එක්සත් ජනපද රහස් හමුදා ගෝලීය යුද්ධය සඳහා සූදානම් වෙති

US secret armies gear up for global war

14 February 2012

"යුද වඩදිය රැල්ල බැස යමින් තිබේ” යන්න ජනාධිපති බරක් ඔබාමා තොර තෝංචියක් නැතිව යොදා ගෙන ඇති වාග් පාඨයකි. සිය රාජාසන කතාවේ දී එක් වරක් ද පසුගිය මාසයේ පෙන්ටගනයේ නව මිලිටරි මූලෝපායික ලියවිල්ල එලිදැක්වීමේ කි‍්‍රයාදාමය තුල දී දෙවරක් ද එක්සත් ජාතීන්ගේ සමුලුවේ දී පැවැත්වූ සිය කතාව තුල දී යලිත් වරක් ද ඉරාකයෙන් හා ඇෆ්ඝනිස්ථානයෙන් හමුදා ඉවත් කරගැනීම පිලිබඳ සිය නිවේදනයේ දී මෙන් ම වැලන්ටයින් දින කතාවේ දී ද ඔහු එය යොදා ගත්තේ ය.

මෙම පල්ල ගිය උපමාව නිරන්තරයෙන් පුනරුච්චාරනය කිරීමේ එල්ලය වන්නේ පැහැදිලි සත්‍යය වසං කිරීම යි. එනම්, එක්සත් ජනපද යුදවාදය ඩිමොක‍්‍රැටික් ජනාධිපති යටතේ නාටකාකාර ලෙස උත්සන්න වී ඇති අතර එහි වඩ දිය රැල්ල සමස්ත ග‍්‍රහලෝකය ම වෙලාගැනීමේ තර්ජනය මතු කරයි.

ඒ පිලිබඳ මෑතම දර්ශකයන් අතරට එක්වන්නේ, ලෝකයේ සෑම මුල්ලකට ම ඉහල මට්ටමේ ඝාතක කල්ලි යැවීමෙහි ලා දැනට පවතිනවාට වඩා වැඩි ස්වතන්ත‍්‍ර භාවයක් ඉල්ලමින් එක්සත් ජනපද මිලිටරියේ විශේෂ මෙහෙයුම් අන දෙන මන්ඩලයේ (එස්ඕසීඕඑම්) ප‍්‍රධානියා තිරයට පිටුපසින් ගෙන යන උද්ඝෝෂනයකි.

නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයට අනුව, එස්ඕසීඕඑම්හි මූලිකත්වය දරන අද්මිරාල් විලියම් මැක්රැවන් "සිය හමුදාවන් හා ඒවායේ යුද උපකරන ඒවා වඩාත්ම අවශ්‍යව පවතින ස්ථාන ලෙස බුද්ධි අංශ හා ගෝලීය සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන ප‍්‍රදේශවල ස්ථානගත කරනු පිනිස වඩා වැඩි ස්වතන්ත‍්‍ර භාවයක්” ඉල්ලා සිටී.

අද්මිරාල්ගේ යෝජනාව, "පසුගිය දශකය තුල ඒවා විශාල සංඛ්‍යාවන්ගෙන් කි‍්‍රයාත්මක නොවූ කලාපවල, විශේෂයෙන් ම ආසියාව, අපි‍්‍රකාව හා ලතින් ඇමරිකාව තුල, ඒවායේ පැවැත්ම ප‍්‍රසාරනය කිරීමට විශේෂ මෙහෙයුම් හමුදාවන්ට ඉඩ දෙනු ඇති” බව ද ටයිම්ස් සටහන් කරයි.

මැක්රැවන් මෙසේ තර්ක කරයි: "මෙම අනෙක් කලාප තුල විශේෂ මෙහෙයුම් හමුදා යෙදවීම් ඉහල දැමීම පුලුල් පරාසයක තර්ජනයන්ට වඩා ශීඝ‍්‍රයෙන් ප‍්‍රතිචාර දැක්වීමේ සූදානම එක්සත් ජනපදයට ලබා දෙනු ඇත.”

විදේශයන්හි සන්නද්ධ මෙහෙයුම් සිදු කරන නාවික සීල්ස් හමුදාව හා හමුදාවේ ගී‍්‍රන් බෙරෙට් අංශය වැනි කොටස්වලින් යුක්ත ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් අන දෙන මන්ඩලය හෙවත් ජේඑස්ඕසී, එස්ඕසීඕඑම් හි ප‍්‍රධාන උප ඒකකයයි. එය, පෙන්ටගන් අයවැය මත පැනවෙන අවම කප්පාදුවල බලපෑමෙන් පවා මුදනු ලැබෙන එක්සත් ජනපද මිලිටරියේ අංශවලින් එකකි.

එයට ලැබෙන මුදල් ප‍්‍රතිපාදන වැඩි කෙරෙන බවට, ඇමරිකාවේ දැවැන්ත මිලිටරි-කාර්මික සංකීර්නය වෙනුවෙන් ලොබි කිරීමේ යෙදී සිටින මූලික ආයතනය වන ජාතික ආරක්ෂක කර්මාන්ත සංගමයේ පසුගිය සතියේ පැවති වාර්ෂික සම්මේලනය ඉදිරියේ එස්ඕසීඕඑම් හි ඉහල නිලධාරියෙක් යලි සහතික විය. "අප ලොව වටා ත‍්‍රස්ත-විරෝධී මෙහෙයුම්වල දිගටම යෙදී සිටිනු ඇති බැවින් අපි විශේෂ මෙහෙයුම් හමුදාවන් වෙනුවෙන් කරන ආයෝජන ආරක්ෂා කරනු ඇත” යයි එස්ඕසීඕඑම් හි නියෝජ්‍ය අන දෙන නිලධාරි ලුතිනන් ජනරාල් බ‍්‍රැඩ්ලි හීතෝල්ඩ් යුද ව්‍යාපාරිකයන්ගේ සභාවට පැවසීය. පෙන්ටගනයේ සැලසුම වන්නේ "විශේෂ මෙහෙයුම් හමුදාවේ භට සංඛ්‍යාව 70,000” දක්වා ඉහල දැමීම ය යන රහස ඔහු ඔවුන් ඉදිරියේ පැවසීය.

එස්ඕසීඕඑම් හි භට සංඛ්‍යාව 2001 වසරේ සිට මේ වන තෙක් එහි වත්මන් ප‍්‍රමානය වන 66,000 දක්වා දෙගුන කර ඇත. එහි අයවැය ඩොලර් බිලියන 4.2 සිට ඩොලර් බිලියන 10.5 දක්වා ඉහල දමා තිබේ. ජේඑස්ඕසී 1980 දී යන්තම් භටයන් 1,800ක සිට අද 25,000ට ඉහල අගයක් දක්වා වැඩෙමින් ඊටත් වඩා ශීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත.

ඩොමිනිකන් ජනරජය හා පේරු සිට පිලිපීනය, යේමනය, සෝමාලියාව හා මධ්‍යම ආසියාව දක්වා, රටවල් 75කට වැඩි ගනනක විශේෂ මෙහෙයුම් හමුදාවේ භටයන් දැනටමත් යොදවා ඇත.

ප‍්‍රසිද්ධ කෙරී ඇති වාර්තාවන්ට අනුව, ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කරගැනීම සහ ඇෆ්ඝනිස්ථානයෙන් සොල්දාදුවන් හා මැරයින් භටයන් දස දහස් ගනනක් ඉවත් කරගැනීම, විශේෂ මෙහෙයුම් හමුදාවන් වඩා පුලුල් ලෙස යොදා ගැනීම මගින් තුලනය කිරීමට නියමිත ය. ඉරාකයේ දී, මෙම හමුදාවන්ගෙන් කොටසක්, නිල ඇඳුමෙන් තොරව කි‍්‍රයාත්මක වෙමින්, රට තුල අවෘතව තබා ගැනෙනු ඇති අතර අනෙක් අය දේශ සීමාවෙන් ඔබ්බේ කුවේට්හි රඳවා තැබෙනු ඇත. ඇෆ්ඝනිස්ථානයේ දී, නැටෝ හමුදා ඉවත් කරගැනීම සඳහා වන 2014 නිල කාල සීමාවට පසුව පවා 9,000ක විශේෂ මෙහෙයුම් භට හමුදාවක් දිගටම රැඳී සිටිනු ඇත.

මෙම දෙරට තුලම, ජේඑස්ඕසී ඒකක දරුනුම ජනඝාතනවල යෙදී තිබේ. ඔවුහු බුෂ් පාලනාධිකාරය විසින් අන කරන ලද 2007 "හමුදා භට සංඛ්‍යාවන් ක්ෂනිකව ඉහල දැමීම” තුල දී ඉරාක වාඩිලෑමේ විරුද්ධවාදීන් මහා පරිමානයෙන් ඝාතනය කිරීමේ යෙදුනු අතර රැඳවියන් ක‍්‍රමානුකූලව වධබන්ධනයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ද ලක් වූහ.

ඇෆ්ඝනිනිස්ථානයේ දී, මෙම ඒකක කුප‍්‍රකට 2002 විවාහ මංගල උත්සව ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු විය. එනම්, ඔවුන් විවාහ මංගල සාදයකට හා සෙසු සිවිල් ඉලක්කවලට වෙඩි වරුසා එල්ල කිරීමට ඒසී-130 ප‍්‍රහාරක යානාවක් කැඳවූ අවස්ථාව යි. එහි දී සිය ගනනක් ඝාතනයට හා තුවාලවලට ලක් වූහ. රාතී‍්‍ර කාලයේ ඇෆ්ඝන් නිවාසවලට කඩාවැදීම හා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුහු එරට ජනයාගේ වෛරයට ලක්ව ඇත.

පසුගිය දශකය තිස්සේ, විශේෂ මෙහෙයුම් හමුදාවන්ගෙන් සියයට 80ක් ඉරාක හා ඇෆ්ඝනිස්ථාන යුද්ධවලට ම වෙන්කර තිබේ. වඩා ගෝලීය පරිමානයෙන් කි‍්‍රයාත්මක වන ප‍්‍රහාරක හමුදාවක් බවට පත් කිරීම දක්වා ඔවුන්ගේ පුලුල් භාවිතය මාරු කිරීම ගැන දැන් ධවල මන්දිරය හා පෙන්ටගනය සාකච්ඡා කරන්නේ නම්, එයින් අදහස් කෙරෙන්නේ ඔවුන් පෙරදකින්නේ යුද "වඩ දිය රැල්ල බැසයාමක්” නොව, ඒ වෙනුවට එක්සත් ජනපද යුදවාදයේ පිපුරුම් සහගත වර්ධනයක් බවයි.

කිසිවකුට වග නොවන, එක්සත් ජනපද ජනාධිපතිගේ අන යටතේ පවත්නා, රහස් හමුදාවකට සමාන මෙම ප‍්‍රභූ මිලිටරි ඒකක මත ඔබාමා පාලනාධිකාරය වෙන කවරදාකටත් වඩා වාරු වී තිබේ. සීඅයිඒ සංවිධානය මෙන්, ජේඑස්ඕසී සංවිධානයට ද ත‍්‍රස්තවාදීන් යයි කියනු ලබන අයගේ ඝාතක ලැයිස්තු පිලියෙල කොට ඝාතන මෙහෙයුම් දියත් කිරීමට බලය පවරා ඇත. සීඅයිඒ සංවිධානය මෙන් නොව, එයට මාරක අවෘත මෙහෙයුම් සඳහා බලය පවරන "ජනාධිපති අධිගමනයක්” ලබා ගැනීමක් හෝ කොංග‍්‍රස් මන්ඩලයේ අධීක්ෂනයට යටත් වීමක් අවශ්‍ය නොකෙරෙයි.

එවන් විධික‍්‍රම මත වඩවඩා වාරු වීමට, කලින් යුද විරෝධී මනෝගතීන් සමග අනන්‍ය වී සිටි ධනවත් ඉහල මධ්‍යම පන්තික තට්ටුවක් යුදවාදය හා අධිරාජ්‍යවාදය වැලඳ ගැනීම මගින් රුකුල් ලැබී ඇත. නිව්ස්වීක් සංස්කාරක ටීනා බ‍්‍රව්න් මෙම සමාජ කන්ඩායම පිලිබඳ නියම උදාහරනයකි. "ඇමරිකාවේ ඝාතන යන්ත‍්‍රය මෙහෙයවීම සම්බන්ධයෙන් ගත් කල සුපර් මෑන් කෙනෙක්”ලෙස ඔබාමාට ප‍්‍රශංසා කරමින් ඇය මෑතක දී බඩදඟලන කතුවැකියක් ලිවීය. සෝමාලියාව තුල ඇමරිකානු විශේෂ මෙහෙයුම් හමුදා විසින් මෑතක දී සිදුකල මදාවි කි‍්‍රයාවක් ඇය විස්තර කලේ "ලස්සන ඇමරිකාව” නමැති ගීතයේ සංගීත ඛන්ඩ යාන්තමට ඈතින් ඇසෙන්නාක් මෙනි” යනුවෙනි. "6 වන සීල් කන්ඩායම ධන දල දේශීය නිෂ්පාදිතය පිලිබඳ සංඛ්‍යා ලේඛනවලට වඩා ශ්‍රේෂ්ඨ ඇමරිකානු චෛතසිකයේ බලය පිලිබඳ වඩා පැහැදිලි සංකේතයක් බවට පත්ව ඇති” බව ද ඇය සඳහන් කලාය.

ඉහල පෙලේ ඝාතක කල්ලි විදේශයන්හි සිදු කරන මදාවි කි‍්‍රයා "ඇමරිකානු චෛතසිකයේ” සාරය ලෙස වර්නනා කිරීමට සූදානම් අය රට තුල මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ පාලනයට එල්ල වන මොන යම් හෝ අභියෝගයක් මැඩීමෙහිලා ඊට සමාන විධික‍්‍රම යොදා ගැනීමෙන් බියට පත් නොවනු ඇත.

1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව පැවති ගැඹුරුම ගෝලීය ආර්ථික අර්බුදය යලිත් වරක් මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ ලෝක යුද්ධයේ හා ආඥාදායකත්වයේ තර්ජනය මතු කරයි. මෙම තර්ජනයන්ට එරෙහිව සාර්ථක අරගලයක් ගෙන යා හැකි වන්නේ, ඒවායේ ප‍්‍රභවය වන ධනපති ලාභ ගරන ක‍්‍රමයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලුගැන්වීම මගින් ම පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: