සමාජවාදී සමානතා පක්ෂය ( ඕස්ටේ‍්‍රලියාව) ආරම්භක සම්මේලනය

යෝජනාව 4: ඇමරිකා - ඕස්ටේ‍්‍රලියා යුද ගිවිසුම ට විරුද්ධවනු!

Resolution 4: Oppose the US-Australia military agreement

9 may 2012

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් හතර වැන්න යි.

1. සමාජවාදී සමානතා පක්ෂයේ මෙම සම්මේලනය ගිලාඩ් ගේ ලේබර් ආන්ඩුව 2011 නොවැම්බරයේදී ඔබාමා පාලනාධිකාරය සමග ඇතිකරගත් මිලිටරි එකඟතාවයට එරෙහි වන ලෙස ඕස්ටේ‍්‍රලියානු කම්කරු පන්තියට කියා සිටී. චීනය සමග මිලිටරි ගැටීමක් මගින් සිය ඓතිහාසික පිරිහීම වලක්වා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන මදාවි දුර්යත්නයේ ප‍්‍රහාරක කඳවුරක් ලෙස යොදාගනීමට ලේබර් ආන්ඩුව උතුරු සහ බටහිර ඔස්ටේ‍්‍රලියාව පුද කර ඇත. එසේ කිරීමේ දී එය මෙම මුලුමහත් ප‍්‍රදේශයේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් නව ලෝක යුද්ධයකට ඇද දැමීමේ අන්තරාය උග‍්‍ර කර ඇත.

2. 2016 වන විට ඩාවින් වරායේ ඇමරිකානු මැරීන් භටයන් 2,500 ක් රැඳවීමට ද ඇමරිකානු යුද නැව් සහ කොකොස් දුපත්වල සිට ක‍්‍රියාත්මක වන නියමුවන් නැති ප‍්‍රහාරක යානා ද ඇතුලු ගුවන් යානාවලට ද ඕස්ටේ‍්‍රලියානු වරාය සහ ගුවන් තොටුපලවල ඉඩ සැලසීම උග‍්‍ර ප‍්‍රකෝපකාරි තත්වයකි. ඒකාබද්ධ ඇමරිකානු සහ ඔස්ටේ‍්‍රලියානු යුද මෙහෙයුම් ඉන්දියානු සහ පැසිෆික් සාගර අතර පටු මුහුදු මාර්ග අවහිර කර චීනයට අත්‍යාවශ්‍ය ඉන්ධන සහ අමුද්‍රව්‍ය සැපයීම වලකා ලීමට ක‍්‍රියා කරනු ඇත. ඔස්ටේ‍්‍රලියාවට සරනාගතයින් අතුලුවීම වැලැක්වීම යන ප‍්‍රතිගාමී ව්‍යාජය ක‍්‍රිස්මස් දුපත්වල කඳවුරුවල සිට නැගෙනහිර ඉන්දියානු සාගරයේ නාවුක ක‍්‍රියාකාරකම් නිරීක්ෂනය සඳහා වූ මහා ජාලයක් පවත්වාගෙන යාම සඳහා දැනටම යොදාගනු ලැබේ. මෙම ඇමරිකා- ඕස්ටේ‍්‍රලියා අලුත් ආක‍්‍රමනික ආස්ථානය අනිවාර්යයෙන් ම ඊට එරෙහි ප‍්‍රති පියවර ගැනීමට චීනය තල්ලු කොට අග්නිදිග ආසියාව පුරාම සම්බන්ධතා අස්ථාවර කරනු ඇත.

3. ඔබාමා පාලනාධිකාරයේ යුද න්‍යායපත‍්‍රය ට ලේබර් ආන්ඩුව ඈඳී ම ඔස්ටේ‍්‍රලියානු ධනේශ්වරය සිය ගෝලීය ආර්ථික සහ මුලෝපායික අවශ්‍යතා රැකගැනීම සඳහා ඇමරිකානු සන්ධානය සමග ඓතිහාසිකව ඛැඳී පැවතීමෙන් පැනනගී. 1941 ට පෙර මෙම ආසක්තතා ඉටුකරගනු ලැබුවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ඡත‍්‍රය යටතේ ය. දෙවන ලෝක මහා යුද්ධයට ජපානය ඇතුලුවීමෙන් ආසියාවේ බි‍්‍රතාන්‍ය බලය බිඳ වැටීමත් සමග කැන්බරා පාලනය එක්සත් ජනපදය දෙසට හැරුනි. අවුරුදු 120 ක් පුරා තම මහද්වීපයට උතුරෙන් නිරිතදිග පැසිෆික් සාගරයේ පිහිටි දුපත් තම අනුහස් වැයික්කිය ලෙස සැලකූ ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය නිර්දය ලෙස ඒවායේ සම්පත් කොල්ල කා ජනයා සූරාකෑමට පාත‍්‍ර කලේ ය. අද දින ඕස්ටේ‍්‍රලියාව ආසියාවට ආර්ථිකව-විශේෂයෙන්ම චීනය සමග පවත්නා මහාලාභ වෙලඳ සම්බන්ධතා මගින් අත්‍යන්තව බැඳී ඇති නමුත් ඕස්ටේ‍්‍රලියාවේ පාලක ස්ථරය ප‍්‍රදේශය තුල චීනයේ බලපෑම වර්ධනයවීම ගැන බිය වන අතර මූලෝපායික වශයෙන් එක්සත් ජනපදයේ ආධාරය මත රැඳී පවතී.

4. එක්සත් ජනපද-ඔස්ටේ‍්‍රලියා සන්ධානය වනාහී ඔස්ටේ‍්‍රලියානු කම්කරු පන්තිය සහ ප‍්‍රදේශයේ පීඩිත ජනතාවගේ කර උඩින් පවත්වාගෙන යනු ලබන කුලී හේවා සම්බන්ධතාවයකි. සෑම ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුවක් ම එක්සත් ජනපදයේ විදේශ පිලිවෙත කොන්දේසි විරහිතව පිලිගනිමින් ඇමරිකානු කඳවුරුවලට ඉඩ දෙමින් 1945 පටන් කොරියාවේ සිට වියට්නාමය දක්වා ද 1991 ඉරාකයේ ගල්ෆ් යුද්ධය, 2001 ඇෆ්ඝනිස්තානය සහ 2003 ඉරාකය දක්වා වොෂින්ටනය ඇරඹු සෑම ප‍්‍රධාන යුද්ධයක ම සටන්කොට මියැදීම සඳහා භටයන් සපයා ඇත. මෙයට ප‍්‍රත්‍යුපකාර වශයෙන් වොෂිංටනය නැගෙනහිර ටිමෝරයේ ද සොලමන් දිවයින්වල ද ටොන්ගා, පැපුවා නිව්ගිනි, ෆිජි සහ වනුආතු යන ප‍්‍රදේශවල ද සමාජ අසහනය පාගා දැමීමට හෝ ඒවායේ ආන්ඩු වෙනත් බලවතුන්ගේ අනුහස යටතට පත්වීම වැලැක්වීම සඳහා ඕස්ටේ‍්‍රලියානු මිලිටරි සහ රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීම්වලට සහාය දී තිබේ.

5. මහජන ඡන්ද විමසීමක් තබා පාර්ලිමේන්තු විවාදයක ව්‍යාජයකින් හෝ තොරව, එලඹුනු ඔබාමා-ගිලාඩ් යුද එකඟතාවය සලකුනු කරන්නේ ඇමරිකා- ඕස්ටේ‍්‍රලියා සන්ධානය තවදුර, ගුනාත්මකව ප‍්‍රසාරනය වී ඇති බවයි. මෙහි ලා ගිලාඩ් ආන්ඩුව විසින් ඉදිරියට ගෙන යනු ලබන්නේ අධිරාජ්‍යවාදයේ සහ යුද්ධයේ ප‍්‍රමුඛ පක්ෂය ලෙස ලේබර් පක්ෂය ඓතිහාසිකව ඉටුකර ඇති භූමිකාව යි. අර්බුදයේ සහ සංක‍්‍රමනයේ සෑම ලක්ෂ්‍යයක දී ම - පලමුවන ලෝක යුද්ධය (1914-19) මහාඅවපාතය (1930), දෙවන ලෝක යුද්ධය (1939) , 1970 ගනන් සහ 1980 ගනන් වැනි සමාජ සහ දේශපාලන මහා පෙරලි, මාරු සහ හැඩ ගැසීම් ඇතිකර ගැනීමේ දී -පාලක පන්තිය අද දක්වා විස්වාසය තබා ඇත්තේ, ඕස්ටේ‍්‍රලියාවේ පැරනි තම සහ තීරක ම රුකුල වූ ලේබර් පක්ෂය මතය.

6. මෙම සම්මේලනය වත්මන් යුද සූදානමත් සමග සිදුවෙමින් පවත්නා සමාජ මිලිටරීකරනය හෙලාදකී. වියට්නාමයෙන් පසු ප‍්‍රථම වතාවට යුද්ධ මූලෝපායඥයෝ ඉදිරියේ එන යුද්ධවලට ගොදුරු වශයෙන් සනද්ධ හමුදාවල පිරිස් හීනතාවය විසඳා ගැනීම සඳහා අනිවාර්ය යුද සේවය ඇති කිරීමට සාකච්ඡාා කරමින් සිටිති. පාසල්වල ඕස්ටේ‍්‍රලියානු යුදවාදය උත්කර්ෂනය කරන ජාතිවාදී ප‍්‍රචාරයට තරුන කොටස් බඳුන් කෙරේ: ලේබර් ආන්ඩුව අමතර දවස් තුනක් අතීත යුද්ධ ජාතික වශයෙන් සිහි කිරීම සඳහා වෙන් කොට ඇත. ඊනියා "ජාතික හදිසි තත්වයන්" තුල දී පොලිස් මෙහෙයුම් තරකිරීම සඳහා හමුදාව නිතිපතා බලමුලු ගැන්වෙන අතර බුද්ධි හා පොලිස් අංශ අත "ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” නාමයෙන් ගොනු කරගනු ලැබුනු දරුනු බලතල, රටතුල දේශපාලන විසංමතයන් යයි නම් කර ඇති දේ සොයාබැලීම සඳහා යොදා ගැනේ.

7. මෙම සම්මේලනය උතුරෙන් එන, නම් නොකෙරුනු ආක‍්‍රමනිකයෙකුගෙන් රටට තර්ජනයක් පිලිබඳ පරභීතිකාව අවුලුවා ලීමට ලේබර් ආන්ඩුව දරන ප‍්‍රයත්නය හෙලාදකී. රට ආපසු යුද්ධය ට ඇද දමීම සඳහා වැඩි වැඩියෙන් යොදා ගනු ලබන මෙම කියා පෑම 1950 ගනන් සහ 1960 ගනන් වල දී පතුරුවනු ලැබූ ඔස්ටේ‍්‍රලියාව උතුරෙන් එන කොමියුනිස්ට්වාදී "කහ උවදුරෙන්” තර්ජිතව ඇතැයි යන, වර්ගවාදී ගෝසාව කරා ආපසු යාමකි. සත්‍ය නම් යුද තර්ජනය පැන නැග ඇත්තේ ඇමරිකානු-ඔස්ටේ‍්‍රලියානු යුද ආක‍්‍රමනය මගින් බවය.

8. ලේබර් පක්ෂය කොන්දේසි විරහිතව එක්සත් ජනපදය පස්සෙන් පෙලගැසීම පිලිබඳව මතභේද පවත්නා, ඒ වෙනුවට චීනය සමග සාමකාමී හැඩගැස්මක් ඇති කර ගත යුතු යයි ඉල්ලා සිටින දේශපාලන සහ ව්‍යාපාරික පුද්ගලයෝ කිසිසේත්ම යුදවාදය ට විරෝධයක් නියෝජනය නො කරති. ඔවුන් ප‍්‍රකාශිත කරන්නේ චීනයට කෙරෙන අපනයනයන් තුලින් ඔවුන් ගන්නා සුපිරි ලාභවලට මෙවන් ඝට්ටන තර්ජනයක් වෙතැයි යන කනස්සල්ල යි. ඔවුන් දැන් දෙගිඩියා සහගත වුවද යුදමය ගැටීමක් එලඹි කල එයට පිටුපසින් පෙල ගැසෙනු ඇත. 2009 මාර්තුවේ දී හිටපු අගමැති කෙවින් රඩ් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ට කියා සිටියේ බෙයිජිනය හා සමගියෙන් කටයුතු කිරීමට දැරෙන ප‍්‍රයත්නයන් සමග ම "සියල්ල වැරදුනොත් බලය පාවිච්චි කිරීමට සූදානම” පවත්වාගත යුතුය යන්නයි.

9. ඕස්ටේ‍්‍රලියානු හරිතයෝ සාමවාදී යුද විරෝධී මවා පෙන්වීම් කරන ගමන් ම ලේබර් ආන්ඩුවේ ද එහි යුදවාදී පිලිවෙතේ ද ඍජු සහකරුවන් ලෙස සේවය කරති. ඉරාක යුද්ධයට ඔස්ටේ‍්‍රලියාව සම්බන්ධ වීම ගැන හරිතයන් ඉදිරිපත් කල විවේචනය වූයේ ඕස්ටේ‍්‍රලියානු හමුදා දකුනු පැසිෆික් හා දකුනු ආසියාවේ ඕස්ටේ‍්‍රලියානු මූලෝපායික ආසක්තයන් ආරක්ෂා කරගැනීමට යොමුවිය යුතුය යන තර්කය යි. දැන් ඔස්ටේ‍්‍රලියාවේ උතුරේ අලුත් හමුදා සංකේන්ද්‍රනය හරිතයන්ගේ අරමුනු බොහෝ දුරට ඉටු කර තිබේ. චීන රජයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් එරට ට එරෙහිව ආක‍්‍රමනික පිලිවෙතක් සඳහා උපයෝගීකර ගැනීමට බරක් ඔබාමා දරන උත්සාහයට පක්ෂ ව හරිත නායක බොබ් බ‍්‍රවුන් ගත් ආස්ථානය හරිතයන් යුදවාදය යුක්තිසහගත කිරීමේ ලා ඉටු කරන භූමිකාව පිලිබඳ පැහැදිලි ඇඟවීමක් සම්පාදනය කරයි. 1999 දී අලුතින් පිහිටුවා තිබුනු නැගෙනහිර ටිමෝර් රාජ්‍යයේ ඕස්ටේ‍්‍රලියානු ආධිපත්‍යය සහතික කිරීම සඳහා ද 2011 දී ලිබියාවට එරෙහි එක්සත් ජනපද විසින් මෙහෙය වූ මිනීමරු යුද්ධය ට සහය දීම සඳහා ද හරිතයෝ මෙවන් "මානව හිමිකම්” ව්‍යාජ යොදා ගත්තෝ ය.

10. සෝෂලිස්ට් එලයන්ස් සහ සෝෂලිස්ට් ඔල්ටනේටිව් වැනි ව්‍යාජ-වාම සංවිධාන ඉෂ්ට කරන්නේ සුවිශේෂ දුෂ්ට භූමිකාවකි. මුහුන දී සිටුනා අන්තරායන් ට කම්කරු පන්තියේ ඇස වසා ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීමට ඔවුහු උත්සාහ දරති. අධිරාජ්‍යවාදී යුද්ධයට පිටුපසින් වෛෂයික ධාවක බලවේග නැතැයි කියන ඔවුහු මහා ජන විරෝධතා මගින් බලපෑම් කොට ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය ලවා යුදවාදය ප‍්‍රතික්ෂේප කරවිය හැකියයි මිථ්‍යා වගාකරති. එක්සත් ජනපදය චීනය සමග ගැටුම තියුනු කිරීම කෙරේ ඔවුන්ගේ ආකල්පය සෝෂලිස්ට් ඕල්ටනේටිව් සංවිධානයේ ටොම් බ‍්‍රම්බල් ලියු ලිපියක අග මෙසේ සාරාංශ කර තිබුනි. "පෙරදැකිය හැකි අනාගතයේ දී චීනය සහ ඔස්ටේ‍්‍රලියාව අතර යුද්ධයක් නො එලඹෙනු ඇත.”

11. ව්‍යාජ වාමයන් කතා කරන්නේ නිල දේශපාලන සංසථාපිතයට ද වෘත්තීය සමිති තන්ත‍්‍රයට ද තරයේ අනුගත වූ මධ්‍යම පන්තියේ පොහොසත් තට්ටුවක් වෙනුවෙනි. වියට්නාම් යුද්ධයෙන් පසු ප‍්‍රථම ඔස්ටේ‍්‍රලියනු හමුදා විදේශයට යැවීම වූ , 1999 දී නැගෙනහිර ටිමොරයට කල ඕස්ටේ‍්‍රලියානු ආක‍්‍රමනය ට මග පාදාදීම සඳහා, "හමුදාව යවනු” යයි උද්ඝෝෂනය කල ඔවුහු තීරනාත්මක භූමිකාවක් ඉටු කලෝය. හරිතයන් මෙන් ම මොවුහු ද මේ කුඩා දිලිඳු රාජ්‍යය ඔස්ටේ‍්‍රලියනු මිලිටරිය විසින් අත්පත් කරගැනීමට තම පූර්න සහය දුන්නෝය. ඔවුන් මෙම තීරනාත්මක සහාය පිදුවේ පාලක පන්තියේ අතිශයින්ම ප‍්‍රානසම මූලෝපායික සහ ආර්ථික ආසක්තයන්ට ය. පරදුවට තැබී තිබුනු දේ අතරට විශේෂයෙන් ම නැගෙනහිර ටිමෝරයේ අගනා තෙල් සහ ගෑස් සම්පත ද ඇතුලත් ය. ජාත්‍යන්තර ආතතීන් උග‍්‍රවත්ම ඔවුන් තවදුරටත් නව යටත් විජිත වාදයට සහ යුද්ධයට යුක්ති ප‍්‍රතිපාදනය කිරීම සඳහා "වාම” ගෝසාව යොදාගනු ඇති බව නිසැකය.

12. යුදවාදයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තිය මෙහෙවී ගත යුතු දේශපාලන මුලධර්ම මාක්ස්වාදී ව්‍යාපාරය විසින් නීර්නය කරනු ලැබුවේ 20 වන සියවසේ ආරම්භයේදී ය. ඒවා යේ පදනම් ප‍්‍රධාන සතුරා සියරට තුලය - එනම් ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව ද එය සේවය කරන මූල්‍ය සහ සංගත ප‍්‍රභූව ය - යන්නයි. ඕස්ටේ‍්‍රලියාවේ කම්කරුවන්ගේ ද තරුන ජනයාගේ ද ප‍්‍රධාන මිත‍්‍රයන් වන්නේ ආසියා - පැසිෆික් ප‍්‍රදේශය පුරාම ද, එක්සත් ජනපදය, යුරෝපය සහ මුලු ලෝකයේ ම ද කම්කරු පන්තියයි. කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය ගොඩනැගිය හැක්කේ සකල වර්ගයේ ජාතික වාදයට හා ජාත්‍යෝත්තමවාදය ට එරෙහිව නිරන්තර අරගලයකින් ය.

13. අධිරාජ්‍යවාදී යුද්ධයට එකම පිලිතුර නම් ලාභ ගරන ධනේශ්වර පර්යාය පෙරලාදැමීම සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වාගැනීම බව මෙම සම්මේලනය අවධාරනය කරයි. කම්කරුවන්ගේ ආන්ඩුවක් විසින් රාජ්‍ය සහ යුද තන්ත‍්‍රය බිඳ ඔස්ටේ‍්‍රලියාවේ ද සමස්ත ලෝකය පුරාම ද කම්කරු පන්තියේ අත්‍යන්ත සමාජ අවශ්‍යතා සම්පාදනය කිරීම සඳහා සම්පත් යොදා ගත යුතු ය.

14. සකල යුද සන්ධාන සහ ප‍්‍රවිෂ්ට (ඇක්සස්) ගිවිසුම් ප‍්‍රතික්ෂේප කලයුතු බව ද සියලු ඇමරිකානු යුද කඳවුරු ඉවත් කල යුතු බව ද අමරිකානු යුද නිලධාරීන් සහ භටයන් පිට කලයුතු බව ද මෙම සම්මේලනය අවධාරනය කර සිටී. ඇෆ්ඝනිස්ථානයෙන් ද, නැගෙනහිර ටිමෝරයෙන් ද සොලමන් දූපත්වලින් ද, පැපුවා නිව්ගිනියෙන් ද අන් සෑම ප‍්‍රදෙශයකින් ද ඕස්ටේ‍්‍රලියානු හමුදා ඉවත් කල යුතු යයි මෙම සම්මේලනය කියා සිටී. පැසිෆික් ප‍්‍රදේශයේ වේවා, අන් කවර ප‍්‍රදේශයක වේවා ඕස්ටේ‍්‍රලියානු යුද ක‍්‍රියාවලට විරුද්ධ වන අපි ඔවුන්ගේ කොල්ලකාරී අරමුනු එලිදරව් කරමු.

15. සමාජවාදී සමානතා පක්ෂය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල සිය සමචින්තකයන් සමග සහයෝගී ව යුදවාදයට ද යුද්ධයට ද එරෙහි අරගලය සිය දේශපාලන කටයුතුවල හරි මැදින් තබන බවට මෙම සම්මේලනය සපථ කර සිටී.

Share this article: