ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමත් සමග විරෝධතා පැන නඟියි

Protests erupt as Sri Lankan government enforces new IMF austerity measures

By Saman Gunadasa, 15 February 2012

ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නිර්දේශ කර ඇති නව කප්පාදු පියවර පැනවීම අරඹනවාත් සමග කම්කරුවන් අතර නොසංසුන්තාවය නැ‍ඟෙමින් තිබේ. දහස් ගනන් දුගී ධීවරයින් හා ධීවර කම්කරුවන්, 11දා රාත්‍රියේ නිවේදනය කල ඉන්ධන මිල නැංවීම වහාම අවලංගු කරන ලෙස හෝ ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ දෙවෙනි දිනටත් විරෝධතා දියත් ක‍ෙල්ය.

වයඹදිග හා දකුනේ සමහර ප්‍රදේශවල වෙරලබඩ ධීවරයින් 13හා 14 දිනවල තම දරු පවුල් ද කැටුව වීදිවලට පැමිනි අතර කෝපයට පත් ධීවරයෝ හලාවත, මීගමුව, කල්පිටිය හා වෙන්නප්පුව වැනි නගරවල ප්‍රධාන මාවත් අවහිර කලහ.

ධීවරයෝ, විරෝධතා පෙලපාලි විසුරුවා හැරීමට පැමිනි පොලිසිය සමග ගැටුනහ. පසුව ආන්ඩුව විරෝධතාකරුවන් බියගැන්වීම පිනිස හමුදාව මෙහෙයවීය. ආන්ඩුව යලි වතාවක් පෙන්වා ඇත්තේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දීර්ඝ වර්ගවාදී යුද්ධය අවධියේ වර්ධනය කරන ලද මිලිටරි ක්‍රමෝපායන් කම්කරුවන් හා දුගීන් මැඩීම සඳහා ද යොදාගනු ලබන බවයි.

Fishing families joining the demonstrationධීවර පවුල් මීගමුවේ පැවති විරෝධතාවන්ට එක් වෙමින්

බොහෝකොටම කුඩා පරිමානයේ පෞද්ගලික බස් හිමියෝ ද ඉන්ධන මිල නැංවීම ඉවත් කරන ලෙස ඉල්ලමින් 13දා වර්ජනයකට එලඹුනහ.

2009දී ජාමූඅ අනුමත කල ඩොලර් බිලියන 2.6ක නයේ මිලියන 800ක ඉතිරි වාරික ලබාගැනීම පිනිස එය සමග නව ගිවිසුමක් අත්සන් තැබීමට අපේක්ෂා කරන බව, පසුගිය 10දා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ඇමති සරත් අමුනුගම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. පොරොන්දුවූ සියලු කප්පාදු පියවර ක්‍රියාවට නඟා නැති බවට ආන්ඩුව විවේචනය කරමින් ජාමූඅ පසුගිය ජූලියේදී මෙම වාරික අත්හිටවනු ලැබීය.

නව ගිවිසුමට ඇතුලත් කොන්දේසි කවරේදැයි අමුනුගම පැහැදිලි කලේ නැත. කෙසේ වෙතත් ජාමූඅ, ආන්ඩුවේ වියදම් කප්පාදුව පවත්වාගෙන යන අතරතුර රුපියල අවප්‍රමානය කිරීමත් පොලී අනුපාත නැංවීම හා ඉන්ධන හා විදුලි ගාස්තු ඇතුලු සහන කැපිය යුතු බවත් කියා තිබුනි.

ආන්ඩුව දැනටමත් ජාමූඅ නිර්දේශ ක්‍රියාවට නැගීමට පටන්ගෙන ඇති බව පැහැදිලිය.

* පෙබරවාරි 03දා සිට මහ බැංකුව රුපියල අවප්‍රමානය වීමට ඉඩහැර තිබේ. ඊයේ වන විට එක්සත් ජනපද ඩොලරයට රුපියල් 113 සිට 120 දක්වා වන පරිදි මුදල සියයට 6න් පමන අවප්‍රමානය වී ඇත. එය තවදුරටත් පහත වැටෙනු ඇති බව සැලකෙයි. අවප්‍රමානය සියලු ආනයනයන්හි මිල ඉහල නංවමින් අනෙකුත් භාන්ඩ හා සේවාවන් කරා ද පැතිර යනු ඇත.

*සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට මරු පහරක් එල්ල කරමින් ආන්ඩුව 11දා පෙට්‍රල්, ඩීසල් හා බූමිතෙල් මිල පිලිවෙලින් සියයට 8, 37 හා 50න් ඉහල දැමීය. මෙය වතුකරය, නිදහස් වෙලඳ කලාප හා ගම්බද ප්‍රදේශ ඇතුලු විශේෂයෙන්ම අඩුම වැටුප් ලබන කම්කරුවන්ට දැඩි පහරකි.

* කම්කරුවන් හා දුගී ජනතාව කබලෙන් ලිපට දමමින් 13දා ආන්ඩුව, පෞද්ගලික හා ලංගම බස් ගාස්තු සියයට 20 සිට 28 දක්වා ප්‍රමානයන්ගෙන් වැඩිකිරීමට අවසර දුන්නේය. ගාස්තු වැඩි නොකිරීම පිනිස බස් හිමියන්ට සහන සැලසීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.

* 14දා විදුලිබල මන්ඩලය සියයට 20 සිට 40 දක්වා ප්‍රමානයන්ගෙන් පොදුවේ විදුලි ගාස්තු නංවන බව නිවේදනය කලේය. විශේෂයෙන්ම එය දුගී පාරිභෝගිකයාට දැඩි ලෙස බලපානු ඇත.

Military blocking the protesting fishermen on the Colombo-Chilaw highwayමිලිටරිය කොලඹ-හලාවත මහා මාර්ගයේ විරෝධතා දක්වන ධීවරයන්ගේ මග අවුරමින්

ඉන්ධන සඳහා ධීවරයින් යැපෙන්නේ ඩීසල් හා භූමිතෙල් මතය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන හර්මන් කුමාර මාධ්‍ය වෙත මෙසේ පැවසීය. “මිල නැංවීමෙන් පසුව දිනක ඉන්ධන වියදම රුපියල් 3,000 සිට 4,500 දක්වා වැඩිවෙයි.”

කම්කරුවන් අතර කැකෑරෙන කෝපය යටපත් කිරීමට වෘත්තීය සමිති, තමන් වැටුප් වැඩිකර ගැනීමේ උද්ඝෝෂන දියත් කරන බව පවසමින් නිවේදන නිකුත් කලහ. ප්‍රජාතන්ත්‍ර කම්කරු සංගමයේ නායක මනෝ ගනේෂන්, තමන් “සංකේත වැඩ වර්ජනයක්” කැඳවන බව පැවසීය. ජනතා විමුක්ති පෙරමුන මෙහෙයවන සමස්ත ලංකා පොදු කම්කරු සංගමයේ සුමතිපාල මානවඩු, මාර්තු මාසය අවසන් වන තෙක් සමිතිය වැටුප් වැඩිවීම් බලාපොරොත්තුවෙන් සිටින බවත් පසුව වැඩ වර්ජනයක් කැඳවන බවත් පැවසීය. සියලු වෘත්තීය සමිති මීට පෙර පැවති වැටුප් අරගල පාවාදෙමින් ආන්ඩුවේ ප්‍රහාරයන්ට මග පාදා දුන්හ.

පෙබරවාරි 04දා ජනාධිපති මහින්ද රාජපක්ෂ තම නිදහස් දින කථාව පවත්වමින් මෙසේ පැවසීය. “ලෝකයේ ආර්ථික අර්බුදය අපේ රටට ද බලපා තිබේ. යථාර්තය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. මේ සියලු දේ හමුවේ අප ලෝකයට අපගේ ධෛර්යයත්, ශක්තියත් පෙන්වීමට සූදානම් විය යුතුය.”

දේශමාමකත්වය පිලිබඳ ප්‍රතිගාමී කතාවට මුවාවී රාජපක්ෂ අදහස් කරන්නේ, ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදයේ බර මෙන්ම, 2009 මැයි මාසයේ අවසන්වූ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ වියදම් මගින් කඳුගැසී තිබෙන දැවැන්ත න‍යෙහි බර ද පැටවීම සඳහා අවශ්‍ය යයි සලකන ඕනෑම පියවරක් ඔහුගේ ආන්ඩුව විසින් ගනු ඇති බවයි.

රාජපක්ෂගේ ප්‍රකාශ එලි දුටුවේ, ජාමූඅ දූත කන්ඩායමේ ප්‍රධානී බ්‍රයන් එයිට්කන්, ඉතිරි නය වාරිකයන්වලට අමුනා ඇති කොන්දේසි ආන්ඩුවට පැහැදිලිකර දීමෙන් දිනකට පසුව ය. ආඥාදායක ස්වරූපය අතින් ජාමූඅ බෙහෙත් වට්ටෝරුව, ග්‍රීසිය හා අනෙකුත් නය බරෙන් මිරිකී සිටින යුරෝපීය රටවලට පනවා ඇති දේට නොඅඩුවන අතර තවමත් ඒ සා දරුනු වී නැතුවා පමනි.

එයිට්කන් මෙසේ පැවසීය. "ආර්ථිකය සවිමත් සාර්ව ආර්ථික පදනමකට ගෙන ඒමේ දී, විශේෂයෙන්ම වත්මන් ගෝලීය වාතාවරනයේ අවිනිශ්චිත භාවය ගැන සලකන කල, තීරනාත්මක ප්‍රතිපත්ති ප්‍රතිචාරයන්ගේ අවශ්‍යතාවය පිලිබඳව (ආන්ඩුව හා ජාමූ අතර) පුලුල් එකඟත්වයක් පවතියි.”

2012 වසරේ අයවැය හිඟයේ ඉලක්කය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.2ක් විය යුතුයයි ඔහු පැවසීය. ආන්ඩුව 2011 වෙනුවෙන් නියම කරගත් සියයට 6.8 ඉලක්කයෙන් බැහැරවී ඇත්තේ එය සියයට 7.2 දක්වා වැඩි කර ගනිමිනි. මෙම වසරට අවශ්‍ය කෙරෙන සියයට 1ක කප්පාදුව සමාජ ශුභසාධන වැඩසටහන්හි තවදුර කැපීමකට මඟ පාදයි. ආන්ඩුව දැනටමත් මාසික සොච්චම් “සමෘධි” සහන දීමනාව ගෙවීම මාර්තු දක්වා කල්දමා ඇත.

ආන්ඩුව 2011 සඳහා නියම කරගත් අයවැය හිඟයෙන් බැහැරවී ඇත්තේ එය සියයට 7.2 දක්වා වැඩි කර ගනිමිනි. රුපියලේ අගය ආරක්ෂා කිරීම නවතා දැමිය යුතු බව ද ජාමූඅ දූත කන්ඩායම අවධාරනය කර තිබේ. පසුගිය ජූලියේ සිට මහ බැංකුව, ගෙවුම් ශේෂ අර්බුදයකට කොන්දේසි සකසමින් රුපියල ආරක්ෂා කිරීම සඳහා බිලියන 2.7ක් තරම් වටිනා එක්සත් ජනපද ඩොලර් අලෙවිකර ඇත.

2011 වසරේ රටෙහි වෙලඳ හිඟය පසුගිය නොවැම්බර් වන විට ඩොලර් බිලියන 8.8කින් හෙවත් සියයට 111න් ඉහල ගිය අතර එය 2010 එම කාලය තුලම පැවතුනේ බිලියන 4.2ක් ලෙසය. ජූලි මාසයේ සිට නොවැම්බර් මාසය අවසානය දක්වා රටේ විදේශ සංචිත, බිලියන 8.2 සිට බිලියන 6.2 දක්වා පහත වැටුනි. එය සියයට 25ක වැටීමකි.

මහ බැංකුව දේශීය පොලී අනුපාත ද ඉහල නංවා නය ද කැටිකර තිබේ. එය වානිජ බැංකුවල නය වර්ධනය මත සියයට 18ක සීමාවක් පනවා, ඒවායේ ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රති විකුනුම් පදනම් අංක 50 බැගින් වැඩිකර පොලී අනුපාත ඉහල යාමට සලස්වන ලදී. එනම් පිලිවෙලින් සියයට 7.5ක් හා 9ක් වශයෙනි.

ආර්ථික අවිනිශ්චිත භාවය කොලඹ කොටස් වෙලඳපොල බුබුල පුපුරවා හැර ඇත. වරෙක එය හුවා දක්වන ලද්දේ ආසියාවේ දෙවන හොඳම ක්‍රියාකාරී මධ්‍යස්ථානය ලෙස ය. පසුගිය සතියේ එය හැඳින්වුනේ නරකට ම කටයුතු කරන තැන ලෙස ය. වසරේ මේ දක්වා සියලු කොටස් මිල දර්ශකය සියයට 17.5න් කඩාවැටී ඇත. “රුධිර ස්නානය” වැනි යෙදුම් රටේ ජනමාධ්‍ය තුල පොදු භාවිතයක් බවට පත්ව තිබේ. අයිලන්ඩ් පත්‍රය 10දා වාර්තා කලේ, “බුවර්ස්හි (කොටස් වෙලඳපොල) ලේ ගැලීම හත්වන දිනටත් එලෙසම සිදුවෙයි” යනුවෙනි.

ගෝලීය අර්බුදයේ බලපෑම හමුවේ වෙවුලුම්කමින් ඇති රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අන රුදුරු ලෙස දිගටම ක්‍රියාවට නගනු ඇත. පසුගිය දින කිහිපයේදී කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ජීවන තත්වයන්ට නොකඩවා එල්ල කල ප්‍රහාර, ඉදිරියේ එන මෘග පියවර පිලිබඳ අනතුරු ඇඟවීමක් වන අතර සමාජ පිපිරීම් හා ප්‍රධාන කම්කරු පන්ති අරගලයන් සඳහා වේදිකාව සකසයි.

Share this article: