කොඩැක් බංකොලොත් වීම

The bankruptcy of Kodak

20 January 2012

19දා උදේ ඊස්ට්මන් කොඩැක් බංකොලොත් වීමත් සමග ප්‍රදීපස්ථම්භයක්ව පැවති තවත් ඇමරිකානු සමාගමක් අධිකරනයේ පිහිට පැතීය. බංකොලොත් භාවය ඉල්ලා සිටීම වනාහි, දොට්ටදැමීම්වල ද කප්පාදුවේ ද දශක දෙකක කුලුගැන්වීම විය. ඡායාරූපකරනයේ කලෙක යෝධයෙකුව සිටි නිෂ්පාදයා, ඒ අනුව පැරනි ස්කන්ධයේ සැකිල්ල බවට පත් විය.

හැමවිටම වාගේ, අධිකරනය විසින් ක්‍රියාවලිය අධීක්ෂනය කරනු ලැබුවේ සමාගම, කම්කරුවන්ට හා දස දහස් ගනනක් වන විශ්‍රාමිකයින්ට පහර දීම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ ද යන්නයි. ඔවුන් සිය සෞඛ්‍ය අ‍ාරක්ෂන මුලුමනින්ම පාහේ අහෝසිවනු හෝ කපා හරිනු අත් දකිනු ඇත. කොඩැක්හි දැනට කම්කරුවන් 18,800ක් පමන සේවයේ නියුතු වන අතර 2003 පටන් නිෂ්පාදන මධ්‍යස්ථාන 13ක් වසා දමා රැකියා 47,000ක් අහෝසි කර ඇත.

සමාගම බංකොලොත් භාවයෙන් නැඟී සිටිය හොත් හා ඒ වන විට, එය, එහි ප්‍රමුඛ ආයෝජකයින්ට සිය ආයෝජන සඳහා සෑහෙන ලාභ සහතික කරන පරිදි "ප්‍රතිව්‍යුහගත” කරනු ලැබ, වඩාත් කුඩා ව්‍යවසායක් බවට පත්ව තිබෙනු ඇත.

පසුගිය දශක දෙක තිස්සේ සමාගමේ කැපී පෙනෙන පරිහානියට යටින් පැවතුන ආසන්න සාධක අතර, සංඛ්‍යාංක ඡායාරූපකරනයේ තරගය හමුවේ එය ලත් අසාර්ථකත්වය ද විය. කෙසේ වුවත් එහි නැඟීම හා වැටීම පිලිබිඹු කරන්නේ, හුදෙක් එක් සමාගමක අර්බුදය නොව, සමස්තයක් ලෙස ඇමරිකානු ධනවාදයේම අර්බුදයයි.

කොඩැක්හි මූලාස්ථානය උතුරු නිව් යෝර්ක් කාර්මික නඟරයක් වන රොචෙස්ටර්හි පිහිටා ඇත. එය 1880 ගනන්වල ආරම්භ කල සමාගමකි. 20 සියවසේ මුල් භාගයේදී එය වේගයෙන් වර්ධනය වූ අතර එක්සත් ජනපදය තුල මෝටර් රථ නිෂ්පාදනයට හා අනෙකුත් මහා කර්මාන්තවලට සමාන්තරව ඡායාරූපකරන වෙලඳපොලේ මූලිකයා බවට පත් විය. එය ඡායාරූප එක්තැන් කල පලමු සේවා පටය, අතේ ගෙනයන කැමරාව, වර්ධනය කල අතර එම වර්ගයෙහි කැමරාවක් ඩොලරයකට මිලට ගත හැකි විය. එය 1935දී මිමී35 පලමු වර්න ඡායා පටය සොයා ගත්තේය.

1927 වන විට කොඩැක් කම්කරුවන් 27,000ක් සේවයෙහි යොදවන තරමට වර්ධනය විය. මෙම සංඛ්‍යාව 1946 වන විට 60,000 දක්වා ද 1946 වන විට 100,000 හා 1973දී 120,000 දක්වා ද වැඩි විය. 1980 ගනන්වල ද එහි වර්ධනය සිදුවූ නමුත් ඒ බොහෝ කොටම, මුද්‍රන හා වෛද්‍ය සේයාරූප සමාගම් වැනි විවිධාංඟික උප සේවාවන් අත්පත් කර ගැනීමෙනි. 1988 එහි උපරිම සේවා නියුක්තිය කම්කරුවන් 145,300ක් විය. යන්තම් විසි වසරකට පසුව එහි ශ්‍රම බලකාය සියයට 83න් පමන කප්පාදු කර ඇත.

1980 ගනන් මැද වන වි‍ට කොඩැක් ආසියානු සේයාරූ නිෂ්පාදකයින්ගේ විශේෂයෙන්ම ෆියුජිෆිල්ම් හි උග්‍ර තරඟයට මුහුන පෑවේය. 1990 ගනන්වල දී එහි වෙලඳපොලේ පංගුව, කැනන්, සෝනි හා නිකෝන් වැනි සංඛ්‍යාංක කැමරා නිෂ්පාදකයින් විසින් වැඩි වැඩියෙන් අල්ලා ගන්නා ලදී. සෑහෙන ලාභ උපයාගැනීමට අසමත් වීමට සමාගම ප්‍රතිචාර දැක්වූයේ, ආයෝජන පසුපසට හැරවීමක් වූ එහි මෙහෙයුම්වල විශාල පදාසයන් විකුනා දැමීම හා කම්හල් වසා දැමීම මගිනි.

කෙසේ වුවත් කොඩැක්හි සුවිශේෂත්වයන් කුමක් වුව ද එහි ඉතිහාසය සමස්ත ඇමරිකානු නිෂ්පාදන කර්මාන්තය‍ම සමීපව පිලිබිඹු කරයි. 1940දී එක්සත් ජනපදයේ නිෂ්පාදන කම්කරුවන් සංඛ්‍යාව මිලියන 10ක් වූ අතර 1970 ගනන් අග භාගයේදී මිලියන 20 දක්වා එහි උපරිමයට නැඟුනි. ජනගහනය නොකඩවා වැඩිවෙමින් තිබුනු තත්වය ද හමුවේ අද එය මිලියන 12කට වඩා පහත වැටී ඇත.

ඇමරිකානු පාලක පන්තිය නැඟී එන ගෝලීය තරඟයට ප්‍රතිචාර දැක්වූයේ, වෘත්තීය සමිතිවල ද උදව්ව ඇතිව එක්සත් ජනපදයේ කම්කරු පන්තියට දරුනු ප්‍රහාරයක් සූදානම් කරමිනි. පසුගිය දශක තුනක කාලය තුල ගොඩනඟාගත් ඉමහත් වාසි අත්කරගනු ලැබුවේ, නිෂ්පාදනය ප්‍රසාරනය කිරීම තුලින් නොව, සමපේක්ෂනය, ව්‍යාපාරික වත්කම් කොල්ලකෑම, කම්හල් බිඳ විසුරුවාලීම හා ජනගහනයේ අති මහත් බහුතරයකගේ ජීවන තත්වයන් තියුනු ලෙස පහත හෙලීම මගිනි.

කම්කරුවන්ට පහර දීම ඔබාමා පාලනය යටතේ ද සිදුවෙමින් තිබේ. එක්සත් ජනපදය තුල නිෂ්පාදනය පන ගැන්වීමේ කුමන උත්සාහයක් හෝ පවතින තාක් දුරට එසේ වන්නේ, සහන කප්පාදුව, විශ්‍රාමික සෞඛ්‍ය අරක්ෂන වැනි "උරුමයේ” පිරිවැය අතුගා දැමීම හා කම්කරු වැටුප් දරිද්‍රතා මට්ටම් කරා පිරිහෙලීම පදනම් කර ගෙනය.

කොඩැක්හි වත්මන් ප්‍රධාන විධායකයා, ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ ප්‍රධාන විධායකයා වන ජෙෆ්රි ඉමෙල්ට් විසින් ප්‍රධානත්වය උසුලන ඔබාමාගේ "රැකියා හා තරඟකාරිත්වය පිලිබඳ කමිටුවේ” සාමාජිකයෙක් වීම පුදුමයට කාරනයක් නොවේ. බොහෝ කොටම ව්‍යාපාරික විධායකයින්ගෙන් හා ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුව, 18දා නිකුත්කල "පුනර්ජීවනයේ මාර්ග සිතියම” නමැති වාර්තාවේ මූලෝපාය, සේවා නියුක්තිය වැඩිකිරීම සඳහා නීති රෙගුලාසි අහෝසි කිරීම හා ව්‍යාපාරික බදු කැපීමයි.

මෙම "ප්‍රකෘතියේ” මොඩලය වී ඇත්තේ මෝටර් රථ කර්මාන්තයයි. එය ඔබාමා පාලනයේ හා බංකොලොත්වීම් සම්බන්ධ අධිකරනයේ මඟපෙන්වීම යටතේ, අලුතින් බඳවාගන්නවුන්ගේ වැටුප් හරි අඩකින් කපා හැරීම, විශ්‍රාමික සහන කැපීම හා දස දහස් සංඛ්‍යාත රැකියා අහෝසි කිරීමට මූලිකත්වය ගත්තේය. අහිමිවී ගොස් තිබුනු සුලු සුලු දේ යලි අත්පත්කරගත් අතර සමාගම් ලාභ හා අයෝජකයින්ගේ ප්‍රතිලාභ පිම්මේ ඉහල නැං‍ඟේය.

11දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍ර‍ෙය් ලිපියකට අනුව, පසුගිය දශකය පුරා එක්සත් ජනපද නිෂ්පාදන කර්මාන්තයේ ඒකක ශ්‍රම පිරිවැය සියයට 10ටත් වැඩි ප්‍රමානයකින් පහත වැටුනි. සන්සන්දනාත්මකව එය ජපානයේ සියයට 3න් ද ජර්මනියේ සියයට 41න් ද ඉහල ගොස් තිබේ. පුවත්පත නිෂ්පාදකයින්ගේ ජාතික සංඟමයේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ චැඩ් මවුට්රේ උපුටා දැක්වීය. "අපගේ බොහෝ සාමාජිකයින් අපට කියන දෙයක් නම් සමහර විට එක්සත් ජනපදය තුල නිෂ්පාදනය කිරීම වියදම් අඩු බවයි. මක්නිසා ද යත්, එහි ශ්‍රම පිරිවැය අඩු වැවින්ය.” ඔබාමා පාලනය මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ, "ඇතුලට ගැනීම” (insourcing) ලෙසය.

දේශපාලන සංස්ථාපිතය ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, බැංකුවලට දැවැන්ත සම්පත් ප්‍රමානයක් මුදා හරිමින් හා පොදු විරැකියාවට පිලියම් වශයෙන් කිසිදු ආන්ඩුවේ වැඩ සටහනකට වියදම් කිරීම එකහෙලා ප්‍රතික්ෂේප කරමින්ය. 11දා රැකියා කමිටුවට ප්‍රශංසා කරමින් ඔබාමා යලිත් අවධාරනය කලේ, "ආර්ථික ප්‍රකෘතිය ලඟාකරගනු ඇත්තේ පුද්ගලික අංශය විසිනි.” යනුවෙනි.

කොඩැක් බංකොලොත්වීමෙන් හෙලිදරව් කර තිබෙන, ඇමරිකානු ධනවාදයේ ද සමාජ හා ආර්ථික ක්‍රියාවලීන්ගේ ද පරිහානිය කොන්දේසි නිර්මානය කරන්නේ, කම්කරුවන්ට මුලුමනින්ම මුසාවාදයක් වන "ආර්ථික ප්‍රකෘතිය” සඳහා නොව, පන්ති අරගලයේ ඉමහත් පුනර්ජීවනයකටය.

ජෝසෆ් කිෂෝර්

Share this article: