ආසියාව වෙතට ඔබාමාගේ ආක්‍රමනකාරී හැරීම

Obama’s aggressive turn to Asia

24 November 2011

පසුගිය සතියේ ආසියාව හරහා ඔබාමා කල සංචාරය භූ-දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුනු කර යි. රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මූලෝපායික යන සැම පෙරමුනක දී ම එක්සත් ජනපද ජනාධිපති ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපයෙහි ඇමරිකානු ආධිපත්‍යය නඟා සිටුවීම සඳහා දරන උත්සාහය චීනය සමග ගැටුමකට මං පාදයි.

හොනලුලුහි ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුලුවේ දී ඔබාමා, කලාපීය වෙලඳාම වොෂින්ටනයේ කොන්දේසි මත හැසිරවීම සහතික කිරීම පිනිස සැලැසුම් කල, අන්තර් ශාන්තිකර සහයෝගිතාවය දියත් කලේ ය. කැන්බරාහි දී ඔහු උතුරු ඕස්ට්‍රේලියාවේ එක්සත් ජනපද මැරීන් භටයින් ස්ථානගත කිරීම නිවේදනය කලේය. එරට ගුවන් හා නාවික කඳවුරු පුලුල් වශයෙන් යොදා ගැනීම, වියට්නාම් යුද්ධයෙන් පසු පලමුවරට ආසියාව තුලට ඇමරිකානු මිලිටරියේ ව්‍යාප්තිය සලකුනු කරයි. බාලිහි පැවති නැගෙනහිර ආසියා සමුලුවේ දී චීනයේ විරෝධය නොතකා ඔබාමා, චීනයේ මුලෝපාය හා ආර්ථික උත්සුකයන්ට වැදගත් වන, මතභේදයට තුඩුදී ඇති දකුනු චීන මුහුද පිලිබඳ සාකච්ඡාවකට බල කලේ ය.

ඔහු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට කල ප්‍රධාන කතාවේ දී‚ ආසියාව දෙසට වන තම විදේශ ප්‍රතිපත්ති මාරුව විශේෂිතව සඳහන් කලේ ය. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ දශකයක් පුරා යුද්ධ කිරීමෙන් පසු එක්සත් ජනපදය “අපගේ අවධානය ආසියා ශාන්තිකර කලාපයේ දැවන්ත විභවයන් වෙතට මාරු කරමින් සිටී ”යයි ඔහු කීවේ ය. “ ශාන්තිකර ජාතියක් හැටියට‚ එක්සත් ජනපදය මෙම කලාපය හා එහි අනාගතය හැඩගැස්වීමේ දී වඩාත් විශාල හා දීර්ග කාලීන ක්‍රියාකලාපයක් ඉටු කිරීමට හිතාමතා හා මූලෝපායාත්මකව තීරනයක් ගෙන තිබෙන බව” ඔහු පැවසී ය.

ආසියාව වෙත හැරීම ඔබාමාගේ මෑත ප්‍රතිපත්ති තීන්දුවක් නොවන අතර ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මූලෝපායාත්මක නැඹුරුවත් සමග ඇමරිකානු පාලක කවයන් තුල ගැඹුරු අසංතෘප්තිය තුල පිලිබිඹු වූ ගෝලීය අර්ථිකයේ ප්‍රගාඪ වෙනස්කම්වල අංකුරයකි. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කඩතුරාව යටතේ බුෂ් ඇමරිකානු හමුදාව දුබල කල‚ එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික බලය කාදැමූ හා රට තුල දැවැන්ත විරුද්ධත්වයක් උත්පාදනය කල විනාශකාරී යුද්ධ දෙකකට එරට ඇද දමා තිබුනි.

යුද්ධ සඳහා ලත් ද්විපාක්ෂික සහයෝගයෙන් පිලිබිඹු වූයේ, වොෂින්ටනයේ ආසියාතික හා යුරෝපීය ප්‍රතිමල්ලවයන් කප්පමට යටත්කර ගත හැකි වන සේ ලෝකයේ දැවැන්ත බලශක්ති සංචිත සහිත මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ යටි මූලෝපාය කෙරෙහි පලවූ වොෂින්ටනයේ පලල් සහයෝගය යි. කෙසේ නමුත්‚ පහසු ජයග්‍රහන ලෙස ඒත්තු ගන්වා තිබූ දෙය මහා ආපත්තියක් බවට පත් විය. විශේෂයෙන්ම ආසියාව තුල වැඩෙන චීන බලපෑම කපාහැරීමට බුෂ් අසමත්වීම පිලිබඳව විවේචන මතුවන්නට පටන් ගත්තේය.

පසුගිය දශකය තුල චීන ආර්ථිකයේ පුලුල්වීම, 1997-98 ආසියානු මූල්‍ය අර්බුදයෙන් පසුව නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන ව්‍යුහගතකිරීමක් සමග බැඳී තිබුනි. නැගෙනහිර ආසියානු හා ගිනිකොන දිග ආසියානු ආර්ථිකයන් එන්ට එන්ටම චීනයේ නිෂ්පාදනය මත කේන්ද්‍රගත සැපයුම් දාමයකට ඒකාබද්ධ කෙරුනි. 2000 සහ 2010 අතර‚ ගිනිකොන දිග ආසියානු සංවිධානය (ආසියාන්) සමග චීනයේ වෙලඳාම ඩොලර් බිලියන 39.4 සිට 292.8කට පිම්මක් ගැසී ය. මෙම ආර්ථික ක්‍රියාවලීන්‚ කලාපීය නිදහස් වෙලඳ ගනුදෙනු සහ එක්සත් ජනපදය අයත් නැති වූ හා එය සහභාගී නොවූ ආසියාන්‚ ආසියාන්+3 හා නැගෙනහිර ආසියානු සමුලු තුල චීනයේ වැඩෙන බලපෑම තුල තම පිලිබිඹුව සොයා ගත්තේ ය.

ඉරාක හා ඇෆ්ගනිස්තාන පටලැවිලිවලින් එක්සත් ජනපදය මුදා ගැනීමේ හා ආර්ථික වසයෙන් ජව සම්පන්න ආසියා ශාන්තිකර ප්‍රදේශ තුලට ආක්‍රමනකාරී හැරීමක් ගැනීම සඳහා මාධ්‍යයක් ලෙස ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ බලගතු කන්ඩායමක් විසින් ඔබාමා ජනාධිපති වශයෙන් පදවි ප්‍රාප්ත කිරීමට සහාය දෙනු ලැබින. 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදය මධ්‍යයේ වඩ වඩාත් එක්සත් ජනපද බැඳුම්කර මිල දී ගන්නා ලෙස‚ “ඇමරිකාවේ බැංකුකරුවාගෙන්” ඉල්ලීම පිනිස එක්සත් ජනපද ඉහල නිලධාරීන් බීජීනයට සංචාරය කිරීම සමගින් ඔබාමාට මුල් වටයේදී චීනය සැනසීමට සිදුවි ය.

කෙසේ නමුත් එම අදියර වේගයෙන් ඉක්ම ගියේ ය. ඔබාමා පාලනය‚ බුෂ් අනුමැතිය දීම ප්‍රතික්ෂේප කල සමගිය හා සාමූහිකත්වයේ ආසියානු ගිවිසුම අත්සන් කල අතර ආසියාන් පාදක සමුලුවලට සහභාගි වීමේ වරම හිමිකර ගත්තේ ය. 2009 ජුලියේ දී‚ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ආසියාන් සමුලුවේ දී එක්සත් ජනපදය “ගිනිකොන දිග ආසියාවට” නැවත පැමිනි බව ප්‍රකාශ කලා ය. වසරකට පසු ආසියාන් රැස්වීමක දී ඇය, දකුනු චීන මුහුදේ කලාපීය ගැටුම් තුල එක්සත් ජනපදයට “ජාතික උත්සුකයක්” ඇතැයි තිරසරව කියා සිටියා ය. එම ප්‍රකාශ “නියත වශයෙන් ම චීනයට ප්‍රහාරයක්” යැයි කීමට චීන විදේශ ඇමති යැන්ග් ජීචි පෙලඹවූ අතර එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් යොමු වූයේ හුදෙක් මිතුරන් ස්ථාපිත කර ගැනීමට පමනක් නොව‚ බුරුමය (මියන්මාරය) වැනි වැදගත් රටවල් චීනයේ බලපෑම් ක්ෂේත්‍රයෙන් ඉවතට හරවා ගැනීමට ය.

මැද පෙරදිග දී මෙන් ම‚ ආසියාව තුල ද ඔබාමා පරිපාලනයේ මූලික ම එල්ලය එක්සත් ජනපද මිලිටරියේ තැන ශක්තිමත් කිරීම ය. පසුගිය වසර දෙක මුලුල්ලේ කලාපය පුරා විශේෂයෙන් ම ජපානය‚ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව සමග මූලෝපායාත්මක හා මිලිටරි බැඳීම් යාවත්කාලීන කර ඇත. එක්සත් ජනපදය පිලිපීනයට යුද නැව් සැපයූ අතර වියට්නාමය සමග පෙර නොවූවිරූ ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස පවත්වා ඇත. සිංගප්පූරුව තුල නව පන්නයේ වෙරලාරක්ෂක ප්‍රහාරක නැව් ස්ථානගත කර, තායිවානයට අලුතෙන් දැවැන්ත ආයුධ තොගයක් විකිනීමට එකඟත්වය ප්‍රකාශ කල අතර ඉන්දුනීසියාවේ කුප්‍රකට කොපාස්සුස් විශේෂ බලකායන් සමග එක්සත් ජනපද සහයෝගය මත පනවා තිබූ තහනම ඉවත් කලේ ය. ගිවිසුම් විධිවිධාන යටතේ ඕනෑම ගැටුමක දී ජපානයට සහාය දැක්වීමට එක්සත් ජනපදය බැඳී සිටිනු ඇත යි ප්‍රකෝපකාරීව ප්‍රකාශ කරමින් පසුගිය වසරේ දී ඔබාමා පරිපාලනය මතභේදයට තුඩුදී ඇති මුහුදු සීමාවේ දී චීන ධීවර නෞකාවේ කපිතාන් අත්අඩංගුවට ගැනීම මත චීනය සමග ඇති කර ගත් අවිනිශ්චිත ආරවුලේ දී ජපානයට සහාය දැක් වී ය.

පෙන්ටගනයේ මූලෝපාය බලශක්ති සැපයීම පාලනය කිරීම මත කේන්ද්‍රගතව පවතී. කෙසේ නමුත්‚ මැද පෙරදිග සම්පූර්නයෙන් ම තම දේශපාලන අනසක යටතට ගැනීමට උත්සාහ කරනවා වෙනුවට‚ මැද පෙරදිග හා අප්‍රිකාවේ සිට ප්‍රධාන හිරවීම් ලක්ෂ්‍ය‚ එනම් සියල්ලට ම ඉහලින් මලක්කා සමූද්‍ර සන්ධිය හරහා බලශක්ති හා අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන චීනයේ වැදගත් නාවික මාර්ගවල අධිකාරය සියතට ගැනීමට එක්සත් ජනපදය තම මිලිටරි ශක්තිය මත ගනන් බල යි. මෙම සැලැසුම්‚ පැසිපික් යුද්ධයට මග පෑදූ සිද්ධි මාලාවක් ගිනි අවුලුවමින් 1941දී ජපානය මත තෙල් තහංචියක් පැනවීමට එක්සත් ජනපදය තම නාවික බලය යොදා ගත් ආකාරය සිහි ගන්වයි.

ආසියාව වෙතට එක්සත් ජනපද තල්ලුවේ තීව්‍රතාව ප්‍රධාන වැදගත් දේශපාලන ආපත්ති දෙකකින් අවධාරනය කෙරේ. ඔබාමාගේ සියලුම “ප්‍රජාතන්ත්‍රවාදී” කතා තිබිය දී ඔහුගේ පරිපාලනය අඩු වශයෙන් කිට්ටු මිතුරන්ගේ විරුද්ධත්වයකට වත් කිසිදු ඉඩක් තබා නැත. 2010 ජූනියේ දී ජපන් අගමැති යුකිඕ හෙටායාමා ගේ ඉල්ලා අස්වීම තුල මෙන්ම මාසයකට පසු ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් ඉවත් කෙරුනු කම්කරු පක්ෂ කුමන්ත්‍රනය තුල ධවල මන්දිරය භූමිකාවක් ඉටු කලේය. හටොයාමා සිදුකල “අපරාධය” නම් ඔකිනවාහි ප්‍රධාන එක්සත් ජනපද කඳවුරක් දිගටම තබා ගැනීමට විරුද්ධවීම යි. රඩ්ගේ “අපරාධය” එක්සත් ජනපදය හා චීනය අතර ආතතිය සැහැල්ලු කිරීම පිනිස පහසුකම් සැපයීමට ඉදිරිපත්වීම ය. තිරසරව එක්සත් ජනපද ගැති පුද්ගලයන් මගින් දෙදෙනාම විස්ථාපනය කෙරුනි.

මෙම බියකරු ගැටුම පිටුපස වන ධාවක බලවේගය නම් එක්සත් ජනපදයේ සාපේක්ෂ ආර්ථික පරිහානිය හා චීනයේ නැගීම යි. එක්සත් ජනපදය සිය ගෝලීය ආධිපත්‍යය රඳවා ගැනීමට උත්සාහ දරනවා මෙන් ම එහි ආර්ථික දුර්වලතාව පිරිමසා ගැනීමට අපරීක්ෂාකාරී ලෙස තම මිලිටරි බලය මෙහෙයවමින් සිටී. එහි ආර්ථික වර්ධනය පිලිබඳ විස්මයකර දර්ශක නොතකා චීනය, ආර්ථික හා සමාජ ප්‍රතිඝතිතාවන්ගෙන්‚ සියල්ලටත් වඩා චීන කම්කරු පන්තියේ පිපිරෙන සුලු වර්ධනෙයන්, ඇලලීගොස් තිබේ. තමන් අනුහස පැතිරවූ ආසියානු වැයික්කිය චීනයට පවරා දීමට එක්සත් ජනපදයට හැකිවනවාට වඩා බීජීනයට, තවදුරටත් වොෂින්ටනයට සහන සැලසීම දැරිය නොහැක. සෑම බලවතෙක් ම අනෙකාගේ වියදමින් තම තත්වයට මුක්කු ගැසීමට උත්සාහ දැරීමත් සමග පිරිහෙන ආර්ථික අර්බුදය විසින් ආතතිය තීව්‍ර කර ඇත.

සමහර කපටි ධනේශ්වර අටුවා කාරයින් මේ වන විටත් ඓතිහාසික සාම්‍යයන් චිත්‍රනයට නඟා ඇත. ෆයිනෑන්ෂල් ටයිම්ස් කතෘ ලයනල් බාබර් පසුගිය සිකුරාදා පලකල ලිපියක‚ “යුග ගනනාවක් මුලුල්ලේම‚ නැඟී එන බලවේග පිලිගැනීමට අසමත් වීම හෝ නැතහොත් පවතින පද්ධතිය පිලිගැනීමට නැග එන බලවේගයන් අසමත් වීම ගැටුමේ නිධානය වී තිබුනි”යැයි සඳහන් කරයි. ජර්මනිය හා ජපානයේ නැගීම ලෝක යුද්ධයන්ට ගිනි ඇවිලවී යයි පෙන්වාදීමෙන් පසු‚ එක්සත් ජනපදෙය් හා චීනයේ “වැරදි ගනන් බැලීම් පිලිබඳ අවදානම” ගැන ඔහු අනතුරු ඇඟවී ය. නැපෝලියානු යුද්ධවලින් පසු ඕස්ට්‍රියානු කුමාරයා යුරෝපයේ දී කලාක් මෙන්‚ පැසිපික් බලවතුන් අතර සම්බන්ධතා සමහන් කිරීම පිනිස ලයනල් බාබර් නූතන ක්ලෙමෙන්ස් වොන් මෙටෙර්නිෂ් කෙනෙකුට ආයාචනා කර යි.

කෙසේ නමුත්‚ දහනවවැනි සියවස වෙනස් ඓතිහාසික කාලපරිච්ඡේදයකි. 1914 පුපුරාගිය අධිරාජ්‍යවාදී යුගය ලෝක යුද්ධ දෙකකින් හා දැන් ඊටත් වඩා ව්‍යසනකාරී දුර්දසාවක තර්ජනයෙන් සලකුනු වී ඇත. යුද්ධය වැලක්විය හැකි එකම මාර්ගය එහි මුල් හේතු‚ එනම් ලාභ පද්ධතිය හා ලෝකය පසමිතුරු ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීම අහෝසි කිරීම යි. මෙම ඓතිහාසික කර්තව්‍ය සඳහා කම්කරු පන්තිය එක්සත් කිරීමට‚ දැනුවත් කිරීමට හා බලමුලුගැන්වීමට උත්සාහ දරන එකම දේශපාලන බලවේගය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: