ඩ්‍රෝන් යානා එක්සත් ජනපදය කරා පැමිනෙයි

Drones come to the US

21 February 2012

ඩොලර් බිලියන 63ක් වූ ෆෙඩරල් ගුවන් ගමන් අධිකාරියේ (එෆ්ඒඒ) විසර්ජන පනතකට ගෙන ආ එතරම් අවධානයකට යොමු නොවූ සංශෝධනයක් එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සම්බන්ධයෙන් අන්තරායකාරී ඇඟවුම් දරයි.

ජනාධිපති බරක් ඔබාමා පෙබරවාරි 14 දා "2012 වසරේ එෆ්ඒඒ නවීකරන හා ප‍්‍රතිසංස්කරන පනත” නීතිගත කරමින් එයට අත්සන් කලේය. එය ඩ්‍රෝන් යානා ලෙස පොදුවේ ප‍්‍රසිද්ධ, නියමුවන් රහිත ගුවන් යානා (යූඒවී) එක්සත් ජනපද භූමියට ඉහල අහස තුල භාවිතය පුලූල් පරිමානයෙන් ප‍්‍රසාරනය කිරීමක් සඳහා මාවත එලිපෙහෙලි කරයි.

මේ මස ම ඊට පෙර සම්මත කරන ලද මෙම නීති පනත, විදේශයන්හි එක්සත් ජනපද යුදවාදයේ පිපිරුම් සහගත වර්ධනයත් රට තුල පොලිස්-රාජ්‍ය මර්දනය අනවරතයෙන් ඉහල යාමත් අතර පවත්නා සම්බන්ධය අවධාරනය කරයි.

ඩ්‍රෝන් යානා ලොව පුරා කුප‍්‍රකට වී ඇත්තේ, "ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” තුල එක්සත් ජනපද මිලිටරි ආක‍්‍රමනයේ හා ඝාතනයේ උපකරන ලෙස ය. පසුගිය දශකය තුල ඒවායේ භාවිතය දැවැන්ත පරිමානයකින් පුලූල් වී තිබේ. 2001 දී, එක්සත් ජනපද අවි ගබඩාවේ ඩ්‍රෝන් යානා පැවතුනේ 50ක් පමනි. දැන් එයට, සුපරීක්ෂාකාරී කටයුතු සඳහා යොදා ගැනෙන කුඩා රැවෙන් ඩ්‍රෝන් යානාවල සිට පැය 28ක් දක්වා කාලයක් මනුෂ්‍ය ඉලක්කවලට ඉහලින් නොපෙනෙන පරිදි එක තැන රැඳී සිටීමේ ද ව්‍යසනකාරී ප‍්‍රතිඵල ඇති කරමින් හෙල්ෆයර් මිසයිල විදීමේ ද හැකියාව සහිත වඩා ප‍්‍රසිද්ධ පි‍්‍රඩේටර් හා රීපර් යානා දක්වා විවිධ මාදිලිවලින් යුක්ත 7,500ක බලඇනියක් ඇත.

පකිස්ථානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශ තුල දුප්පත් ගම්මාන මත මරනය කඩාපාත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන වග පකිස්ථාන ජනතාව හොඳින් දන්නා නමුදු, පකිස්ථානයට එරෙහි අවෘත ඩ්‍රෝන් යුද්ධයක් ලෙස පෙනෙන එම ප‍්‍රහාරවලට, පසුගිය මාසයේ දී ඔබාමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රශංසා කලේය. ඩ්‍රෝන් ප‍්‍රහාර ඔබාමාගේ පාලන කාලය තුල දී නාටකාකාර ලෙස උත්සන්න කෙරී ඇත. 2004 සිට මේ දක්වා එම ප‍්‍රහාර ජීවිත 2,700කට ආසන්න සංඛ්‍යාවක් බිලිගෙන තිබේ. ඔවුන්ගෙන් දැවැන්ත බහුතරයක් නිරායුධ මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ය.

යේමනය, සෝමාලියාව හා සෙසු රටවල සීඅයිඒ ඝාතන කි‍්‍රයාවට දමනු පිනිස ඩ්‍රෝන් යානා යොදා ගෙන තිබේ. කොහෙත්ම චෝදනා ඉදිරිපත් කිරීමෙන් තොරව, නෛතික අධිකරනයක දී ඔහුට විරුද්ධව මොනම සාක්ෂ්‍යයක් හෝ ඉදිරිපත් නොකොට, එක්සත් ජනපද ජනාධිපතිගේ නියමයෙන් මරන දන්ඩනයට නියම කල, නිව් මෙක්සිකෝ හි උපන් ඉස්ලාම් පූජක අන්වර් අල්-අව්ලාකි වැනි එක්සත් ජනපද පුරවැසියන් ද ඩ්‍රෝන් යානාවල ඉලක්කයන්ට ඇතුලත් විය.

මෙම ජන ඝාතන හා තනි පුද්ගල ඝාතන සිදු කරනු ලබන්නේ, නෙවාඩා කාන්තාරය සහ වර්ජිනියා ප‍්‍රාන්තයේ ලන්ග්ලේ අසල කාර්යාල තුල කුටිවල සිට පරිගනක තිර දෙස බලාගෙන සිය ගොදුරුවලට ඉලක්ක ගන්නා සීඅයිඒ හා මිලිටරි නිලධාරින් විසින් දුරස්ථ පාලක යොදාගෙන ය.

දැන් මෙම තාක්ෂනය රට තුලට පැමිනෙයි. පසුගිය සතියේ දී ඔබාමා අත්සන් කල පනතට අනුව, ආන්ඩුවේ ඒජන්සිවලට එක්සත් ජනපද භූමිය මත තමන්ගේ ම ඩ්‍රෝන් යානා කි‍්‍රයාත්මක කරවීමට අවශ්‍ය අවසරය ලබා ගත හැකි කි‍්‍රයාදාමය වේගවත් කිරීමට, එෆ්ඒඒ, දින 90ක් තුල, කි‍්‍රයා කල යුතුය. "ආන්ඩුවේ මහජන ආරක්ෂක ඒජන්සි” මගින් සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා කුඩා ඩ්‍රෝන් යානා යොදා ගැනීමට වහාම අවසර දිය යුතුය. මාස හයක් ඇතුලත, එෆ්ඒඒ රට වටා පරීක්ෂන ප‍්‍රදේශ හයක් තුල "ජාතික ගුවන් අවකාශ පද්ධතිය” තුලට ඩ්‍රෝන් යානා ඒකාග‍්‍ර කරගැනීමට නියමු ව්‍යාපෘතියක් පිලියෙල කල යුතුය.

2020 වන විට, මිලිටරියට, පොලීසියට හා සංගතවලට අයත් යූඒවී ඇතුලු, ඩ්‍රෝන් යානා 30,000ක් එක්සත් ජනපද අහසේ කි‍්‍රයාත්මක වනු ඇතැයි තක්සේරු කෙරෙයි. ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද දේශ සීමා නිරීක්ෂනය සඳහා ඒවා දැනටමත් යොදා ගනු ලැබේ.

මෙම පනතට පිටුපසින් සිටින ප‍්‍රධාන ගාමක බලවේගය වූයේ, මිනිසුන් රහිත වාහන පද්ධති පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයයි. එහි සාමාජිකයන් අතරට ලොක්හීඩ් මාර්ටින්, බෝයිං, ජෙනරල් ඩයිනමික්ස්, නෝර්ත්රොප් ගෲමන් සහ රේතියොන් වැනි මිලිටරි-කාර්මික සංයුක්තියේ දැවැන්තයන් ඇතුලත් වන අතර පනතේ භාෂාව එම සංගතවල ලොබිකරුවන්ගේ බවට වාර්තා වේ. ඩ්‍රෝන් යානා සඳහා වෙලඳ පොල දැනටමත් වාර්ෂිකව ඩොලර් බිලියන 6 කරා ලඟා වී ඇති අතර ඊලඟ දස වසර තුල දී එය දෙගුන වෙතැයි බලාපොරොත්තු වේ.

පලමු කොටම, ඩ්‍රෝන් යානාවල මෙම පැතිරීම ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කරගත් රාජ්‍ය ඔත්තු කටයුතුවල පුලුල් ප‍්‍රසාරනයක් සඳහා වේදිකාව සකසයි. පුද්ගලයන් සිය නිවෙස්වලින් පිටත් වූ මොහොතේ පටන් ඔවුන්ගේ සෑම පියවරක් ම ඡායාරූප ගත කිරීමට හා වීඩියෝ කිරීමට පමනක් නොව, විද්‍යුත් පනිවිඩ හා ජංගම දුරකතන සංවාද ප‍්‍රතිග‍්‍රහනය කර ගැනීමට ද සමත් සංකීර්න සුපරීක්ෂ උපකරන රැගෙන යාමට ඩ්‍රෝන් යානා සමත් ය.

විද්‍යුත් නිදහස පිලිබඳ පදනම (ඊඑෆ්එෆ්), එක්සත් ජනපද ගුවන් අවකාශය තුල ඩ්‍රෝන් යානා පාවිච්චි කරනු පිනිස ආන්ඩුව විසින් දැනටමත් ලබා දී ඇති අවසරය සම්බන්ධයෙන් දත්ත ඉල්ලමින් නඩුවක් ගොනු කල අවස්ථාවේ දී ඊඑෆ්එෆ් කාර්ය මන්ඩල නීතිඥ ජෙනිෆර් ලින්ච් පසුගිය සතියේ දී මෙසේ අනතුරු ඇඟවීය: "ඩ්‍රෝන් යානා ඇමරිකානුවන්ගේ චලනයන් හා කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් පුලුල්ව හා බලාත්කාරීව දත්ත ගොනු කරගැනීමට සමත් බලගතු නව සුපරීක්ෂාකාරී අවියක් ආන්ඩුවට හා සෙසු (යූඒවී) කි‍්‍රයාකරුවන්ට සම්පාදනය කරයි.”

එපමනක් නොව, පකිස්ථානය තුල ඉවබවක් නැතිව නිදහසේ සිදු කල ඝාතනවලින් ද අව්ලාකි ඝාතනයෙන් ද එක්සත් ජනපද ආන්ඩුව ලද අත්දැකීම් රට තුල භාවිතයට ගනිමින්, එක්සත් ජනපදය තුල ඩ්‍රෝන් යානා සන්නද්ධ කිරීමක් සිදු නොවනු ඇතැයි විශ්වාස කිරීමට කිසිම හේතුවක් නැත. මේ සම්බන්ධයෙන් ගත් කල, පසුගිය දෙසැම්බරයේ දී ඔබාමා විසින් අත්සන් කරනු ලැබ නීතිගත කෙරුනු ජාතික ආරක්ෂක අධිකාරී පනත සම්මත කිරීම යුක්තියුක්ත කිරීමට යොදා ගැනුනු තර්ක යලි මතකයට නගා ගැනීම වටනේය.

මෙම පනත මගින්, එක්සත් ජනපද කොංග‍්‍රස් මන්ඩලය, ඇමරිකානු භූමිය මත දී අල්ලා ගනු ලැබෙන එක්සත් ජනපද පුරවැසියන් ඇතුලු, ඕනෑම අයෙකු කිසිදු ආකාරයක අධිකරන සමාලෝචනයකින් ද තොරව දින නියමයක් නැතිව මිලිටරිය යටතේ රඳවාගැනීමට යටත් කිරීමේ, ව්‍යවස්ථාව ඉක්මවා යන බලයක්, ජනාධිපතිට පැවරීම නීතිගත කලේය.

පනතට සහයෝගය දුන් කොංග‍්‍රස් සභිකයන් ඉදිරිපත් කල මූලික තර්කය නම්, "ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය”, එක්සත් ජනපදය මත් ඇතුලු, සමස්ත ග‍්‍රහ ලොවම යුද පිටියක් බවට පත් කර ඇත යන්නයි. මෙම ප‍්‍රතිගාමී තර්කය පිලිගන්නා ආන්ඩුවක්, විදේශයන්හි දී ඝාතන සඳහා ඩ්‍රෝන් යානා නිරතුරුව ම යොදා ගන්නා තතු යටතේ, එක්සත් ජනපදය තුල පුද්ගලයන් ඝාතනය කිරීමට ඩ්‍රෝන් යානා යොදාගැනීම සම්බන්ධයෙන් පැකිලීමට කිසිදු හේතුවක් නැත.

ඔබාමා පාලනාධිකාරයේ ද රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රැටික් පක්ෂ දෙකේ ම ද පිටුබලය සහිතව, මාධ්‍ය හා සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය ම තුලින් විරුද්ධත්වයේ වදනකින් පවා තොරව, පූර්න පරිමාන ඇමරිකානු මිලිටරි-පොලිස් රාජ්‍යයක් සඳහා යාන්ත‍්‍රනය සැකසෙමින් පවතී.

මෙම කි‍්‍රයාදාමයට යටින් පවතින්නේ, ධනය හා බලය මත්තෙහි ඒකාධිකාරය දරන මූල්‍ය වංශාධිපති පැලැන්තියත් ජනගහනයේ අතිමහත් බහුතරය වන වැඩ කරන ජනතාවත් අතර පවත්නා පෙර නොවූ විරූ සමාජ ධ‍්‍රැවාන්තගත වීමයි.

ගෝලීය ධනවාදයේ අර්බුදය මෙම ධ‍්‍රැවාන්තගත වීම ගැඹුරු කොට පන්ති අරගලයේ පුනර්ජීවනය පිලිබඳ ප‍්‍රථම සලකුනුවල නැගීමට තුඩු දී ඇති කොන්දේසි යටතේ, පාලක ප‍්‍රභූව, රට තුල සිය බල ග‍්‍රහනය රැකගනු වස්, විදේශයන්හි දී සිය අවශ්‍යතාවන් ඉදිරියට පමුනුවාලනු පිනිස යොදා ගෙන ඇති ලේවැකි විධික‍්‍රම ම වෙත හැරෙමින් සිටී.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: