැකියාවේ තත්වයට අනුකූල විය යුතුය. අපගේ ක්‍රියාමාර්ගය සඳහන් කරන පරිදි, “යහපත් නිවාස සඳහා සියල්ලන් සතු අයිතිය සහතික කල හැක්කේ, නිවාස ඉදිකිරීම හා මූල්‍ය කර්මාන්තය පොදු අයිතිය යටතට ගෙන, නව නිවාස හා තට්ටු නිවාස ඉදිකිරීම මෙන්ම, පවත්නා ගොඩනැඟිලි ප්‍රතිසංස්කරනය කිරීම පිනිස ඩොලර් බිලියන සිය ගනන් පොදු අරමුදල් යෙදවීමෙන් පමනකි.”

බැරී ග්‍රේ

Share this article: