බෙයින් ප්‍රාග්ධන සමාගම පිලිබඳ විවාදය

The Bain Capital debate

18 January 2012

පෞද්ගලික ව්‍යාපාර වස්තු වෙලඳ සමාගමක් වන බෙයින් කැපිටල්හි හිටපු ප්‍රධානියා වශයෙන් ජනාධිපති අපේක්ෂක මිට් රොම්නිගේ භූමිකාව, රිපබ්ලිකන් ප්‍රාථමික වටයේ උද්ඝෝෂනය තුල මතුවී ඒමෙන් යන්තම් සතියකට පසුව, එම සාකච්ඡාව යට ගැසීමේ උත්සාහය තුල මාධ්‍යය, එකාවන්ව පෙලගැසී සිටිති. ජනාධිපති අපේක්ෂක තරඟයේ පෙරමුනෙහිම සිටින මෙම පුද්ගලයා, 1984 සිට 1999 දක්වා ‍ෙබයින්හි ප්‍රධනියා වශයෙන්, ගනන් බලා ඇති පරිදි ඩොලර් මිලියන 250ක් හම්බකරගෙන ඇත.

“ධනපති උකුස්සෙක්” යයි රොම්නි හෙලාදකිමින් ඔහුගේ පිලිමල්ලවයන් වන හිටපු නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථානායක නිව්ට් ගින්ග්‍රිච් හා ටෙක්සාස් ප්‍රාන්තයේ ආන්ඩුකාර රික් පෙරී තරඟයෙන් ඉවත්ව ඇති බව පෙනී යන අතර, රොම්නි මෙන්ම උත්තෝලන වාසි මත මිලට ගැනීමේ කර්මාන්තය ද ආරක්ෂා කිරීමේ දිව්රුම් ප්‍රකාශ ගලා එයි.

සිය උද්ඝෝෂනය යලි පන ගැන්වීමට වෑයම් කරමින් ගින්ග්‍රිච් හා පෙරී විසින් එල්ල කරන ලද චෝදනා පිලිබඳ පුලුල් විවාදයක් ප්‍රමුඛ මූල්‍ය අධිකාරීන්ට අවශ්‍ය නොවන්නේ, බෙයින් වැනි ආයෝජන සමාගම් මුදල් උපයා ඇත්තේ, රැකියා විනාශයෙන් ද කම්කරුවන්ගේ වැටුප්, විශ්‍රාම දීමනා හා සෞඛ්‍ය සහන විනාශ කිරීම තුලින් නිසා ය. එවන් සාකච්ඡාවකින් සිදුවිය හැක්කේ, ගැඹුරු වන මහජන විරෝධය, ධනේශ්වර පද්ධතිය කෙරෙහිම එල්ලවීම පමනක් යයි වෝල් වීදිය බියට පත්වීම නිවැරදිය.

බෙයින් සමගම විසින් අත්කරගෙන තිබුනු සමාගම්වලින් සියයට 22ක් ම, වසර අටකට පසුව, බංකොලොත් භාවය ප්‍රකාශ කර හෝ වසා දමා ඇතැයි ආවාට ගියාට පිලිගනිමින්, පසුගිය සතියේ වෝල් ස්ට්‍රීට් ජර්නලය කතුවැකියක් තුලින් රොම්නිගේ ආරක්ෂාවට පැමිනියේය.

සමාජ අසමානත්ව‍ෙය් විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමින්, ධනවතුන් හා අනෙක් සියල්ලන් අතර පරතරය වැඩිවීමට තුඩුදුන් ප්‍රතිපත්ති පිලිබඳව රිපබ්ලිකානුවන්ට දොස් පවරනු ලැබ, ඩිමොක්‍රටික් පක්ෂය හා ඔබාමා විසින් අවශ්‍යයෙන්ම අනුයන ලද්දේ එම පිලිවෙත්මය යන කාරනය වසං කල නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය, තරයේම නරුම කතුවැකියක් 15දා පල කර තිබුනි. ඒ හුස්මටම පුවත්පත, “රොම්නි මහතාගේ ව්‍යාපාරික භාවිතයන් විවේචනය කරන ඕනෑම අයෙක්, නිදහස් වෙලඳපොල ධනවාදය විනිශ්චයට ලක් කරන්නේය යන අභූත චෝදනාවට මුහුන දෙයි. කිසිවෙකුත් ධනවාදය අවසන් කිරීමට උත්සාහ නොකරයි....” යනුවෙන් සඳහන් කරමින් ධනවාදය ආරක්ෂා කිරීමේ මංමුලාසහගත වෑයමක ද නිරත වෙයි.

ටයිම්ස් පත්‍රයට අනුව, බෙයින් කැපිටල් වැනි සමාගම්වල භාවිතය සමස්ත ධනේශ්වර පද්ධතියටම සම්බන්ධ කිරීම “අභූතයකි.” සත්තකින්ම?

පසුගිය දශක තුනක් පුරා පෞද්ගලික ව්‍යාපාරවස්තු හා ආරක්ෂක අරමුදල් කර්මාන්ත‍ෙය් දැවැන්ත වර්ධනය, ඇමරිකානු ධනවාදයේ ක්‍රියාකාරිත්වය පරපුටු කමටත් පරිපූර්න සාපරාධීත්වයටත් ඇද වැටීමේ ප්‍රකාශනයකි.

නයට ගත් මුදල් යොදවා, කවර කලෙකවත් තම ආයතන විකිනී යනවා දකින්නට අකැමතිවූ සමාගම් මිලට ගැනීමේ විශේෂඥයින්වූ, බෙයින්, කාලයිල් ගෲප් හා බ්ලැක්ස්ටෝන් වැනි “උත්තෝලනය කල මිලට ගැනීම්” වල (levraged buyouts, පිටතින් ගත් අරමුදල් යොදවා සමාගමක පාලනය සියතට ගතහැකි පරිදි එහි කොටස් මිලට ගැනීම) යෙදී සිටි ආයතන නැඟී ආ, ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් රැල්ලක් 1980 ගනන්වල දී දැකගත හැකි විය. ඉලක්ක කල සමාගම්වල වත්කම් ඇපකර ලෙස යොදාගනිමින්, අලුතින්ම මිලට ගත් සමාගම්වල ගිනුම් පොත් ඔවුහු නයවලින් පිරවූහ. ඔවුන් සාමාන්‍යයෙන් මිලට ගත් සමාගම්වලින් දැවැන්ත ගාස්තු අයකරගත් අතර ඒවා කෙලින්ම ගියේ පෞද්ගලික ව්‍යාපාර වස්තු කලමනාකරුවන්ගේ සාක්කුවලට ය.

ඉන් පසුව ඔවුහු එම සමාගම් කප්පාදු කර, ලාභ සහිතව ඒවා යලි විකුනා දැමීම හෝ බිඳවැටෙන්ට හැරියහ. ඒ කුමන මඟකින් හෝ බෙයින් හා එහි හවුල්කරුවෝ පොදුවේ සැලකිය යුතු ලාභ සහතික කර ගත්හ. රක්ෂන සමාගම්, විශ්‍රාමික අරමුදල්, බාරකාර අරමුදල් හා බැංකු යන ඔවුන්ගේ ගනුදෙනු කරුවෝ, තම ආයෝජන සඳහා ඉහල ප්‍රතිලාභ අත්කර ගත්හ.

නිෂ්පාදන බලවේග ප්‍රසාරනය කිරීමෙන් නොව, ඒවායේ විනාශය මතින් ඇමරිකානු පාලක පන්තිය සිය ධනය වැඩිකරගත් යාන්ත්‍රනය මෙය විය.

බෙයින් කැපිටල් වැනි සමාගම්වල ක්‍රියාකාරකම් මූර්තිමත් කරන්නේ, පාලක පන්තියේ ස්වයං පෙහොසත්කම සඳහා මූලික පදනම ලෙස, නිෂ්පාදන ක්‍රියාවලිය වෙතින්, අතිශයින්ම පරපුටු මූල්‍ය සමපේක්ෂනය වෙත මාරුවීමයි.

මෙම කටයුතු සමාජීයව අපක්ෂපාතී නොවේ. “කොටස්කරුවන් සඳහා වටිනාකම් නිර්මානය කිරීම, කාර්යක්ෂමතාවයට” ප්‍රතිලාභ සැලසීම හා “තරඟකාරිත්වය” වැනි වාක්‍ය ඛන්ඩ, එවන් මූල්‍ය ගනුදෙනුවල සමාජීයව විනාශකාරී ස්වභාවය සැඟවීමට හා යුක්තිසහගත කිරීමට යොදාගන්නා අන්වර්ත නාමයන්ය.

ඩේවිඩ් නෝර්ත් සිය The Economic Crisis & the Return of History (ආර්ථික අර්බුදය හා ඉතිහාසයේ සම්ප්‍රාප්තිය) යන ලිපියෙහි මෙසේ ලිවීය. “1980 ගනන්වල ඒකාබද්ධ කිරීම් හා අත්පත්කර ගැනීම්, එක්සත් ජනපදයේ කම්කරු පන්ති‍ෙය් සමාජ තත්වයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල නොකර සාක්ෂාත් කල නොහැකි විය. එය අවශ්‍ය කෙරී තිබුනි. ලක්ෂ සංඛ්‍යාත රැකියා එක පැහැර අහෝසි කිරීම, අති දුෂ්කර සේවා කොන්දේසි, සහන කැපීම, වැටුප් කප්පාදු හා වෘත්තීය සමිති බිඳීම වැනි රූපාකාරයන් තුලින් සාක්ෂාත් කරගත් කම්කරු පන්තිය සූරාකෑම උත්සන්න කිරීම, 1980 ගනන්වල උත්තෝලනය කල මිලට ගැනීම් මඟින් නිර්මානය කල දැවැන්ත නය ගෙවා දැමීම පිනිස අවශ්‍ය කෙරී තිබුනි.”

බිඳ විසිරුවාලීම හා සංගතවල ද හා ධනවතුන්ගේ ද බදු කැපාහැරීම මගින්, ජාතික ධනය කොල්ල කෑම පහසු කල ප්‍රතිපත්ති, ඩිමොක්‍රටික් ක්ලින්ටන් පාලනය යටතේ ව්‍යාප්ත කරන ලද්දේ, මහා අවපාත කාලයෙන් පසුව ඇතිකල, ඒ දක්වා ඉතිරිව තිබුනු බැංකු ප්‍රතිසංස්කරන කටුගා දමමින්ය. නව සියවසේදී මෙම සන්තතිය, පලමුව බුෂ් යටතේත් දැන් ඔබාමා යටතේත්, පුලුල් කර තිබේ.

2008 වෝල් වීදියෙහි කඩා වැටීම, ඩොලර් ට්‍රිලියන ගනන් පොදු අරමුදල් බැංකු වෙත පොම්ප කිරීමටත්, කම්කරු පන්තියේ සමාජ හා ‍ජීවන තත්වයන් මත ප්‍රහාර උත්සන්න කිරීමටත් ප්‍රයෝජනයට ගනු ලැබින. අර්බුදයේ කොකා ගැස්සූ නොසංඩාල සමපේක්ෂක මූල්‍ය පරපුට්ටන්ට, විනාශය ගසාකමින් තව තවත් ධනවත්වීමට ඉඩහැර තිබේ. බෙයින් කැපිටල් මතභේදය හමුවේ පසුගිය සතිය තුල කාලයිල් ගෲප්, සිය සමාගමේ ආරම්භකයින් තිදෙනාට පසුගිය වසරේදී එකතුව මිලියන 400ක් වූ වන්දි මුදලක් තමන් පරිත්‍යාග කල බව හෙලි කලේය.

ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් ධනය නිර්මානය කිරීමේ ක්‍රියාවලිය, නිෂ්පාදනය හා සැබෑ වටිනාකම් නිර්මානය කරන සන්තතියෙන් වෙන්කරලීම, පාලක පන්තියේ ම සමාජ ස්වභාවය වෙනස්කර තිබේ. එය තව තවත් නිර්දය, ප්‍රචන්ඩ හා කෑදර ක්‍රමයක් ලෙස වැඩීගොස් තිබේ. මෙය හුදෙක් ඇමරිකානු ස්වභාවයක්ම නොව ගෝලීය වර්ධනයක් බවට පත්ව ඇත.

වෝල් වීදියේ මූලිකත්වය යටතේ කම්කරු පන්ති‍යෙහි ජීවන තත්වයන් මත එල්ල කරන අනවරත ප්‍රහාරයට එකම විසඳුම, විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සටන් කරන, සමස්ත ධනේශ්වර පර්යායයට ම එරෙහිව යොමුකල කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි.

බැරී ග්‍රේ

Share this article: