ඔබාමාගේ රාජාසන කතාව: යුද්ධය හා වැටුප් කප්පාදුව

Obama’s State of the Union address: War and wage-cutting

By Patrick Martin, 25 January 2012

ධවල මන්දිර හා මාධ්‍ය පන්ඩිතයින් විසින් ඩිමොක‍්‍රටික ජනාධිපතිවරයා සාරාත්මක ලෙස තම යලි තේරීපත්වීමේ උද්ඝෝෂනය දියත් කරමින් කරන "ජනතාවාදී ආයාචනයක්" ලෙස කල්තබා හුවාදැක්වූව ද එම කතාව තුල ඇමරිකාවේ තියුනු සමාජ අර්බුදයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කරනවා තබා එවැන්නක් පවතී යයි පිලිගැනීමක්වත් අඩංගු වූයේ නැත.

කොංග‍්‍රසයේ ඒකාබද්ධ සැසියකට කරන ජනාධිපතිවරයාගේ වාර්ෂික කතාව එකම හිස් වාගාලාප, එකම යාන්ති‍්‍රක අවධාරනයන්, ජනාධිපති බිරිඳට වෙන්කොට ඇති ආසනවල අසුන් ගන්නා පුද්ගලයන්ගේ එකම අභිනයන්, අර්ථභාරී නො වන හෝ මුලුමනින් ප‍්‍රතිගාමී යෝජනා ලැයිස්තුව හා ජාතික සමගියට හා මිලිටරිවාදයට කරන අසාධ්‍ය ආයාචනා සහිත හිස් හා වතාවත්මය වර්ගයේ එකක් බවට වඩ වඩාත් පත්ව ඇත.

අවපාතය නිල වසයෙන් ඇරඹී වසර හතරක් ද මහා අවපාතයෙන් මෙපිට විශාලතම මූල්‍ය බිඳවැටීමෙන් වසර තුනක් ද ගතව ඇති තැන එක්සත් ජනපද ආර්ථිකය අර්බුදයේ ගිලී පවතින අතර ලෝක ආර්ථිකය ක්ෂනිකව නව ව්‍යසනයකට එලැඹෙමින් තිබේ. එහෙත් මිලියන ගනන් වැඩකරන ජනයා අත්දකිමින් සිටින ආධිපත්‍යධාරී කරුන වන ධනේශ්වර පද්ධතියේ මංමුලා සහගත අර්බුදය පිලිගැනීමට ඔබාමාට හෝ ඔහුගේ රිපබ්ලිකන් විරුද්ධවාදීන්ට නො හැක.

2008 වෝල් වීදියේ අර්බුදය රට සමාජ අර්බුදයකට ඇද දැමීය. එහි ඵලයන් වූයේ මහජන විරැකියාව, ඉහල යන දරිද්‍රතාව, ප‍්‍රාදේශීය හා ප‍්‍රාන්ත ආන්ඩුවල අයවැය බිඳවැටීම්, මහජන සේවාවන් වසා දැමීම හා කුසගින්න හා නිවාස නොමැතිකම පැතිරී යාම යි. එහෙත් ඔබාමා හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලන් ම යෝජනා කරන එකම විසඳුම වන්නේ කම්කරු පන්තියේ වියදමෙන් ඇමරිකානු සංගතවල ලාභ ඉහල දැමීම යි. ඔබාමා විසින් යෝජනා කරනු ලබන සෑම ඊනයා "රැකියා සම්පාදනය කිරීමේ” පියවරක් ම යථාර්ථයේ දී සංගත ඇමරිකාවට ආන්ඩුවෙන් දෙන බදු සහනයක් හෝ සහනාධාරයකි.

ඔබාමාගේ කතාව 2008 බිඳවැටීමේ හේතු හා විපාක මතින් ලිස්සා ගියා පමනක් නොව එක්සත් ජනපද හා ලෝක ආර්ථිකයට ගිනිය නො හැකි විපාක ගෙන එනු ඇත්තා වූ යුරෝ කලාපය බිඳී විසිරී යාමට තර්ජනය කරන යුරෝපයේ හතු පිපෙන මූල්‍ය අර්බුදය පිලිබඳව සඳහන් කිරීමෙන් මුලූමනින් ම වැලකුනි.

ඔබාමාගේ ආර්ථික පිලිවෙත්වල විශිෂ්ටතම සාධනය ලෙස ඔහුගේ කතාවේ අක්ෂය වූයේ වාහන කර්මාන්ත අංශයට ඇප තැබීම පිලිබඳ යාදින්න යි. "මෙම සැලැස්ම ඇරඹෙන්නේ ඇමරිකානු නිෂ්පාදනය සමග යි" යයි ඔහු කීවේ ය. "මා තනතුර භාරගන්නකොට අපේ වාහන කර්මාන්තය බිඳවැටීමේ අද්දර තිබුනා... උදවුවට හිලවු ලෙස අපි වගකීම ඉල්ලා සිටියා. කම්කරුවන් හා වාහන කර්මාන්ත හාම්පුතුන් ඔවුන් අතර වෙනස්කම් විසඳා ගැනීමට යොමු කිරීමට අපට පුලූවන් වුනා.”

"වගකීම” යන්නෙන් ඔබාමා අදහස් කරමින් සිටියේ වාහන කම්කරුවන් සියයට 50ක වැටුප් කප්පාදුවක් පිලිගැනීම සමග රැකියා දස දහස් ගනනක් විනාශ කිරීම, විශ‍්‍රාම ගිය කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් හා සෞඛ්‍ය ප‍්‍රතිලාභ කැපීම මෙන් ම වැඩවර්ජන තහනම් කිරීම හා කර්මාන්ත ශාලා තුල සමාගමේ පොලීසිය ලෙස එක්සත් මෝටර් කම්කරු සමිතියේ භූමිකාව ශක්තිමත් කිරීම ගැන යි.

වාහන කම්කරුවන් වන්දි ගෙවද්දී එම කර්මාන්තයේ හාම්පුත්තු ලාභ පොදි ගසා ගත්හ. "අද වෙනකොට ජෙනරල් මෝටර්ස් සමාගම ලෝකයේ අංක එකේ වාහන තනන්නාගේ තැනට නැවත පැමින ඇති අතර ඇමරිකානු වාහන කර්මාන්තය පුනර්ජීවනය වී තිබෙනවා” යයි ඔබාමා උදම් ඇනීය.

පහත සඳහන් අතිඅසාමාන්‍ය වචන සමගින් ඔහු කතාව කරගෙන ගියේ ය: "ඩිට්‍රොයිට්හි සිදුවන දෙය අනෙකුත් කර්මාන්තවල ද සිදුවිය හැකි ය. ක්ලෙව්ලන්ඞ්, පිට්ස්බර්ග් හා රැලේහි එය සිදුවිය හැකි ය.” මෙම ප‍්‍රකාශය එක්සත් ජනපදයේ සෑම කම්කරුවකුගේ ම රැකියා, ජීවන තත්ත්වයන් හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් මත තර්ජනයක් ලෙස ගත යුතු ය.

ඔබාමා ඩිට්‍රොයිට්හි "සාර්ථකත්වය" පිලිබඳ උදම් අනද්දී එම නගරයේ දරිද්‍රතාව හා විරැකියාව සියයට 50ට වඩා නැග, පුලුල් සින්නවීම් හා උපයෝගිතාවන් වසා දැමීම් මධ්‍යයේ නාගරික ආන්ඩුව මුලූමහත් ජනාවාස අත්හැර දැමීමට කැප වී ඇමරිකාවේ පැරනි නිෂ්පාදන අගනුවරේ විශාල කොටසක් යලි ගොවිබිම් බවට හැරී නගරය බංකොලොත් භාවයේ ගිලී තිබේ.

ප‍්‍රාන්ත ආන්ඩුව, ප‍්‍රාදේශීය ආන්ඩුව තහනම් කොට වෘත්තීය සමිති කොන්ත‍්‍රාත්තු ඉරා දමා අනදීම මගින් පාලනය කරන හදිසි කලමනාකරුවෙකු පත්කිරීම පරිකල්පනය කරමින් සිටී. ඩිට්‍රොයිට් ඇමරිකාවේ පමනක් නොව සමස්ත ලෝකය පුරා නාගරික බිඳ වැටීම හා සමාජ කාලකන්නි භාවය පිලිබඳ සමානාර්ථ වචනයක් බවට පත්ව තිබේ. "ක්ලෙව්ලන්ඩ්, පිට්ස්බර්ග් හා රැලේ” හි කම්කරුවන්ට ඔබාමා ඉදිරිපත් කරන්නේ මෙය යි.

මෙම අදහස් දැක්වීම්වලට පසෙකින් දේශපාලන ගිනි උදුනක් හා පිරවුම් ද්‍රව්‍යයක් තිබේ. සංගත පාලිත මාධ්‍ය කතාවේ "ජනතාවාදී” යයි විස්තර කල කොටස පැයකට වඩා දිගු කතාවේ ඡේද කිහිපයකට සීමා විය. "එක්කෝ අපට ඉතා කුඩා ජනතාවක් හොඳින් ජීවත් වන අතර වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් දුෂ්කරත්වයේ ගිලුනු රටක් තිබිය හැකි යි. නැත්නම් අපට සෑම දෙනාට ම සාධාරන කොටසක් ලැබෙන, සෑම දෙනා ම සහභාගිවන හා සෑම දෙනා ම එකම නීතියකින් පාලනය වන ආර්ථිකයක් පුනස්ථාපනය කිරීමට පුලුවන්” යයි ඔබාමා ප‍්‍රකාශ කලේ ය.

බැංකු වරද භාරගත යුතු යයි පිලිගනිමින් ඔහු 2008 මූල්‍ය අර්බුදය පිලිබඳව ලූහුඬින් සඳහන් කල අතර එය ප‍්‍රධාන වසයෙන් ඔහු හා ඔහුගේ පරිපාලනය වගකීමෙන් මුදා ගැනීමට ගත් උත්සාහයක් විය. සිද්ධිය සිදු වී වසර හතරකට පසුව ජනාධිපතිවරයා නිවේදනය කලේ තමන් නීතිපතිවරයාට "නිවාස අර්බුදයට මගපෑදූ දූෂිත නයදීම් හා අනතුරුදායක උකස්තැබීම් පොදිගැසීම පිලිබඳ අපගේ විමර්ශන විස්තාරනය කිරීමට” නියෝග කල බව යි. මෙම මැතිවරන වසරේ ඇස්බැන්දුම වෝල් වීදියේ විධායක නිලධාරීන් කිසිවෙක් සිරගෙට නො යවනු ඇත. මෝඩ වීමට අවශ්‍ය අය පමනක් එමගින් රවට්ටනු ලබනු ඇත.

අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂනය පිලිබඳ තම සමාජ පිලිවෙත් ස්ථීරසාරව ධනේශ්වර වෙලඳපොල මත පදනම් වන බව අවධාරනය කල ඔබාමා සමාජ වියදම් වැඩිදුර කපාහැරීම පිලිබඳ තම කැපවීම යලි අවධාරනය කලේ ය. මන්ත‍්‍රන සභා රිපබ්ලිකානුවන්ගේ කවයේ විරුද්ධත්වය මගින් පීලි පන්නවන ලද ධනවතුන් මත තරමක් වැඩි බදු පැනවීම්වලට හිලවු ලෙස මෙඩිකෙයා හා සමාජ ආරක්ෂනවලට වෙන් කරන අරමුදල් කැපීමට කතානායක ජෝන් බුහ්නර් සමග පසුගිය ගිම්හානයේ එලැඹුනු ගිවිසුම පිලිබඳව ඔහු ගෙන හැර දැක්වීය.

එතරම් ම අනතුරුදායක හා ප‍්‍රතිගාමී වන්නේ විදෙස් පිලිවෙත්වලට වෙන් කෙරුනු රාජාසන කතාවේ කෙටි ආරම්භක හා දීර්ඝ අවසන් කොටස් ය. සිය තුරුම්බුව ලෙස ඔහු පැහැදිලිව සලකන දෙය වන එක්සත් ජනපද නාවික මුහුදු නැවි කන්ඩායමක් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම පිලිබඳව සඳහන් කරමින් කතාව ඇරඹූ ඔබාමා එලෙසින් ම අවසන් කලේ ය.

ඔබාමා "ඇමරිකානු සන්නද්ධ හමුදාවල දිරිමත් බව, පරහිතකාමීත්වය හා කන්ඩායමක් ලෙස කි‍්‍රයා කිරීම” උත්කර්ෂයට නැංවීය. "අපගේ ආයතන බොහොමයක් අපව පහලට ඇද දමන කාලයක ඔවුන් සියලු අපේක්ෂා ඉක්මවා යනවා... ඔවුන් නාභිගත වන්නේ තම රාජකාරිය පිලිබඳව යි. ඔවුන් එක්සත්ව වැඩ කරනවා. අප ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කලහොත් අපට කල හැකි දේ කොපමනදැයි උපකල්පනය කර බලන්න" යයි ඔහු දිගට කියාගෙන ගියේ ය.

විශේෂයෙන් ම චීනය සූරාකෑමේ වෙලඳ භාවිතාවල් අනුගමනය කරන චූදිතයෙකු යයි සඳහන් කරමින් ජනාධිපතිවරයා යලි යලිත් ආර්ථික ජාතිකවාදයේ බෙර වැයුවේ ය.

ඇමරිකානු මිලිටරි ශක්තිය හා ලිබියානු පාලක මුවම්මර් ගඩාෆි බලයෙන් හෙලීම හා ඝාතනය කිරීම වැනි විදෙස් පිලිවෙත් "සාර්ථකත්වයන්” පිලිබඳ දීර්ඝ ප‍්‍රශස්ති ගායනයේ දී ඔබාමා "අපගේ සදාචාරාත්මක ආදර්ශයේ නො නස්නා බලය” පිලිබඳව සඳහන් කලේ ය. ඇත්ත වසයෙන් ම බුෂ්ටත් වඩා ඔබාමා යටතේ ඇමරිකාව අනන්‍ය කරගනු ලබන්නේ ඩ්‍රෝන් ප‍්‍රහාර, ඝාතක කල්ලි හා කුලී ඝාකකයන් විසින් සිදු කරනු ලබන බියවැද්දීම් හා මිනීමැරීම් සමග යි.

කතාවේ සමාප්තියේ දී ඔබාමා බින් ලාඩන් ඝාතනය කල මෙහෙයුම පිලිබඳව යලි සඳහන් කිරීමේ දී මිලිටරිමය රේඛා ඔස්සේ ධාවනය වන සමාජයක් පිලිබඳ තම දැක්ම කරා යලි පැමිනියේ ය. බැරැක් ඔබාමා සම්බන්ධයෙන් ගත්කල පුහුනු කරන ලද ඝාතක කන්ඩායමක ඒකාබද්ධ භාවය වනාහි මානව සහෝදරත්වයේ ඉහල ම රූපාකාරය යි.

Share this article: