රිපබ්ලිකන් පක්ෂයේ ප‍්‍රාථමික මැතිවරන ව්‍යාපාරය

The Republican primary campaign

10 January 2012

විවිධාකාර දක්ෂිනාංශික අපේක්ෂකයන්, වඩවඩා රුදුරු තානයන්ගෙන් යුක්තව, වඩාත්ම ආන්තික ආස්ථානයන් ගැනීමෙහිලා එකිනෙකා පරයා යාමට උත්සාහ කරන තතු යටතේ, රිපබ්ලිකන් පක්ෂයේ ප‍්‍රාථමික මැතිවරන ව්‍යාපාරය, පෙරදැකිය හැකි පරිදි ම, කමකට නැති සිද්ධියක් බවට පල්ලම් බැස ඇත.

නේවාසික උමතු රෝගීන් මානසික රෝහලේ පාලනය අත්පත් කර ගත්තා සේ ය. එහෙත් ප‍්‍රශ්නයට බඳුන්ව ඇති මානසික රෝහල හුදෙක් රිපබ්ලිකන් පක්ෂය පමනක් නොවේ. ප‍්‍රාථමික මැතිවරන ව්‍යාපාරය සමස්ත එක්සත් ජනපද දේශපාලන පද්ධතියේ කුනු වූ ස්වභාවය පිලිබඳ දර්ශනයක් සම්පාදනය කරයි.

අද පැවැත්වෙන නිව් හැම්ප්ෂයර් ප‍්‍රාථමික මැතිවරනය සඳහා යන සූදානම තුල දී, එකිනෙකා සමග තරග වදින අපේක්ෂකයන්, තවත් යෝජනා ඉදිරිපත් කරන අතර ම, ලමා ශ‍්‍රම නීති අහෝසි කිරීම (නිව්ට් ගින්ගි‍්‍රච්), මෙඩිකේඩ් හා සෙසු සමාජ වැඩපිලිවෙලවල් විනාශ කිරීම (රික් සැන්ටෝරම්), ඉරාකයේ නව ආක‍්‍රමනයක් (රික් පෙරී), ෆෙඩරල් වියදම්වලින් ඩොලර් ටි‍්‍රලියනයක් වහාම කප්පාදු කිරීම සහ විවිධ ෆෙඩරල් ඒජන්සි වසා දැමීම (රොන් පෝල් හා රික් පෙරී) ඉල්ලා ඇත.

මේවා අතිශයින් ජනතා විරෝධයට ලක් වන පියවරයන් ය. ඒවා ඉදිරිපත් කිරීම පුලුල් මහජනතාවගේ මනෝගතීන් සමග පැවති සියලු සබඳතා බිඳගත් දේශපාලන පද්ධතියක ලක්ෂනයකි. නිදසුනක් ලෙස, සති අන්තයේ පැවති විවාදයක දී, පෙරී, ඉරාකයට එක්සත් ජනපද ප‍්‍රහාරක හමුදා යලිත් යැවිය යුතු යයි ඉල්ලා සිටි කල, රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ගේ ප‍්‍රතිචාරය සටහන් කරගන්නා විද්‍යුත් මීටරයක දර්ශකය තියුනු ලෙස පහත බැස්සේ ය.

දේශපාලන විවාදයේ වාතාවරනයට එහි ම අර්ථභාරයක් ඇත. විවිධ අපේක්ෂකයන් එකිනෙකාට හා ඔබාමාට දමා ගසන අවලාදයන්ගේ භාෂාව හා තානය, යටින් වැඩෙන දේශපාලන ප‍්‍රචන්ඩත්වයේ සැඩ පහර පිලිබඳ අනතුරු ඇඟවීමකි. එහි රෞද්‍රත්වයේ මට්ටම, වඩාත්ම වැදගත් ප‍්‍රශ්න සියල්ලම සම්බන්ධයෙන් පවත්නා පොදු එකඟතාවයේ මට්ටමට ප‍්‍රතිලෝම වසයෙන් සමානුපාතික වේ.

රිපබ්ලිකන් ප‍්‍රාථමික මැතිවරන ව්‍යාපාරයේ අර්ධ-උමතු ස්වභාවයට ආංශික හේතුවක් නම්, වඩා ආන්තික ආස්ථාන ගැනීමට ඔහුගේ රිපබ්ලිකන් විරුද්ධවාදීන්ට බල කෙරෙන මට්ටමට ඔබාමා ම වඩාත් දකුනට පැද ඇත යන කාරනාවයි.

ඔබාමා, අඩු ගනනේ මේ අවස්ථාව වන විට, මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ ද සංගත මගින් පාලනය වන මාධ්‍යවල ද අධිපති කොටස්වල සහයෝගය දිනාගැනීමට සමත්ව ඇත. රිපබ්ලිකන්වරු ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, ඔවුන්ගේ අන්ත දක්ෂිනාංශික හා ආගමික මූලධර්වාදී පදනම් ඇවිස්සීමේ ප‍්‍රයත්නයක යෙදෙමින්, වෝල් වීදියේ මෙම නොනිල ප‍්‍රකාශකයා "සමාජවාදියකු” ලෙස හෙලාදකිමින්, ජනාධිපතිට එරෙහිව අරුම පුදුම ප‍්‍රහාරයක් මුදා හරිමිනි.

මහ ව්‍යාපාරික පක්ෂ දෙකෙන් එකකට වත් පුලූල් මහජනතාව අතර සැලකිය යුතු දේශපාලන සහයෝගී පදනමක් නැත. ඩිමොක‍්‍රැටික්වරු, දැවැන්ත බැංකු හා ආයෝජකයන්ට අමතරව, බොහෝ සෙයින් අනන්‍යතා දේශපාලනයේ පදනම මත, මධ්‍යම පන්තියේ වඩා පොහොසත් කොටස් මත පාදක වීමට උත්සාහ කරති. ප‍්‍රධාන කොටම ජීවන රටාව පිිලිබඳ කාරනාව මත උත්සුක වන ඔවුන්ගේ ”වාම” මවාපෑම් කෙසේවෙතත්, මූල්‍ය ජාවාරම්වල වර්ධනයෙන් ද කම්කරුවන්ගේ රැකියාවන්ට හා ජීවන මට්ටම්වලට එරෙහි අනවරත ප‍්‍රහාරයන්ගෙන් ද ද්‍රව්‍යමය වාසි ලබා ගෙන ඇති, මෙම සමාජ ස්ථරයෝ, කම්කරු පන්තියට මුලුමනින්ම සතුරුය.

සත්තකින්ම, අපේක්ෂකයන් හා පක්ෂ අතර මතභේද පවතී. එහෙත් ඒවා පිලිබිඹු කරන්නේ පාලක ප‍්‍රභූව තුලම පවත්නා මතභේදයන් ය. 2012 මැතිවරන කි‍්‍රයාදාමය තුල සාකච්ඡා කොට තීන්දු කෙරෙන්නේ මෙවන් කාරනාය: ප‍්‍රමුඛතාව දිය යුත්තේ කුමන යුද්ධයන්ට ද? හමුදාවන් වඩාත්ම සථල හා ඵලදායි ලෙස යෙදවිය හැක්කේ කොහි ද? එක්සත් ජනපදය දැන් ඉරානයට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතු ද නැත හොත් ආසියානු-පැසිෆික් කලාපය තුල චීනය ප‍්‍රතිමුඛ කිරීමට සිය හමුදා යොමු කල යුතු ද? රුසියාව සම්බන්ධයෙන් කුමක් කල යුතු ද? ඊලඟ යුද්ධයේ විජිතවාදී ස්වභාවය වහංගු කිරීමට ”මානව හිමිකම්” කර්මාන්තය වඩාත්ම සඵල ලෙස යොදා ගත හැක්කේ කෙසේ ද?

ඩිමොක‍්‍රැටික් පෙරමුන තුල, විවාදය පවතින්නේ කම්කරු පන්තියට එරෙහි යුද්ධය වඩාත්ම හොඳින් ගෙන යන්නේ කෙසේ ද යන්න මතය. ඇමරිකානු ධනවාදයේ බිඳවැටීමේ ද මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ මඩි තර කිරීම අඛන්ඩව පවත්වා ගෙන යාමේ ද වන්දිය ගෙවනු පිනිස කම්කරුවන්ට හා තරුනයන්ට බල කිරීමේ හොඳම විධික‍්‍රම මොනවා ද? මහජන විරුද්ධත්වය මැඩීම පිනිස වෘත්තීය සමිතිවල හා දූෂිත සිවිල් අයිතිවාසිකම් සංස්ථාපිතයේ සේවය යොදා ගැනීම ඥානාන්විත ද නැත හොත් මෙම සංවිධාන නිකම්ම නොතකා හැරීම වඩා කාර්යක්ෂම ද?

විවිධ අපේක්ෂකයන්ගේ පුද්ගලික අහංකාරකම් හා අභිලාෂයන් මොනවා වුවත්, ඔවුන් සියල්ලෝම, ලෝකයේ පවත්නා වඩාත්ම ප‍්‍රතිගාමී හා ප‍්‍රචන්ඩ රාජ්‍ය යන්ත‍්‍රයට ද එම රාජ්‍යය විසින් ආරක්ෂා කෙරෙන අවශ්‍යතා සහිත මූල්‍ය වංශාධිපති පැලැන්තියට ද සේවය කිරීම සඳහා පොර වැදී සිටිති.

වැඩ කරන ජනතාවගේ උවමනාවන්ට හා අභිලාෂයන්ට දේශපාලන පද්ධතිය මොන තරම් අසංවේදී ද යන වග ඔබාමා පාලනාධිකාරය ඇති තරම් ප‍්‍රදර්ශනය කර තිබේ. බුෂ් කෙරෙහි පැවැති මහජන වෛරයට හා ප‍්‍රගතිශීලී වෙනසක් සඳහා වූ අභිලාෂයට ආයාචනා කොට 2008 මැතිවරනයෙන් බලයට පත් වූ ඔබාමා, සරල හා සුමට පරිවර්තනයක් කි‍්‍රයාවට දමා, දේශපාලන පද්ධතිය වඩාත් දකුනට තල්ලු කිරීමට ඉදිරියට ගියේය.

ආරක්ෂක ලේකම් තනතුරේ රොබට් ගේට්ස් ඇතුලු, ඉහල පෙලේ නිලධාරින් බොහොමයක් ම, සරල ලෙස පැරනි පාලනාධිකාරයේ සිට නව පාලනාධිකාරය දක්වා සිය පක්ෂපාතිත්වය මාරු කලහ. නිව් යෝර්ක්හි පෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති ලෙස, බැංකු ඇප දී ගලවා ගැනීමේ ප‍්‍රථම වටය කි‍්‍රයාවට දැමීමෙහි ලා බුෂ්ගේ භාන්ඩාගාර ලේකම් සමග සමීපව කටයුතු කල, තිමොති ගේත්නර්, ඔබාමාගේ භාන්ඩාගාර ලේකම් ලෙස පත්විය.

රිපබ්ලිකන් මැතිවරන ව්‍යාපාරයේ එක අරමුනක් නම්, ඔබාමා පිටුපස පෙල ගැසීම සහ ඇමරිකාව තුල ෆැසිස්ට්වාදයට පවතින එකම විකල්පය වන්නේ "අඩු නපුර” වන ඩිමොක‍්‍රැටික්වරු තෝරා පත් කර ගැනීම යයි යලිත් වරක් ප‍්‍රකාශ කිරීම පිනිස නිල "වම” (යථා වසයෙන් ගත් කල, දක්ෂිනාංශික දේශපාලන පද්ධතියේ තීරනාත්මක කොටසක්) සඳහා මාවත පහසු කිරීම යි.

එහෙත් ඔබාමාගේ තුන් වසර යලිත් වරක් පෙන්නුම් කර ඇති පරිදි, වැය කෙරෙන අති මහත් මුදල් කන්දරාව ද වසරක් පුරා දිවෙන දැවැන්ත මාධ්‍ය ප‍්‍රචාරක ව්‍යාපාරය ද තිබිය දී ම, මූලික ආන්ඩු පිලිවෙතේ ආස්ථානයෙන් සැලකූ කල, මැතිවරනයේ ප‍්‍රතිඵලය බොහෝ සෙයින් අදාල නොවේ.

මහා අවපාතයෙන් පසුව දක්නට ලද දරුනුම ආර්ථික හා සමාජ අර්බුදයේ සිවු වසරක් ගත වී ඇති මේ අවස්ථාවේ දී, පක්ෂ දෙකට ම, ඔවුන්ගේ පිලිවෙත් විසින් නිර්මානය කරනු ලැබ ඇති පෙර නොවූ විරූ මට්ටමේ සමාජ ව්‍යසනයන් පිලිබඳව කිසිදු තැකීමක් නැත. සිය රැකියා අහිමි වීමට ලක්ව ඇති නැතහොත් වැටුප් කප්පාදුවලට මුහුන දී ඇති කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට සහනයක් සලසනවා වෙනුවට, ඩිමොක‍්‍රැටික්වරු හා රිපබ්ලිකන්වරු කැප වී සිටින්නේ, ඊටත් වඩා ගැඹුරු කප්පාදු පිලිවෙත්වලට ය.

අඛන්ඩව වැඩෙන ධන සංකේන්ද්‍රනය ද කෑදර කතිපයාධිපත්‍යයක් රටෙහි දේශපාලනික ආධිපත්‍යය දැරීම ද කෙරෙහි නැගෙන මහජන කෝපාග්නිය සිය ආරම්භක ප‍්‍රකාශනය අත්පත් කර ගත්තේ, වැඩ කරන ජනතාව අතර පුලුල් සහානුමතියක් දිනාගත් වෝල් වීදිය වාඩිලාගැනීමේ ව්‍යාපාරය තුල ය. කෙසේවෙතත්, මෙය ආරම්භය පමනි.

එක්සත් ජනපදය සමාජ පිපිරීමක්, පරම්පරා ගනනකින් නොදුටු පරිමාවකින් පන්ති ගැටුම්වල පිපිරීමක්, සඳහා මෝරා තිබේ. එලඹෙන විරෝධතා හා සමාජ අරගල රැල්ල, පාලක පන්තිය සිය දේශපාලන බල ග‍්‍රහනය කි‍්‍රයාවට දැමීමට යොදා ගන්නා සමස්ත යාන්ත‍්‍රනය ම අනිවාර්්‍යයෙන් ම පසෙකට තල්ලු කර දැමිය යුතුය. මෙය, සෘජුව ම ධනපති ක‍්‍රමයට එරෙහිව එල්ල කරන කම්කරු පන්තියේ අව්‍යාජ මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම ඉල්ලා සිටී.

ජෙරී වයිට්

Share this article: