ශී‍්‍ර ලංකාව: ආන්ඩුව මාලිගාවත්ත මහල් නිවාසවල "අතිරේක ඉදිකිරීම්” කඩා දැමීමට සැරසෙයි

By Vilani Peiris and Kalpa Fernando, 28 February 2012

comb-evic මහල් නිවැසි කාන්තාවක් තම නිවාසයේ ඉදිරිපස ඉදිකිරීම් පෙන්වමින්

පෙබරවාරි 14, කොලඹ මාලිගාවත්ත ජාතික මහල් නිවාස සංකීර්නයට පැමිනි ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින සහාධිපත්‍ය කලමනාකරන අධිකාරියේ නිලධාරින් පිරිසක් "අනවසර ඉදිකිරීම්” යැයි ඔවුන් විසින් නම් කෙරුනු ඇතැම් නිවාස කඩා ඉවත් කිරීමට ප‍්‍රයත්න දරා ඇත. එහෙත් මතුවූ මහජන විරෝධය හමුවේ "තවත් සතියක් කල්දෙන” බව පවසමින් නිලධාරීන් ආපසු ගොස් ඇත.

කල් දුන් සතිය අවසන් වන දිනයේ, එනම් පෙබරවාරි 21, නිවැසියන් පිරිසක් නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් විරවංශට දුරකථනයෙන් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කල විට ඔහු පවසා ඇත්තේ මිලිටරිය යොදවා නිවාස කඩා දැමීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අසීරු තත්වයකට පත් වන නිසා තවත් සතියක් කල් ගෙන නිවැසියන් විසින් ම අදාල ගොඩනැගිලි කඩා දැමිය යුතු බවයි.

සහාධිපත්‍ය කලමනාකාර අධිකාරියේ නිලධාරීන් ලබා දුන් කල් දීම අවසන් වූ දිනට පසු දින, පෙබරවාරි 22 පෙරවරුවේ මහල් නිවාස අසලට හමුදා භට පිරිසක් පැමිනි බැව් ද වීරවංශගේ කල් දීම හේතුවෙන් එම අධිකාරියේ නිලධාරීන් එදින නොපැමිනි බැවින් භට පිරිස ඉවත්ව ගිය බැව් ද මහල් නිවාස වාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ලබාදුන් කල් දීම අවසන් වූ සැනින් නිවාස කඩා ඉවත් කිරීම සඳහා හමුදාව යෙදවීමට ආන්ඩුව තීන්දු කොට ඇති බවයි.

මේ අතර සහාධිපත්‍ය කලමනාකාර අධිකාරියේ සභාපති කපිල ගමගේ පෙබරවාරි 15දා අයිලන්ඩ් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ "පලමුවන පියවර ලෙස මහල් නිවාස අලුත්වැඩියා කරන බවත් ඒ සමග ම සියලු අනවසර පදිංචිකරුවන් ඉවත් කරන” බවත් ය. තව දුරටත් ඔහු පැවසූයේ "2011 වසරේදීම මෙම නිවැසියන්ට දින 14 ක් ඇතුලත ඉවත් වන ලෙසට දැනුම් දුන්” බවය.

ඔහු පවසන පරිදි අලුත් ඉදි කිරීම් කර ඇත්තේ අපද්‍රව්‍ය නල පද්ධතිය මත නිසා ඒවායේ අලුත්වැඩියාවට බාධාවක් වී ඇත. එහෙත් සත්‍යය වන්නේ 1973 දී ගොඩනගන ලද මෙම මහල් නිවාස අලුත්වැඩියා කිරීමට මෙතෙක් පැවති ආන්ඩු හෝ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) බලය පැවති කොලඹ මහ නගර සභාව හෝ අද දක්වා කිසිදු පියවරක් නොගැනීමයි.

කොලඹ නගරයේ ජනගහනයෙන් සියයට 50 කට වැඩි පිරිසක් මෙතෙකුදු පැල්පත්වල ජීවත්වීම මගින් මෙම ආන්ඩු දුගීන්ගේ නිවාස ප‍්‍රශ්නය කෙතෙක් දුරට නොතකා ඇත්ද යන්න බලගතු ලෙස ප‍්‍රකාශයට පත් වේ.

comb-evicඉවත් කිරීමට නියමිත පිටුපස කොටසේ නිවැසියන්

මේ අතර ඉදි කොට ඇති ඉඩ පහසුකම් නැති මහල් නිවාස අතලොස්සේ නිවැසියෝ තම දූදරුවන් වැඩෙත්ම නිවාස සංකීර්නයේ ඇති හිස් කුඩා අවකාශයන් යොදා ගනිමින් නිවාස ඒකකයන්ට කුඩා කාමරයක් බද්ධ කර ගනිමින් ජීවත් වෙති. විවා පත් වන දරුවන්ගේ නව පවුල් ඒකකයන්ට නව නිවාස නොසැපයෙන බැවින් ඔවුනට ද තම දෙමාපියන්ගේ නිවසේ ම ජීවත් වීමට සිදුවීම නිවාස ඒකකයන් මෙසේ විශාල කර ගැනීමට බල කෙරෙන ප‍්‍රධාන හේතුවකි. ආන්ඩුවේ ගනන් දැක්වීම්වලට අනුව මාලිගාවත්ත මහල් නිවාස සංකීර්නයේ නිවාස ඒකක 1,512 ක් ඇති අතර ඒවායේ පවුල් 1,700 ක් ජීවත් වෙති. ඔවුනගේ බහුතරය කම්කරු පන්තික පවුල් ය. මෙම නිවාස ඒකකයකට අයත් වන්නේ කුඩා සාලයක්, එක් කාමරයක්, කුඩා කුස්සියක් හා වැසිකිලියක් පමනකි.

සිව් දරු මවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ "මේ ගෙවල් ලැබුනෙ අපේ අම්මාටයි. නංගියි මමයි විවාහ වුනාට පස්සෙ අපිට ඉඩකඩ මදි වුනා. මට ලමයි 4 දෙනෙක් ඉන්නවා. නංගිට ලමයි දෙන්නයි. 10 දෙනෙක් විතර මේ කුඩා නිවසෙ ඉන්නෙ කොහොම ද? අපි ගෙදර ඉදිරිපසින් හා පිටුපසින් කොටස් එකතු කලා. අපිට ගෙවල් නොලැබුනු නිසයි එහෙම කලේ.”

තවත් කාන්තාවක් මෙසේ පැවසුවාය. "ආන්ඩුව දැන් මල නල පද්ධතිය ගැන කතා කරනවා වසර ගනනාවක් මල නල පිරුනාම සුද්ද කලේ මේවායෙ පදිංචි මිනිස්සු සල්ලි එකතු කරලා බවුසර් ගෙනල්ලා සුද්ද කලා. නිවාස අධිකාරිය කල දෙයක් නැහැ. මේ නිවාස නොකඩා තමයි අපි මේ නල සුද්ද කලේ ආන්ඩුව බොරු ගොතලා කියන්නෙ අපිට නිවාස නොදී ම එලවලා දාන්නයි.”

ආන්ඩුව තෙල් මිල සියයට පනහකින් ඉහල දැමීම පිලිබඳව මේ නිවැසියෝ කෝපයෙන් පසුවූහ. තෙල් මිල ඉහල නැංවීමට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනු හලාවත ධීවරයෙකු පොලීසිය යොදවා වෙඩි තබා මරා දැමීම පිලිබදව රාජපක්ෂ ආන්ඩුවට විරෝධය පලකල තවත් කාන්තාවක් "මේක පාතාල ආන්ඩුවක්”, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නිදහසක් නැහැ. අපි ඡුන්දෙ දුන්නෙ මේ ආන්ඩුවට, නමුත් අපි රැවටුනා. මෙහෙම කියනකොට ආන්ඩුව කියයි අපි සිංහල කොටි කියලා. දැන් අපිට තේරෙනවා යුද්දෙට සහයෝගය දීලා අපෙන් සිද්ද වුනේ වැරැද්දක්.”

රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේ කොලඹ නගරය ආසියාවේ ප‍්‍රධාන වෙලඳ මධ්‍යස්ථානයක් බවට පත් කරමින්, විදේශීය සංචාරකයන්ට කොලඹ නගරය පවරා දුගීන් ඉන් පලවා හැරීමට වන අතර මේ යටතේ කොලඹ නගරයෙන් දුගී පවුල් 75,000 ක් ඉවත් කිරීමට නියමිත ය. මෙයට නිවැසියන්ගෙන් එල්ල වන විරෝධය මැඞීමට ආන්ඩුව නිවාස සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පැවරූ අතර දෙමටගොඩ ද කොම්පඤ්ඤවීදියේ ද නිවාස සිය ගනනක් ඉවත් කරනු ලැබූයේ හමුදාව යොදවමිනි. මේ අතර හමුදාව යොදවමින් කොලඹ නගරය අලංකාර කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

මාලිගාවත්ත නිවාස සංකීර්නය ඉදිකොට වසර 38 කට පසු පලමු වරට සිදු කෙරෙන අලූත්වැඩියා කටයුතු ද මේ නගර අලංකරන ව්‍යාපෘතියේම කොටසක් මිස තමාගේ යහපත සඳහා නොවන්නක් බැව් බොහෝ දෙනාගේ අදහස විය. මින් පසු සිදු කෙරෙන අලුත්වැඩියාවන් නිවැසියන් විසින් ම සිදු කර ගත යුතූ බව දැනටමත් ඔවුන්ට දැනුම් දී තිබේ. පසුගිය දෙසැම්බර් 31 බොරැල්ල සර්පන්ටයින් නිවාස සංකීර්නයට පැමිනි ඇමති වීරවංශ, එය නිසි ලෙස නඩත්තු නොකිරීම සම්බන්ධයෙන් ඒවායේ වෙසෙන්නන්ට චෝදනා කලේය. ඔහු තවදුරටත් සඳහන් කලේ මහල් නිවාසවල අලුත්වැඩියා කිරීම් ආන්ඩුව විසින් මින් ඉදිරියට නො කරන බවයි.

ආන්ඩුව මෙම වැඩකටයුතු ඉදිරියට ගෙනයාමේ දී තමන්ගේ ජීවනෝපායන් පවා අහිමි වූ හැටි ගෘහනීහු ලෝසවෙඅට ප‍්‍රකාශ කලහ. කොලඹ නගරය අලංකාර කිරීම යටතේ කොලඹ පැවති මත්ස්‍ය වෙලඳ සංකීර්නය පෑලියගොඩට ගෙන යන ලද තත්වයේ දී බොහෝ දෙනෙකුට රැකියා අහිමිව ඇත. තම සැමියාගේ රැකියාව අහිමිවීම හා ජීවනෝපායන් බිඳවැටීම පිලිබඳව ගෘහනියක් මෙසේ පැවසුවා ය.” මගේ මහත්තයා කොලඹ මාලු කඩේ තොග මාලු වෙලඳාම කලේ ඒක පෑලියගොඩට ගෙනියන කොට ටෙන්ඩර් ගාස්තු රුපියල් ලක්ෂ 4ක් ඉල්ලුවා. සල්ලි හොයන්න කල් ගිය නිසා පෑලියගොඩින් තැනක් ලැබුනෙ නැහැ දැන් මාලු කඩේ කුලියට සිල්ලර රස්සාව කරනවා දැන් ආදායම අඩු වෙලා ජීවත් වෙන්න හරිම අමාරුයි .”

දුෂ්කර කොන්දේසි යටතේ මෙසේ ජීවත් වන ජනතාව නිවාසවලින් පලවා හැරීම මගින් සිදුවන්නේ ඔවුන් මහමගට ඇදවැටීම ය. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති පලාත් සභා මැතිවරන සමයේ දී ආන්ඩුව ද කොලඹ මහ නගර සභාවේ (කොමනස) බලය දිනාගත් ප‍්‍රධාන විපක්ෂය වන එජාපය ද නිවාස තනා දෙන බවට මහජනයාට පොරොන්දු වූහ. ආන්ඩුව පැවසූයේ කොලඹ නගරය තුලම අලුත් නිවසක් නොදී නිවාස ඉවත් නොකරන බවය.

දැන් පැල්පත් වාසීන් පමනක් නොව මහල් නිවැසියන් පවා ඒවායෙන් පලවා හැරීමේ තර්ජනයට මුහුන දී සිටිති. පැල්පත් වාසීන්ට ආන්ඩුව මහල් නිවාස සපයා දෙන බවට පොරොන්දු වූ නමුත් මහල් නිවාසයන්හි පදිංචි ජනතාව මුහුන දී ඇති කොන්දේසි පෙන්වන්නේ දුගී ජනතාවට මෙම ආන්ඩුවලින් කිසිදු පිලිසරනක් නොමැති බවය.

මෙම තත්ත්වයේ දී ඡන්දයෙන් තෝරා ගත් නියෝජිතයින් මගින් පාලනය කෙරෙන කොමනසට අයත් දේපල ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට (නාසඅ) ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස පවරා ගෙන ඇත. තුරඟ තරග පිටිය හා හැව්ලොක් කි‍්‍රඩාංගනය, මැනිං පොදු වෙලෙඳ පොල හා ශාන්ත ජොන් මාලූ වෙලඳසැල නාසඅ ට පවරා ගත් රාජපක්ෂ ආන්ඩුව, මෑතක දී ම ගැසට් නිවේදනයක් මගින් විහාරමහා දේවි උද්‍යානය හා නොමෑඩ්ස් උද්‍යානය ද එම අධිකාරිය යටතට පවරා ගත්තේ ය. මේ හේතුවෙන් කොමනසට තම ආදායමෙන් සියයට 40 ක් අහිමි වී ඇති අතර එමගින් නගර සභාව විසින් සීමිතව හෝ සිදු කර ගෙන ගිය සෞඛ්‍යය ඇතුලු සුභසාධන කප්පාදු කිරීමට බල කෙරී ඇත.

පසුගිය කොමනස මැතිවරනයේ දී පැල්පත් වාසීන්ට නිවාස ලබා දෙන බවට පොරොන්දු වී බලයට පැමිනි එජාපය, ආන්ඩුවේ නිවාස අහිමි කිරීමට පක්ෂව කටයුතු කරයි. ආන්ඩුව දුගී නිවාස ඉවත් කරමින් කි‍්‍රයාවට දමන කොලඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියට කොලඹ එහි නගරාධිපති හා එජාප නායකයෙකු වන ඒ.ජේ.එම්. මුසම්මිල් ගේ සහයෝගය ලැබී ඇත. මුසම්මිල් සන්ඩේ ලීඩර් පුවත්පතට කියා සිටියේ "කොලඹ ලස්සන කිරීම සඳහා ශුද්ධ කිරීමට මගේ විරුද්ධත්වයක් නැත” යනුවෙනි. තව දුරටත් ඔහු කියා සිටියේ "නාසඅ සමග වැඩ කටයුතු කිරීම අවැඩ දායක” නොවන බවයි. ඔහු මෙසේ ප‍්‍රශ්න කලේය: "ආන්ඩුව විහාර මහා දේවි උද්‍යානයේ පාලනය අවශ්‍ය බව පවසන්නේ නම් මම එය නතර කරන්නේ කෙසේද ?”

පාලකයන් විසින් දුගී පැල්පත් වාසීන් සහ මහල් නිවාසීන් දහස් ගනන් කොලඹ නගරයෙන් පලවා හරිමින් ඔවුන් මහ මගට ඇද දමද්දී දේශීය හා විදේශීය ධනපතියන් වෙනුවෙන් ද සංචාරකයන් වෙනුවෙන් ද සුපිරි ගනයේ දැවැන්ත හෝටල්, උද්‍යාන, කී‍්‍රඩාංගන හා ව්‍යායාම සඳහා සුවිශේෂී මංපෙත් ආදී සියල්ලෙන් ආඪ්‍ය කොලඹ නගරයක් නිර්මානය කෙරෙමින් පවතී.

ගාලු මුවදොර ඉදි කෙරෙන කාමර 661 කින් සමන්විත ෂැන්ගි‍්‍ර-ලා හෝටල සංකිර්නයට පසුගිය 24 වන දා ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අතින් මුල් ගල් තැබූ අතර කොලඹ නගරයේ දෙවන ව්‍යායාම මංපෙත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතින් පසු ගිය සතියේ ම විවෘත විය. ආන්ඩුව කෝටි ගනන් මුදල් යටකර කොලඹ සංචාරක හා වානිජ පාරාදීසයක් කිරීමට ලහි ලහියේ කි‍්‍රයාකරන ගමන් දුගී නිවැසියන්ගේ අයිතීන්ට පහර දීම කඩිනම් කරමින් සිටී.

Share this article: