උද්ඝෝෂනයට එල්ල කල පොලිස් ප්‍රහාරයෙන් ධීවරයෙකු මරනයට පත් වෙයි

Fisherman killed as Sri Lankan police fire on protest

By our correspondent, 16 February 2012

ආන්ඩුව විසින් මෙහෙයවන ලද පොලීසිය හලාවත වැල්ලේ විරෝධතාවයේ යෙදී සිටි ධීවරයන්ට වෙඩි තැබීමෙන් එක ධීවරයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූහ.

වෙඩි තැබීම සිදුවන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියමකරන ලද කප්පාදු පැකේජයේ කොටසක් ලෙස ආන්ඩුව විසින් සියයට 50 න් තෙල් මිල ඉහල දැමීමට එරෙහිව ධීවරයෝ තෙවන දිනයේත් විරෝධතාවයේ යෙදී සිටිය හ. තවදුරටත් පෙලපාලි හා විරෝධතා පැතිර යතැයි භීතියෙන් බදාදා සවස සිට පසුදින උදේ වනතුරු ප්‍රදේශය තුල පොලිස් ඇඳිරි නීතිය පැන වී ය.

පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දරු දෙදෙනෙකුගේ පියෙකු වන 35 හැවිරිදි ඇන්ටනි වර්නකුලසුරිය එතැනදී ම මරනයට පත් විය. වෙඩි උන්ඩයක් ඔහුගේ නාසයට යටින් මුහුන පසාරු කරගෙන ගොස් තිබුනි. පපුවට වෙඩි වැදී බරපතල තත්වයක සිටි සෙලස්තියන් රේගන් කොලඹ ජාතික රෝහලට මාරු කර එවී ය. තුන්වන විරෝධතා කරුවෙකුගේ දනහිස තුවාල වූ අතර කඳුලු ගෑස් ප්‍රහාරයකින් බේරීමට උත්සාහ කල තවත් අයෙකුගේ ඇඟිලි තුනක් අහිමි විය.

Warnakulasuriya's body in Chilaw hospitalහලාවත රෝහල තුල තිබු වර්නකුලසුරිය ගේ දේහය

අඟහරුවාදා හලාවත නගරයේ උද්ඝෝෂනය කිරීමෙන් පොලීසිය හා හමුදාව විසින් ධීවරයන් වැලැක්වීමෙන් පසුව බදාදා උදේ හලාවත වැල්ල පල්ලියට 4,000 ට වැඩි පිරිසක් රැස් වූ හ. ආන්ඩුව විසින් අඟහරුවාදා නිවේදනය කල සොච්චම් සහනාධාරය ප්‍රතික්ෂේප කල ඔව්හු මිල වැඩි කිරීම ඉවත් කර ගන්න ලෙස ඉල්ලා සිටිය හ.

සියයට 80 ක පමන සහනාධාරයක් ලබා ගැනීම සඳහා ආන්ඩුව සමග සාකච්චා කරමින් සිටින බව කියමින් ධීවර උද්ඝෝෂන‍ය නතර කිරීමට කතෝලික පුජකවරු උත්සාහ කල හ. ආන්ඩුව විසින් කලින් දුන් එවැනි පොරොන්දු සියල්ලම බොරු බව ඔප්පු වී ඇතැයි ධීවරයෝ කෑගැසූ හ.

ධීවරයන් පා ගමනක් ආරම්භ කර මීටර් 500 ක් පමන ඉදිරියට යාමත් සමග පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අතර පොලිස් විශේෂ කාර්යසාධක බලකාය (එස්ටීඑෆ්) කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව, ජීව උන්ඩවලින් වෙඩි තැබීය. තුවාල ලැබූ අය බෝට්ටු මගින් ලඟ පිහිටි කලපුව හරහා ගෙන යන ලෙස බල කරමින්, ඔවුන්ව රෝහලට ගෙන යාමට පොලීසිය ඉඩ නො දුන්නේ ය.

හලාවත වැල්ල තුල නොසන්සුන්කම ඉහල යමින් තිබේ. වර්නකුලසුරියගේ මරනය ගැන සැලවීමත් සමග පවුලේ සාමාජිකයෝ සහ ධීවරයෝ 15,000 ක් පමන බදාදා සවස වැල්ලට රැස්වූ හ. නගරයට පෙලපාලි නොයන ලෙස ආයාචනය කරමින් පූජකවරු මැදිහත් වූ හ. ආන්ඩුව තව තවත් පොලීසිය, එස්ටීඑෆ් හා හමුදාව හලාවතට යැවී ය. බදාදා සවස් වන විට හලාවත නගරය හා අවට ප්‍රදේශය දිස් වූයේ යුද පිටියක් මෙනි.

පොලීසිය, මුලදී වර්නකුලසුරිය ගේ දේහය කොලඹට ගෙන ඒමට උත්සාහ කල නමුත් ජනතාව ඊට ඉඩ නො දුන්නේ ය. මහජන විරෝධය ඉදිරියේ, පලාත් සභාවේ ධීවර ඇමති සනත් නිසාන්තට රෝහලෙන් පිට වී යාමට සිදු විය.

පොලිස් වෙඩි තැබීම, මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් නියෝග කොට ගනන් බලා එල්ල කල ප්‍රහාරයකි. එය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ක්‍රියාවට දමන කප්පාදු පියවරවලට එරෙහි මොනම විරුද්ධත්වයක්වත් නො ඉවසන බවට නිකුත් කල පනිවුඩයකි.

ඩීසල් මිල සියයට 37 න් හා ලාම්පු තෙල් මිල සියයට 50 න් වැඩිකිරීම මාලු ඇල්ලීම සඳහා නොදියුනු තාක්ෂනයක් සහිත බෝට්ටු යොදා ගන්නා ධීවරයන් ඇතුලු ජනතාවගේ වඩාත් දුප්ප්පත් කොටස්වලට මහත් විනාසයක් අත්කර දෙනු ඇත.

ජාමුඅහි සෙසු කොන්දේසි මගින් රුපියලේ අගය පහත හෙලීම, විදුලි ගාස්තු ඉහල දැමීම, අය-වැය පරතරය අඩු කිරීම හා නය සීමා කිරීමක් ඉල්ලා සිටියි. මෙම හැම පියවරක් ම කම්කරුවන්ගේ හා දුප්පතුන් ගේ ජීවන කොන්දේසිවලට තදින්ම බලා පානු ඇත.

ජාමුඅ කලින් දීමට එකඟ වූ නයෙන් ඩොලර් මිලියන 800 ක් වූ අවසාන වාරික දෙක ලබා ගැනීම සඳහා නව ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වන තතු තුල ආන්ඩුව දැනටමත් මෙම ප්‍රහාර ක්‍රියාවට දැමීමට පටන් ගෙන තිබේ.

ආන්ඩුව මුලින් ම 2009 දී, නය මුදල ලබා ගත්තේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දිගු කාලීන වාර්ගික යුද්ධයෙන් පසුව මුහුන දුන් ගෙවුම් ශේෂ අර්බුදයක් මධ්‍යයේ ය. දැන්, තීව්‍ර වන යුරෝපීය හා ලෝක මුල්‍ය අර්බුදය සමග අභිමුඛ වන තතු තුල, කම්කරුවන් දුගීන් හා තරුනයන් විසින් එහි ප්‍රතිපත්ති වලට දක්වන කවර හෝ විරුද්ධත්වයක් කෙරෙහි ආන්ඩුව අතිශයින් ම කැලඹෙන සුලු ය.

Warnakulasuriya's motherවර්නකුලසුරිය ගේ මව

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට අදහස් දැක් වූ වර්නකුලසුරියගේ ඤාතියෙක් ප්‍රකාශ කලේ: "වෙඩි තියන්න අන දුන්නේ ආන්ඩුව. අපි උද්ඝෝෂනය කලේ සාමකාමීව. යුද්ධයක දී වගේ බිම දිගා වෙමින් පොලීසිය වෙඩි තිබ්බ" ඔහු ආන්ඩුව හෙලා දුටුවේ ය. "ඉන්ධන මිල ඉහල දාලා මේ අපරාධය අපට කලේ ඒ ගොල්ලොයි. උද්ඝෝෂනය කරන්න අපට අයිතියක් තියෙනව. මේ විධිහේ අපරාධවලට අපි ඉඩ නොදිය යුතුයි"

මාලු ඇල්ලීමෙන් ජීවිකාව ගෙන යන්න බැරි නිසා වර්නකුලසුරියගේ බිරිඳ පසුගිය මාසයේ සවුදි අරාබියට ගිය බව ඤාතියෙක් පැවසුවේ ය. "ඔවුන් ගේ ලමයි තවමත් ඉස්කෝලේ යනවා. ඔවුන් ගැන කවුද බලා ගන්නේ? ඔහු ඇසුවේ ය.

මිල ඉහල දැමීම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින්, ධීවරයෝ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ දහස් ගනනක්, විශේෂයෙන් ම වයඔ දිග වෙරබඩ ප්‍රදේශය තුල, පසුගිය දින තුන පුරා විරෝධය දක්වා තිබේ. විරෝධතා උද්ඝෝෂන දකුනේ සමහර ප්‍රදේශවලට පැතිරෙන තතු තුල ඩීසල්වලට රුපියල් 12 ක හා ලාම්පුතෙල්වලට රුපියල් 25ක සහනාධාරයක් නිවේදනය කරමින් මහජන කෝපය තුනී කිරීමට ආන්ඩුව උත්සාහ කලේ ය. එවැනි සහනයක් ලැබුනත්, ඩීසල් සහ ලාම්පුතෙල් මිල වැඩි වීම පිලිවෙලින් රුපියල් 31 හා 35 කි. කෙසේ නමුත්, එවැනි පොරොන්දු දීම සම්බන්ධයෙන් ආන්ඩුව කුප්‍රකට ය.

විරෝධතාවයේ යෙදෙමින් සිටි ධීවර පවුල් හමු වීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන් කන්ඩායමක් හලාවත අවට ප්‍රදේශ කිහිපයකට ගියේය. මහවැව ධීවරයෙකුගේ බිරිඳක් මෙසේ පැවසීය: "සහනාධාර දීම ගැන ආන්ඩුවේ පොරොන්දු බොරු. මුලින් ඒ ගොල්ලෝ අපට කීයක් හරි දීලා, පස්සේ ඒක සම්පූර්නෙන් ම කපයි. තෙල්වල මිල ඉහල යනවා කියන්නේ අනික් ඔක්කොම බඩුවල මිල ඉහල යනවා".

අධිශීතකරන නැති නිසා බොහෝ ධීවරයන්ට තමන් අල්ලන මාලු අඩු මුදලට විකිනීමට බලා කෙරෙන බව ඇය කීවා ය. ඔරොත්තු දිය නො හැකි තෙල් මිල නිසා සමහර ධීවරයන් දැනටමත් ඇන්ජිම් රහිත බෝට්ටුවලට මාරුවී ඇති බව ද ඇය කී වා ය.

Mahawewa protesters මහවැව දී උද්ඝෝෂනයේ යෙදුන ධීවරයන් පිරිසක්

"නවීන පසුකම් නැතිව මේ රස්සාව කරන්න බැහැ. එත්, ඒ පහසුකම් අපට සපයන්න ආන්ඩුවට ව්‍යාපෘතියක් නැහැ. අපි පන ගැට ගහ ගන්නේ ධීවර සමිතිවලිනුයි, සෙඩෙක් එකෙනුයි (පල්ලිය විසින් පාලනය කරන සුබසාධන සංවිධානයක්) ලැබෙන ආධාරවලින්. මම සෙඩෙක් එකට රුපියල් 250,000 ක් නයයි." තවත් ධීවරයෙකු ප්‍රකාශ කලේ ය.

වෙනත් ධීවරයෙකු ප්‍රකාශ කලේ: "යුද්ධෙ තියෙන කොට ඒක ඉවර වුනාට පස්සේ අපට සහන දෙන්නම් කියල ආන්ඩුව කිව්වා. දැන් කෝ ඒ සහන? යුද්ධෙන් පස්සේ ඕනෑම තැනක මාලු අල්ලන්න ඉඩ දෙනව කියල අපිට පොරොන්දු වුනා. දැන් ලඟ තියෙන කල්පිටියට යන එකත් අපිට තහනම්, ඒ ප්‍රදේශය සංචාරක පාරාදීසයක් විදිහට සංවර්ධනය කරනවා."

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප ) මන්ත්‍රීවරුන් පිරිසක් හා මෑත දී ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩුන ජන අරගල ව්‍යාපාරයේ (පීඑස්එම්) ප්‍රාදේශීය නායකයන් මහවැව දී උද්ඝෝෂනයේ යෙදුන ධීවරයන් ගේ කෝපය ගසාකෑමට හා අපසරනය කිරීමට උත්සාහ කලේ ය. "අපිට ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නැහැ. අපිට ඒක කරන්න බැහැ. අපි උද්ඝෝෂනය කරනවා විතරයි" පීඑස්එම් සාමාජිකයෙක් හා ප්‍රදේශයේ ධීවර සමිතියේ සභාපති පැවසුවේ ය.

තමන් මෙවර ආන්ඩුවට ඡන්දය දුන් බව එක් පුද්ගලයෙක් කීවේ ය. කලින් පැවති සභාග ආන්ඩුවට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සම්බන්ධ වීමට පෙර ඔහු ජවිපෙ ට ඡන්දය දුන්නේ ය. "කවුරුවත් අපේ යහපතට කිසිම දෙයක් කලේ නැහැ. අපිට අලුත් විදිහේ ආන්ඩුවක් ඕන." ඔහු කීවේ ය.

කෙසේ නමුත් සිදුවී ඇත්තේ, දිගු කාලයක් පුරා කැටිවී තිබෙන ධීවරයන්ගේ ප්‍රශ්න එක් ආන්ඩුවකින් පසුව බලයට එන තවත් ආන්ඩුවක් යටතේ වඩාත් නරක අතට හැරීම පමනි. වඩ වඩා දරුනු ප්‍රහාර හා මර්දනය හැර කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් මේ ආර්ථික ක්‍රමයට ඇත්තේ නැත. ධීවරයන්ට තම කොන්දේසි රැකගැනීමට හා වැඩි දියුනු කර ගැනීමට හැකිවන්නේ ලාබ පද්ධතිය පෙරලා දමා, වැඩකරන ජනතාවගේ යහපත සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමෙන් පමනි.

මෙම අරගලයේ දී, දැන් රාජපක්ෂ ආන්ඩුවේ ඉලක්කය බවට පත් වී සිටින ධීවර ජනතාව ආරක්ෂා කිරීම සඳහා පෙරට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියේ සියලුම කොටස්වලින් ඉල්ලා සිටී.

Share this article: