විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට හා සිසු මර්දනයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය වෙතට හැරෙනු!

Statement of the International Students for Social Equality (Sri Lanka), 2 January 2012

සිසු විරෝධතා තලා දමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය සඳහා යෝජිත පනත ක‍්‍රියාවට දැමීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව උසි ගන්වා ඇති මර්දනය හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට කම්කරු පන්තිය සමග එක්සත් වී සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත සටන් වදින ලෙස සියලු ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

සිසු විරෝධය මැඩීම සඳහා මොන තරම් රුදුරු ලෙස කඩා පැනීමට ආන්ඩුව සූදානම් වන්නේ ද යන්න පිලිබඳ මෑත ම උදාහරනය නම් දහස් ගනනක් පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇරඹූ පා ගමන එම සරසවියෙන් පිටතට ඒම වැලැක්වීමට මිලිටරි-පොලිස් විධික‍්‍රම යොදා ගැනීම යි. කැරලි මර්දන බලකායන් ඇතුලු සිය ගනනක් පොලීසිය ද හමුදා බලඇනියක් ද යොදා කටු කම්බි හා යකඩ ගේට්ටු දමා ගලහ හන්දිය යුද පිටියක් බවට පත් කිරීමට ආන්ඩුව පියවර ගෙන තිබුනි. ඊට පෙර දින පොලීසිය ලවා පෙලපාලිය තහනම් කිරීමේ අධිකරන නියෝගයක් ද පනවා ගැනීමෙන් ආන්ඩුව පෙන්නුම් කලේ ශිෂ්‍යයන්ගේ විරුද්ධත්වය මැඩීමට මුලු රාජ්‍ය බලය ම යොදා ගන්නා බවයි.

සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තවදුරටත් පාගා දමමින් එදින ම සවස විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ද පීඨ ශිෂ්‍ය සංගම් සියල්ල ද තහනම් කෙරුනි.

ගිය අවුරුද්දේ මුල පටන් සිසුන්ගේ දේශපාලන ක‍්‍රියාකාරකම් මුලුමනින්ම මැඩලීම එල්ල කර ගත් ඊනියා නවක වදය වැලැක්වීමේ නීතිය ක‍්‍රියාවට දැමූ ආන්ඩුව එතැන් පටන් බොහෝ සරසවිවල ශිෂ්‍ය සංගම් තහනම් කර ඇති අතර සියගනනක් සිසුන් පන්ති තහනමට ලක් කර පොලිස් අත්අඩංගුවට ගැනීම, සිසු විරෝධතා පොලිස් ප‍්‍රහාරයට ලක් කිරීම ඇතුලු දඩයක්කාරී ප‍්‍රහාර මුදාහැරියේ ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ යෝජිත පනත ලඟදීම ගෙන එන බව අවධාරනය කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක දෙසැම්බර් 28 දා පුවත් පත් සාකච්ඡාවක් කැඳවුයේ ය. සිසු විරෝධතා යටපත් කිරීමේ අටියෙන් ඔහු කියා සිටියේ පනතින් කෙරෙන්නේ දැනටමත් පවත්නා, ආයෝජන මන්ඩලය යටතේ ලියාපදිංචි ආයතනවල ගුනාත්මක බව සහතික කිරීම බවය. ඒ හුස්මටම දිසානායක "කිසිදු ශිෂ්‍යයෙකුට විශ්වවිද්‍යාල පරිපාලනයට හෝ ආන්ඩුවට එරෙහිව පෙලපාලි යෑම හෝ විරෝධතා සංවිධානය කිරීමට ඉඩ නො දෙන” බව තර්ජනාත්මකව ප‍්‍රකාශ කර ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය ජනතාව අතීතයේ දිනා ගත් නිදහස් අධ්‍යාපනයට එල්ල කරන තවත් මරු පහරකි. පසුගිය දශකයන්හි එන්න එන්නම සමස්ත අධ්‍යාපනය ම ඛාදනය කර දැමීමට සැලසුම් ගෙන ගිය බලයේ සිටි ආන්ඩු පාසැල් මෙන්ම විශ්වවිද්‍යාල ද පරිහානියට ඇද දැමී ය. නේවාසිකාගාර, දේශන ශාලා, පුස්තකාල, රසායනාගාර, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මන්ඩල නිසි අධ්‍යාපනයක් ගෙන යෑමට නො හැකි තරමට ම පිරිහෙලා ඇත. ලක්ෂයකට වැඩි සිසුන් අවුරුදු පතා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසකම් ලබන මුත් ඔවුන් සියල්ලන්ට ම ඉඩ ලැබෙන පරිදි විශ්වවිද්‍යාල පද්ධතිය ප‍්‍රසාරනය කිරීම බලයේ සිටි ආන්ඩු ප‍්‍රතික්ෂේප කලේ ය. පුද්ගලික විශ්වවිද්‍යාලවලට දොර හැරීම තවත් කල් පමා කිරීමට සූදානම් නැති රාජපක්ෂ ආන්ඩුව රජයේ සරසවිවල කොන්දේසි පිරිහෙලීම ඉක්මන් කර තිබේ.

උග‍්‍රවන ලෝක ධනේශ්වරයේ අර්බූදය තුල අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධන අධිපතියන්ගේ ඉල්ලුම දැන් රටක් රටක් පාසා වේගවත්ව ක‍්‍රියාවට දැමේ. ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නේ යයි ජනාධිපති රාජපක්ෂ ආශ්චර්යේ සැලැස්මක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ මේ ඉල්ලුම ඉටු කිරීම යි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයෙන් සිදුවනු ඇත්තේ - දැනටමත් වේගයෙන් සිදුවෙමින් පවතින ආකාරයෙන් - පන්ති දෙකක අධ්‍යාපන ක‍්‍රමයක් තහවුරු වීමයි. එක් පසෙකින්, රුපියල් මිලියන හයක සිට මිලියන දෙකක් දක්වා වැය වන විවිධ පාඨමාලාවලට දායක විය හැකි ධනපති පන්තියේ හා ඒ ආශ‍්‍රිත ඉහල මධ්‍යම පන්තියේ කොටස්වලට වෙන් කෙරුනු අධ්‍යාපන ක‍්‍රමයකි. අනෙක් පසින්, කම්කරුවන්ගේ, දුගීන්ගේ හා පහල මධ්‍යම පන්තියේ දරුවන්ට පිරිහී යන්නා වූ රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයකි.

ආන්ඩුව එල්ල කරමින් පවතින්නා වූ ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද? බරපතලව මතු ව ඇත්තේ ශිෂ්‍යයන්ට හා තරුනයන්ට දේශපාලන ක‍්‍රියාමාර්ගයක අවශ්‍යතාවය යි.

කම්කරු පන්තිය දෙසට හැරෙනු, සමාජවාදී ක‍්‍රියාමාර්ගයට සටන් කරනු!

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට හා රජයේ මර්දනයට එරෙහිව ශිෂ්‍යයන්ට තනිව සටන් වැදිය නො හැකි ය. එම ප‍්‍රහාර විශ්වවිද්‍යාල මට්ටමින් විසඳගැනීම ද කල නො හැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳපොල ආර්ථික ප‍්‍රතිසංස්කරන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමේ දී ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තිය වෙතට ශිෂ්‍යන් හැරී ගත යුතු ය.

නිදහස් අධ්‍යාපනයට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයේ මූලය ඇත්තේ ධනවාදයේ අර්බුදය තුලයි. ධනපති ආන්ඩු යෝජනා කරන පුද්ගලික සරසවි පිහිටුවීමට හා පාසැල් අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව සැමට නොමිලේ, ගුනාත්මක, උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි සේ අධ්‍යාපන ක‍්‍රමය පරිවර්තනය කිරීමට නම් ඒ සඳහා රුපියල් බිලියන ගනන් වෙන් කල යුතු ය. එය කල හැකිවන්නේ ලංකාවේ හා විදේශ ආයෝජකයන් සතු මහා ව්‍යාපාර, විශාල වතු හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමෙන් පමනකි. මෙම ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාවට දැමීමට නම්, ධනපති ආන්ඩුව විස්ථාපනය කරමින් කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් පිහිටු විය යුතු ය. මෙය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ අත්‍යන්ත කොටසකි.

ලාභ ගරන ධනේශ්වර ක‍්‍රමය අහෝසි කර ආර්ථිකය මුලුමනින් මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ප‍්‍රතිසංවිධානය කරන සමාජවාදී පාලනයක් තහවුරු කිරීමට නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියටයි. ශිෂ්‍යයන් හා තරුනයන් කම්කරු පන්තිය වෙතට හැරිය යුතු යයි සසජාශි හා සසප අවධාරනය කරන්නේ මෙම ක‍්‍රියාමාර්ගික පිලිවෙත මත පිහිටා ගෙන ය.

ජවිපෙ, ජන අරගල, අවිශිබමය හා අනෙකුත් ධනපති සංවිධානවලින් බිඳෙනු!

සිසුන් කම්කරුවන් වෙතට හැරීමට එරෙහි මූලික ම බාධකයක් ලෙස ක‍්‍රියා කරන්නේ අන්තර් විශ්වවිවද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) යි. කලින් ජවිපෙ ද දැන් එහි දේශපාලනයෙන් බිඳී ගත්තේ යයි මවා පාන "ජන අරගල ව්‍යාපාරයේ” ද අන්ඩක් ලෙස අවිශිබම ය ක‍්‍රියා කරයි. එදත් අදත්, එහි ක‍්‍රියාමාර්ගය කුමක් ද ? ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ඒවායේ පිලිවෙත් වෙනස් කර ගැනීම සඳහා හුදෙක් විවිධ මාදිලියේ විරෝධතා පැවැත්වීම ය. මෙම දේශපාලනය ක‍්‍රියාත්මක වන්නේ සිසු විරෝධය වාෂ්ප කර, ඔවුන් සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් කම්කරුවන් බලමුලු ගැන්වීමේ සටනේ කොටස්කරුවන් වීම වැලැක්වීමට යි.

ජන අරගල ව්‍යාපාරය සංවිධානය කරන්නන් ද ඇතුලුව ජවිපෙ හා අවිශිබම ය රාජපක්ෂ ආන්ඩුවත් ඊට පෙර ආන්ඩුත් ශක්තිමත් කිරීමේ කොටස්කරුවෝ ය. කම්කරුවන් හා තරුනයන් බෙදා වෙන් කිරීමට යොදා ගත් ධනපති ආන්ඩුවල යුද්ධයට මොවුන් සහයෝගය දුන්නේ, දෙමල විරෝධී වර්ගවාදය උසි ගන්වමිනි. ඔවුන් "සමාජවාදය” ගැන ඇදබාන හිස් ප‍්‍රලාප ද විරෝධතා ද පිටු පසින් ඇත්තේ ධනපති රාජ්‍යය ආරක්ෂා කිරීමේ ප‍්‍රතිගාමී දේශපාලනයකි.

කම්කරුවන්ගේ, දුගී ගොවියන්ගේ, සිසුන් ඇතුලු තරුනයින්ගේ අයිතීන් මැඩලීමේ වාර්තාවක් ඇති, අධ්‍යාපන පුද්ගලීකරනයට මුල පිරූ යූඇන්පිය සිසු විරෝධතා මර්දනය කිරීම ගැන කිඹුල් කඳුලු හෙලයි. දෙමල ධනපති ටීඑන්ඒ ය දෙමල සිසුන් වාර්ගික දේශපාලනයක් තුල ගිල්වා දැමීමේ ප‍්‍රයත්නයක යෙදී සිටී.

අනෙක් අතට, කම්කරු පන්තිය වෙතට හැරෙන ලෙසට සසජාශි සිසුන්ගෙන් කරන ඉල්ලීම කිසි සේත් ම වෘත්තීය සමිති වෙතට හැරෙන ලෙසට කරන ඉල්ලීමක් නො වේ. වෘත්තීය සමිති කම්කරුවන් ධනපති ක‍්‍රමයට ගැට ගසන තවත් උගුලක් ලෙස ලංකාවේ ද ජාත්‍යන්තරව ද ක‍්‍රියාත්මක වෙයි.

සසජාශි හා සසප සිසුන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ධනේශ්වර ගැති හා ධනපති සංවිධාන මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කර කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වන ලෙසයි. සසජාශි හා සසප ක‍්‍රියාමාර්ගය හැදෑරීමට යොමුවන ලෙස ද සසජාශි ශාඛා සෑම විශ්වවිද්‍යාලයකම හා උසස් අධ්‍යාපන ආයතනවල ද පාසැල්හි ඉහල පන්තිවල සිසුන් අතර ද ගොඩනගමින් මෙම දේශපාලන අරගලයට එක්වන ලෙස අපි ඉල්ලමු.

Share this article: