එක්සත් ජනපද වාඩිලෑමට එරෙහිව ඇෆ්ගනිස්ථානය කැරලිකාරීව නැඟී සිටියි

Afghanistan rises in revolt against US occupation

27 February 2012

බග්රම් ගුවන් කඳවුරේදී එක්සත් ජනපද හමුදා විසින් කෝරානය ගිනිතැබීමෙන් පසුව, පසුගිය සතිය පුරා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හා නේටෝ මධ්‍යස්ථානයන්හි හටගත් විරෝධතා, දැනට වසර එකොලහක් ගතව ඇති එක්සත් ජනපදය මූලිකත්වය ගත් වාඩිලෑම කෙරෙහි එරට ජනතාව තුල ගැඹුරෙන්ම මුල්බැස තිබෙන වෛරය පිලිබඳ සාක්ෂියකි.

ඇෆ්ගන් කම්කරුවෝ ශුද්ධවූ කෝරානය කෙලෙසා ඇති බව සොයාගැනීමෙන් පසුව ආරංචිය රට පුරා පැතිර ගියේය. දකුනු ඇෆ්ගනිස්ථානයේ තලිබාන් මෙහෙයුම් මධ්‍යස්ථානයන්ට බොහෝ දුරින් පිහිටි කුන්දුස් වැනි නගරයන්හි පවා එක්සත් ජනපද කඳවුරුවලට හා එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයන්ට පහර දී ඇත. ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ පොලිස් හා හමුදා භටයින් අතර පවා පැතිර ගිය ඉහවහා ගිය ජනතා විරෝධය පිලිබඳව මාධ්‍ය වාර්තා කලේය.

වොෂින්ටන් පෝස්ට් පත්‍රය, කාබුල් මුර කපොල්ලේ ඇෆ්ගන් පොලිස් භටයින් දෙදෙනෙකු‍ෙගන් උපුටා දැක්වීය. “ඇෆ්ගන් වැසියන් හා ලෝක මුස්ලිම්වරුන් (ප්‍රජාව) විදේශිකයින්ට එරෙහිව නැඟී සිටිය යුතුය. අපට තවත් ඉවසිය නොහැක.” එක් අයෙක් මෙසේ පැවසූ අතර අ‍ෙනකා “අපි දෙදෙනාම විදේශ මිලිටරිකාරයින්ට පහර දෙන්නෙමු” යනුවෙන් පැවසීය.

කාබුල්හි අතිශයින්ම සුරක්ෂිත යයි සැලකෙන, ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ පාලන මධ්‍යස්ථානය ඇතුලත ඇෆ්ගන් නිලධාරියෙක්, එක්සත් ජනපදයේ කර්නල් කෙනෙක් හා මේජර් වරයෙක් මරාදැමීම විශේෂයෙන්ම හෙලිදරව්කාරී සිදුවීමකි. නිලධාරීන් දෙදෙනා කෝරානයට නිගරු කොට, 25 හැවිරිදි අබ්දුල් සබූර් ලෙස හඳුනාගෙන තිබෙන ඇෆ්ගන් නිලධාරියා සමග වාදයක පැටලී තිබේ. එවිට සබූර් අට වතාවක් වෙඩි තබා දෙදෙනාම මරා දැමීය.

ඔහුගේ ක්‍රියාවට පුලුල් සහායක් ලැබෙන බව සලකුනු කරමින්, කිසිදු බාධාවකින් තොරව සබූර් අධි ආරක්ෂිත අමාත්‍යාංශ භූමියෙන් පිටව ගිය බවට වාර්තා පල විය.

ඇෆ්ගනිස්ථානය වාඩිලෑමට එරෙහි මහජන විරෝධතා පැන නැඟීමෙන් විජිතවාදී බලවතුන් කම්පනයට පත්ව තිබේ. සියලු එක්සත් ජනපද මිලිටරි උපදේශකයින් හදිසියේම ඇෆ්ගන් ආන්ඩුවේ අමාත්‍යාංශ වෙතින් ඉවත්කර ගැනීමත් සමග ප්‍රන්සය හා ජර්මනිය ද එසේ කලහ. තලිබාන් විරෝධී යුද මෙහෙයුම්වල ප්‍රධාන ක්‍රියාකලාපය කර්සායිගේ රූකඩ තන්ත්‍රය වෙත පැවරීම සඳහා කැඳවුම් නිකුත් කරන ඔබාමා පාලනයේ මූලෝපාය කුඩු පට්ටම්ව ගියේය.

2001 එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගත් ආක්‍රමනයෙන් පසුව ජනාධිපති ලෙස පත්කරන ලද හා “කාබුල්හි නගරාධිපති” ලෙස දිගු කලක් සරදමට ලක්ව සිටින කර්සායි සම්බන්ධයෙන් ගත් කල, ඔහු තමන්ගේ ම පොලිසිය අතර පවා සමච්චලයට ලක්ව සිටින හා වෛරයට පාත්‍රවූ විදේශීය ආක්‍රමනිකයාගේ අතකොලුවක් ලෙස නිරාවරනය‍ කෙරී ඇත.

ඇමරිකානු හා යුරෝපීය කම්කරු පන්ති‍ෙය් පුලුල් විරෝධය හමුවේ ඇෆ්ගන් ජනතාවට එරෙහිව දියත්කල ආක්‍රමනකාරී යුද්ධය හා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුත් වාඩිලෑමේ ප්‍රතිගාමී ස්වභාව‍යෙන් නිර්දය ලෙස ගලා එන්නකි, බග්රම්හි දී කෝරානයේ ශුද්ධත්වය කෙලසීම.

එවන් යුද්ධයක් නේටෝ රටවල ජනතාවන්ටත් යුද්ධයේ සටන්වැද සිටින සෙබලුන්ටත් පිලිගැන්විය හැකි වූයේ මුසාවාදයේ පදනම මත පමනකි. එක්සත් ජනපද සොල්දාදුවන්ට කියා තිබුනේ, ඇෆ්ගන් ජනතා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, “ත්‍රස්තයට එරෙහි යුද්ධයේ” කොටසක් බව හා, වාඩිලෑමට එරෙහිව සටන් කරන ඇෆ්ගන් වරුනට පහර දෙන විට ඔවුන් කරන්නේ, සැප්තැම්බර් 11දා ප්‍රහාරයන්ට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට පහරදීම බවයි.

එවන් සාපරාධී නව යටත් විජිත යුද්ධයක් අනිවාර්යයෙන්ම තුඩුදෙන්නේ, ඔවුන් ඒ වෙලාවේ මරා දැමූ ඇෆ්ගන් වරුන්ගේ සිරුරුවලට මූත්‍රා කරන එක්සත් ජනපද මැරීන් භටයින්ගේ මෑත වීඩියෝ පටය හෝ ඇෆ්ගන් සිවිල් වැසියන් මරා දැමූ ස්ට්‍රයිකර් බ්‍රිගේඩ්හි සෙබලු, ජයග්‍රහනයේ සලකුනු ලෙස ඔවුන්ගේ ඇඟිලි කපා ගැනීමත් වැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය.

එවන් සිද්ධීන්, ඇෆ්ගනිස්ථානයේ අධිරාජ්‍යවාදී වාඩිලෑම පවත්වාගෙන යාමට සම්බන්ධ, දිනපතා කෙරන අපරාධ හා ප්‍රචන්ඩත්වයේ කොටසකි. නේටෝවේ ගුවන් ප්‍රහාර, පුරුද්දක් වශයෙන් දුසිම් ගනන් අහිංසක සිවිල් වැසියන් දවා හලු කරයි. එක්සත් ජනපද විශේෂ බලකා සෙබලු රාත්‍රී මෙහෙයුම්වල දී නිවාසවලට කඩාපැන පවුල් පිටින් ත්‍රස්ත කරති. දහස් ගනන් අත්අඩංගුවට ගැනීම්, වධ බන්ධන හා රඳවා තැබීම් නොටෝ හමුදා අධීක්ෂනය යටතේ සිදුවේ.

මෙසේ අඛන්ඩව සිදුවන අපරාධයන්ට ප්‍රධාන කොටම වගකිව යුත්තේ, යුද විරෝධී මහජන මතය අවමංගත කොට එය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපසට හරවා යවන ලද දේශපාලන බලවේගයන්ය. ඔබාමා 2008 ජනාධිපතිවරන උද්ඝෝෂනය ගෙන ගියේ, ඇෆ්ගනිස්ථාන යුද්ධය තවදුරටත් පෙරට ගෙන යන, ඉරාක යුද්ධයේ කැපවූ විරුද්ධවාදියෙකු ලෙසය. එතැන් පටන් ඔහු ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදා ශක්තිය තෙගුන කර ත‍ිබේ. ඔහු ධවල මන්දිරයට ඇතුල්වූ දා සිට ඇෆ්ගන් සිවිල් මරන සංඛ්‍යාව වසරක් පාසා ඉහල ගොස් තිබේ.

ඇෆ්ගනිස්ථාන යුද්ධය පෙන්නුම් කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය ද රිපබ්ලිකන් පක්ෂය මෙන්ම අධිරාජ්‍යවාදී යුද්ධයේ හා ආක්‍රමනයේ පක්ෂයක් බවයි. යුද්ධය ඔබාමා පාලනයට පමනක් නොව, 2012 දී ඔබාමා යලි පත්කර ගැනීමේ උද්ඝෝෂනය පිටුපස දැන් ගාල් වෙමින් සිටින, බුෂ් හා රිපබ්ලිකානුවන්ට විකල්ප “යුද විරෝධියෙක්” ලෙස ඔබාමා හුවා දැක්වූ ලිබරල් මෙන්ම ව්‍යාජ සමාජවාදී “වාම” යන සියලු සංවිධානවලට එරෙහි චෝදනා පත්‍රයකි.

යුද්ධයට එරෙහි සමාජ පදනම දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් වෙතින් සොයාගත නොහැකි ය. පසුගිය වසරේදී එක්සත් ජනපදයේ පිටුබලය ලත් ටියුනීසියාවේ හා ඊජිප්තුවේ ඒකාධිපතියන් පෙරලා දමන ලද බලවේගයේ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලින් පමනක් එය සොයාගත හැකිය.

එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද කම්කරුවන්, එක්සත් ජනපද හා නේටෝ හමුදා වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කිරීම, ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කර එය වාඩිලාගැනීමට වගකිවයුත්තන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම හා ඇෆ්ගන් ජනතාවට දැවැන්ත යුද වන්දි ගෙවීම ඉල්ලා සිටිය යුතුය.

පැට්‍රික් මාටින්

Share this article: