ශ‍්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ භාන්ඩ මිල ඉහල දැමීම්වලට එරෙහි මහජන විරෝධය යටපත් කිරීමේ තැතක

By W.A. Sunil, 27 February 2012

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ඊනියා වාම පක්ෂ හා වෘත්තීය සමිතිවල සහය ඇතිව තෙල් මිල ඇතුලු අත්‍යවශ්‍ය බඩු මිල ඉහල දැමීමට එරෙහිව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කෙරෙහි පුලුල්ව වර්ධනය වන කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ විරුද්ධත්වය ගසා කෑමේත් ඒවා පුහු විරෝධතාවලට කොටුකර, දුර්මුඛ කිරීමේත් තැතක යෙදී සිටිති.

ආන්ඩුව විසින් තෙල් හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිල නැංවීමට එරෙහිව එජාපය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පෙබරවාරි 17 සවස කොලඹ දුම්රියපොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක් කැඳවා තිබුනි. මනෝ ගනේෂන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජපෙ), නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප), දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), නව සිහල උරුමය ඇතුලු පක්ෂ කිහිපයක් හා ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මෙම "ඒකාබද්ධ විපක්ෂයට” සම්බන්ධ අනෙකුත් සංවිධාන වේ.

උද්ඝෝෂනයට කිහිප දහසක් සම්බන්ධ වූහ. තෙල් හා අනෙකුත් භාන්ඩවල මිල අඩුකරන ලෙස ආන්ඩුවට බල කරන සටන් පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ සටන් පාඨ හඬ නැගූහ.

ආන්ඩුව කල් ඇතිව ම, කැරලි මර්දන පොලිසිය ඇතුලු දහසකට අධික පොලිස් බලකායක් ද ජල ප‍්‍රහාරක රථ ද උද්ඝෝෂනයට එරෙහිව පෙල ගස්වා තිබුනි. දුම්රියපොල ඉදිරිපිට පිකට් කිරීමෙන් අනතුරුව, උද්ඝෝෂකයන් පා ගමනින් ජනාධිපති මන්දිරය දක්වා ගමන් ආරම්භ කිරීමත් සමග මාර්ග බාධක යොදා ලේක්හවුස් වට රවුම හරස් කල පොලීසිය අහසට වෙඩි තබා, පසුව කඳුලු ගෑස්, රබර් උන්ඩ හා ජල විදින යොදා ගනිමින් උද්ඝෝෂකයන්ට පහර දුන්නේ ය. සවස වැඩ නිම වී නිවෙස්වලට යාමට දුම්රියපොල වෙත එමින් සිටි දහස් ගනනක් කම්කරුවන් ද සෙසු මගීන් ද දුම්රියපොල අසල සුලු වෙලෙන්දෝ ද මෙම ඉවබව නැති ප‍්‍රහාරයෙන් බරපතල පීඩාවට පත් වූ අතර, උද්ඝෝෂකයෝ ගනනාවක් තුවාල ලැබූ හ. පසුව, ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැඳවන ලද යුද හමුදා බල ඇනියක් උද්ඝෝෂනයේ යෙදී සිටියවුන් බලහත්කාරයෙන් බස් රථවල පටවා යවන ලදි.

බ‍්‍රහස්පතින්දා, ජවිපෙ විසින් මාලිගාවත්තේ සිට කොලඹ කොටුව දක්වා සංවිධානය කර තිබු විරෝධතා පෙලපාලිය පිටකොටුවට ඇතුල්වීම අවහිර කල පොලීසිය ඊට කඳුලු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කලේ ය.

ආන්ඩුව විසින් උසි ගන්නවන ලද මෙම හමුදා-පොලිස් ප‍්‍රචන්ඩත්වය දේශපාලන සංස්ථාපිතයේ පක්ෂවලින් හෝ එන පුහු විරෝධතාවක්වත් නො ඉවසන බවටත් අරගලයට එන වැඩකරන ජනතාවට විරුද්ධව ම්ලේච්ඡ කඩා පැනීමක් සූදානම් කරන බවටත් නිකුත් කල සංඥාවකි.

තෙල් මිල ඉහල දැමීමට විරුද්ධව, වයඹ වෙරලබඩ ධීවරයන්ගේ දින තුනක් පුරා දිගට ම පැවැති විරෝධතාවල කොටසක් ලෙස බදාදා (15 දා) හලාවත වැල්ල ප‍්‍රදේශයේ උද්ඝෝෂනයකට පොලිසිය හා එස්ටීඑෆ් භටයින් එල්ල කල වෙඩි ප‍්‍රහාරයකින් එක් ධීවරයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුහ.

මෙම උද්ඝෝෂනවලට කුමන්ත‍්‍රනකාරීන්ගේ හා එන්ජී ඕ කාරයන්ගේ කඩා කප්පල්කාරී ක‍්‍රියා යයි පහර ගසන ගමන් ඡන්දයක් එනතුරු ආන්ඩුව පෙරලීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවට ජනාධිපති රාජපක්ෂ 18 වෙනිදා කඩවත පැවති රැස්වීමක දී වහසි බස් දෙඩුවේ ය. "දැන් කට්ටියක් කියනවා පාරට බැහැලා, ගිනි තියලා, ජනතාව විසින් පත් කල ආන්ඩුව පන්නලා දාන්න ඕන කියලා. . . ජනාධිපති එලවන්න එහෙම ලේසියෙන් පුලුවන් වෙන්නේ නැහැ. ඒකට ලෑස්තිවෙන්න එපා" යයි ඔහු එහි දී පැවසුවේ ය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද එවැනි ම තර්ජනයක් නිකුත් කොට තිබේ. "මේ සිදුවීම් සමග අපි ආපස්සට ගියොත් වැඩක් නැහැ. මෙච්චර කැපකිරීම් කරලා එල්ටීටීඊය පරාජය කරලා රට ආපස්සට ගියොත් වැඩක් නැහැ. ඒකට ඉඩදෙන්න බැහැ," ලක්බිම පුවත්පතට පෙරවාරි 20 වෙනිදා දුන් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කලේ ය. මේ ප‍්‍රකාශයන් පිටුපසින් පවතින්නේ "කුමන්ත‍්‍රන" රට "ආපස්සට තල්ලු කිරීම" ආදී චෝදනා ඉදිරිපත් කරමින් ආන්ඩුවේ ජනතා විරෝධී පිලිවෙත්වලට එරෙහිව වැඩෙන විරුද්ධත්වය ලෙයින් මැඩීමේ සූදානම ය.

කෙසේවුවත්, ආන්ඩුව ක‍්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ හා ජවිපෙ විරෝධය පුස්සකි. පෙබරවාරි 17 උද්ඝෝෂනය තුලදී උද්ඝෝෂකයන් ඇමතූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ "ආන්ඩුවේ දූෂනයට හා නාස්තියට එරෙහිව ආරම්භ කල අරගලය" ඉදිරියට ම ගෙන යන බව කීවේ ය. ආන්ඩුව, තමන්ගේ දූෂනයෙන් වංචාවෙන් නාස්තියෙන් ඇතිව තිබෙන අර්බුදය මහජනතාවගේ කරපිට පටවන බව වික‍්‍රමසිංහ තවදුරටත් සඳහන් කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව දූෂිත ක‍්‍රියාවලින් කරවටක් ම පිරී සිටින බව ඇත්තක් වුවද එවැනි ම වාර්තාවකට හිමිකම් කියන එජාපයේ නායකයා ඒවාට අත දික් කර ඇත්තේ තිස් අවුරුදු යුද්ධයේ ව්‍යසනයෙන් ද ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයෙන් ද ගැඹුරු වී ඇති ලංකාවේ ධනපති අර්බුදය මේ ප‍්‍රහාරවල මූලය බවත් ජාත්‍යන්තර මූල්‍ය ඒකාධිකාරීන් එම ප‍්‍රහාර උසි ගන්වා ඇති බවත් ආවරනය කිරීමේ දැනුවත් ක‍්‍රියාවක් ලෙස ය. රාජපක්ෂ මෙන්ම වික‍්‍රමසිංහ ද ලංකාවේ ධනේශ්වරයේ ඒජන්තයන් ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ඇබිත්තයන් ලෙසත් භීතියට පත්ව සිටින්නේ තමන්ගේ ජීවන තත්වයන් අගාධයට ම ඇද දැමෙන කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන් ද ගම්බද දුගීන් ද ටියුනීසියාවේ හා ඊජිප්තුවේදී මෙන් නැගී සිටිනු ඇත යන්න ගැන යි.

බලයේ සිටින විට ජාමූඅ කොන්දේසි එක පැහැර ක‍්‍රියාවට දැමූ එජාප නායකයන්, සිය ඇත්ත ප‍්‍රතිපත්තිය ලෙස වෙනත් වේදිකාවල දී ආන්ඩුවට චෝදනා කරන්නේ කප්පාදු වැඩ පිලිවෙල කල් තියා ක‍්‍රියාවට නොදැමීම ගැන ය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව, පොලිසිය, මැරයන් සහ ආන්ඩුවේ හවුල්කාර ඇමැතියන් වන විමල් වීරවංශගේ හා චම්පික රනවකගේ ජාතික නිදහස් පෙරමුන හා ජාතික හෙල උරුමය ආදී සිංහල වර්ගවාදී පක්ෂ මහජනයාගේ වැඩෙන අරගලවලට විරුද්ධව කඩා පන්නවා ඇත. වික‍්‍රමසිංහ තමන්ගේ ආධාරයට කැඳවා ගෙන ඇති පක්ෂ අතරින් වික‍්‍රමබාහු කරුනාරත්නගේ නසසපයත් සිරිතුංග ජයසූරියගේ එසපයත් කැපී පෙනේ.

එජාපයේ නායකත්වයෙන් පිහිටුවා ඇති ඒකාබද්ධ විපක්ෂයේ "පොදු වේදිකාවට” සියලු පක්ෂ එකතු කර ගැනීමට හැකිව ඇති බවත් රට පුරාම අරගලය වර්ධනය කල යුතු බවත් කරුනාරත්න පෙබරවාරි 17 විරෝධතාවේ දී පාරම්බෑවේ ය. එසප නායකයෙක් කතාවක් කිරීමට පෙනෙන්නට නොසිටියත් එම පක්ෂය අනුගමනය කරන දුෂ් ප‍්‍රතිපත්තිය ද එය ම ය.

ධනපති පක්ෂ සමග හවුල්කෑමේ ඉතිහාසයක් ඇති කරුනාරත්න හා ජයසූරිය එජාපයේ ද වික‍්‍රමසිංහගේ ද සමීපතමයන් ලෙස විවිධ විරෝධතාවලට පෙල ගැසී ඇත. ඔවුන්ගේ පක්ෂ දෙක කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම වලක්වා ධනේශ්වරයට එය ගැට ගැසීමට ක‍්‍රියා කරන පක්ෂයන් ය. නසසප හා එසප, ආන්ඩුව හා එජාපය මෙන් ම කනස්සල්ලට පත්ව සිටින්නේ වැඩ කරන ජනතාවගේ නැගිටීමක් සිදු වේය යන්න ගැන යි. එනිසා මෙම පක්ෂ ප‍්‍රතිගාමී හවුලක් ඇති කර ඊට මහජනයා හිර කර දැමීමේ කාර්යයට අත ගසා ඇත.

ජනතා විමුක්ති පෙරමුන ද රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාර ගැන ඇද බාන්නේ එජාපයේ ප‍්‍රකාශයන්ට සමාන කතාවන් ය. පෙබරවාරි 16 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ ප‍්‍රධාන ලේකම් පවසා ඇති පරිදි අර්බුදයට හේතුව "ආන්ඩුවේ වැරදි ආර්ථික ක‍්‍රියාමාර්ග” ය. "පසුගිය කාලය තිස්සේ ම ආන්ඩුව දැවැන්ත නාස්තියක් කලා. මේ ආන්ඩුවට ආර්ථිකය සංවර්ධනය කිරීමේ ප‍්‍රතිපත්ති මාලාවක් නැහැ. යුද්ධය අවසන් වුන ගමන් ම රටත් ආර්ථිකයත් හදනවා කියල මේ අය කයිවාරු ගැහැව්වා. දැන් අවුරුදු තුනකට කිට්ටුයි අද තියෙන ආර්ථිකය මොකක් ද? ”

ධනපති ආර්ථිකය පාරිශුද්ධ කර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව අවධාරනය කරන ජවිපෙ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග හවුල් ආන්ඩුවකට ගාල් වී සිටි අවුරුදු දෙකේ ජාමූඅ පිලිවෙත් කි‍්‍රයාත්මක කිරීමට එක පයින් සහයෝගය දුන්නේ ය.

එජාපය, නසසප හා එසප මුක්කුව ලබා ගනිමින් ද ජවිපෙ ද ගෙන යන වැඩ පිලිවෙල කම්කරුවන් ප‍්‍රමුඛ මහජනයාට අනුකම්පාවකින් ඉදිරියට දමා ඇතුවා නොවේ. ඒවා මහජනයාට අටවන විෂ ඝෝර උගුල් ය. කම්කරු පන්තිය කල යුත්තේ, මෙම ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ අවස්ථාවාදී හවුල්කාරයින්ගෙන් ද වෘත්තීය සමිතිවලින් ද මුලුමනින් ම බිඳී සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම ඉලක්ක කර ගත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක් වීම යි.

Share this article: