පක්ෂයේ පදනම් දියවී යාමෙන් එජාපයේ අභ්‍යන්තර කුලල් කා ගැනීම් ඇද්දී යයි

By Wasantha Rupasingha, 6 January 2012

ලංකාවේ ප‍්‍රධාන ධනපති විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ විශාල වැඩි ඡන්දයකින් කෘත්‍යාධිකාරී මන්ඩලය විසින් යලි තෝරා පත් කර ගැනීමෙන් ප‍්‍රකාශයට පත් වන්නේ වත්මන් දේශපාලන තත්වය තුල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව වෙනස් කිරීමට කටයුතු නොකල යුතු බවට පක්ෂ ඉහල නායකත්වයේ වැඩි කන්ඩායමක් හා ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක් තුල පවතින එකඟතාව යි.

දෙසැම්බර් 19 වෙනි දින පක්ෂ මූලස්ථානය වන සිරිකොත දී පැවැති රහස් ඡන්දයක දී කෘත්‍යාධිකාරි මංඩලයේ සාමාජිකයන් 94 දෙනාගෙනන් 68ක් වික‍්‍රමසිංහට ඡන්ද ලබා දී තිබූ අතර එජාපයේ ප‍්‍රතිවාදී කන්ඩායම විසින් වික‍්‍රමසිංහගේ ප‍්‍රතිවාදියා ලෙස ඉදිරිපත් කල හිටපු සම නියෝජ්‍ය නායක කරු ජයසූරියට ලැබුනේ ඡන්ද 26ක් පමනි.

ඡන්ද 42ක් ලැබූ රවී කරුනානායක පරාජය කරමින් ඡන්ද 50ක් ලැබූ ප‍්‍රතිවාදී පිලේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක තනතුරට පත් වූ අතර ජාතික සංවිධායක ධුරයට එම කන්ඩායමෙන් තරග වැදුන දයාසිරි ජයසේකර ඡන්ද 36ක් ලබා ගනිමින් ඡන්ද 56ක් ලැබූ ධනවත් ව්‍යාපාරිකයෙකු හා එජාපයේ ප‍්‍රධාන මූල්‍ය ආධාරකයා වන දයා ගමගේට පරාජය විය.

පක්ෂයේ ඡන්ද පදනම වේගයෙන් සෝදා පාලු වීමෙන් පැන නැග ඇති දැඩි අභ්‍යන්තර ඝට්ටනයක එජාපය කරවටක් ගිලී සිටින අවස්ථාවක මෙම ඡන්දය පැවත්වින. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරනු ලැබූ අවස්ථාවේ දී "කැරැලි” කන්ඩායමට අයත් යැයි කියනු ලැබූ 500ක පමනක් පිරිසක් ප‍්‍රතිඵල පිලිබඳ නොසතුටෙන් පක්ෂ මූලස්ථානයට කඩා වැදීමට උත්සහා දරමින් එයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර පැයකට වැඩි කාලයක් එය වට ලා ගෙන සිටියෝ ය.

ප‍්‍රහාරයෙන් අනතුරුව පලාත් සභා මංත‍්‍රීවරුන් වන ශිරාල් ලක්තිලක, මයිත‍්‍රී ගුනරත්න අතුලු 16ක් "නීති විරෝධී ඒකරාශිවීම,” "පක්ෂ මූලස්ථානයට හානි කිරීම” ඇතුලු චෝදනා ලැබ මිරිහාන පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුනි. පසුව දෙසැම්බර් 22 දින ගංගොඩවිල මහේස්ත‍්‍රාත් උසාවියේ දී ඔවුන් ඇප මත නිදහස් කෙරුනි.

ඡන්ද පැවැති දින සිරිකොත ඉදිරිපිට රැස්ව සිටි පිරිස ඇමතූ පේ‍්‍රමදාස තම විරෝධය ප‍්‍රකාශයට පත් කිරීම පිනිස මෙසේ කීවේය: "අපි මෙම අරගලය ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂය සරම් හා කලිසන් අඳින රෙද්ද හා හැට්ටය අඳින ජනතාවට යූඇන්පිය අත්පත් කර දීමටයි. එජාපයේ අයිතිය ඇත්තේ ප‍්‍රභූ පැලැන්තියේ කීප දෙනෙකුට නොව ශ‍්‍රී ලංකා භූමියේ සැබෑ දූපුතුන්ට යි.”

දෙසැම්බර් 22 පැවැති පුවත්පත් සාකච්ඡාවක දී දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කලේ, පක්ෂයේ "සිංහල බෞද්ධ ඡන්ද පදනම ඛාදනය වී” ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවට "ජාතිකවාදී බලවේගවල” හා "සිංහල බෞද්ධ” ඡන්ද දිනා ගැනීමට හැකි වී තිබෙන බවත් මෙම පදනම් දිනාගෙන පක්ෂය නැවත ගොඩ නැගිය යුතු බවත් ය.

එජාපයේ මුහුනුවර "සිංහල - බෞද්ධ” හා "ගම්බද ගොවි ජනයා” නියෝජන කරන එකක් ලෙස ජනතාවාදී හා වර්ගවාදී වාචාලයෙන් පින්තාරු කරගෙන පක්ෂයේ ඡන්ද පදනම යලි පුම්බා ගැනීම ප‍්‍රතිවාදී කන්ඩායමේ උපාය බව මෙම ප‍්‍රකාශවලින් පැහැදිලි වෙයි. පක්ෂය තුල "ප‍්‍රභූ පන්තියට” එරෙහිව හිස් වාගාලාප දොඩවන ඔවුන්ට එජාපයේ ධනේශ්වර වැඩ පිලිවෙල මතභේදයක් නැත.

එජාපයේ ඡන්ද ප‍්‍රමානය, ඡන්දය ප‍්‍රකාශ කල ජනයාගෙන් සියයට 50කට වැඩි ප‍්‍රමානයක සිට සියයට 29 දක්වා සෝදා පාලූ වී ඇත. වරප‍්‍රසාදවලට ගිජුකමින් ආන්ඩුව පැත්තට නොකඩවා මන්ත‍්‍රීන් මාරුවීම නිසා එජාප මන්ත‍්‍රී සංඛ්‍යාව 2004 වසරේ 82 සිට මේ වන විට 42 දක්වා පල්ලම් බැස තිබේ. බලයට පත් වීමට තමන්ට ඉඩ නොලැබේ යයි වික්ෂෝපයට පත්ව සිටින වික‍්‍රමසිංහගේ ප‍්‍රතිවාදී කන්ඩායම රාජපක්ෂට කරට කර සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය යහමින් පාවිච්චි කල හැකි පුද්ගලයෙකු නායකත්වයට පත් කර ගතහොත් පක්ෂයේ පදනම් ගොඩනගා ගත හැකියයි කල්පනා කරති.

ප‍්‍රතිවාදී කන්ඩායමට වික‍්‍රමසිංහ සමග ඇත්තේ උපායාත්මක මතභේදයක් පමනකි. 2001-2004 එජාපය ප‍්‍රමුඛ ආන්ඩුව පැවැති කෙටි කාලය තුල දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමග 2002 ඇති කරගත් "සාම ක‍්‍රියාවලියට” වික‍්‍රමසිංහ මුල් විය. ඊට පහර දෙමින් රාජපක්ෂගේ පාලක සභාගය ද ජවිපෙ ඇතුලු සිංහල ස්වෝත්තමවාදීන් ද වික‍්‍රමසිංහ "බෙදුම්වාදියෙක්” හා එල්ටීටීඊ හිතවාදියෙකු ලෙස හංවඩු ගසා ඇති තත්වය තුල ඔහු නායක පුටුවේ තබාගෙන සිය පදනම් තහවුරු කර ගැනීමට නොහැකි ය යන්න ප‍්‍රතිවාදී කන්ඩායමේ අදහසයි.

එවක ලෝක මහා බලවතුන් ද මහා ව්‍යාපාරිකයින් ද සහයෝගය දුන්, "සාම ගිවිසුම” ඇති කර ගැනීම වික‍්‍රමසිංහ දෙමල විරෝධී වර්ගවාදයෙන් බිඳීමක් නොවීය. එය ලංකාවේ සෑම ධනපති කන්ඩායමක් ම කම්කරු පන්තිය බෙදා පන්ති පාලනය රැක ගැනීමට යොදා ගත් විෂඝෝර ආයුධය යි.

එජාප අර්බුදය වික‍්‍රමසිංහගේ පෞද්ගලික "දුර්වලතාවයක්” වත් රාජපක්ෂගේ "බලවත්කම” වත් නිසා සිදු වන්නක් නොවේ. ලාංකීය ධනේශ්වරයේ සම්ප‍්‍රදායික පක්ෂය වන එජාපයේ අර්බුදය හුදකලා සංසිද්ධියක් ද නොවේ. ඉන් ප‍්‍රකාශයට පත්ව ඇත්තේ මහජනයා සමස්ත දේශපාලන සංස්ථාපිතයෙන් ගැඹුරින් ම විරසක වීමෙන් එහි සියලු පක්ෂ අලලා ගෙන ඇති අර්බුදය යි. මෙය ලෝක ප‍්‍රපංචයකි. රාජපක්ෂගේ ආන්ඩුව ද වරප‍්‍රසාද, අල්ලස්, බිය ගැන්වීම් ආදියෙන් පක්ෂ පතුරු හා මන්ත‍්‍රීන් අලවා ගෙන ඇති හවුලකි.

ආන්ඩු බලය දැරූ කාලයේ කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව ගෙන ගිය රුදුරු ප‍්‍රහාරවලට ද අධිරාජ්‍යවාදී ගැති පිලිවෙත්වලට ද මහජනයා තුල පවත්නා විරුද්ධත්වයෙන් එජාපයට ගොඩ ඒමට නොහැකි වී ඇත. වික‍්‍රමසිංහ අගමැතිව සිටි දෙවසර තුල "යලි පුබුදමු ශී‍්‍ර ලංකා” නැමැති අපකීර්තිමත් ලෝක බැංකු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීම නිසා, ගම්බද දුගීන් හා කම්කරු පන්තිය තුල එජාපයට එරෙහි වෛරය උග‍්‍ර වී තිබේ.

විශේෂයෙන් ම 2005 දී බලයට පත් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මොනම විකල්පයක්වත් නොවූ එජාපයේ වික‍්‍රමසිංහ නායකත්වය කලේ ඊට සහයෝගය දීම යි. ඊට උපායික වෙනස්කම් පැවතියේ රාජපක්ෂ ආන්ඩුව චීනයට වඩා සමීප වීමේ විදෙස් පිලිවෙත ගැන ය. ඒ පිලිබඳව කනස්සල්ල පල කරමින් එජාපය අවධාරනය කරන්නේ කොලඹ ආන්ඩුව ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සමග සමීපව සිටිය යුතු බවයි.

රාජපක්ෂ ආන්ඩුව බලයට පැමින යලි යුද්ධය අවුලුවා දහස් ගනනකට මරු කැඳවමින් එල්ටීටීඊ පරාජයෙන් එය නිමා කිරීමට එජාපය මුලුමනින් ම සහයෝගය දුන්නේ ය. යුද්ධය මධ්‍යයේ රාජපක්ෂ සමග ආන්ඩුවට සහයෝගය දීමේ සාකච්ඡාවලට එලැඹුනු වික‍්‍රමසිංහ පසුව ඒ සඳහා ගිවිසුමක් ද ඇති කර ගත්තේ ය. 2007 ජනවාරි මාසයේ ජයසූරිය හා තවත් එජාප මන්ත‍්‍රීන් 17ක් රාජපක්ෂ ආන්ඩුවට ඇතුලත් වූයේ මෙම නොනිල හවුල්කෑමේ තත්වය තුල යි.

යුද්ධයෙන් පසුව තමන්ගේ මූලෝපායික අවශ්‍යතාවන්ගෙන් මෙහෙයවුනු අධිරාජ්‍යවාදී රටවල්වල පීඩනය හමුවේ රාජපක්ෂ ආන්ඩුව ආරක්ෂා කිරීමට එජාපය පෙරට ආවේය. ශ‍්‍රී ලංකා මිලිටරිය යුද අපරාධ සිදු කල බවට පැහැදිලි සාක්ෂි ගෙන හැරපාන එක්සත් ජාතීන්ගේ "විද්වත් කමිටු වාර්තාව” ගැන කරුනු දැක්වීමට ආන්ඩුවට කල් දෙන ලෙස ආයාචනා කිරීමට එජාප නායකයා පෞද්ගලිකව ම මහලේකම් බැංකි මූන් හමුවීය.

දැන් රාජපක්ෂ ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දමමින් ද කම්කරු හා ගම්බද දිලිඳු ජනයාට එල්ල කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් හුදු ලාමක දෙඩවීම් මිස විරුද්ධත්වයක් එජාපයට නැත.

වෘත්තීය සමිති ද නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) බඳු හිටපු රැඩිකලුන්ගේ සංවිධාන ද සමග විටින් විට එජාපය මේ ප‍්‍රහාර ගැන වාගාලාප දොඩවමින් විරෝධතා පවත්වයි. ඒ, මහජනයා තුල ලියලන කෝපය වාෂ්ප කර යටපත් කර දැමීම පිනිස ය.

එජාපයේ අර්බුදයට තවත් හේතුවක් වී ඇත්තේ මහ ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක් පෙර දී දුන් සහය ඉවත් කරගෙන ආන්ඩුවට සහාය දීම යි. රාජපක්ෂ සිය පවුල් සාමාජිකයනට හා ව්‍යාපාරික හිතවතුන්ට වරප‍්‍රසාද ලබා දීම ගැන සම්ප‍්‍රදායික ධනපතියන් අතර නොසතුටක් පවතී. කෙසේ වුව ද, උග‍්‍ර වන ලෝක අර්බුදය තුල ලංකාව ගිලෙන තතු යටතේ කම්කරු පන්තියේ අරගල පිපිරීම ගැන භීතියෙන් රාජපක්ෂගේ පොලිස්-රාජ්‍ය පියවරයන්ට ඔවුන්ගේ පූර්න සහයෝගය ලැබේ.

එලැඹෙන අරගල පිලිබඳ දැනුවත් නසසපය, එසප හා තවත් මධ්‍යම පන්තික කන්ඩායම් එජාපයට ජීව වායුව පිඹ ඉස්මත්තට ගැනීමට නොදරන තැතක් නැත. නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න එජාප නායක වික‍්‍රමසිංහ "ප‍්‍රගතිශීලී සමාජ ක‍්‍රියාකාරිකයෙක්” ලෙසට වග වර්නනා කරයි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එජාපය පුම්බා එහි උගුලේ කම්කරුවන්, තරුනයින් හා දුගීන් හිර කිරීමට ය.

එජාපය කීරි ගස්වමින් ප‍්‍රකාශයට පත්ව ඇති ධනපති දේශපාලන සංස්ථාපිතයේ අර්බුදයට පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිචාරය පොලිස් රාජ්‍යයක් ඇටවීම යි. රාජපක්ෂ පාලනය යටතේ එය වඩාත් වැඩි දියුනු අවධියක පවතී. එජාපය බලයට පැමිනිය ද එයට ඊට වඩා වෙනස් ප‍්‍රතිචාරයක් නැත.

මෙම අර්බුදයට කම්කරු පන්තියේ ප‍්‍රතිචාරය විය යුත්තේ දුගීන් හා තරුනයින් ඒකාරාශි කරගෙන විප්ලවකාරී ලෙස ධනපති ක‍්‍රමය පෙරලා දමා දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම යි. ඒ සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීම තීරනාත්මක ය.

Share this article: