සමාජවාදී සමානතා පක්ෂය ( ඕස්ටේ‍්‍රලියාව) ආරම්භක සම්මේලනය

යෝජනා 3: චීනයට එරෙහි ඇමරිකානු යුද සූදානම පරාජය කරනු

Resolution 3: Oppose the US war drive against China

9 may 2012

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් තුන්වැන්න යි.

1. සමාජවාදී සමානතා පක්ෂයේ මෙම සම්මේලනය ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ආසියා -පැසිෆික් ප‍්‍රදේශයේ ඇමරිකානු ආධිපාත්‍යය යලි තහවුරු කිරීමට ද ලෝක ආධිපාත්‍යය යුදබලයෙන් පවත්වාගෙන යාමට ද චීනය ඉලක්ක කර ගනිමින් කෙරෙන අධිරාජ්‍ය යුද සූදානම හෙලාදකී.

2. 2007-2008 දී පුපුරා ගිය ගෝලීය මූල්‍ය අර්බුදය එක්සත් ජනපදයේ ආර්ථික තත්වයේ ඓතිහාසික පරිහානිය ඉස්මත්තට ගෙන ආවේය. එහි දේශපාලන ප‍්‍රතිවිපාක දුරදිග යන සුලු ය. අවුරුදු අසූවකට පෙර ලියොන් ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේ ය. "සිය ප‍්‍රතිමල්ලවයන්ගේ වියදමෙන් එහි "දුෂ්කරතාවයන්” හා "ව්‍යාධීන්” ජය ගැනීමට ප‍්‍රයත්න දරන හෙයින් උත්පාත සමයේ දී ට වඩා අර්බුදයේ සමය තුල දී එක්සත් ජනපදයේ ආධිපාත්‍යය වඩාත් පුර්නව, වඩාත් විවෘතව සහ වඩාත් නිර්දයව ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.” ට්‍රොට්ස්කි ගේ තක්සේරුව මුලුමනින්ම සනාථ වී තිබේ.

3. ජනාධිපති බුෂ්ගේ පාලනාධිකාරය චීනයේ වැඩී එන බලපෑම නොතකා හැර තිබුනේය යන විවේචනය ට ප‍්‍රතිචාර වශයෙන් ඔබාමා පාලනාධිකාරය, චීනය කලින් දශකයේ දී ආසියාව තුල පරෙස්සමින් වගාකරගෙන තුබුනු රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතාවලට වල කැපීම ඉලක්ක කර ගත් ප‍්‍රහාරයක් 2009 මුල පටන් ආරම්භ කලේ ය. ආසියාව දෙසට නව අමරිකානු "හැරීම” පහත සඳහන් පියවර අතුලත් කර ගති: චීනයේ මිත‍්‍රයා වූ උතුරු කොරියාව ට එරෙහිව දකුනු කොරියාවට ආධාර කිරීම, දිඔයු ශේන්කුකු දුපත්වල ජපානය හා චීනය අතර උග‍්‍ර ප‍්‍රතිමුඛතාවේ දී ජපානයට සහය දීම, තායිවානය ට විශාල වශයෙන් අවි විකිනීම, දකුනු චීන මුහුදේ භෞමික අයිතිය පිලිබඳ ප‍්‍රශ්නවලට අත දැමීම, වියට්නාමය, ඉන්දුනීසියාව සහ විශේෂයෙන්ම පිලිපීනය සමග සමීප යුද සබඳතා ඇති කර ගැනීම, කාම්බෝජයට කාවැදීමේ ප‍්‍රයත්න, වඩාත් සාර්ථකව බුරුමය චීන කක්ෂයෙන් වෙන් කර ලීම, උතුරු සහ බටහිර ඔස්ටේ‍්‍රලියාවේ යුද කඳවුරු ඇමරිකානු හමුදාව නැවැත්වීමට පාවිච්චි කරන පියවර, ඉන්දියාව සමග එක්සත් ජනපදයේ මූලෝපායික හවුල තර කිරීම සහ ප‍්‍රාදේශීය "ප‍්‍රජාතන්ත‍්‍රයන්” තුන - ජපානය, ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව - සමග එක්සත් ජනපදය එක්වී චීනයට එරෙහි හවුලක් ගොඩනැගීම.

4. ඔබාමා පාලනාධිකාරයේ මෙම ප‍්‍රකෝපී රාජ්‍යතාන්ත‍්‍රික සහ යුදමය පියවර සමස්ත වශයෙන් එල්ලව ඇත්තේ ඇමරිකානු යුද සන්ධාන, හවුල් සහ කඳවුරු මාලාවක් මගින් චීනය වට කිරීමට ය. ජනවාරියේ දී නිකුත් පෙන්ටගනයේ මුලෝපායික ලියවිල්ල විශදව ම ප‍්‍රකාශ කර සිටින්නේ එක්සත් ජනපද මිලිටරිය ආසියා පැසිෆික් ප‍්‍රදේශය දෙසට "අලුතින් බර දමනු ඇති” බව ද මෙම ප‍්‍රදේශයේ "ඝට්ටන ඇතිවීම වැලක්වීමට” චීනය වග බලාගත යුතු බව ද වේ. ඇමරිකානු යුද සැලසුම්වල කේන්ද්‍රීය යොමුවක් නම් දකුනු ආසියාවේ මුහුදු මාර්ගවල තීරනාත්මක "මරු නිල” (චෝක් පොයින්ට්ස්) අල්ලා ගෙන, ඝට්ටනයක් පැනනැගී වහාම චීනය ආර්ථික අඩස්සියක සිර කර දැමීමට එක්සත් ජනපදය සමත්වන තත්වයක් සකසා ගැනීම යි. එක්සත් ජනපදය චීනයට එරෙහිව සූදානම් කරගෙන යන ප‍්‍රහාරය වනාහී විභව සතුරෙකුට එරෙහි සාහසික පුර්ව-භංග ප‍්‍රහාරයකි. එය එක්සත් ජනපදයේ ම සහ චීනයේ ජනයා පමනක් නොව මානව වර්ගයාගේ ම අනාගතය කෙරෙහි ව්‍යසනකාරී විපාක ඇති කරවන න්‍යෂ්ටික ගිනි ජාලයකට ගොදුරු කරනු ඇත.

5. චීන පාලන තන්ත‍්‍රයේ නිල පිලිවෙත ලෙස තවමත් පවතින්නේ ඩෙං ෂියා ඕ පිං යටතේ අරඹන ලද, "සාමයේ සහ සංවර්ධනයේ” පිලිවෙතයි. එහෙත් දැන් හමුදාවේ ද බෙයිජිං නිලධරයේ ද සමහර කොටස් කියා සිටින්නේ මෙම පිලිවෙත අතහැරිය යුතු බව ය. චීනය දැන් තමන්ගේ සාමකාමී චේතනා පිලිබඳ මොන පොරොන්දු එක්සත් ජනපදයට දුන්නත් නොනැවතී ම සිදුවන චීන ආර්ථික නැගීමට වොෂිංටනය යුදමය පිලිතුරක්ම දෙනු ඇති නිසා, චීනය විසින් කලයුතු වන්නේ දැන්ම ම එවැන්නකට සූදානම් වීම බව ඔවුහු කියා සිටිති. ලිබියාවට කරන ලද නේටෝ මැදිහත් වීමේ දී චීන ආසක්තයන්ට කරන ලද හානිය ද සිරියාවට සහ ඉරානයට එරෙහි එල්ල කර තිබෙන යුදමය තර්ජනයන් ද මෙම මතය තව දුරටත් තහවුරු කරයි.

6. ගත වූ දශක වල ආර්ථික, මුල්‍ය සහ යුදමය ධාරිතා අතින් වේගවත් වර්ධනයක් අත්කරගෙන තිබෙන නමුත් චීනය අධිරාජ්‍යවාදී රටක් නොවේ. චීන ආර්ථිකයේ වර්ධනය ගලා එන්නේ ලෝකයේ විශාලතම ලාබ ශ‍්‍රම වේදිකාව ලෙස ගෝලීකෘත නිෂ්පාදන සන්තතියට ඒකාග‍්‍ර වීම තුලින් ය. ආයෝජන සඳහා ද තාක්ෂනය සඳහා ද චීන ආර්ථිකය සම්පුර්නයෙන් ම රඳා පවත්නේ ලාබයේ වැඩි පංගුව ඩැහැ ගන්නා ප‍්‍රමුඛ අන්තර්ජාතික සමාගම් මත ය. එක්සත් ජනපදය විසින් අධිපතිත්වය දරනු ලබන දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටුවන ලද ආර්ථික සහ මූලෝපායික පර්යාය චීන ධනවාදයට නිරන්තරව බාධා කරයි. චීනය විසින් ඇමෙරිකානු නයකර විශාල වශයෙන් මිලට ගැන්ම චීනයේ මූල්‍ය ශක්තියේ ප‍්‍රකාශනයක් නොවේ. එය යුආන් මුදල අඩු අගයක තබා ගැනීමට චීන ආර්ථිකයට උවමනා වීම ද චීනය ඇමරිකානු වෙලඳපල මත යැපීම ද පිලිබිඹු කරයි. මෙහි ප‍්‍රතිවිපාකයක් ලෙස චීනය ඇමරිකානු අධිකාරීන්ගේ හිතුවක්කාර පියවරවලට තදින් බැඳී පවතී. එසේම චීනයේ ප‍්‍රසාරනය වන යුද ධාරිතාව පිලිබිඹු කරන්නේ එහි ශක්තිය නොවේ. එය වනාහී එරට මුහුන දී සිටුනා ඉමහත් අනතුරු පිලිබඳ ඇඟවීමකි. භූගෝලය පුරා පැතිර ගිය කඳවුරු සහ සන්ධාන ජාලාවකින් ද සෙස්සන් ඉක්මවන යුද්ධමය බලයෙන් ද යුතු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝකයේ කුමන කොනක වුව පවත්නා චීන ආසක්තයනට තර්ජනය කිරීමට සමත් ය. චීනය බෙහෙවින්ම අස්ථාවර ධනපති පාලන තන්ත‍්‍රයක් විසින් පාලනය කරනු ලැබේ. එහි ඉහල තට්ටු ස්ටැලින්වාදී නිලධරයෙන් උපත ලද්දවුන් හෝ උන්ගේ දූ පුතුන්ය. ව්‍යාජ වම්මුන් ද ඇතුලත්, චීනය අධිරාජ්‍යවාදී බලවතෙක් යයි නිර්වචනය කරන්නන් එසේ කරන්නේ ඇමරිකාව විසින් චීනයට එල්ල කෙරන යුද ප‍්‍රහාරයක් යුක්ති යුක්ත කිරීමට ය. නැතහොත් තමන්ගේ "අපක්ෂපාතී බව” ප‍්‍රකාශ කිරීම මගින් අධිරාජ්‍යවාදයට සහය පිදීමට ය. හරියට කොරියානු යුද්ධයේ දී රාජ්‍ය ධනවාදීන් කලාක් මෙනි.

7. මෙම සම්මේලනය ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයට විරුද්ධව කරන යුද්ධ සූදානම ට විරුද්ධ වීම කුමන ලෙසකින් වත් චීන පාලන තන්ත‍්‍රයට හෝ එහි තන්ත‍්‍රයේ කිසියම් කන්ඩායමකට හෝ සහාය දැක්වීමක් නොවේ. චීනයේ වත්මන් පාලන තන්ත‍්‍රය වනාහි 1949 චීන විප්ලවය මගින් අත් කර ගත් ජයග‍්‍රහන ස්ටැලින්වාදී-මා ඕවාදී නිලධරය විසින් පාවාදීමේ ප‍්‍රතිඵලයකි. මා ඕගේ පාලනයේ අවසාන අවුරුදුවල ඇරඹූ ධනවාදය පුනස්ථාපනය කිරීම ඩෙං ෂියා ඕ පිං සහ ඔහු ගේ අනුප‍්‍රාප්තිකයන් යටතේ තවදුර ගැඹුරු කෙරිනි. චීනය "සාමකාමීව නැගී සිටීම” හා ලෝක ධනේශ්වර පර්යායේ රාමුවට වඩාත් සමීපව එකාග‍්‍රිත කිරීමේ ඉදිරිදර්ශනය මෙන් ම අධිරාජ්‍යවාදී තර්ජනය පරාජය කිරීම සඳහා එහි යුද සූදානම උග‍්‍ර කිරීමේ ඉදිරිදර්ශනය ද මගපාදනු ඇත්තේ මහා ව්‍යසනයකට ම පමනි.

8. බෙයි ජිං පාලනය චීන ජාතිකවාදය වගා කිරීම එරට කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කලයුතුව ඇත. ජාතිකවාදය සේවය කරන්නේ ආසියාවේ ද ලෝකය පුරාම ද තම සහෝදර පන්තියෙන් කම්කරුවන් බෙදා වෙන්කොට, යුද වාදයට ගැට ගැසීම ය. චීනය න්‍යෂ්ටික ආයුධ ද සහිතව මිලිටරිය ප‍්‍රසාරනය කර ගැනීම යුද්ධයට එරෙහි රක්ෂනයක් නොවනු ඇත. ඉන් සිදුවනු ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යුද්ධය සඳහා සන්නද්ධ වීමට ද තවදුර කරුනු සම්පාදනය කර දීමකි. එපමනක් නොව චීන ධනේශ්වර තන්ත‍්‍රය අවි රැස්කර ගන්නේ මිලියන සංඛ්‍යාත සාමාන්‍ය චීන ජනයාගේ ජීවිත සහ යහපත රැකීමට නොව කීප සියයක බිලියන පතියන් මෙහෙයවනු ලබන එරට අලුත් ධනපති පන්තියේ ආර්ථික සහ භූ-මුලෝපායික ආසක්තතා රැකදීම ය.

සිය පාලන තන්ත‍්‍රයට එරෙහි ඕනෑම ස්වදේශීය විරුද්ධ පක්ෂයක ට විරුද්ධව, චීන කම්කරුවන්ගේ ලාභ ශ‍්‍රමය සූරාකෑම මත පදනම් වූ අධිරාජ්‍යවාදී බලවතුන් සමග සන්ධානගත වී තම මිලිටරිය පාවිච්චි කිරීමට චීන ධනේශ්වරය පසුබට නොවනු ඇත. චීන ආන්ඩුව ගෝලීය මූල්‍ය අර්බුදයේ පුපුරායාමෙන් පසුව පිට පිට අවුරුදු තුනක් ම අභ්‍යන්තර ආරක්ෂා යුද වැය ට මුල්තැන දී තිබීම අවධාරනය කරන්නේ එය "තමන්ගේම” කම්කරු පන්තිය ඇමරිකානු යුද්ධ යන්ත‍්‍රයට වැඩි තර්ජනයක් යයි දකින බවය. ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක‍්‍රමනය පරාජය කිරීමේ එකම මාර්ගය වන්නේ සමාජවාදී විප්ලවය මගින් ධනවාදය ද අධිරාජ්‍යවාදය ද පෙරලා දැමීම යි.

කම්කරු පන්තියට චීන කොමියුනිස්ට පක්ෂ ( චී.කො.ප.) තන්ත‍්‍රය පිලිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. යුද්ධයට එරෙහි අරගලයේ දී එය තමන්ගේ ම විප්ලවවාදී අරගල විධීන් මත රැඳිය යුතු ය. චීන කම්කරුවන්ගේ සහකරුවන් වන්නේ එක්සත් ජනපදයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ ද ආසියාව සහ මුලු ලෝකය පුරා ද තමන්ගේ ම ආන්ඩු අතින් මීට සමාන ව්‍යසනයන්ට මුහුන දී සිටින්නා වූ තම පන්ති සහෝදරයන් ම පමනි.

9. තමන් මුහුන දී සිටින්නා වූ අන්තරාය ය උග‍්‍රවන තතු තුල චීන කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ක‍්‍රියාමාර්ගය සහ දේශපාලන අරගලය පාලක පන්තියේ සෑම ඛන්ඩයකට ම එරෙහිව ඉදිරිපත් කරගත යුතු වේ. එසේ කිරීමට නම් එය ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ පාඩම් සහ අත්දැකීම් උකහාගත යුතු ය. එම පාඩම් අතර චීන විප්ලවය ද චීන රාජ්‍යයේ පසු කාලීන විකාශනය ද කේන්ද්‍රීය වෙයි. එම පාඩම්වල හරය වන්නේ ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් මත පදනම් වී ගැනීමයි.

10. 1914 පලමු වන ලෝක යුද්ධය සහ 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවය සමග එලඹි අධිරාජ්‍යවාදී යුගය වනාහී ධනවාදයේ මරු විකල්ලය, එනම් යුද්ධයන්ගේ විප්ලවයන්ගේ යුගය ය යන මාක්ස්වාදී වැටහීම 1949 දී චීන විප්ලවය විසින් යලිත් වරක් තහවුරු කරන ලදී. එය සිදු වූයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තෙහි කම්කරු පන්තියේ සහ යටත් විජිත ජනතාවන්ගේ ලෝක පරිමාන අරගලවල කොටසක් ලෙස ය. එහෙත් රටින් රට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ එම පශ්චාත් යුද කාලීන අරගල පාවාදුන්හ. චර්චිල්, රූස්වෙල්ට් සහ ටෲමන් සමග අත්සන් කල යොල්ටා, පොට්ස්ඩෑම් සහ ටෙහෙරන් ගිවිසුම්වල දී ස්ටැලින් බටහිර යුරෝපය ස්ථාවර කිරීමට ආධාර කලේ නැගෙනහිර යුරෝපයේ ඊනියා බෆර් රාජ්‍යයන්හි ආධිපාත්‍යය තමන්ට ලැබේ ය යන සහතිකය මත ය. ජපාන අධිරාජ්‍යවාදයේ පරාජයත් සමග, සෝවියට් නිලධරයේ ද්‍රෝහී පාවාදීම තිබිය දී ම සුවිශේෂ කොන්දේසි යටතේ චීනය තුල දී, ස්ටැලින්වාදී චීන කොපය බලය ගැනීම කරා තල්ලු විය. ස්ටැලින් විසින් 1925-27 දෙවන චීන විප්ලවය පාවාදීමේ ප‍්‍රතිඵලයක් ලෙස කම්කරු පන්තියට සහ ගොවි ජනතාවට බරපතල පහරක් එල්ල වුව ද, දවැන්ත සමාජ-ආර්ථික අර්බුදය, ධනේශ්වර කුවෝමින්ටෑන් තන්ත‍්‍රයේ (කේඑම්ටී) ගැඹුරු දේශපාලන දුර්වලත්වය, චීන කොපයට බලය ගැනීමේ කොන්දේසි සැකසී ය.

ස්ටැලින්ගේ පිලිවෙත් අනුව ගිය චී.කො.ප. ය ආරම්භයේ දී සෝවියට් සංගමය සමග සහයෝගී වීමෙන් හා කේ.එම්.ටීය සමග හවුල් ආන්ඩුවක් තැනීම් සඳහා තම ප‍්‍රයත්නයන්ට කම්කරු පන්තිය සහ ජනතාව පාවා දුන්නේ ය. 1947 ඔක්තෝබරයේ දී සීතල යුද්ධය දියත් කිරීමත් සමග අන්තිමේ දී කේ.එම්.ටී ය පෙරලා දැමිය යුතුය යි මා ඕ සේතුං නිගමනය කලේ කේ.එම්.ටීය -එක්සත් ජනපදයේ සහය ලැබ- චී.කො.ප.ය යුදමය වශයෙන් තලා දැමීමට සූදානම් වූ තතු තුල ය. චී.කො.ප ය දේශපාලන වශයෙන් ශක්තියක් උකහා ගත්තේ මොස්කව් පාලන තන්ත‍්‍රය රුසියානු විප්ලවයේ උරුමය නිරූපනය කලේ ය යි කම්කරුවන් සහ ගොවියන් සාවද්‍ය ලෙස වුව ද පුලුල්ව විස්වාස කල බැවිනි. සෝවියට් හමුදාව මැන්චූරියාවේ දී චී.කො.ප යේ ගොවි හමුදාවන් පුහුනු කොට ජපනුන් ගෙන් අල්ලා ගත් යුද අවි ඔවුන්ට ලබා දුන් හෙයින් කේ.එම්.ටී. ය තීරනාත්මක පරාජයන් මාලාවකට භාජනය කොට 1949 ඔක්තෝබරයේ දී මහජන චීන සමුහාන්්ඩුව පිහිටු වීමට චී.කො.පය සමත් විය.

11. 1949 චීන විප්ලවය ද ඉන් ඉක්බිති ගන්නා ලද පියවර ද ලෝක අධිරාජ්‍යවාදයට දරුනු පහරක් විය. චීන විප්ලවය ධනේශ්වර - ඉඩම් හිමි පාලක පන්තිය පෙරලා දමා කෘෂිකාර්මික විප්ලවය ඉටු කලේ ය, එය අධිරාජ්‍යවාදය ද ප‍්‍රතිගාමී ඉඩම් හිමියන් ද දශක ගනනාවක් තිස්සේ බෙදා තිබුනු රට එක්සත් කලේ ය. අධිරාජ්‍යවාදයේ සෘජු ආයෝජනය අවසන් කර, ප‍්‍රධාන කර්මාන්ත ජනසතු කර සමාජවාදයට කරා සංක‍්‍රමනයට පදනම් පිහිටුවා ලූ අතර ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සනාථ කලේ ය.

ට්‍රොට්ස්කි විදහා දැක්වූ පරිදි, අධිරාජ්‍යවාදය විසින් පීඩනයට ලක් කරනු ලබන විජිත සහ අර්ධ -විජිත ද ඇතුලත් කල් පසු වූ ධනේශ්වර සංවර්ධනයකින් යුතු රටවල, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ කර්තව්‍යයන් - විශේෂයෙන් ම මහා ඉඩම්හිමි තන්ත‍්‍රය පෙරලා දමා අධිරාජ්‍ය පාලනය අහෝසි කිරීම - ජාතික ධනපති පන්තියට කල නොහැකිය, එය කල හැක්කේ - තමන් පිටුපස ගොවිජන බහුතරය මෙහෙයවාගත් - කම්කරු පන්තියට ම පමනි. කෙසේ වෙතත් බලය සියතට ගත් කම්කරු පන්තියට නිෂ්පාදන බලවේගවල අයිතිය තුලට ගැඹුරු ලෙස කාවැදී සමාජවාදය සඳහා අරගලය ඇරඹීමට සිදුවනු ඇත. චීන විප්ලවය අති මහත් සමාජ සහ ආර්ථික ප‍්‍රතිවර්තනයක් ඇති කල නමුත් එය ඉටු කරනු ලැබූවේ 1917 රුසියානු විප්ලවය මෙන් දේශපාලන ව බලමුලු ගැන්වුනු කම්කරු පන්තියක් කම්කරු බලයේ ස්වාධීන සංස්ථා පිහිටුවා ගැනීමෙන් නොවේ. ඒ වෙනුවට සිදුවූයේ මුල පටන් ම කම්කරු පන්තියේ ස්වාධීන අරගල යටපත් කිරීමට වෙර දැරූ ස්ටැලින්-මා ඕ විසින් මෙහෙයවන ලද චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීන විප්ලවය විකෘත කරනු ලැබීම ය. කම්කරු පන්තිය තුල පැවති ඉමහත් අපේක්ෂාවන් ද අධිරාජ්‍ය ආක‍්‍රමනයේ තර්ජනය ද නිසා ස්ටැලින්වාදී නිලධරය ධනේශ්වරය එහි දේපල ට අහිමි කිරීම දක්වා තල්ලු වී ගියේය.

12. විප්ලවයෙන් පැනනැගි රාජ්‍යය දෙමුහුන් ස්වභාවයක් දැරුවේ ය. නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය අහෝසි කරන ලදී. එහෙත් නිලධර පාලන තන්ත‍්‍රය විසින් මර්දනයට පත් කෙරුනු කම්කරු පන්තිය දේශපාලන බලය දරා සිටියේ නැත. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් සෝවියට් සංගමය පිරිහුනු කම්කරු රාජ්‍යයක් යයි කරනලද විශ්ලේෂනය මත ද සෝවියට් සංගමය විසින් දෙවන ලෝක යුද්ධයට ඉක්බිති වර්ෂවල දී නිෂ්පාදන බලවේග ජනසතු කරන ලද නැගෙනහිර යුරෝපයේ තතු මත ද පදනම්ව හතරවන ජාත්‍යන්තරය චීනය "විකෘත කම්කරු රාජ්‍යයක්” ය යි විලක්ෂනය කලේ ය.

13. මෙම සමාජ විද්‍යාත්මක නිර්වචනය දේශපාලන ඉදිරිදර්ශනයක් ද ඇතුලත් කර ගත්තේය. එය එක් අතකින් ඉටුකර තිබුනු සමාජ සහ ආර්ථික ප‍්‍රතිවර්තනයන්ගේ ප‍්‍රගතිශීලී භාවය පෙන්නුම් කල අතර මෙම ජයග‍්‍රහනයන් අධිරාජ්‍යවාදයට ද චීන ධනේශ්වරයට ද එරෙහිව චීන සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ආරක්ෂා කලයුතු බව පෙන්වා දුනි. අනෙක් අතට එය 1949 පිහිටුවන ලද තන්ත‍්‍රය ඓතිහාසිකව ප‍්‍රානශක්‍ය නොවන බව ද පැහැදිලි කලේ ය. එය නිලධරය පෙරලා දැමීම සඳහා දේශපාලන විප්ලවයකට සටන් වදින ලෙස ද විප්ලවයේ ජයග‍්‍රහනයන් ආරක්ෂා කර ඉදිරියට ගෙනයාම සඳහා කම්කරු පන්ති බලයේ ප‍්‍රජාතන්ත‍්‍ර ඉන්ද‍්‍රියයන් පිහිටුවීමට ද කම්කරු පන්තිය යොමු කලේ ය. 1920 ගනන්වල දී සෝවියට් සංගමයේ බලය අල්ලා ගත් ස්ටැලින්වාදී නායකත්වය නොනවතින විප්ලව න්‍යායට එරෙහිව ඉදිරිපත් කල ප‍්‍රතිගාමී ජාතික ඉදිරිදර්ශනය වූ "තනි රටේ සමාජවාදය” මත පදනම් වූ ස්ටැලින්වාදී-මාඕවාදී තන්ත‍්‍රය දිගින් දිගටම බලයේ රැඳී සිටියේ නම් අනිවාර්යයෙන්ම ධනේශ්වර පුනස්ථාපනය සිදු වීමට නියමිත විය.

14. හතරවන ජාත්‍යන්තරයේ විශ්ලේෂනය වර්ධනය කරන ලද්දේ ව්‍යාපාරයේ ක‍්‍රියා මාර්ගික පදනම්වලට එරෙහිව වර්ධනය වූ ප‍්‍රවනතා දෙකකට විරුද්ධව ය. නැගෙනහිර යුරෝපයේ ද, ඉක්බිති චීනයේ ද විකෘති කම්කරු රාජ්‍ය පිහිටුවීම අපසරනයක් නොව අනාගතයේ පොදු රැල්ල යයි ද සමාජවාදය කරා සංක‍්‍රමනය මින්මතු සිදු කෙරෙනු ඇත්තේ රුසියාවේ දී මෙන් බෝල්ශෙවික් වර්ගයේ පක්ෂවල නායකත්වය යටතේ කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමෙන් පටන් ගෙන නොව ශතවර්ෂ ගනනාවක් තිස්සේ සිදුවන සන්තතියක් තුල දී "විකෘති කම්කරු රාජ්‍ය” පිහිටුවීම තුලින් යයි ද පැබ්ලෝවාදීහු තර්ක කලහ. පැබ්ලෝවාදයට දකුනෙන් පහර දුන් රාජ්‍ය ධනවාදී ප‍්‍රවනතාවයට අනුව සෝවියට් සංගමය පමනක් නොව, නැගෙනහිර යුරෝපයේ සහ චීනයේ රාජ්‍ය ද රාජ්‍ය ධනවාදී විය. ජනසතු කරන ලද දේපලහි ද කම්කරු පන්තියේ ඓතිහාසික ආසක්තයන්ට එහි පවත්නා ඓන්ද්‍රීය සම්බන්ධතාවයේ ද ඓතිහාසික අර්ථ භාරය, ප‍්‍රතික්ෂේප කල රාජ්‍ය ධනවාදියෝ මේ රටවල අධිරාජ්‍යවාදයට එරෙහිව ආරක්ෂා කල යුතු කිසිවක් නො පවත්නා බව කියා සිටියාහ. මෙසේ කිරීමේ දී පැබ්ලෝවාදීන් මෙන්ම රාජ්‍ය ධනවාදියෝ ද කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව මකා දමමින් ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ට සාවද්‍ය ඓතිහාසික වලංගු භාවයක් පවරා සෑම රටකම කම්කරු පන්තියේ අරගල, පවත්නා ස්ටැලින්වාදී, ප‍්‍රතිසංස්කරනවාදී සහ වෘත්තීය සමිති නිලධරයන්ට යටත් කිරීමට උත්සාහ කලෝ ය.

15. විප්ලවයෙන් ඉක්බිත්තේ චීනය මුහුන දී සිටි මහා ආර්ථික ප‍්‍රශ්නවලින් එකක් වත් ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ ජාතිකවාදී ආර්ථික න්‍යායපත‍්‍රය උඩ හෝ කම්කරු පන්තිය මර්දනය කිරීම මගින් විසඳාලිය නොහැකි විය. මෙය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ තවත් ප‍්‍රාන භූත සංරචකයක් තහවුරු කලේ ය: එනම්, සියලු ජාතික ආර්ථිකයන් මත ලෝක ආර්ථිකය ආධිපත්‍යය දරන්නා වූ වත්මන් යුගයේ, ජාතික භූමිය තුල ඇරඹෙන සමාජවාදී ප‍්‍රතිවර්තනය සම්පුර්න කරගත හැක්කේ ජාත්‍යන්තර කරලිය තුල පමනක් ය යන්නයි.

16. චීනයේ සීමා තුල මෙම වැඩෙන ගැටලු විසඳාලීමට පාලන තන්ත‍්‍රය අසමත් වීම 50ස් ගනන්වල දී සහ 60 ගනන්වල දී ඇතිවූ උග‍්‍ර පැද්දීම්වල ද එහි ප‍්‍රතිඵලය වූ නිලධාරී තන්ත‍්‍රය ඇතුලත අරගලවල ද ගාමකය විය. 1957-58 මහා ඉදිරි පිම්ම අසාර්ථක වීම, චීන-සෝවියට් භේදය සහ මා ඕගේ මහා සංස්කෘතික විප්ලවය විසින් අවුලුවනු ලැබූ තිගැස්සුම් සහගත පන්ති අරගල සහ චීනය සහ සෝවියට් සංගමය අතර 1969 දේශසීමා අරගල යනාදී ආර්ථික සහ දේශපාලන අරගලවල දශකයක් සමපාත වුයේ 1972 දී බෙයිජිං පාලනය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සන්ථවයට එලඹීම තුලිනි. මෙය පශ්චාත් යුද උත්පාතය බිඳ වැටීම ද ගෝලීය ආර්ථික අර්බුදය ගැඹුරුවීම ද තුල පාලන තන්ත‍්‍රයේ ආර්ථික ගැටලු උග‍්‍ර කිරීම සමග සම්පාත විය. මේ ගැටලු ජාතික ස්වයං ආධීනතාවය තුල විසඳාලිය හැකි ඒවා නො වී ය. බටහිර සමග වෙලඳාම ප‍්‍රසාරනය වීම සමග ධනේශ්වර පුනස්ථාපනයේ ප‍්‍රාරම්භක පියවර එලඹුනු අතර 1978 දී, ඩෙං ෂියා ඕ පිං චීනය විදේශීය ප‍්‍රාග්ධනයට විවෘත කලේ ය. චීනය ගෝලීකෘත නිෂ්පාදන සන්තතීන්ට එකාග‍්‍රවීම සමාජ සහ පන්ති ආතතීන් තවදුරටත් සංකීර්න කලේය. මේවා 1989 දී බෙයිජිං සහ වෙනත් නගරවල මහා අරගල ලෙස පුපුරා ගිය අතර තියන් ආන් මෙන් චතුරශ‍්‍රයේ මහා සංහාරය ද ඉක්බිති පොලිස් රාජ්‍ය මර්දනය ද මගින් පාලන තන්ත‍්‍රය විසින් ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කරන ලදී.

17. 1989 ජුනි 8 දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශයක් තියන් ආන් මෙන් ඝාතනය වනාහී චීන ස්ටැලින්වාදීන් ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා ක‍්‍රමානුකූලව වැඩ කරමින් ආ දශකයක කූටප‍්‍රප්තිය යයි තහවුරු කලේ ය. "බෙයිජිං පාලනය විසින් ලිහා හැර ඇති ත‍්‍රස්තයේ ප‍්‍රධාන අරමුන වන්නේ චීන මහජනතාව භීතියට පත් කොට, චීන විප්ලවයේ සමාජ ජයග‍්‍රහන සිතාමතා දියකර හැරීමට එරෙහි සකල විරුද්ධත්වය තලා දැමීම.” බව යෝජනාව ප‍්‍රකාශ කලේය. බෙයිජිංහි රුධිර ස්නානය නිදහස් වෙලඳපොල වැඩපිලිවෙල දරුනු ලෙස උග‍්‍ර කොට විදේශ ආයෝජන ගංගාවක් චීනය තුලට ගෙන්වා ගත්තේය. ගෝලීය මහා සංගත කම්කරු පන්තිය හික්මවා පුද්ගලික දේපල ද ලාභය ද සහතික කර දීමට ස්ටැලින්වාදී පොලිස් රාජ්‍යය ගැන විශ්වාසය තැබිය හැකි බව අත් දුටුවෝ ය.

18. චීනය ධනේශ්වර ලෝකය තුලට ඒකාග‍්‍ර කර ගැනීම වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර දී තිබේ. එහෙත් එය චීන හෝ ගෝලීය ධනවාදයට නව ස්ථාවර පදනමක් සපයා දී නැත. චීන ආර්ථිකය මුලුමනින් ම පදනම්වී සිටින්නේ මහා අවපාතයෙන් (1930) පසු එලඹි නරකම ලෝක අර්බුදයට හසු වී තිබෙන දියුනු ධනේශ්වර රටවල වෙලඳපල මත ය. එමතු නොව ආර්ථික ප‍්‍රසාරනය පුපුරන සුලු සමාජ ප‍්‍රතිඝතිතාවන් නිර්මානය කර ඇති අතර එන්න එන්නම උග‍්‍රවන සමාජ අසමානතාව මැද්දේ, කම්කරු පන්තියේ සංඛ්‍යාව මිලියන 400 දක්වා වර්ධනය කර ඇත. වැඩ වර්ජන සහ විරෝධතා වැඩෙමින් පවතී. "මහජන සිද්ධි” යයි නම්කර ඇති ගැටුම් සහගත තත්වයන් 2006 දී 90,000ක සිට 2010 දී 180,000 දක්වා ඉහල නැග ඇත. චීන කම්කරු පන්තිය ගමන් කරමින් සිටින්නේ ආර්ථිකය, සමාජය සහ දේශපාලනය අරක් ගෙන සිටුනා "රජ පැටවුන්” ගේ සහ "රතු ධනපතියන් ගේ” පාලන තන්ත‍්‍රය සමග විප්ලවවාදීව ප‍්‍රතිමුඛ වන ඝට්ටනයකට ය.

19. කේන්ද්‍රීය කර්තව්‍ය ය වන්නේ චීන කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි මෙය අත්පත් කරගතහැකි වන්නේ වත්මන් ධනේශ්වර පාලනයට විරුද්ධ බව කියාපාන ගමන්ම කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප‍්‍රතික්ෂේප කරමින් එම පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට ඓන්ද්‍රීයව සතුරුව සිටින්නා වූ සුලු ධනේශ්වර ව්‍යාජ වාමයන්ට එරෙහි නිර්දය අරගලයක් මගින් ම පමනි.

ඔවුන් අතර ප‍්‍රමුඛ වන්නේ ධනේශ්වර පුනස්ථාපනය ඇරඹුනේ ඩෙං ෂියා ඕ පිං බලයට පැමිනි තැන් පටන් යයි කියාගන්නා නව-මාඕවාදීන් ය. යථාර්ථය නම් ඩෙං ෂියා ඕ පිං නායකත්වය දුන් පුර්න ධනේශ්වර පුනස්ථාපනවාදීන්ට දේශපාලන බලය ලබා ගැනීමට දොර හැර දුන්නා වූ ආර්ථික අපාරයට ඉඩ සැලසුවේ මා ඕවාදයේ සුලු ධනේශ්වර න්‍යායන් බවය. එහි ලා "තනි රටේ සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදී න්‍යාය මුල් තැන ගනී.

"මහා නිර්ධන පන්තික සංස්කෘතික විප්ලවය” සමයේ කම්කරු පන්තිය පාලන තන්ත‍්‍රයට තර්ජනය කල කල්හි එයට විරුද්ධව හමුදාව මෙහෙය වීමේ නායකත්වය ගත්තේ මා ඕ මිස ඩෙං නො වේ. "නිදහස් වෙලඳපල” වැඩ සටහනට අත්‍යාවශ්‍ය පුර්ව කොන්දේසිය වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දෙසට හැරීගැනීම ද චීනය ධනේශ්වර ලෝක වෙලඳපලට යලි ඒකාග‍්‍ර කිරීම ද ඒ හා එලඹි ධනේශ්වර පුනස්ථාපනය ද ආරම්භ කලේ මා ඕ ය.

20. ඉදිරියේ දී, චීනය තුල විප්ලවවාදී මහා නැගිටීම් පැන නගිනවා ඇත්තේ එලඹ ඇති නව ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයේ ඒකාග‍්‍ර සංරචකයක් ලෙස ය. චීන කම්කරු පන්තිය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ක‍්‍රියාමාර්ගයට සහ ඉදිරිදර්ශනයට හැරී ගත යුතුය. එය විසිවෙනි ශත වර්ෂයේ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ද ප‍්‍රතිසංස්කරනවාදය, ස්ටැලින්වාදය සහ පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දිගුකාලීන අරගලයේ ද සාරභූත පාඩම් ගැබ් කර ගනී. මෙම සම්මේලනය චීනයේ සහ ආසියා-පැසිෆික් ප‍්‍රදේශය පුරා ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛා ආරම්භ කිරීමේ ද ගොඩ නැගීමේ ද කර්තව්‍යයෙහි ලා සමාජවාදී සමානතා පක්ෂය ට අයත් කේන්ද්‍රීය භූමිකාව අවධාරනය කර සිටී.

Share this article: