හමුදාව, පැහැර ගැනීම්වලට එ‍රෙහි යාපන‍යේ විරෝධතා කඩාකප්පල් කරයි

By our correspondent, 25 January 2012

ද්‍රවිඩ දේශපාලන ක්‍රියාකාරින් දෙදෙනෙකු පැහර ගැනීමට එරෙහිව විපක්ෂ කන්ඩායමක් විසින් සංවිධානය කෙරුනු විරෝධතාවකට ජනවාරි 17දා ශ්‍රී ලංකා යුද හමුදාව තහංචියක් දැමී ය. මෙය යුද්ධ‍යෙන් වැනසී ගිය උතුරු පලා‍ත තුල ආන්ඩුව හා හමුදාව විසින් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එ‍රෙහිව තීව්‍ර ‍ කෙරෙන ප්‍රහාර‍යේ ‍කොටසකි.

2009 මැයි මාසයේ දී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධනය (එල්ටීටීඊ) පරාජය කල යුද්ධ‍යෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ‍ගේ ආන්ඩුව උතුරු පලා‍තේ මිලිටරි වාඩිලෑම් තීව්‍ර කර ඇත.

දෙසැම්බර් 9දා පැහර ගැනුනු තම සාමාජිකයින්දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් නිදහස් කරන ලෙස ඉල්ලා වි‍රෝධතාව සංවිධානය ක‍ලේ, විපක්ෂයේ ජනතා විමුක්ති ‍පෙරමු‍නෙන් (ජවිපෙ) කැඩී ගිය කන්ඩායමක් වන ජන අරගල ව්‍යාපාරය (පීඑස්එම්) විසිනි. මෙම දෙදෙනා ‍මෝටර් බයිසිකලයකින් අවරන්ගල් ගමේ සිට යාපනය බලා යද්දී පැහර ගැනුනි. එයට හමුදාවේ කිසිදු සම්බන්ධයක් නැති බව කියා ඇතත්, ජන අරගල ව්‍යාපාරය තමන් රැස් කල තොරතුරු මගින් ආරක්ෂක හමුදාවල සම්බන්ධය පෙන්වන බව අවධාරනය කරති.

ජන අරගල ව්‍යපාරය යාපන නගර‍යේ වි‍රෝධතා පෙලපාලියක් සඳහා දකුනේ සිට වාහනවලින් පුද්ගලයන් සිය ගනනක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබුනි. එකී ව්‍යාපාරයට අනුව, වවුනියාවට දකුනින් පිහිටි පූනෑව නම් ස්ථාන‍යේ සිට පුලියන්කුලම දක්වා පොලීසිය හා හමුදාව ඔවුන්ගේ බස්රථ හා අ‍නෙකුත් වාහන 20ක් නතර කර අසාමාන්‍ය ලෙස පරීක්ෂාවට ලක් කලේය. හමුදාව විසින් පාලනය ‍කෙ‍රෙන ඕමන්තේ ප්‍රධාන මුර ක‍පොල්ලේ දී හා පුලියන්කුල‍මේ දී ‍ මෙම කන්ඩායම එම අතවරයට ම මුහුන දුන්හ.

පුලියන්කුලමේ දී‚ මාර්ගය ප්‍රතිසංස්කරනය ‍ කෙ‍රෙමින් පවතින බව හා ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිරියට යාම අපහසු බව හමුදාව සංවිධායකයන්ට දැනුම් දුන්හ. අ‍නෙක් පාර ඔස්සේ යාමට දීර්ග කාලයක් ගතවන බව දැනගත් කන්ඩායම නැවත පුලියන්කුලමට පැමිනියත් ඉහල බලධාරීන් ඔවුන් නතර කිරීමට අනකල බව පවසමින් හමුදාව ඔවුනට ඉදිරියට යාමට ඉඩ ‍ නොදුන්‍හ. එදින ලොරියක තිබී හමුදාව බෝම්බයක් සොයාගෙන ඇතැයි යන සුපුරුදු හේතුව ඔවුන් ඉදිරිපත් කලේය.

හමුදා බලධාරීහු යාපනය නගරයේ මුර සංචාර හා තත්වය නිරීක්ෂනය කිරීම පිනිස හමුදා‚‍ පොලිස් හා ඔත්තුකරුවන් විශාල පිරිසක් යොදා තිබුනි. නගරයට ආ‍වේ කුමක් නිසා ද වැනි ප්‍රශ්න අසමින් ඔවුන් සාමාන්‍ය ජනතාව බිය වැද්දීමට උත්සාහ කලේය. මාධ්‍ය සාකච්ඡාවට පැමිනි මාධ්‍යවේදීන්ගේ වාහනවලට ද හමුදා ‍භටයන් බවට සැක‍කෙරුනු අය අල‍භහානි කර තිබුනි.

මෑත මාසවල දී හමුදාව යාපන‍යේ මහජනතාව ත්‍රස්ත කිරීම හා බියවැද්දීම වැඩි කර ඇත. යුද්ධය අතරතුර දී පැහර ගත් පුද්ගලයින්ගේ ඥාතීන්‍පැවැත්වූ වි‍රෝධතාවක් කඩාකප්පල් කිරීමට ‍ දෙසැම්බර් 9 ‍වැනිදා හමුදාව මැදිහත් වූහ. උතුරු පලාත තුල පමනක් පුද්ගලයන් කීප‍දෙ‍නෙකු පැහැර ගැනුන අතර ඝාතනය ‍කෙරුනු සමහර පුද්ගලයින්ගේ මල සිරුරු හමු වී ඇත.

වීරරාජ් හා මුරුගානන්දන්ගේ අතුරුදහන්වීම පිලිබඳව ජනවාරි 19වැනිදා පාර්ලි‍මේන්තුව තුලදී නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ‍ දෙමින් කැබිනට් ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ‍ පොලීසිය කන්ඩායම් කීපයක් ‍යොදවා ඇති බව කී‍වේ ය. ඔවුන් පුද්ගලයන් 13කු ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතත්, “සුදු වෑන්” රථයකින් එම පුද්ගලයන් පැහර ගෙන ගිය බවට සාක්ෂි නොවී ය - “සුදු වෑන්” යනු ආරක්ෂක හමුදා හෝ පැරා මිලිටරි කන්ඩායම් විසින් පැහර ගෙන යාමට යොදා ගන්නේ යයි සැක කෙරෙන වාහනයි.

එවැනි පොලිස් වාර්තා හුරු පුරුදු අභ්‍යාසයකි. පැහර ගෙනයාම් සිදුවුන විට එයට ලක්වූවන්ගේ ඥාතීහු හෝ වෙනත් අය පොලීසියට පැමිනිලි කරති. තමන් පරීක්ෂන ගෙනයමින් සිටින බව පොලීසිය කියයි‚ නමුත් අවසානයේ දී ඔවුන් කිසි ම සාක්ෂියක් සොයා ගන්නේ නැත. යුද්ධය අතරතුර දී සිදුවූ සිය ගනනක් පැහර ගැනීම්වලට හා අතුරුදහන් කිරීම්වලට සිදුවූයේ මෙය යි.

හමුදාව හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරති. යාපනය ප්‍රදේශයේ පමනක් හමුදා භටයන් 40‚000ක් රඳවා ඇතැ යි ගනන් බලා ඇති අතර, සිය ගනනක් පොලිස් භටයෝ ද සේවයේ යෙදී සිටිති. ඔවුන්ගේ දැනුමෙන්‚ සහයෝගයෙන් හා මැදිහත්වීමෙන් තොරව එවැනි ප්‍රහාර සිදුවීමට ඉඩක් නොමැත.

හමුදා වාඩිලාගැනීමට හා දිගටම පවතින කාලකන්නි තත්වය කෙරෙහි විරුද්ධත්වය වර්ධනය වනවාත් සමග උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරදීම හා බියවැද්දීම් ඉහල යමින් තිබේ. ආන්ඩුව හා හමුදාව උතුරේ හා දකුනේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ඒකාබද්ධ සමාජ අරගල පිපිරී ඒම කෙරෙහි භීතියට පත්ව සිටිති.

මෙම සන්දර්භය තුල, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද්ධයේ දී මියගිය සොල්දාදුවන් අනුස්මරනය කරමින් ජනවාරි 20දා මාතලේ දී කල ප්‍රකාශය වැදගත් ය. අතුරුදහන්වීම් පිලිබඳ පරීක්ෂන ඉල්ලා නැ‍ෙගන විරෝධතා ගැන සඳහන් කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “මේ මිනිස්සු අතුරුදහන් වුන බව කියන පුද්ගලයන්ගේ පින්තූර ඔසවාගෙන ඒවා ගැන පරීක්ෂන පවත්වන ලෙස ඉල්ලති. ඔවුන් නීති විරෝධී සංවිධානයන්ට බැඳී සටන් වැදුනු අය. එම ත්‍රස්තවාදීන් ගැන ත්‍රිවිධ හමුදාවට වගකීම ගන්ට බෑ.”

මෙම ප්‍රකාශ, හමුදාව පොදුවේ වගකීමෙන් මුදා හැරීමක් මිස වෙන දෙයක් නොවේ. වගකීමෙන් නිදහස් කිරීමක් යුද්ධය අතරතුර දී ද ප්‍රදානය කර තිබුනි. ආන්ඩුවට එරෙහිව මහජන අතෘප්තිය වර්ධනය වෙද්දී එම තත්වය ම යලිත් ඇති වෙමින් තිබේ. ආන්ඩුවට, මිලිටරියට හා පොලීසියට විපක්ෂයේ ඕනෑ ම කෙනෙකුට ත්‍රස්තවාදියෙකු යි දෝෂාරෝපනය කල හැක. ඔවුන් අතුරුදහන් කල හැක. නැතිනම් වෙනත් ප්‍රහාරයන්ට ලක් කල හැක.

රාජපක්ෂ‍ගේ ප්‍රකාශයන් පසු පසින්, රජ‍යේ නිලධරීන්ගේ හා හමුදාවේ අනෙකුත් තර්ජන එල්ල කෙරෙයි. ජනවාරි 21දා පුනරුත්ථාපන ‍කොමසාරිස් මේජර් ‍ෙජනරාල් චන්දන රාජගුරු‚ “ ආන්ඩුව පෙරලීමට උත්සාහ දරන කුමන කන්ඩායමක් සමග ‍හෝ කටයුතු” කරන්නේ නම් "පුනුරුත්ථාපනය කල" හා මුදා හල ‍දෙමල රැඳවියන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කලේ ය.

ආසන්න වශයෙන් අවුරුදු ‍දෙකක් හමුදාව භාරයේ තබා ගැනී‍මෙන් පසු මෙම රැඳවියන් නිදහස් කරන ලදී. යුද්ධයෙන් පසු අත්අඩංගුවට ගෙන හමුදාව විසින් පාලනය කෙරෙන රැඳවුම් කඳවුරුවලට යැවුනු 11‚000ට වැඩි පුද්ගලයන් අතර ඔවුහු ද වූහ. ජාත්‍යන්තර රතු කුරුස සංගමයට පවා ඔවුන් හමුවීම සඳහා ‍මෙම කඳවුරුවලට ඇතුලු වීමට ආන්ඩුවෙන් අවසර නොලැබුනි. ඔවුන් නිදහස් කිරී‍මෙන් පසු පවා ‍පොලීසිය හා හමුදාව ඔවුන්ගේ හැසීරීම් නිරීක්ෂනය කරති.

ජන අරගල ව්‍යාපාරය මැඬීමට විරුද්ධ‍ වන අතර වීරරාජ් හා මුරුගානන්දන් නිදහස් කල යුතු බව කියා සිටින සමාජවාදී සමානතා පක්ෂය, ‍මෙකී කන්ඩාය‍මේ ‍දේශපාලනයෙන් මුලුමනින් ම ‍‍වෙ‍න්වී ගනියි. ජවිපෙ, තිස් අවුරුදු යුද්ධයට ‍සහයෝගය දෙමින් ‍රාජපක්ෂ ආන්ඩුවට පිටුබලය සැපයීමේදී සැබවින් ම ‍මෙම කන්ඩායමේ නායකයින් ද එහි පෙරමුනේම සිටියේ ය.

යුද්ධ‍යේ ‍නොවැලක් විය හැකි ප්‍රතිවිපාක හා අත්‍යාවශ්‍ය පියවර බව පවසමින් එම කන්ඩායම අත්අඩංගුවට ගැනීම්‚ පැහරගෙනයාම් හා අතුරුදහන් කිරීම්වලට සහාය දුන්හ. ජන අරගල ව්‍යාපාරය දැන් උතු‍රේ හා නැ‍ගෙනහිර ප්‍රහාරයන් පිලිබඳව කටමැත දෙඩුව ද හමුදා වාඩිලෑමට සහාය දක්වති.

උතු‍රෙන් හා නැගෙනහිරින් හමුදා ඉවත් කරන ලෙස තිරසාර ‍ලෙස කියා සිටිමින්, ප්‍රතිපත්තිමය ආකාරයකට යුද්ධයට විරුද්ධ වූ‍යේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටනේ ‍කොටසක් ලෙස සසප, පීඩිත ගොවීන්ට හා අනෙකුත් ජනතාවට නායකත්වය දෙන සිංහල හා ‍දෙමල කතා කරන කම්කරුවන්ගේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී එකමුතුව සඳහා සටන් කර යි.

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන එහි උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය, ජනවාරි 29දා ප.ව.2.00ට යාපනයේ වීරසිංහම් ශාලාවේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්ව යි. අපගේ රැස්වීමට සහභාගී වන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන අපගේ උද්ඝෝෂනයට එක්වන ලෙසත් කම්කරුවන්ගෙන්‚ තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: