කුප‍්‍රකට සුදු වෑන්වලින් පැමිනි සන්නද්ධ මැරයින් දෙමල ව්‍යාපාරිකයා පැහැර ගෙන යයි

By Wasantha Rupasinghe, 27 February 2012

පොලිසිය විසින් තමන්ට කරන ලද වධබන්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට දින දෙකක් තිබිය දී කොලඹ වැල්ලවත්ත ප‍්‍රදේශයේ දෙමල ව්‍යාපාරිකයෙකු කුප‍්‍රකට සුදු වෑන් රථයකින් පැමිනි සන්නද්ධ මැර කල්ලියක් විසින් පැහැර ගැනුනි. අසල්වැසියන් බලා සිටිය දී, තමන්ගේ බිරිඳ හා දියනිය ඉදිරිපිට පසුගිය පෙබරවාරි 11 දා සවස මෙසේ පැහැර ගැනුනේ, 42 හැවිරිදි රාමසාමි ප‍්‍රභාකරන් ය. යුද සමයේ දී අඛන්ඩව සිදු කෙරෙමින් පැවැති හා අනතුරුව යුද්ධයෙන් පසුව ටික කලකට අඩු වී තිබූ මෙම පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම් දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව අර්බුදයේ කි‍ඳෙන තතු තුල ඉහල නගිමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ මිලිටරිය සහ එය සමග එක්ව වැඩ කරන අතුරු සන්නද්ධ ඝාතක කල්ලි විසින් පසුගිය කාලයේ දී මෙවැනි පැහැර ගැනීම් සිදු කර තිබේ. මහ දවල්, කිසිදු බියක් සැකයක් නැතිව කෙරුනු මෙම පැහැර ගැනීම ද එම කන්ඩායම් විසින් සිදු කල බවට සැක මතු වේ.

කොලඹ බම්බලපිටිය මැජෙස්ටික් සිටි වෙලඳ සංකීර්නයේ විද්‍යුත් උපකරන අලෙවි සැලක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයෙක් වූ රාමසාමි, ප‍්‍රහාරක රයිෆල් හා අත් බෝම්බවලින් සන්නද්ධ දාමරිකයින් සත් දෙනෙකු විසින් බලාත්කාරයෙන් ම ඔවුන් පැමිනි වෑන් රථය තුලට කුදලා ගෙන දෙහිවල ප‍්‍රදේශයට පලා ගොස් තිබේ. තම ඇස්පනාපිට සිදුවන අපාරාධය දැක දැකත් අසල්වැසියන් රාමසාමි බේරා ගැනීමට ඉදිරිපත් නොවූයේ එය ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන බවට සැකකර තම ජීවිත පිලිබඳ බියට පත් වීම නිසා විය හැකිය.

තම සැමියා පැහැර ගැනීම පිලිබඳව රාමසාමිගේ බිරිඳ වැල්ලවත්ත පොලිසියට පැමිනිලි කරමින් වෑන් රථයේ අංකය ද ලබා දුන්නා ය. එහෙත් පොලිසිය පැවසුවේ එම අංකය "ව්‍යාජ” එකක් බවයි. මෙවැනි සෑම සිදුවීමක දී ම කරන්නාක් මෙන් පොලිසිය මාධ්‍යය වෙත සඳහන් කලේ, "වාහනය පිලිබඳ දිවයින පුරා අනතුරු ඇඟවීම් නිකුක් කර” තිබෙන බවයි. සිදුවීමෙන් සති තුනකටත් වැඩි කලක් ගතවීත් කිසිදු තොරතුරක් තවමත් පොලිසිය විසින් සොයා ගෙන නොමැති වීම මිලිටරියට සම්බන්ධ කල්ලි විසින් මෙම පැහැර ගැනීම කල හැකි බවට වන සැකය තවත් දැඩි කරයි.

රාමසාමි පැහැර ගැනුනු සවස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින් දෙදෙනෙක් ඔහුගේ නිවසට පැමින තමන් මෙම පැහැරගැනීමට සම්බන්ධ නැති බවත් සැමියා සොයා දීමට "කලහැකි සෑම දෙයක්ම සිදුකරන බවත්”පොරොන්දු වී යැයි රාමසාමිගේ බිරිඳ මාධ්‍ය වෙත සඳහන් කලාය. එදින ම ඇයට දුරකථන ඇමතුමක් දුන් නාඳුනන පුද්ගලයෙක් ඇගේ සැමියා නිදහස් කර එවීමට නම් රුපියල් මිලියන 100ක කප්පමක් ගෙවන ලෙස තර්ජනය කලේය.

පැහැර ගැනුනු ව්‍යාපාරිකයා මීට පෙර වසර දෙකක් තිස්සේ නීති විරෝධී අයුරින් පොලිස් රැඳවුම්භාරයේ තබාගෙන සිටි අතර එම කාලය පුරාම තිරස්චීන වධ බන්ධනයට පාත‍්‍ර වූ අයෙකි. ආන්ඩුව විසින් සිය විරුද්ධවාදීන්, විශේෂයෙන් ම ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත්වලට විරුද්ධ දෙමල ජාතිකයන් සිරගත කොට වධබන්ධන පැමිනවීමටත් මරා දැමීමටත් යොදාගත් ඊනියා "එල්ටීටීඊ සැකකරුවෙක්” යන ලේබලය රාමසාමිට ද ඇලවූ කොලඹ අපරාධ මර්දන ඒකකයේ (සීසීඩී) නිලධාරීන් විසින් මෙලෙස ඔහු වධයට පත් කර තිබින. කෙසේ වෙතත්, රාමසාමිට එරෙහිව ගොතා තිබූ බොරු චෝදනා කිසිවක් සනාථ කිරීමට පොලිසියට නොහැකි වීමෙන් පසු 2011 සැප්තැම්බර් මාසයේ දී ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවිය ඔහුව නිදොස් කොට නිදහස් කලේ ය.

නිදහස ලැබීමෙන් අනතුරුව තමාට සිදු වූ අසාධාරනයට එරෙහිව රාමසාමි ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී සීසීඩීයේ ඉහල පොලිස් නිලධාරීන් විසින් සිදු කල අමානුෂික වධ බන්ධන පිලිබඳ ඇඟ කිලිපොලා යන කරුනු ඉදිරිපත් කලේය. රාමසාමි සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී රුපියල් මිලියන 90ක වන්දියක් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ගෙවන ලෙස ඉල්ලා තිබින.

පෙත්සම්කරුට අනුව, 2009 වසරේ මැයි 16 දින නිලධාරීන් සමග වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් කීප දෙනෙකු පැමින රාමසාමිට අයත් ගමන් බලපත් හා ඔහුගේ ව්‍යාපාරවලට අයත් ලිපි ලේඛන ඇතුලු පෞද්ගලික ලේඛන රැගෙන ගොස් තිබේ. අදාල දිනයේ දී ව්‍යාපාරිකයා ඉන්දියාවට ගොස් තිබූ අතර සිදුවීම වාර්තා වීමෙන් පසු සිය ගමන අතරමග නවතා මැයි 19 දා ආපසු ලංකාවට පැමින පොලිසිය වෙත වාර්තා කලේය.

පොලිසියට ගිය හෙතෙම දෙමටගොඩ සීසීඩීය විසින් රැඳවුම්භාරයට පත් කෙරුනි. එයින් දින හතරකට පසු එනම් මැයි 23 දා ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී (එස්එස්පී) වාස් ගුනවර්ධන විසින් සීසීඩීයේ තුන් වන තට්ටුවේ කාමරයකට ඔහුව රැගෙන ගොස් යකඩ පොල්ලකින් ඉතා ම්ලේච්ඡ අන්දමින් පහර දී ඇත. මේ අතර තවත් පොලිස් නිලධාරියෙක් කිසියම් දෙයකින් ඔහුගේ වම් කම්මුලට පහර දුන්නේ ය. අනතුරුව මිරිස් කුඩු සමග පෙට්රල් කවලම් කල පිරවූ සෙලෝපේන් කවරයකින් රාමසාමිගේ හිස ආවරනය කෙරුනු අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහු සිහිසුන්ව ඇද වැටින.

නිදහස් වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලියමින් තමන්ට සිදු වූ අසාධාරනය පිලිබඳව පෙත්සම්කරු මෙසේ ලියුවේය: ". . . [සීසීඩී නිලධාරීන්] මාස දහ අටක් තිස්සේ මුලු දවසක් පුරාම මගේ කකුල් දෙකෙන් එල්ලා ලී කොටයකින් දරුනු ලෙස පහර දුන්හ, මගේ හිසට ඇනවලින් තට්ටු කලහ, මගේ නියපොතු උගුලුවා දමන ලදි, මේ සියලු ම වධ දීම්වලින් අනතුරුව බිම වැටී තිබූ මගේ ම ලේ මගේ දිවෙන් පිරිසිදු කිරීමට බල කලහ.” රාමසාමි දරුනු වධබන්ධනවලට ලක් කර ඇති බව අධිකරන වෛද්‍ය නිලධාරියා විසින් ද සනාථ කොට තිබින.

ව්‍යාපාරිකයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ සීසීඩී ඉහල නිලධාරීන් නිසැක ලෙස ම තමන් සිදුකල ම්ලේච්ඡ ක‍්‍රියා මෙලෙස අනාවරනය වීම ගැන සලිත වී සිටි බවත් සිය තනතුරුවල අනාගතය ගැන සිත් කලබල කරගෙන සිටි බවත් නිසැක ය.

රාමසාමි පැහැර ගෙන ගිය එම සතියේ ම මහ දවල් එක් පුද්ගලයෙක් පැහැර ගැනුනේ අධි ආරක්ෂාව යොදා ඇති ඉහල අධිකරන සංකීර්න භූමිය තුලදී ය. මත්ද්‍රව්‍ය විකිනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබූ එම පුද්ගලයා උසාවියට කැඳවා ගෙන යමින් සිටිය දී සන්නද්ධ තුවක්කුකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තබන බවට තර්ජනය කර සුදු වෑන් රථයක් තුලට දමා පැහැර ගෙන ගියෝ ය. ඒ, නීතිඥයින්, පොලිස් නිලධාරීන් හා සිරකරුවාගේ පවුලේ අය බලා සිටිය දී ම ය.

පසු දින නාරාහේන්පිට ප‍්‍රදේශයේ තිබී හඳුනාගත නොහැකි ලෙස පිලිස්සුන නිරුවත් මල සිරුරක් සොයා ගැනුනි. පාතාලයට සම්බන්ධ හා කුඩු වෙලඳාමේ නිරත වී යැයි කියන පුද්ගලයින් තිදෙනෙක් එම සතියේ දී ම දෙහිවල ප‍්‍රදේශයේ දී පැහැර ගෙන තිබූ අතර ඔවුන් පිලිබඳව ද කිසිදු තොරතුරක් මේ දක්වාමත් නැත. මෙම පැහැරගැනීම්වලට ආසන්නතම හේතුවක් විය හැක්කේ පාතාලය සමග පොලිසියට හා දේශපාලනඥයින්ට ඇති සම්බන්ධය හෙලිදරව් වේය යන බිය යයි සැකකල හැකි ය. කෙසේ වෙතත්, අපරාධ පිලිබඳව සැකපිට යැයි අල්ලා ගත් පුද්ගලයින් ගනනාවක් ම බොරු හේතු දක්වා පොලිසිය විසින් නීතිය නොතකා ම මරා දැමින. පොලිසිය විසින් මෙලෙස ක‍්‍රියා කිරීම අඛන්ඩව ම සිදු වේ.

ජනාධිපති උදේ සවස ජපකරන ඊනියා "නිදහස්” හා "යුක්තිගරුක සමාජයේ” ඇත්ත තත්වය මෙය යි. එහෙත් මෙම එකදු සිදුවීමක් වත් හුදකලා හෝ අහම්බ සිද්ධීන් නො වේ. ඒ වෙනුවට ඒවා පිලිබිඹු කරන්නේ රාජපක්ෂ ආන්ඩුව ගිලී ඇති අර්බුදයේ තත්වය යි. යුද සමයේ දී දෙමල ජනයාටත් ආන්ඩුවේ දේශපාලන විවේචකයන්ටත් විරුද්ධව ආරක්ෂක අංශ විසින් යොදාගත් ප‍්‍රධාන අවිය වූයේ මිලිටරිය හා සන්නද්ධ කල්ලි යොදවා ඔවුන් ත‍්‍රස්ත කිරීම, පැහැර ගෙන යාම හා ඝාතනය කිරීම යි. මෙම ම්ලේච්ඡ ක‍්‍රියා රාජපක්ෂ පාලනය විසින් ගොඩ නගමින් සිටින පොලිස් රාජ්‍යයේ එක් පැත්තක් පෙන්නුම් කරයි.

Share this article: