නයිජීරියාවේ මහා වැඩ වර්ජනය පාවාදීම

The betrayal of Nigeria’s general strike

21 January 2012

නයිජීරියානු කම්කරු සංගමය (එන්එල්සී) සහ වෘත්තීය සමිති සංගමය (ටීයූසී) විසින් ජාතික පරිමාන මහා වැඩ වර්ජනය පාවාදීම ලොව පුරා කම්කරුවන් හා තරුනයන් සඳහා තීරනාත්මක පාඩම් සම්පාදනය කරයි.

වර්ජනය ඇරඹුනේ ජනවාරි 9 දා ය. එය නිල වසයෙන් අවසන් කෙරුනේ, ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ මහජන ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ ආන්ඩුව සමග පැවති සාකච්ඡාවලින් පසුව ජනවාරි 16 දා ය. එහෙත් වෘත්තීය සමිති, ආරම්භක දිනයේ පටන් ම වර්ජනය කඩාකප්පල් කිරීමට හැකි සෑම දෙයක්ම කර තිබුනි.

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය කැඳවනු ලැබුවේ, තෙල් මිල ගනන් වහාම දෙගුන වීමට තුඩු දුන් පියවරක් වූ ඉන්ධන සහනාධාර ඉවත් කිරීමට ජනවාරි 1 දා ආන්ඩුව ගත් තීන්දුවට එරෙහිව ස්වයංසිද්ධික මහජන විරෝධතා ඇවිලීමෙන් පසුව පමනි. පලමු දින පහ තුල දී, මහා වැඩ වර්ජනය නයිජීරියානු ඉතිහාසය තුල මෙතෙක් පැවති විශාලතම සමාජ ව්‍යාපාරය බවට වර්ධනය විය. මිලියන ගනන් කම්කරුවන් වර්ජනයට එක් වූ අතර මිලියන 15ක ජනගහනයකින් යුක්ත දකුනේ ලාගෝස් සිට උතුරේ කනෝ දක්වා, සෑම ප‍්‍රධාන නාගරික මධ්‍යස්ථානයක ම මහජන විරෝධතා පැවතුනි. "නයිජීරියාව වාඩිලාගනු" යනුවෙන් සඳහන් ධජ, ආර්ථික අහේනියට හා සමාජ අසමානතාවට විරුද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස සිය අරගලය අනන්‍ය කරගැනීමක් පෙන්නුම් කලේය.

අරගලය දරුනු මර්දනයකට මුහුන දුන්නේය. පොලීසිය හා මිලිටරිය විසින් අඩු ගනනේ 16 දෙනෙක් ඝාතනය කෙරී සිය ගනනකට තුවාල සිදු කරනු ලැබ තිබේ. සමස්ත ප‍්‍රාන්ත තුල ම ඇඳිරි නීතිය පනවා නගරවල මාර්ග බාධක ඉදි කෙරුනි. වර්ජනය අවසන් වූ දින ආන්ඩුව තව දුර මොනම විරෝධතාවක් ඇතිවීම වලකාලීම පිනිස මිලිටරිය බලමුලුගැන්වීය.

අඛන්ඩ ම්ලේච්ඡ ධනවාදී සූරාකෑමකට එරෙහි මහජන ව්‍යාපාර සහිත රටක් ලෙස ටියුනීසියාව, ඊජිප්තුව, ඊස්රායලය, ගී‍්‍රසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා සෙසු රටවල් අතරට නයිජීරියාව ද එක්විය. එහෙත් මෙම සෙසු රටවල දී මෙන්ම, නයිජීරියානු සිද්ධීන් ද පෙන්නුම් කලේ, වෘත්තීය සමිතිවල හා ඔවුන්ගේ දේශපාලන ක්ෂමාලාපකයන්ගේ නායකත්වය යටතේ ආන්ඩුවලට හා මූල්‍ය කතිපයාධිපත්‍යයට එරෙහිව සාර්ථක අරගලයක් ගෙනයාමට කම්කරු පන්තිය අපොහොසත් බවයි.

ඉන්ධන සහනාධාරය එක රැයකින් අවසන් කිරීම මගින්, ජොනතන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සෘජු ආඥාවන් යටතේ දැඩි අවදානමකට මුහුන දෙමින් කි‍්‍රයා කලේය. සහනාධාරය අහෝසි කිරීම, දැනටමත් ඉතා දුෂ්කර කොන්දේසිවලට මුහුන දී සිටින මහජනතාව තව දුරටත් දරිද්‍රතාවට ඇද දමන පුද්ගලීකරනයේ හා වියදම් කප්පාදුවේ වඩා පුලුල් වැඩපිලිවෙලක එක ප‍්‍රකාශනයක් පමනක් විය. එබැවින් සහනාධාරය අහෝසිය, ජනගහනයෙන් සියයට 70කට වැඩි කොටසක් දිනකට ඩොලර් 2කට වඩා අඩු ආදායමක් ලබන රටක් තුල, වයස 40ට අඩු ජනයා සඳහා සියයට 40 මට්ටමේ පවතින, මහජන විරැකියාවට ද විදුලි බලය හා පිරිසිදු පානීය ජලය වැනි මූලික අවශ්‍යතා නැතිකමට ද එරෙහි විරුද්ධත්වය ඇතුලු, පුලුල් ධනවාදී-විරෝධී සමාජ ව්‍යාපාරයක් සඳහා නාභීය ලක්ෂ්‍යය බවට පත්විය.

වෘත්තීය සමිති මහා වැඩ වර්ජනය කැඳවූයේ වැඩෙන මහජන ව්‍යාපාරය මත සිය ග‍්‍රහනය යලි තහවුරු කරගැනීම පිනිස ය. ආමන්ත‍්‍රනය කල යුතු එකම කාරනය ඉන්ධන සහනාධාරය පුනස්ථාපනය පමනක් යයි අවධාරනය කල ඔවුහු තමන් පාලන තන්ත‍්‍රයේ කිසිදු වෙනසක් අපේක්ෂා නොකරන බව ද එක දිගට තහවුරු කලහ. නයිජීරියාවේ ආර්ථිකයේ අතිමහත් කොටසක් නියෝජනය කරන මූලෝපායිකව වැදගත් තෙල් කර්මාන්තයේ කම්කරුවන් වර්ජනයට නොකැඳවීමට ඔවුහු වගබලා ගත්හ.

යන්තම් දින හතරකට පසුව, ජනවාරි 12 දා, සාකච්ඡාවල ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇතැයි ද ජොනතන් තන්ත‍්‍රය සහන දීමට කැමති වී ඇතැයි ද එන්එල්සී නිවේදනය කලේය. සෙනසුරාදා තව දුර සාකච්ඡා සඳහා අවකාශ සලසනු සඳහා යයි කියමින්, පසුදිනම, එනම් සිකුරාදා, වර්ජනය හා විරෝධතා අත්හිටුවන ලදි. මෙම සාකච්ඡා වංචාවකි. කිසිදු සහනයක් ඉදිරිපත් කෙරුනේ නැත. ජනාධිපති හා උප ජනාධිපති එම සාකච්ඡාවට සහභාගි වූයේ වත් නැත. ජනවාරි 16 වන සඳුදා වර්ජනය යලි ඇරඹීමට නියමිත යයි සමිති නායකයෝ ප‍්‍රකාශ කලහ. එහෙත් ඉරිදාට කැඳවීමට අනතුරු අඟවා තිබූ තෙල් කම්කරුවන්ගේ වර්ජනයක් අවලංගු කරන ලදි.

අවසානයේ දී, දින තුනක විරාමයකින් පසුව වර්ජන කි‍්‍රයාව යලි ඇරඹුනු දින ම, රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටි ජොනතන් ඉන්ධන මිල ගනන් තාවකාලිකව තුනෙන් එකකින් අඩු කරන බව ප‍්‍රකාශ කලේය. හමුදාව වීදිවල සිටි තතු යටතේ, වෘත්තීය සමිති, කීකරු ලෙස, වර්ජනය හා තව දුර සියලු විරෝධතා නතර කලහ.

නයිජීරියානු වෘත්තීය සමිතිවල මෙම කැත පාවාදීම හුදකලා වර්ධනයක් නොවේ. මහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පන්ති අරගලය මැඩ තබා ගැනීමෙහිලා ඉහල වරප‍්‍රසාදිත නිලධාරිවාදී ස්ථරයක උපකරන ලෙස කි‍්‍රයාකරමින්, සමිති මීට සමාන කි‍්‍රයාකලාපයක් ඉටු නොකරන රටක් මේ ලෝකයේ නැත. කම්කරු පන්තිය වෘත්තීය සමිතිවලින් බිඳී සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත පාදකව, පන්ති අරගලයේ අව්‍යාජ සංවිධාන ගොඩනැගීම මත සෑම දෙයක්ම රඳා පවතින්නේ ඒ නිසාය.

කම්කරු පන්තිය මත වෘත්තීය සමිති නිලධරයේ ආධිපත්‍යයේ වඩාත්ම අධිෂ්ඨානවත් ආරක්ෂකයන් වන්නේ විවිධාකාර හිටපු වාමාංශික කන්ඩායම් ය යන කාරනාව ද නයිජීරියානු සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙයි. කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වූ කමිටුව (සීඩබ්ලිව්අයි) ඒ සම්බන්ධයෙන් නිදර්ශනීය වේ. එයට අනුබද්ධිත නයිජීරියානු සංවිධානය හැඳින්වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ව්‍යාපාරය (ඩීඑස්එම්) යන නමිනි.

වර්ජනයේ පලමු දිනම පල කල ලිපියක් තුල, ඩීඑස්එම්, නයිජීරියාවේ වෘත්තීය සමිති දිගු කලක් තිස්සේ නින්දිත කි‍්‍රයාකලාපයක් ඉටු කර ඇත යන්න පිලිගෙන, "2000 වසරේ සිට මේ දක්වා පැවති බොහෝ පෙර මහා වැඩ වර්ජන මුහුන දුන් ඉරනමට -- විස්තරාත්මකව කියතොත්, වැඩ කරන ජනතාව සඳහා සොච්චම් ජයග‍්‍රහන නැතහොත් කිසිදු ජයග‍්‍රහනයකින් තොර වැදගම්මකට නැති සම්මුතියක් -- මෙම අරගලය ද මුහුන දීම වලකාලීම" අවශ්‍ය බව ප‍්‍රකාශ කලේය.

එවන් ප‍්‍රතිඵලයක් වලකාලීම වෙනුවට, කෙසේවෙතත් ඩීඑස්එම් තර්ක කලේ, "එන්එල්සී හා ටීයූසී නායකයන් විසින්" "මහජන බලමුලුගැන්වීම් හා අනතුරු අඟවන වර්ජන" සිදු කල යුතු බවයි.

"දින කිහිපයක් තුල දී එය නතර කිරීමට පමනක් තුඩු දෙන පරිදි, කම්කරු නායකයන්, සූදානමකින් තොරව, දින නියමයක් නැති මහා වැඩ වර්ජනයක්, ප‍්‍රකාශයට පත් කරන තත්වයක් යලි ඇතිවීමක් අපට අවශ්‍ය නැත," යයි ඔවුහු ලිවූහ. එහෙත් මෙවැන්නක් වැලැක්වීම සඳහා යයි කියමින් ඔවුන් ඉදිරිපත් කරන එකම දෙය නම්, "එන්එල්සී විධානයන්ට පරිපූර්නව යටත් වීමක්" -- එනම්, සමිති යාන්ත‍්‍රනයේ අධිකාරිය පවත්වාගෙන යාම -- "සහතික කිරීමේ" එල්ලය සහිත "වර්ජන/කි‍්‍රයාකාරී කමිටු තැනීම" යි.

ඩීඑස්එම් හා එහි මව් සංවිධානය වන, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී පක්ෂය, කර ඇත්තේ දැනුවත් වංචාවකි. මහා වැඩ වර්ජනයක් බලය පිලිබඳ ප‍්‍රශ්නය ද "නයිජීරියාව තුල විප්ලවවාදී වෙනසක හැකියාව" ද මතු කරන බව පිලිගන්නා අතරම, ඩීඑස්එම්, එවන් ප‍්‍රතිඵලයකට වඩාත්ම විරුද්ධ වන බලවේගය විසින් ව්‍යාපාරය මත ආධිපත්‍යය පවත්වාගෙන යාම අනුමත කරයි.

මෙය සිදු කරනු ලැබ ඇත්තේ, බි‍්‍රතාන්‍යයේ 1926 මහා වැඩ වර්ජනය පිලිබඳ ට්‍රොට්ස්කිගේ මූලෝපායික ලියවිලි මත පාදකව සිටින බව කියාපාන පක්ෂයක් විසිනි. කොමියුනිස්ට් පක්ෂය, ස්ටැලින්ගේ නායකත්වය යටතේ, එම වර්ජනයේ ඉරනම තීන්දු කිරීමට බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිති සංගමයට ඉඩ දිය යුතු යයි අවධාරනය කිරීම මගින් ම එය පාවාදීමට අවකාශ සැලසීය.

අවශ්‍යව පවතින්නේ, "සමාජවාදී පිලිවෙත්වලින් සන්නද්ධ මහජන කම්කරු පක්ෂයක්" ගොඩනැගීම යයි, වර්ජනයට පෙරාතුව ඩීඑස්එම් නිකුත් කල නිවේදනය ප‍්‍රකාශ කලේය. එහෙත් මෙම ඉල්ලීමේ අන්තර්ගතය වෘත්තීය සමිතිවල යටත් වීමෙන් පසු දින පල කල නිවේදනයක පැහැදිලි විය. එය මෙසේ ප‍්‍රකාශ කලේය: "වෘත්තීය සමිති, ඒවායේ විශාල කම්කරු පන්තික සාමාජිකත්වය ද නවීන ආර්ථිකය හා සමාජය තුල ඒවායේ මූලෝපායික වැදගත්කම ද හමුවේ, මේ වර්ගයේ විකල්ප පක්ෂයක් ගොඩනැගීම දියත් කල හැකි මූලික ස්ථානයක සිටී."

මෙම බොරු සමාජවාදීන් නායකත්ව තනතුරු ද ඒ හා බැඳුනු වරප‍්‍රසාද භුක්ති විඳින, වෘත්තීය සමිති නිලධරයට සහ නිලධරයේ සංවිධානවලට කම්කරු පන්තිය යටත් කිරීම, සීඩබ්ලිව්අයි හි හා සමස්ත හිටපු වාමාංශික මඩ ගොහොරුවේ දේශපාලනයට අතිමූලික වේ. එය, සමාජවාදය සඳහා අරගලයේ ඉතාමත්ම අධිෂ්ඨානවත් හා සටකපට විරුද්ධවාදීන් ලෙස ඔවුන්ව නිර්වචනය කරයි.

රොබර්ට් ස්ටීවන්ස්

Share this article: