ඊජිප්තු විප්ලවයට වසරක් පිරේ

One year of the Egyptian Revolution

25 January 2012

වසරකට පෙර අද වැනි දවසක ජනාධිපති හොස්නි මුබාරක්ට එරෙහි විරෝධතාවන්හි පලමු දිනයේ දී ම, ඊජිප්තුව පුරා නගරවල දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ වීදි අරක් ගත්හ. දින 11කට පෙර ටියුනීසියාවේ ජනාධිපති බෙන් අලි බලයෙන් පහකල විරෝධතාවන්ගෙන් ආවේශය ලත් ඊජිප්තු කම්කරුවෝ, මුබාරක්ගේ 30 වසරක පාලනය අවසන් කල දින 18ක විප්ලවවාදී අරගලයකට අවතීර්න වූහ.

එක්සත් ජනපද නියෝජිත ෆ්‍රෑන්ක් විස්නර්ගේ සහාය හා ජීවිත 840ක් බිලිගත් විරෝධතාකරුවන්ට එරෙහි පොලිස් ප්‍රචන්ඬත්වය හමුවේ වුව ද පෙබරවාරි 11දා මුබාරක්ට නින්දිත ආකාරයට බලයෙන් ඉවත්වී එය එක්සත් ජනපදයේ පිටුබලය ලත් මිලිටරි ජුන්ටාවක් වෙත පැවරීමට සිදු විය. දුප්පත්කම හා මැදපෙරදිග අධිරාජ්‍යවාදී මර්දනය කෙරෙහි පලවූ කම්කරු විරෝධය තලා දැමීම පිනිස දශක ගනනාවක් තිස්සේ උදව් කල වටිනා සගයාගේ අවස‍ානය, එක්සත් ජනපදයේත් යුරෝපයේ හා ඊස්රායලයේත් ආන්ඩු තැතිගැන්වීය.

ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංඟමය දියකර හැරීමෙහි තේරුම, “ඉතිහාසයේ අවසානය” හා පන්ති අරගලය ද සමාජවාදය ද අභිබවා ධනවාදය ලත් තිරසාර ජයග්‍රහනය ලෙස පාලක පන්තීන් උදම් ඇනූ 20 වසරකට පසුව, මුබාරක්ට එරෙහිව ලත් ආරම්භක ජයග්‍රහනය ජාත්‍යන්තර වශයෙන් කම්කරු පන්තිය ආවේශ ගැන්වීය. හොඳ වැටුප් ද මනා ජීවන තත්වයන් ද ඉල්ලමින් ඉජිප්තුව පුරා ප්‍රීති උත්සව හා වැඩ වර්ජන පැවැත්වුනි. අවසානයේදී ඊස්රායලය ද වෙලාගත් විරෝධතා මැද පෙරදිග පුරා පැතිර ගියේය. "ඉජිප්තුවානුවෙක් ලෙස ගමන් කරන්න” යන දිව්රුම රැගෙන, විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්ගේ සමාජ කප්පාදුවලට එරෙහිව සටන් කල එක්සත් ජනපදයේ කම්කරුවන් ද එමගින් දිරිමත් කලේය.

ආරම්භක ජයග්‍රහනය යුද්ධයන්ගේත් කටුක පන්ති ගැටුම්වලත් වසරක් සඳහා වේදිකාව සකස් කලේය. වසරකට පසුව, මුබාරක් බලයෙන් පහ කල ද මිලිටරි ආඥාදායකත්වය තවමත් බලයේ රැඳී සිටින අතර දහස් ගනනින් සිරගත කිරීම හා වධ දීම ද ජනතාව දිනකට ඇමරිකානු ඩොලර් දෙකට අඩු වැටුපකින් ජීවත් වන තත්වය ද වෙනස්වී නැත. අසීමිත ධෛර්ය ද අධිෂ්ඨානය ද තිබුනේ වී නමුත් කම්කරු පන්තියට හුදෙක්, මුබාරක් තන්ත්‍රය බලයෙන් හෙලීමේ අරගලය මගින් මුනගස්වන ලද දේශපාලන ඉදිරි දර්ශනයේ, ක්‍රියාමාර්ගයේ හා නායකත්වයේ ඓතිහාසික ගැටලුවලට උඩින් පැන යා නොහැකිය.

පසුගිය පෙබරවාරියෙහි විප්ලවයේ ආරම්භක දිනවල දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ පැහැදිලි කලේය. "විප්ලවය තවමත් පවතින්නේ ආරම්භක අදියරයන්හි ය. පුපුරා යාම මගින් මුදා හල පන්ති බලවේග, සුවිශේෂී ඉල්ලීම්වල කොන්දේසි යටතේ හැඩ ගැස්වෙන්නට පටන් ගෙන ඇතුවා පමනි. දශක ගනනාවක මර්දනයෙන් පසුව මතුව එන කම්කරු පන්තිය, තමන්ගේ ක්‍රියාමාර්ගය තවමත් කෙටුම්පත් කරගෙන නැත. දිග හැරෙන අරගලයේ මෙම ආරම්භක අවස්ථාවන්හි දී එය වෙනස් ආකාරයකට සිදුවිය හැක්කේ ද නොවේ."

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරම්භක විරෝධතා ව්‍යාපාරය තුල මතුවූ අවශේෂ පන්ති ප්‍රවනතාවන්ට සපුරා වෙනස් ලෙස, ස්වාධීන දේශපාලන ඉදිරිදර්ශනයක් කෙටුම්පත් කිරීමට සටන් වැදුනි. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය පාදක කර ගනිමින් ජාත්‍යන්තර කමිටුව, වැඩකරන ජනතාවන් කෙරෙහි බිය වන හා අධිරාජ්‍යවාදය මත යැපෙන ධනේශ්වරයට හෝ සුලු ධනේශ්වරයට ප්‍රජාතන්ත්‍ර පාලනයක් ස්ථාපිත කල නොහැකි බව පැහැදිලි කිරීමට උත්සාහ කලේ ය. ඊට විපරීත ලෙස ප්‍රජාතන්ත්‍රය සාක්ෂාත් කල හැක්කේ, ජාතික හා ජාත්‍යන්තර ආර්ථිකයේ සියලු සම්පත් වැඩකරන හා පීඩිත ජනතාවන්ගේ පාලනය යටතට ගන්නා කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලයක ප්‍රතිපලය ලෙස පමනකි.

ජාත්‍යන්තර කමිටුව, කම්කරුවන් හා විප්ලවය මගින් ජන ජීවිතය තුලට කාවද්දවනු ලබන අනෙකුත් පන්ති ස්ථරයන්, එනම්, මුබාරක් විසින් පාර්ශවීයව තහනම් කරන ලද ඉස්ලාමීය පක්ෂ ද එල්බරාඩෙයිට පිටුබලය දුන් ලිබරල් ධනේශ්වරයේ කොටස් ඇතුලු ධනේශ්වර ස්ථරයන් ද විශේෂයෙන්ම ඉසුරුමත් මධ්‍යම පන්තියේ කොටස්වලින් සැදුම්ලත් "වම්මුන්"ද අතර ගැඹුරු ප්‍රතිවිරෝධයෝ පැහැදිලි කිරීමට උත්සාහ කලේය.

ඊජිප්තුව පාලනය කිරීම සඳහා මිලිටරිය සමඟ අනුසන්ධානගත වීමට ධනේශ්වර පක්ෂ උත්සාහ දැරූහ. විප්ලවවාදී සමාජවාදීන් හෙවත් එස්ආර්වරු ලෙස ඊජිප්තුව තුල නම් පටබැඳගෙන සිටින අය ද ඔවුන්ගේ ජාත්‍යන්තර සම චින්තකයින් ද වැනි මධ්‍යම පන්තික "වම්මු," තමන්ට සාර්ථකත්වය ලැබිය හැකි මිලිටරි පාලනයක් යටතේ "පුලුල් ප්‍රජාතන්ත්‍රයේ අවකාශයක්" වෙනුවෙන් පෙනී සිටි අතර වොෂින්ටනය සමග එක්ව ජනතා විරෝධය ගසාකෑමට හා පාලනය කිරීමට වෑයම් කලහ.

දේශපාලන කන්ඬායම් හා ඊනියා "ස්වාධීන" වෘත්තීය සමිතිවලට මුදල් දීම මගින් වොෂින්ටනය, මැද පෙරදිග පුරාම ප්‍රජාතන්ත්‍ර පරිවර්තනයක් ඇතිකිරීම පිනිස අරාබි වසන්තයට උදව් කරන බව පවසමින් මෙම බලවේග, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක ව්‍යාපාරයට බොඳවූ "වාම" පැහැයක් ගෙන දුන්හ.

පසුගිය වසරේ තීරනාත්මක ලක්ෂනය වූයේ මෙම ප්‍රතිගාමී ස්ථරය හා කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල අතර ගැඹුරු වෙමින් ආ ගැටුමයි. හමුදාව සමඟ වසන්තයේදී නැඟී ආ ජනතා අතෘප්තිය "දෙවන විප්ලවයක්" සඳහා කැඳවුමට මඟ පෑදීය. එස්ආර්වරු මෙම ඉල්ලීමට විරුද්ධ වූහ. ඒ වෙනුවට ඔවුන්, මහජන සහයෝගය අහිමි ගැමා ඉස්ලාමියා වැනි අන්ත දක්ෂිනාංශික බලවේග ද ඇතුලු "විරුද්ධ" පක්ෂවල එක්සත් ව්‍යාපාරයක් සංවිධානය කිරීමට උදව් කල අතර අවසානයේ දී තහ්රීර් චතුරස්‍රය තුල නව ජීවයකින් නැඟී ආ ජූනි-ජූලි විරෝධතා තලා දැමීමට හමුදාවට ඉඩ සලසා දුන්නේය.

වසන්තය නිමාවීමෙන් පසුව යලිත් වැඩ වර්ජන වර්ධනය වූ අතර, යුද නීතිය යටතේ පවත්වන ලද ‍"ප්‍රජාතන්ත්‍ර පරිවර්තනය" නමැති ප්‍රෝඩාකාරී වැඩ පිලිවෙල කෙරෙහි එල්ල වූ කෝපය පිලිබිඹු කරමින් නොවැම්බර් අග, එනම්, ඊජිප්තුවේ පාර්ලිමේන්තු මැතිවරන ඇරඹීමට මඳකට කලින්, පුපුරා ගියේය. දැවැන්ත පූර්න මැතිවරන ව්‍යාපාරයක් හමුවේ වුවත් ඡන්දය දීමේ මන්දගාමිත්වය මගින් සලකුනු කල මැතිවරනය, මැතිවරනයේ බල තුලනය ඉස්ලාම්වාදීන්ගේ අතට පත් කලේය. මෙය පෙන්නුම් කලේ, බෙහෝ කොටම විප්ලවය තුල ආන්තික ස්වභායක් ගත් ඉස්ලාම්වාදීන්ගේ ක්‍රියාකලාපය නොව, මධ්‍යම පන්තික පක්ෂවලින් ඔවුන්ට ලැබුනු සහයෝගය හා ඊජිප්තු පාලක පන්තීන්ගෙන් හා පර්සියානු ගල්ෆ්හි ෂීක් තන්ත්‍රයන් වෙතින් ලැබුනු මුදල්වල අනුහසයි.

එමෙන්ම දැන්, මුස්ලිම් සහෝදරත්වය හා අන්ත දක්ෂිනාංශික සලාෆිස්ට්වරු වැනි ඉස්ලාම්වාදීන් විසින් මෙහෙයවනු ලබන සිවිල් පාලන තන්ත්‍රයකට බලය පැවරීම වෙනුවෙන් එස්ආර්වරු පෙනී සිටිති.

බයිනෙත්තු තුඩෙන් තෝරා පත් කර ගත් හා මුබාරක්ට එරෙහිව කම්කරුවන් අරගලයට ඇද දමන ලද සමාජ අපේක්ෂාවන්ට සතුරු එවන් ආන්ඩුවක්, හමුදාව විසින් පවත්ව‍ාගෙන යන පාලනයේ පෙරමුන ලෙස සේවය කරන ප්‍රචන්ඩ ලෙස ප්‍රතිවිප්ලවවාදී තන්ත්‍රයකට වැඩි යමක් විය නොහැකිය. ඉස්ලාමීය නිලධාරීන් මෑතක දී ප්‍රකාශකර ඇත්තේ, හමුදාවට "පෙර තිබුනු ව්‍යවස්ථාවෙන් ලැබී තිබුනාට වැඩි විශේෂ තත්වයක් භුක්ති විඳීමේ අයිතිය නව ව්‍යවස්ථාවෙන් සැලසෙනු ඇති" බවය.

මධ්‍යම පන්තික "වම" ඊජිප්තුවෙන් පිටත කම්කරු පන්තියේ අවශ්‍යතා කෙරෙහි ද ඒ සමානව ම සතුරුය. එස්ආර්වරු හා බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්පී) හා ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) වැනි එහි සහකරුවෝ ද අසල්වැසි ලිබියාව තුල මැදිහත්වීම මගින් තමන් ප්‍රජාතන්ත්‍රය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බවට බටහිර බලවතුන් කරන ප්‍රකාශ ගිරවුන් සේ හඬ නඟති. මේ අවකාශය නේටෝව විසින් අල්ලා ගත්තේ, ලිබියාව තුල යුද්ධයක් ඇරඹිමට හා මැද පෙරදිග පුරා පුලුල් වශයෙන් මැදිහත්වීම සඳහා ය.

ඔක්තෝබරයේ දී නේටෝවේ නායකත්වයෙන් යුත් හමුදා, අවම වශයෙන් ලිබියානුවන් ලක්ෂයකගේ වත් මලකඳන් මතින් ගෙන ගිය යුද්ධය, ලිබියානු තන්ත්‍රය පෙරලා දමා ගඩාෆි මරා දැමීමෙන් කෙලවර කල අතර ලිබියානු තෙල් බිම් මත බටහිර ව්‍යාපාරික අධිකාරය පිහිටුවාලීය. ඇමරිකානු අධිරාජ්‍යවාදය සිරියාව තුල සිවිල් යුද්ධයකට අනුබල දෙමින් ද පර්සියානු ගල්ෆ්හි ඉරානය සමග මිලිටරි ගැටුමකට සූදානම් වෙමින් ද කලාපීය පමනක් නොව විනාශකාරී ගෝලීය යුද්ධයක් පිපිරී යාමේ තර්ජනය පවා මතු කරයි. ලෝක අධිරාජ්‍යවාදය හා එහි මධ්‍යම පන්තික හවුල්කරුවෝ කම්කරු පන්තිය හමුවේ පෙනී සිටින්නේ තෙල් හා ලේ පෙර‍ාගෙන ය.

අද දිනයේදී, ජනතාව වෙතින් ඇරඹීය හැකි විප්ලවවාදී පිපිරීමක් පිලිබඳ භීතිය හමුවේ ඊජිප්තු ජුන්ටාව, යුද නීතිය "පාර්ශවිකව" ඉවත් කිරීම පිලිබඳව සලකා බලන අතර, උතුරු අප්‍රිකාවේ හා මැද පෙරදිග 2011 වසරේ වර්ධනයන් හමුවේ නොනවතින විප්ලව න්‍යාය සනාථනය ලැබ නැඟී සිටියි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඊජිප්තු ධනේශ්වරය හා ඔවුන්ගේ මධ්‍යම පන්තික සගයින් මැද පෙරදිග ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ කම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට හෝ අසමත්ව සිටිති. අනාගතය අයත් වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියට හා ධනේශ්වර මර්දනයට හා අධිරාජ්‍යවාදයට එරෙහි එහි අඛන්ඩ විප්ලවවාදී අරගලයට යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: