ඔබාමා ආන්ඩුව අර්බුදයෙන් වාසි ඩැහැ ගැනීමට පරපුට්ටන්ට ඉඩ සලසා දෙන්නේ කෙසේද

How the government enables Wall Street parasites to cash in on the crisis

22 February 2012

නිවාස නය අයකර ගැනීමට සම්බන්ධිතව සිදු කෙරී ඇති පුලුල් වංචාවන් පිලිබඳ රාජ්‍ය පරීක්ෂන පසෙකට දමා, ඔබාමා පාලනය ප‍්‍රධාන බැංකු පහක් සමග එකඟතාවයට එලඹීම නිසා, 2008 මුල්‍ය දියවී යාමට හේතු වූ උකස් නය කොටස් වෙලඳපොල පිලිබඳ සමපේක්ෂන යලි ඉහලයාමට පටන් ගෙන තිබේ.

ඩොයිෂ් බැංකුව විසින් උකස් නය පාදක කොටගත් සුරැකුම්පත් මිලදී ගනිමින් එහි ගනුදෙනු කරුවන්ට අලෙවි කරන අතර ම, ඒවාට එරෙහිව ඔට්ටු ඇල්ලීම මගින්, පුද්ගලිකව ඩොලර් මිලියන ගනනක් හම්බ කරගත් හා බැංකුවට ඩොලර් බිලියන 1.5 ක් උපයා දුන් ඩොයිෂ් බැංකුවේ හිටපු අලෙවි කරුවෙකු වන ග්‍රෙග් ලිප්මාන් මෙම වටිනාකම් පහත වැටුනු හා අක‍්‍රිය වත්කම් මිලදී ගැනීමේ හා විකිනීමේ ව්‍යාපාරයට යලි අතගසා ඇති බව ඉරිදා නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේ ය.

ඩොලර් බිලියන 100 පමන වියදමකින් ආන්ඩුව විසින් ගොඩ ගත් රක්ෂන දැවැන්තෙයෙකු වන ඇමරිකන් ඉන්ටර්නැෂනල් ගෘප් (ඒඅයිජි ) හා සිය බිඳ වැටීම මගින් 2008 සැප්තැම්බර් 15 ගෝලීය මුල්‍ය සංගදිය අවුලවා ලූ වෝල් ස්ටී‍්‍රට් ආයෝජන බැංකුව වන ලේමන් බ‍්‍රදර්ස් හි හිටුපු උකස් ගනුදෙනුකාර කන්ඩායමක් හා තවත් අය මෙම වත්කම් ගනු දෙනුවෙහි නිරතවීම පටන් ගෙන ඇතැයි ටයිම්ස් ලිපිය සඳහන් කලේ ය.

නිවාස බුබුල හා එහි පුපුරායාම සිදු වූ කාල පරිච්චේදයේ දී ඩොයිෂ් බැංකුවේ ඇපකරගත නය සුරැකුම්පත් (collateralized debt obligation -සීඩීඕ-) අලවි අංශයේ ප‍්‍රධානියා වූ ලිප්මාන් දැන් ඔහුගේ ම ලයිබ්රේමැක්ස් කැපිටාල් රැකවරන අරමුදල ආරම්භ කරමින් උකස් නය පාදක සුරැකුම්පත්වල දී සමපේක්ෂන ආයෝජනය සඳහා ඩොලර් බිලියනයකට වඩා රැස්කර ගැනීමට සමත් වී සිටී. (සීඩීඕ යනු නිවාස නය තටාකයන්ගෙන් ම ඒකරාශී වූ, උකස් නය පාදක සුරැකුම්පත්වලින් සැදුම්ලත් සංකීර්න සුරැකුම්පත් ක‍්‍රමයකි).

මහා අවපාතයෙන් මෙපිට නරක ම ආර්ථික අර්බුදය අවුලුවා ලූ මුල්‍ය බිඳ වැටීමෙන් පසුව, බැංකු දියවීමට තුඩු දුන් වංචාවන් හි නිරත වූ එම සමපේක්ෂකයෝ ම, මෙම අවුරුදු තුන හමාර තුල ආන්ඩුව විසින් ඇප දී ගලවා ගෙන තිබෙනවා පමනක් නොව; ආන්ඩුවේ ලාබ නය පිලිවෙතත් බැරෑරුම් බැංකු ප‍්‍රතිසංස්කරනයක් කිරීම හා ඒවායේ අපරාධ පිලිබඳව පරීක්ෂා කිරීම ප‍්‍රතික්ෂේප කිරීමත් මගින් නව මුල්‍ය මාරයෙකු නිර්මානය කිරීමේ තත්වයක ඔව්හු තබා සිටිති.

වෝල් ස්ටී‍්‍රට් බිඳ වැටීම ගැන පසුගිය අපේ‍්‍රල් මාසයේ සෙනෙට් ස්ථීර අනුකමිටුව මගින් නිකුත් කල පිටු 600 ට වැඩි වාර්තාව තුල මුල්‍ය දියවීමේ කාල පරිච්චේදය දී ලිප්මාන් ගේ වැඩ කටයුතු ගැන විස්තර කර තිබුනි. ඩොයිෂ් බැංකුව, ගෝල්ඩ්මන් සැච්ස් සහ වොෂින්ටන් මියුචුවල් විසින් සිදු කරන ලද වංචනික හා නීති විරෝධී ක‍්‍රියාවන් හා මුල්‍ය ශ්‍රේනි ගත කිරීමේ නියෝජිත ආයතන හා රාජ්‍ය බැංකු නියාමකයන්ගේ ඒවාට පැවති සම්බන්ධකම සවිස්තරාත්මකව දක්වන එම වාර්තාව, ජන මාධ්‍ය විසින් වහාම වල දමනු ලැබ මල අකුරක් බවට පත්ව තිබේ.

ඩොයිෂ් බැංකුවේ උකස් පාදක නය සුරැකුම්පත් වගේ ඒවා "නිෂ්ඵල” තත්වයක පැවති අවස්ථාවක හා වටිනාකම් අඩුවනු ඇතැයි පෙරදැක තිබිය දී ඒවා විකුනමින් තිබුන බව ලිප්මාන් ප‍්‍රකාශ කලැයි වාර්තාවේ දැක්වේ. "එක අවස්ථාවකදී කිසියම් නිශ්චිත සීඞී ඕ සුරකුම්පතක් මිලදී ගන්නැයි ලිප්මාන් මහත්මයාට කියා සිටි විට එය ‘අලෙවි නොවන’ බවත් නමුත් ඔහු එය ‘මිලදී ගෙන කිසිවෙකු එය ‘මිලදී ගැනීම සඳහා’ පොලඹවා ගැනීමට උත්සාහ කරන බවට ප‍්‍රතිචාර දැක්වූයේය," යයි ද එහි සඳහන් කර තිබේ. කර්මාන්තයේ සිදුවෙමින් පැවති සීඩීඕ අලවි කිරීමේ ප‍්‍රයත්නයන්, සීඩීඕ මැෂින් හෙවත්, පොන්සි ස්කීම්, (පහසුවෙන් මුදල් ඉපයිය හැකි මුල්‍ය ව්‍යාපෘතියක්) ලෙස ඔහු සමහර අවස්ථාවල දී සඳහන් කලේ ය.

සෙනෙට් වාර්තාවට අනුව, සුරැකුම්පත් ගැන, සීඩීඕහි ගෝලීය ප‍්‍රධාන අලෙවිකරුට අතිශයින් ම නිශේධනීය අදහස් තිබු බව හෝ බැංකුවේ ප‍්‍රමිතීන්ට අනුව ඩොලර් බිලියන ගනනක වටිනාකම් සහිත වත්කම් අහිමි වූ, බව මිලදී ගැනීමේ සම්භාවිතාව සහිත ආයෝජකයන්ට එලිදරව් නො කර, උකස් නය පාදක අක‍්‍රිය සුරැකුම්පත් අලෙවි කිරීම ඩොයිෂ් බැංකුව දිගටම කරගෙන ගියේ ය.

තමන් විසින් ම ‘පොන්සි ස්කීම්’ එකක් ලෙස නම් කල ව්‍යාපෘතියක ලේඛනගත සම්බන්ධවීම් හරහා මිලියන ගනනක් උපයා තිබිය දී ලිප්මාන් සිර ගත කිරීමක් හෝ ආන්ඩුවේ පරීක්ෂනයකට යටත් කිරීමක් සිදු වී නැත. ඒ වෙනුවට, ඔහු නැවතත් අක‍්‍රීය වත්කම් මත ඔට්ටු ඇල්ලීමේ පරන ව්‍යාපාරය පටන් ගෙන තිබේ.

ව්‍යාපාරය සරුසාර වෙමින් තිබේ. වටිනාකම් පහත වැටීම තිබිය දී ම මෙම වත්කම් කොහෙත්ම ඉවත් නොකිරීම හා දිගටම අලෙවි කිරීම නිසා, අවමුඛ උකස් දියවීමට තුඩු දුන් එම උකස් නය පාදක සුරකුම්පත්වල ම ආයෝජනය කිරීමේ බැංකුවල සහ රැකවරන අරමුදල්වල උත්සුකතාවය මෑත දී අලූත් වී ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය නිරීක්ෂනය කලේ ය.

ප‍්‍රකෘතිමත් වීමේ සලකුනු සුලූවෙන් පෙන්නුම් කරන දිගටම කඩා වැටී ඇති නිවාස වෙලඳපොලක් මධ්‍යයේ උත්සුකතාවයන් පාර්ශවීය වසයෙන් පන ගසා ඇත්තේ පහල මිල මට්ටම් හේතුකොට ගෙනය. නිවාස වටිනාකම් දිගටම කඩා වැටුනත් වර්තමාන මිල ගනන් යටතේ ලිප්මාන් වැනි මිනිසුන් සුරැකුම්පත්වලින් ඉමහත් ලාබ ඉපයීමට බලාපොරොත්තුවන බව ලිපිය සඳහන් කරයි.

ටයිම්ස් පත‍්‍රය උපුටා දක්වන උකස් සමපෙක්ෂනය යලි පටන් ගැනීම සඳහා වාසිදායක පරිසරයක් නිර්මානය වීමට බලපා ඇති සාධක අතර නිවාස නය යලි අය කර ගැනීමේදී නියමිත පරිපාටිය උලංඝනය කිරීම සම්බන්ධව ප‍්‍රධාන බැංකු සමග ඇතිකර ගත් එකඟතාවය ගැන ඔබාමා පරිපාලනය විසින් පෙබරවාරි 9 වෙනිදා කල නිවේදනය ද තිබේ. නිවාස හිමියන්ට වාසියක් ලෙසත් බැංකුවලට තියුනු තරවටුවක් ලෙසත් ඔබාමා ගිවිසුම හුවා දැක්වීය.

එහෙත් එය එවැනි දෙයක් නොවේ; එය මිනිය නොහැකි බිලියන ගනන් දඩ මුදල්වලින් හා වසා දමන ලද රාජ්‍ය පරීක්ෂනවලට සම්බන්ධිත පාඩුවලින් ඔවුන් නිදහස් කිරීමෙන් ජේපී මෝර්ගන්, බෑන්ක් ඔෆ් ඇමරිකා, සිටිගෘප්, වෙල්ස් ෆාර්ගෝ සහ ඇලි ෆයිනැන්ෂල් ඇතුලු බැංකුවලට ඇදුන ලොතරැයි දිනුමකි. ඊට හිලව්වට, ඩොලර් බිලියන 5.9 ක සුලු මුදල් දඩයක් ගෙවන ලෙසත්, නොගෙවා ඇතැයි සැලකෙන නිවාස නයවලින් ඩොලර් බිලියන 25 කටුගා දැමීමට සහ පීඩාවට පත් නිවාස හිමියන් සඳහා වෙනත් ආකාරයේ සහන සලසන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී.

එමෙන් ම, ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය පසු ගිය සතියේ වාර්තා කල ආකාරයට එකඟතාවය සඳහා දැරීමට සිදුවූ වියදමෙන් වැඩි කොටසක් බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් ආවරනය කෙරෙනු ඇත. ඔබාමා පරිපාලනයේ බලකිරීම මත කරදරයට පත් නිවාස නය සම්බන්ධයෙන් නොගෙවා ඇති නය වාරික අඩු කිරීමට එකඟ වූ බැංකුවලට මහජන අරමුදල් සම්පාදනය කරන රාජ්‍ය වැඩපිලිවෙලක් වන හෝම් ඇෆොඩබල් මොඩිෆිකේසන් ප්‍රෝග‍්‍රෑම් (නිවාස උකස් නය ගෙවාගත නොහැකි වුවන් සඳහා සහන සලසන වැඩපිලිවෙලක්) උපයෝගි කර ගැනීමට බැංකුවලට අවසර දෙනු ඇත. බැංකු පහ විසින් කටුගා දමන වටිනාකම්වලින් තුනෙන් දෙකක් මෙම ව්‍යාපෘතියේ අරමුදල්වලින් වන්දියක් ලෙස ගෙවනු ලැබේ.

ඇත්තට ම, ලිප්මාන් සහ ඔහුගේ සමපාර්ශවකරුවන්ට අයුතු ලෙස ලාබ ඉපයීම සඳහා පලල් ඉඩ ප‍්‍රස්ථාවක් විවෘත කරමින් ආන්ඩුවේ සුබසාධන මගින් උකස් පාදක සුරැකුම්පත්වල වටිනාකම් රක්ෂනය කෙරෙනු ඇත.

මුල්‍ය ප‍්‍රභූවට එහි සාපරාධී ක‍්‍රියාවන් මගින් ඇතිකරන ලද සමාජ ව්‍යසනය මධ්‍යයේ, අර්බුදය මතින් වාසි ඩැහැ ගැනීමට බුෂ් සහ ඔබාමා පරිපාලනය කි‍්‍රයාකර ඇති ආකාරය පිලිබඳව ලිප්මාන් සිද්ධිය උදාහරනාත්මක ය. නොගෙවූ නිවස නය අයකර ගැනීමේ වංචනික ක‍්‍රම හරහා හෝ ගොදුරුකාරි උකස් භාවිතාවන්වල ප‍්‍රතිපලයක් ලෙස මිලියන ගනන් ජනයාට ඔවුන්ගේ නිවාස අහිමි වන අතර මුල්‍ය පරපුට්ටන් විසින් මිලියන ගනන් කඳු ගසා ගැනීම දිගටම සිදුවෙයි.

මෙම වර්ධනයන්, ප‍්‍රථම කොටම, දක්ෂිනාංශික, කම්කරු පන්ති විරෝධි හා වෝල් ස්ටී‍්‍රට් ගැති පිලිවෙත්, විරැකියාව අඩුකිරීමට හා ඔවුන්ගේ නිවාස තුල රැදී සිටින පවුල්වලට උපකාර කිරීමට සැලසුම් කල ‘ජනතාවාදී’ පියවරයන් ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ කරන ඔබාමාගේ සීමාවක් නැති නරුමත්වය හා වංකකම එලිදරව් කරයි.

වඩාත් මූලිකව, ඔවුහු, එනම් සමස්ත දේශපාලන සංස්ථාපිතය හා ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂය යන දෙකම, මහ ජනතාවගේ වඩාත් ප‍්‍රාථමික උවමනාවන්වලට සාපරාධිත්වය හා සදාචාර විරෝධීබව කාවද්දන මුල්‍ය රදල පැලන්තියක උපකරන බව ප‍්‍රදර්ශනය කරති.

දේශපාලන පද්ධතිය ප‍්‍රතිසංස්කරනය කල නොහැකිය. විරැකියාව හා දුප්පත්කම කෙලවර කිරීමටත්, සමාජ සමානත්වය තහවුරු කිරීමටත් කැප වූ කම්කරු පන්තිය විසින් කම්කරු පන්තිය සඳහා පත් කර ගනු ලබන කම්කරු පන්තියේ ආන්ඩුවක් මගින් එය විස්ථාපනය කල යුතුය. වෝල් වීදියේ කැසිනෝ සුදුව වසා දමන, වංචනික ලෙස උපයා ගෙන ඇති සමපේක්ෂකයන්ගේ ධනය පවරා ගන්නා සහ ආර්ථික ජීවිතයේ ප‍්‍රධාන අංශ මහජන අයිතියට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට යටත් කරන මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු ය.

ඇන්ඩි‍්‍ර ඩිමොන් සහ බැරී ගේ‍්‍ර

Share this article: