පෙන්ටගනයේ මූලෝපායික විමර්ෂනය: ලෝක යුද්ධයේ ‍ ‍කෙටුම්පතක්

The Pentagon’s strategy review: A blueprint for world war

9 January 2012

“යුද්ධයේ උදම් රැල්ල බැස යමින් තිබේ” ඔබාමා ප්‍රකාශ කලේ එක් වරක් නොවේ. චීනය සමග මිලිටරි ගැටුමක් කරා යොමුවූ ආක්‍රමනකාරී එක්සත් ජනපද නව ආරක්ෂක මගපෙන්වීම නිල වශයෙන් නිවේදනය කර හඳුන්වා දෙමින්, 05දා පෙන්ටගනයේදී කල කෙටි කථාව තුල ඔහු දෙවරක්ම එසේ පැවසී ය.

සමහර විට ජනාධිපතිට එම වැකිය පුනරුච්ඡාරනය කිරීමට තරම් දැඩි හැඟීමක් ඇති වූයේ, ඔහු නිරාවරනය කල ලියවිල්ලෙහි අඬංඟු දෑ එය මුසාවක් බව හෙලි කරන නිසා විය හැකිය. මූලෝපායික මගපෙන්වීම හා බැඳුනු හා එය නිවේදනය කිරීමෙන් පසුව කරන ලද ප්‍රකාශ, ඇමරිකානු මිලිටරිවාදයේ තවදුර වර්ධනය හා තුන්වන ලෝක යුද්ධයක ප්‍රකට තර්ජනය එලිමහනට පමුනුවයි.

ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත්කර ගැනීම හා 90,000ක හමුදාවක් තව දුරටත් රැඳී සිටිය දී, ඇෆ්ගනිස්ථානයේ හමුදා භට පිරිස් අඩු කිරීම ද ඉදිරි දස වසර තුල පෙන්ටගනයේ වැය ශීර්ෂය බිලියන 487න් කපා හැරීමට හිඟ අවම කිරීමේ පියවර යටතේ බලය පවරා තිබීම ද යන කරුනු මත පදනම්ව ඔබාමා, යුද්ධයේ උදම් රැල්ල බැසයාම පිලිබඳව කයිවාරු ගැසීය.

පෙන්ටගනයේ වැය ශීර්ෂය, බුෂ් පාලනය අවසානයේ ලඟාවූ වාර්තාගත මට්ට‍ෙමහි පැවතිය යුතු බවටත්, එය පසුගිය දශකයේ පැවති බෙල්ල කැඩෙන සියයට 80කින් නොව ඊට වැඩි මට්ටමකින් දිගටම වැඩිවිය යුතු බවටත් රිපබ්ලිකානු විරුද්ධවාදීන් හා ඇමරිකාවේ මිලිටරි කාර්මික සංකීර්නය කරන අවධාරනය හමුවේ ජනාධිපති, එම විවේචන මගහැරීමේ අපහසුතාවයට මුහුනපා සිටියේය.

ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ව්‍යසනකාරී යුද්ධ ගැන සඳහන් කරමින් ඔබාමා, “මිලිටරි පා සලකුනු සමග ජාතිය ගොඩනැගීමේ දිගු කාලීන පිලිවෙත අවසන් කල යුතු බව” කියා සිටියේ ය. එහෙත් මූලෝපායික මගපෙන්වීම අවධාරනය කරන්නේ, එක්සත් ජනපදය සිය අවශ්‍යතා, තෙලින් පොහොසත් පර්සියානු බොක්කේ හා පුලුල් වශයෙන් මැද පෙරදිග තුල පූර්න පරිමානයෙන් පෙරට ගෙනයන බවයි. “මෙම අරමුනු සාක්ෂාත්කර ගැනීම පිනිස එක්සත් ජනපදය, ප්‍රධාන කොටම එරටෙහි ද එහි මිතුරන්ගේ ද මිලිටරි රැඳවුම් පවත්වාගත යුතු බවත්, හවුල්කාර ජාතීන්ගේ සහයෝගය එහි ද කලාපය වටා ද ප්‍රයෝජනයට ගත යුතු බවත් එය වැඩි දුරටත් සඳහන් කරයි.”(අවධාරනය මුල් ලිපියේ)

ඩ්‍රෝන් මිසයිල් ඝාතන හා විශේෂ කාර්ය බලකායන්ගේ ද සීඅයිඒ සංවිධානයේ ඝාතක කල්ලි ද යොදාගනිමින්, ගුවන් හා මුහුදු ආධිපත්‍යය ඒකාබද්ධ කිරීම මගින් වොෂින්ටනයට සිය අවශ්‍යතා පෙරටුකොට ගත හැකි බව වාර්තාව යෝජනා කරයි. එක්සත් ජනපද මිලිටරිය, “භූමි භාගයන් හා ජනගහනය සුරක්ෂිත කරමින් ස්ථාවර පාලන තන්ත්‍රයන් කරා පරිවර්තනය වීමට සීමිත කාලයක් සඳහා පහසුකම් සැපයීමට කුඩා පරිමානයෙන්, පවත්නා බලය පාවිච්චි කරමින් ද අවශ්‍ය වන්නේ නම් දිගු කාලයකට තවත් හමුදා ශක්තිය යෙදවීමේ අවශ්‍යතාවය ද” ඉන් අවධාරනය කෙරෙයි. (අවධාරනය මුල් ලිපියේ)

වෙනත් වචන වලින් කිවහොත්, දිග් ගැස්සුනු ඇමරිකානු වාඩිලෑම්වලට හේතු කාරක වූ, පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධ හා “විශාල මිලිටරි පා සලකුනු” ඊලඟ අවස්ථාව එලඹෙන තෙක් අවසන්වනු ඇතැයි යන්න ය. පෙන්ටගන් ගනන් බැලීම්වල “යතුර” වන්නේ “ආපසු හැරවීමේ සංකල්පය” බව එය අවධාරනය කරයි. එහි අර්ථය, ජාතික ආරක්ෂක සේනාංක හා සංචිත ඒකක මෙන්ම බලහත්කාරයෙන් බඳවා ගැනීම් ද මගින් කෙරෙන බලමුලු ගැන්වීම් යොදාගෙන හමුදාවේ ධුරාවලිය ඉක්මනින්ම වැඩිකර ගත හැකි පරිදි කෙටුම්පත් කල සැලසුම් අඩංඟුවන බවයි.

මූලෝපායික මගපෙන්වීම පිලිබඳ විවේචනාත්මක කතුවැකියක් තුල 06දා වොෂින්ටන් පෝස්ට් පත්‍රය එක්සත් ජනපද පාලක පන්තියේ නිර්දය ගනන් බැලීම් වෙත එලියක් විහිදුවා ඇත. පුවත්පත අදහස් කරන්නේ, ක්ෂිතිජයෙහි පෙන්නුම් කරන ඉරානය හා උතුරු කොරියාව සමග යුද්ධවල දී “දිගු කාලයක් සඳහා එක්සත් ජනපදයේ ප්‍රධාන පාබල හමුදා ශක්තිය එයට අවශ්‍ය” කෙරෙන බවයි. යේමනය, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයෙහි පවා එවැනිම මැදිහත්වීම් සඳහා "බොහෝ වසර ගනනකට, දස දහස් සංඛ්‍යාත හමුදාවන් අවශ්‍ය විය හැකි" බව එය ඇඟවුම් කරයි.

ලේඛනයේ බෙහෙවින් බාරදූර මුහුනත වන්නේ, ආසියානු පැසිෆික් කලාපයෙහි නැගී එන චීන බලය සමග ගැටුමක් කරා එක්සත් ජනපද මිලිටරි ශක්තිය ප්‍රති දිශානුගත කිරීමයි.

කොරියාවේ හා වියට්නාමයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කල විනාශකාරී මැදිහත්වීම්වලින් පසුව, වොෂින්ටනය කියා සිටින්නේ තමන් ආසියාවට “නැවත සම්ප්‍රාප්ත වී” සිටින බවයි. තම හමුදා බලය කලාපයේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමට හා චීන බලපෑම් සිය ග්‍රහනයට ගැනීමට හෝ කනපිට හැරවීම සඳහා යොදාගැනීමට පවා එය උත්සාහ කරයි. පිලිපීනයේ හා ඉන්දුනීසියාවේ සිට වියට්නාමය හා බුරුමය දක්වා වන පරාසයක කලාපීය බලවතුන් සමග සන්ධාන ගොඩනැඟීමට එක්සත් ජනපදය දරන උත්සාහය පසුගිය වසර පුරා දැකගත හැකි විය. දකුනු චීන මුහුදේ හා වඩාත් මෑතක දී ප්‍රකාශයට පත්කල උතුරු ඕස්ට්‍රේලියාවේ 2,500ක පමන මැරීන් හමුදාවක් ස්ථානගත කිරීමේ සැලසුම්, කලාපීය ආරවුල් තුලට එහි ප්‍රකෝපකාරී මැදිහත්වීම් පිලිබඳ නිදසුන් සපයයි.

2008 මැතිවරනයේ දී යුද්ධයේ විරුද්ධවාදියෙකු ලෙස ඔබාමාගේ ව්‍යාජ වෙස්වලා ගැනීම පිටුපස ඇත්තේ, එක්සත් ජනපද මිලිටරි ප්‍රතිපත්තියේ මෙම නව දිශාවනතිය යි. එය, ඔහු ධවල මන්දිරයෙහි පැලපදියම් කිරීමට උත්සුක වූ ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ එම කොටස්වල මූලික අරමුන විය. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ බුෂ් පාලනය ගෙන ගිය දිග් ගැස්සුනු හා වියදම් අධික යුද්ධ හා ඒවා මගින් පර්සියානු ගල්ෆ්හි හා මධ්‍යම ආසියාවේ බලශක්ති සම්භවයන් මත ඇමරිකානු පාලනය පිහිටුවීමේ පෙ‍ාරොන්දු ඉටුකිරීමට අසමත් වීම ගැන කලකිරී සිටි මෙම ස්ථරයන්, එක්සත් ජනපද මිලිටරි බලය පලමු කොටත් අවසාන වශයෙනුත් ආසියාවේදී පමනක් නොව අප්‍රිකාවේ දී, ලතින් ඇමරිකාවේ දී හා තවත් තැන්වල දී එන්ට එන්ටම ඇමරිකාවේ ආධිපත්‍යයට වඩාත්ම කැපී පෙනෙන අභියෝගය එල්ල කරන රටට එරෙහිව යෙදවීමට කැමැත්ත පල කරති.

එක්සත් ජනපදයේ පාලක පන්තිය පසුගිය දශකයේ පැටලුනු ප්‍රධාන යුද්ධ දෙකට යටින් පැවති ප්‍රමුඛ අරමුනු අත්හල බවක් මින් අදහස් නොකරයි. ලේඛනය පැහැදිලි කර ඇති පරිදි මේවා වෙනත් මාධ්‍යයන් තුලින් ඉදිරියට ගෙනයාමට අදහස්කර ඇතුවා පමනි. මෙම අරමුනු අතරින් ප්‍රමුඛ වන්නේ, චීනය පරදුවට තබා ඇති මූලෝපායික බලශක්ති ප්‍රභවයන් මත එක්සත් ජනපද පාලනය ඇටවීමයි.

“නොපිලිගත හැකි හානි සිදුකල හැකි ප්‍රතිමල්ලවයන්ට එරෙහිව, කුමන හෝ තත්වයන් යටතේ යොදාගත හැකි” න්‍යෂ්ඨික අවි “පලදායි තොගයක්” වොෂින්ටනය විසින් පවත්වාගෙන යනු ඇති බවට ලේඛනයේ කොටසක් තුල සඳහන්ව තිබීම, චීනය සමග මිලිටරි ගැටුමක් පිලිබඳ ඇඟවුම් ප්‍රකාශයට පත්වීමකි. විදේශයන්හි නව බිහිසුනු යුද්ධ පිලිබඳ තර්ජනය, රටතුල පොලිස් මිලිටරි ආඥාදායකත්වයක් කරා යන ගමන සමඟ අත්වැල් බැඳගෙන ඇත. පෙන්ටගන් වාර්තාව “රට” ආරක්ෂා කිරීම හා “සිවිල් බලධාරීන්ට සහාය දීම” විශේෂයෙන්ම මිලිටරියට පවරා ඇත. “රටෙහි ආරක්ෂාව හා සිවිල් අධිකාරයන්ට සහාය දීම පිනිස බලගතු, ස්ථිරසාර රාජ්‍ය බලයක් සූදානම්කර තැබීම අවශ්‍ය කෙරෙන” බව එය අවධාරනය කරයි. එම භාෂාවෙහි එකම අර්ථය එක්සත් ජනපද හමුදා, පන්ති අරගලයන්ගේ නොවැලැක්විය හැකි පුපුරා යාම් හා සමාජ නොසංසුන්තාවන්ට මුහුනදීම පිනිස ඇමරිකානු නගරවල වීදිවලට යෙදවීම පිනිස සූදානම්ව තැබිය යුතුය යන්නයි. පුරවැසියන් මෙන්ම පුරවැසි නොවන්නන් ද චෝදනා විරහිතව හෝ නඩු නොමැතිව මිලිටරිය බාරයට ගැනීමට බලය පවරමින් නව වසර එලඹෙද්දී ඔබාමා විසින් අත්සන් තබන ලද ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත හමුවේ, දේශීයව මිලිටරිය මුදාහැරීමේ මෙම රෙගුලාසිය බරපතල අනතුරු ඇඟවීමකි.

2012 මැතිවරන ව්‍යාපාරය ඇරඹිමත් සමග සම්පාත වෙමින් පෙන්ටගනය හා ධවල මන්දිරය විසින් නිකුත් කල මෙම මූලෝපායික මඟපෙන්වීම, දේශීය හා විදේශීය යන දෙකෙහි දී ම මූලික එක්සත් ජනපද ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් ගත් කල, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවන් අතර හටගන්නා තරගයේ අනදාලත්වය පෙන්නුම් කරයි. විදේශයේ දී යුද්ධයේ පිලිවෙතත් රටතුල ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරයත් මුල්කරගත් බුෂ් පාලනය කෙරෙහි පැවති පුලුල් මහජන විරුද්ධත්වයේ රැල්ල මතින් 2008දී බලයට පැමිනි ඔබාමා පරිපාලනය කලේ, ඒ දෙකම පෘතුල කිරීම පමනි. එමගින් මානව වර්ගයා ගෝලීය අග්නි ජාලාවකට මුහුනට මුහුන පිහිටවූවා පමනි. බලයට පත්වුවහොත් ඔහුගේ රිපබ්ලිකානු එදිරිවාදියා ද එම මාවතම ගනු ඇත. දෙපක්ෂයම සිය නියෝග ලබාගන්නේ එකම මූල්‍ය කතිපයාධිකාරයකින් හා මිලිටරි-බුද්ධි අංශ සංකීර්නයකින්ය.

යුද්ධයට එරෙහිවත් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාවත් සඳහා සටන ගෙනයා හැක්කේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් අනිවාර්යයෙන්ම බිඳී වෙන් වෙමින් මිලිටරිවාදයේ ද ආඥාදායකත්ව තර්ජනයේ ද මූලාශ්‍රය වන ධනේශ්වර ලාභ පද්ධතියට හා ඔබාමා පාලනාධිකාරයට ද එරෙහිව කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමේ අරගලය තුලින් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: