ශ්‍රී ලංකා ආන්ඩුවේ මිල වැඩිකිරීම් වලට විරුද්ධ වනු!

Sri Lanka: Oppose the government’s price hikes!

By Socialist Equality Party, 22 February 2012

මෙරට කම්කරුවන් හා ගම්බද ජනතාව මුහුන දී සිටින්නේ, ලෝකය පුරා ධනපති ආන්ඩු විසින් පනවා ඇති කප්පාදුවේ න්‍යාය පත්‍රයට එරෙහිව සිය ගෝලීය සහකරුවන් ද සමග එක් වී එලැඹ ඇති අරගලයකට ය. වැඩකරන ජනතාවට බලකෙරී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ලාභ සහතික කිරීම පිනිස ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදයේ බර කරට ගැනීමට ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඉටුකිරීම සඳහා දිවයින පුරා වැඩකරන ජනතාවට ද කුඩා ව්‍යාපාරිකයින්ට ද බලපාන දරුනු මිල නැංවීම් මාලාවක් ම - පෙබරවාරි 11දා භූමිතෙල් සියයට 49.3කින් ද පෙට්රල් සියයට 8.7කින් ද ඩීසල් මිල සියයට 36.9කින් ද - ආන්ඩුව නිවේදනය කලේ ය.

විදුලි බල ගාස්තු සියයට 20-40 ප්‍රමානයකින් ඉහල දැමීම ද ඇතුලු තවත් මිල වැඩිකිරීම්, පොදු වියදම් කැපීම්, රුපියල අවප්‍රමානය වැනි ග්‍රීසියේ වර්ගයේ කප්පාදු වැඩ සටහනක කොටසකි, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉන්ධන මිල නැංවීම. යුද්ධයේ හා විනාශයේ දශක ගනනාවකින් පසුව කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන මෙම ප්‍රහාරය මහජනතාවට දරාගත නොහැකි ය.

ධීවරයින්, බස් හිමියන්, වතු කම්කරුවන්, සිසුන් හා වෘත්තිකයන් අතර දැනටමත් පැනනැඟී ඇති වැඩවර්ජන හා විරෝධතා මුහුන දී ඇත්තේ රාජ්‍ය මර්දනයට ය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) නැවත නැවතත් අනතුරු අඟවා ඇති පරිදි, දෙමල සුලුතරයට එරෙහි වර්ගවාදී යුද්ධයේදී ගොඩනගන ලද පොලිස් රාජ්‍ය යන්ත්‍රනය, දැන් සමස්තයන් වසයෙන් සිය මූලික අයිතීන් රැකගැනීමට වෑයම් කරන සිංහල හා දෙමල වැඩකරන ජනතාව වෙතට මේ වනවිට හරවා තිබේ.

පෙබරවාරි 15දා හලාවත දී ඇන්ටනි ප්‍රනාන්දු වර්නකුලසූරියගේ ජීවිතය බිලිගනිමින්, විරෝධතා දැක්වූ ධීවරයින්ට පොලිසිය විසින් කල වෙඩිතැබීමට වග කිව යුත්තේ ආන්ඩුව යි. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වෙනම සංවිධානය කල ‍විරෝධතාවන් දෙකක් බිඳ දැමීම සඳහා බැටන්පොලු, කඳුලු ගෑස් හා ජල විදින ටැංකිවලින් සන්නද්ධ සිය ගනනක් පොලිස් භටයන් හා සොල්දාදුවන් සහිත මෙහෙයුම් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කලේය.

පසුගිය වසරේ දී, මැද පෙරදිග කලාපයේ පැනනැඟි සිදුවීම් ගැන හොඳින් දන්නා ජනාධිපති රාජපක්ෂ, මහජනතාවගේ ඕනෑම විරෝධතාවක්, තමන් ආරක්ෂා කරන බංකොලොත් ලාභ පද්ධතියට හා තම පාලන තන්ත්‍රයට එරෙහි මහජන ව්‍යාපාරයක ආරම්භය බවට පත්වනු ඇතැයි බියපත්ව සිටී. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව යුද්ධය අවධියේදී සිදුකලාක් මෙන් ඕනෑම ප්‍රතිරෝධයක් තලා දැමීමට ඔහුගේ ආන්ඩුව නොපසුබට වනු ඇත.

මේතාක් දුරට බෙහෙවින් තිරසාර විරෝධතා පලව ඇත්තේ ඉන්ධන මිල වැඩිකිරීම මගින් සිය ජීවනෝපායන් වැනසී ගොස් ඇති ධීවරයන් වෙතින්ය. ඉන්ධන සහන ඉල්ලා පෙබරවාරි 13දා බොහෝකොට ම සුලු ව්‍යාපාරිකයන් වන පුද්ගලික බස් හිමියන් වැඩ වර්ජනයකට එලඹුනු අතර ආන්ඩුව ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර සියයට 20-28 අතර ප්‍රමානයන්ගෙන් බස් ගාස්තු වැඩි කිරීමට අවසර දුන්නේය. කෙසේ වෙතත් ධීවරයින් එවැනි ගාස්තු වැඩි කිරීමක් කල හැකි තත්වයක නැත. මිල ඉහල නැංවීමේ අර්ථය වනු ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදනයේ අඩු අලෙවිය හා පහත් ආදායම යි.

තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට විරෝධය දක්වන වැඩකරන ජනතාවගේ හා තරුනයින්ගේ සියලු කොටස් වෙත සසප කොන්දේසි විරහිතව සහාය පල කරයි. ඒ සමග ම අප අවධාරනය කරන්නේ, කෙතරම් සටන්කාමී හා ස්වයං කැපකිරීම් සහිත වුවත් විරෝධය පෑම් පමනක් පාලක පන්තීන් හා ඔවුන්ගේ ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන සමාජ ප්‍රතිවිප්ලවය පරාජය කිරීමට සෑ‍හෙන්නේ නැති බවයි. කම්කරු පන්තියට සිය අවශ්‍යතා ආරක්ෂාකර ගත හැක්කේ, මෙම ප්‍රහාරයන්ගේ මූලාශ්‍රය වන ධනේශ්වර පද්ධතියට ම එරෙහිව සටන් වදින ක්‍රියාම‍ාර්ගයක පදනම මත පමනකි.

සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ සටන, නිතැතින්ම විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍ර හා ව්‍යාජ වාම රැඩිකලුන් වැනි පවතින ක්‍රමය ආරක්ෂා කිරීමට කැපවූ සියල්ලන්ට එරෙහි දේශපාලන අරගලයක් සමග බැඳී ගනියි. මෙම ප්‍රතිගාමී කොටස් උත්සාහ කරන්නේ, ජනතාවගේ ඉල්ලීම් ගැන “සානුකම්පිකව සලකා බලන්නැයි” ආන්ඩුවට කරන නිරර්ථක ඉල්ලීම් තුල ඕනෑම මහජන ප්‍රතිරෝධයක් කොටුකර තැබීමට ය. එහෙත් යුරෝපයේ ආන්ඩු මෙන්ම රාජපක්ෂට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ නිර්දේශ ක්‍රියාත්මක කරනු හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැත.

ජාමූඅ න්‍යායපත්‍රයට එජාපය හා ජවිපෙ විරුද්ධ නැත. 1970 ගනන් අග හරියේදී වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලිකකරනය ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගැනීමට මෙන් ම 1983දී එල්ටීටීඊයට එරෙහිව යුද්ධය දියත්කිරීමට ද එජාපය වගකිව යුතුය. යුද්ධයට පූර්න පිටුබලය ලබාදුන් ජවිපෙ, 2004දී රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුව සමග සභාගයකට ඇතුලු වෙමින් එහි ධනපති වැඩපිලිවෙල ක්‍රියාවට නැඟීමට සහභාගි විය. ජවිපෙ සිය රැලියේදී වැඩකරන ජනතාවට පහර එල්ල කිරීම පිලිබඳව දොස් පැවරුවේ, ආන්ඩුවේ “දූෂනයට හා නාස්තියට” මිස ධනවාදයට නොවේ.

නව සමසමාජ පක්ෂයේ (නසසප) හිටපු වම්මු, කම්කරු හා දුගී ජනතා අයිතීන්ගේ ආරක්ෂකයා ලෙස එජාපය ඔජ වඩවමින් දේශපාලනිකව සාපරාධී ක්‍රියාකලාපයක් ඉටු කරති. පෙබරවාරි 17දා කොලඹ පැවති විරෝධතාවේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග එක්වූ නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න, මේ ප්‍රතිගාමී වේදිකාවට “එක් වෙමින් සාපරාධී ආන්ඩුවේ ජනතා විරෝධී ප්‍රහාරයන්ට එරෙහි වන” ලෙස ජනතාවට ආයාචනා කලේය.

පාලක පන්තියේ සියලු කොටස් වලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදියි. එහිදී සසප කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හා ශ්‍රී ලංකා, ඊලම් සමජවාදී සමූහාන්ඩුවක් පිහිටුවමින් රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කිරීමේ සටන තුලට නාගරික හා ගම්බද ජනතාවන් මෙහෙයවීම සඳහා සටන් වදියි. දිරාපත් ධනේශ්වර පර්යායට සමාජවාදී විකල්පයක් වෙනුවෙන් කරන සටනකින් තොරව, වැඩකරන ජනතාවන්ට සිය ජීවන තත්වයන් හා මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගත නොහැකි ය.

වෙන කවරදාකටත් වඩා අද සමාජවාදය සඳහා සටන ජාත්‍යන්තර ක්‍රියාවලියකි. ලෝකය පුරා වැඩකරන ජනතාව හා තරුනයින් මුහුන දෙන්නේ ධනවාදයේ පොදු සතුරාට ය. මෙරට කම්කරුවන් හා දුගීන් මුහුන දෙන්නේ ඊජිප්තුවේ, ග්‍රීසියේ හා ලෝකය පුරා සිය පන්ති සහෝදරයින් මෙන් එක ම සටනකට ය. කප්පාදු න්‍යායපත්‍රයට එරෙහිව මෙරට දී කරන කුමන සටනක් හෝ වර්ධනය වන ජාත්‍යන්තර අරගල රැල්ලක කොටසකි.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් වර්ධනය කිරීම සඳහා කම්කරුවන්, නාගරික හා ගම්බද දුගීන්, තරුනයින් හා වෘත්තිකයන්ගෙන් සසප ඉල්ලා සිටින්නේ, වැඩපොලවල හා ප්‍රදේශබදව ස්වාධීන ක්‍රියාකාරි කමිටු ගොඩනගන ලෙසයි. ආන්ඩුවේ ප්‍රහාරයට ලක්ව ඇති රැස්වීමේ හා අදහස් පල කිරීමේ ප්‍රජාතන්ත්‍ර අයිතිය සුරැකීම පිනිස ආරක්ෂක භටකායන් පිහිටුවීම ද ඇතුලු ආරක්ෂාව සඳහා ගන්නා පියවරයන් ද මීට ඇතුලත් විය යුතුය.

ජාමූඅ න්‍යායපත්‍රයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කමිටුවලට දේශපාලන සහයෝගය ලබාදෙන බවට සසප පොරොන්දු වෙයි. ඒ සමග ම, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද මාක්ස්වාදය සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙනගිය අරගලයේ සමස්ත ඉතිහාසයෙන් පෙරාගත් සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත එවන් අරගල පාදක කිරීමේ අවශ්‍යතාව කම්කරුවන්ට හා තරුනයින්ට උගන්වා ගැනීමේ ප්‍රයත්නයක සසප නිතර වේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප හිතන මතන කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ අපගේ ක්‍රියාමාර්ගය සැලකිල්ලට ගනිමින්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමට දායක වීම සඳහා අයැදුම් කරමින් එය ගොඩ නැඟීමට එක්වන ලෙස යි.

Share this article: