ශ්‍රී ලංකාව: ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෝම්බ පිපිරවීම සිසුන්ට එරෙහි ප‍්‍රකෝපකරනයක්

By Kapila Fernando, 10 January 2012

සිකුරාදා සිට වාඩිලාගැනීමක යෙදී සිටි ශී‍්‍ර ලංකාවේ ජයවර්ධනපුර (ජ’පුර) විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ඔවුන් පරිශ‍්‍රයෙන් ඉවත් කිරීම සඳහා පොලීසිය ගංගොඩවිල මහේස්ත‍්‍රාත් උසාවියෙන් නියෝගයක් ලබා ගැනීමත් සමග සඳුදා සවස විශ්වවිද්‍යලයෙන් පිටව ගියහ. පොලීසිය ඉලක්ක කර ගෙන සිටියේ උසාවි නියෝගය අනුව සිසුන් රැඳී සිටි ස්ථානවලින් ඉවත් නොවුනහොත් ඔවුන් පලවා හැරීම සඳහා බලය යෙදීමට යි.

ජ’පුර විශ්වවිද්‍යලයේ පාලනධිකාරිය ඉරිදා වෛද්‍ය පීඨය හැර අනිකුත් පීඨ සියල්ලම දින නියමයක් නැතිව වසා දැමුවේ ය. පොලිස් ප‍්‍රහාරයක් එල්ල වීමේ තර්ජනය නිසා සිසුන් දහස් ගනනක් එදින විශ්වවිද්‍යාලයෙන් පිටව ගියත් තවත් සිය ගනනක් වඩාඩිලාගැනීමේ දිගට ම රැඳී සිටියහ.

සිසුන්ගේ විරෝධතාවයට ආසන්න හේතුව වුයේ ගිය බ‍්‍රහස්පතින්දා අලුයම 2ට පමන විශ්වවිද්‍යාලය තුල පිහිටි සිසුන්ගේ ස්මාරකයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර සිදු කල ප‍්‍රකෝපකරනයකි. මෙම ස්මාරකය 1971 ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හුදකලා ගරිල්ලා කැරැල්ලේ ද 1988-90දී ජවිපෙ ෆැසිස්ට් කැරලිවලදී ද රාජ්‍ය හමුදා විසින් මරා දැමූ සිසුන් සිහි කිරීම සඳහා තැනූ එකකි.

පවතින තොරතුරු අනුව ප‍්‍රකෝපකරනය පිලිබඳව ඇඟිල්ල දික් කල හැක්කේ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශය සහ ඔවුන් මෙහෙය වන ආන්ඩුවේ බලධාරින් වෙතයි. එය සැලසුම්ගත ප‍්‍රකෝප කිරීමක් බව පෙනෙන්ට තිබේ. අලුයම 2ට පමන පිපිරීම සිදුවී ටික වේලාවකින් පොලිසියේ හදිසි අංශ වෙත ශිෂ්‍ය සංගම් නායකයන් විසින් දැනුම් දී තිබුන ද පොලීසියේ කන්ඩායමක් පැමින ඇත්තේ අලුයම 5ට පමන ය. විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කටයුතු භාරව ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින් පිහිටුවනු ලැබ ඇති රක්නා ලංකා නමැති ආරක්ෂක සේවා සමාගමට යි. එහි ආරක්ෂකයෝ දහවල් ද රාති‍්‍රයේ ද දැඩි මුරකාවල යෙදී සිටී. ඔවුන් නොදැනුවත් ව මෙබඳු ප‍්‍රහාරයක් එල්ල කිරීම අතිශයින්ම අසීරු ය.

ප‍්‍රහාරයත් සමග ම ඊට විරුද්ධව කොඩි එසවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ බෝම්බ ගැසීම ශිෂ්‍ය සංගමයේ වැඩක් යයි පල්ල ගිය ප‍්‍රකාශයක් විශ්වවිද්‍යාලයේ උප කුලපති කේ.එන්.එල්. කරුනාරත්න විසින් කර තිබේ. කෙසේ වුව ද ආන්ඩුවේ හෙන්චයියකු වන කරුනාරත්න සිසුන්ට එරෙහිව මර්දනය හා ප‍්‍රකෝපකරනය උසිගන්වන්නකු ලෙස ප‍්‍රකට පුද්ගලයෙකි. විවිධ බොරු චෝදනා ගොතමින් වරින්වර සිසුන් සිය ගනනකගේ පන්ති තහනම් කර සරසවි ආරක්ෂක අංශයේ සහාය සහිතව සිසුන් කුදලා ගෙන ගොස් මිරිහාන පොලීසියට භාරදුන් අවස්ථා ද වාර්තා විය.

බෝම්බය පිපිරවීමේ ප්‍රකෝපකරනයෙන් පසු උපකුලපති කරුනාරත්න ඉවත් කරන ලෙස බල කරමින්, සරසවියේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස වන අරලියගහ මන්දිරය දක්වා වූ කිලෝ මීටර් දහයක පමන දිගු දුරක් ඔස්සේ පා ගමනක් ශිෂ්‍ය සංගම් විසින් එදින ම සංවිධානය කර තිබූනි. දෙදහසකට අධික ශිෂ්‍ය සහභාගිත්වයෙන් යුත් එම පා ගමන සිය ගනනක් වූ පොලිස් හා විශේෂ බලකායන් විසින් කොල්ලූපිටිය මංසන්ධියේ දී නවතා දැමින. කරුනාරත්න ඉවත් කිරීමට බල කෙරෙන "අඛන්ඩ වාඩිලා ගැනීමක්” ජ’පුර ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කෙරුනේ ඉන් පසුව යි.

ශිෂයයන් බියගැන්වීම සඳහා ආන්ඩුව විශ්වවිද්‍යාලය ඉදිරි පිටට කැරලි මර්දන අංශ ඇතුලු පොලීසිය ද හමුදා බලඇනියක් ද යෙදවූයේ ය. එසේ වුව ද මර්දන හා තර්ජන මධ්‍යයේ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඇති සූදානම ශිෂ්‍යයෝ විවිධ අයුරින් ප‍්‍රකාශ ලහ.

දැනට මාස තුනකට පමන පෙර සරසවියට පැමිනි පලමු වසර සිසුන් දෙදෙනෙක් මෙසේ ප‍්‍රකාශ කලහ: "අපි කැම්පස් එකට ඇවිල්ලා මාස තුනයි. අපි ආන්ඩුවෙන් හමුදාව යටතේ දීපු නායකත්ව පුහුනුවට සහභාගි වුනා. ඉතින් අපි ශිෂ්‍ය සංගමය මීට කලින් සංවිධානය කරපු විරෝධතාවන්ට සහභාගි වුනේ නෑ. නමුත් මර්දනයයි ගැටලූයි වැඩි තත්වයක් තුල අපි ඊයේ පැවති විරෝධතාවට සහභාගි වුනා.”

සිසු විරෝධතා තලා දමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය සඳහා යෝජිත පනත ක‍්‍රියාවට දැමීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව උසි ගන්වා ඇති මර්දනයේ කොටසක් ලෙස සරසවි ආරක්ෂක අංශය රක්නා ලංකා සමාගමට පවරා දුන්නේ සරසවි සිසුන්ගේ හා ආචාර්යවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ය.

සිසුන්ගේ දේශපාලන ක‍්‍රියාකාරකම් මුලුමනින් ම මැඩලීම එල්ල කර ගනිමින් ගිය අවුරුද්දේ මුල පටන් ඊනියා නවක වදය වැලැක්වීමේ නීතිය ආන්ඩුව විසින් ක‍්‍රියාවට දැමීය. එය භාවිතා කරමින් බොහෝ සරසවිවල ශිෂ්‍ය සංගම් තහනම් කෙරුනු අතර සියගනනක් සිසුන් පන්ති තහනමට ලක් කෙරුනි. පොලිස් අත්අඩංගුවට ගැනීම්, සිසු විරෝධතා පොලිස් ප‍්‍රහාරයට ලක් කිරීම් ඇතුලු දඩයක්කාරී ප‍්‍රහාර නිරතුරුව මුදා හැරෙමින් පවතී.

සිසු විරෝධය මැඩීම සඳහා ආන්ඩුවේ සූදානම විශදව පෙන්වමින් දහස් ගනනක සහභාගිත්වයෙන් පසුගිය මාසයේ දෙසැම්බර් 21 දා පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සංවිධානය කල පා ගමන නතර කිරීමට මිලිටරි-පොලිස් විධික‍්‍රම යොදා ගැනුනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ යෝජිත පනත ලඟදීම ගෙන එන බව අවධාරනය කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක දෙසැම්බර් 28 දා කැඳවූ පුවත් පත් සාකච්ඡාවකදී කියා සිටියේ "කිසිදු ශිෂ්‍යයෙකුට විශ්වවිද්‍යාල පරිපාලනයට හෝ ආන්ඩුවට එරෙහිව පෙලපාලි යෑම හෝ විරෝධතා සංවිධානය කිරීමට ඉඩ නො දෙන” බවයි.

ජපුර මහා ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය විරෝධතාව හුදු කරුනාරත්න ඉවත් කිරීමේ ව්‍යාපාරයක් බවට යලි හරවා තිබේ. පසුගිය දින හතර තුල ගෙනගිය වාඩිලා ගැනීම පිටුපසින් ජපුර මහා ශිෂ්‍ය සංගමය කි‍්‍රයාවට දැමුවේ නිරර්ථක විරෝධතා දේශපාලනයකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සම්බන්ධ මහා ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට සිසුන් අතර පවත්නා විරෝධය මෙබඳුම විරෝධතා ව්‍යාපාරවල ගිල්වා දියකර දැමීම සඳහා පිවර ගනිති.

උප කුලපතියන් අස්කිරීමෙන් හෝ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප‍්‍රශ්න විසඳාගත නොහැකි බව වඩවඩාත් පැහැදිලි වී ඇතත් ශිෂ්‍ය සංගම් කරන්නේ වඩවඩාත් විරෝධතා සංවිධාන කිරීම යි. වෙනත් දේශපාලන පිලිවෙතක් සිසුන් අතරට ගෙන ඒමට මෙම සිසු නායකයන් තරයේ ම විරුද්ධ ය. ජ'පුර බෝම්බ පිපිරවීමෙන් හා සිසුන්ට එරෙහිව පොලීසිය හා හමුදාව දැමීමෙන් යලිත් පෙන්නුම් කෙරුනේ දේශපාලන වැඩපිලිවෙලකඅවශ්‍යතාවය යි.

ජ'පුර හා පේරාදෙනි විශ්වවිද්‍යාලවල ගිය සිකුරාදා හා සෙනසුරාදා සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සමාජිකයන් ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදු පිලිවෙත් පරාජය කිරීම සඳහා සිසුන්වෙත දේශපාලන කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කිරීමේ උද්ඝෝෂනයක යෙදුනුවිට ශිෂ්‍ය සංගම් නායකයෝ ඊට පවතින සතුරුකම් ප‍්‍රදර්ශනය කලහ. එම කි‍්‍රයා මාර්ගයෙන් පෙන්නුම් කර තිබුනේ සිසුන් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරුවන් වෙත හැරී කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුතු බව හා ජාත්‍යන්තරවාදී අරගලයක අවශ්‍යතාවය ගැනය.

මෙම කි‍්‍රයාමාර්ගය ගැන කිපුනු පේරාදෙනිය ශිෂ්‍ය සංගමයේ නායකයෝ සසජාශි නියෝජිතයන්ට කායික ව පහර දෙන බවට තර්ජනය කර ඔවුන් අත තිබූ ප‍්‍රකාශනයන් උදුරාගනිමින් ආරක්ෂක අංශවලට දැනුම්දීමට කටයුතු කලහ. මහා ශිෂ්‍ය සංගමයේ අවසරයකින් තොර ව සිසුන් හා කතා කල නොහැකි යැයි ද ඔවුහු තර්ජනය කලහ. ජයවර්ධන පුර සරසවියේ දී පලමු වසර සිසුන් සසජාශි සාමාජිකයන් සමග සාකච්ඡා කිරීම වලක්වා ඔවුන් පලවා හැරීමට ශිෂ්‍ය සංගම් නායකයෝ කි‍්‍රයා කලහ.

විශ්වවිද්‍යල ශිෂ්‍ය බල මන්ඩලය ද ඊට සම්බන්ධ ජපුර සහ පේරාදෙනි මහා ශිෂ්‍ය සංගමය ද කලින් මෙහෙයවූයේ ජවිපෙ දේශපාලනයෙනි. දැන් ඒවා මෙහෙයවන්නේ ජන අරගල ව්‍යාපාරය නමින් තමන් හඳුන්වා ගන්නා, ජවිපෙන් කැඩුනු නමුත් එම දේශපාලනයෙන් නොකැඩුනු, කන්ඩායම යි. මොවුන් තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව සිදු කරන මැර කි‍්‍රයා හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත් වීම් ශක්තිමත් කරන්නේ ආන්ඩුවේ හා විශ්වවිද්‍යාල බලධාරීන් ශිෂ්‍යයන්ට එරෙහිව ගෙන යන මර්දනකාරී ව්‍යාපාරයට යි.

Share this article: