ක්ලින්ටන්, ඊජිප්තු මිලිටරි ජුන්ටාවට හා ඉස්ලාමීය ජනාධිපතිට පිටුබලය දෙයි

Clinton backs Egyptian military junta, Islamist president

By Johannes Stern, 16 July 2012

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කයිරෝවේ දී ඊජිප්තු හමුදා ජුන්ටාවේ උත්තරීතර මන්ඩලයේ නායක ෆීල්ඩ් මාර්ෂල් මොහමඩ් ටන්ටාවි හා ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මෝසි සති අන්තයේ දී හමුවූවා ය.

ඊජිප්තුව තුල "ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමනයක්” ප්‍රවර්ධනය කරන්නේ යයි නිල වශයෙන් ප්‍රකාශ කරන අතර ක්ලින්ටන්ගේ සංචාරය, කම්කරු පන්තියේ යලි ප්‍රානවත් වූ මහජන අරගලයන්ගේ තර්ජනයට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ඊජිප්තු ධනේශ්වරය අතර ප්‍රතිවිප්ලවවාදී සන්ධානය දැඩි කරයි. ඊජිප්ත්තු පාලක පන්තියේ තරගකාරී කල්ලි දෙකක, එනම් හමුදාව හා ඉස්ලාමීය මුස්ලිම් සහෝදරත්වය අතර තීව්‍ර වන බල අරගලය මධ්‍යයේ ඇගේ සංචාරය සිදුවෙයි.

ඊජිප්තු පාර්ලිමේන්තුව පුනස්ථාපනය කිරීමට මෝසි විසින් නිකුත් කල ජනාධිපති නියෝගය මෙම සතිය මුල දී ඊජිප්තුවේ උත්තරීතර ව්‍යවස්ථාදායක අධිකරනය විසින් නිෂ්ප්‍රභා කලේය. නියෝගය නිෂ්ප්‍රභා කිරීම මගින් එකී අධිකරනය, ඊජිප්තු රාජ්‍ය යන්ත්‍රනය මත එහි සම්පූර්න පාලනය පවත්වා ගැනීමට උත්සාහ ගන්නා බව පැහදිලි කරයි. ඊජිප්තු ජනාධිපතිවරනය ආසන්නයේදී ජුන්ටාව, ඉස්ලාම්වාදීන් ආධිපත්‍ය දැරූ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර සියලු ම අධිකරන හා අයවැය බලතල ද නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ද තමන් වෙත පවරා ගෙන තිබුනි.

"ඊජිප්තු වැසියන් සිටින්නේ, පාර්ලිමේන්තුව හා නව ව්‍යවස්ථාව යලි පිහිටුවීම ද ජනාධිපතිගේ සම්පූර්න බලතල ද ඇතුලු සංක්‍රමනයක් කරා වන සංකීර්න සාකච්ඡා මධ්‍යයේ බව ඉතා පැහදිලි ය” යි පවසමින් ක්ලින්ටන්, නිහඬව කුමන්ත්‍රනයට සහය දුන්නා ය.

"විප්ලවය තුල ඊජිප්තු ජනතාව නියෝජනය කිරීම” හා "ඊජිප්තු ජාතිය ” ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇය හමුදා මන්ඬලයට ප්‍රශංසා කලා ය.

හිටපු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශකයෙකු වන මැන්ඩාවිල් ද, ඇමරිකානු උත්සුකයන්ගේ ප්‍රධාන ආරක්ෂකයා හා ඉස්ලාම්වාදීන් පාලනය කිරීමට හැකි බලයක් ලෙස ඊජිප්තු හමුදාව සලකන බව අවධාරනය කලේ ය. "තවමත් මෙම පුද්ගලයින් පිලිබඳව දැඩි හමුදා සෝදිසියක් තිබීම හා ඊජිප්තු‍ෙව් ද කලාපය තුල ද එක්සත් ජනපද උත්සුකයන් ගැන සෝදිසියෙන් සිටින්නේය යන අදහස, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතය නම් ශරීරයේ සෑම අස්ථියක් ම වඩාත් සුවපහසු තැනක තබන්නේ” යයි ඔහු නිව් යෝක් ටයිම්ස් පත්‍රයට කීවේ ය.

වොෂින්ටනය ඊජිප්තු හමුදාව සලකන්නේ, ජනතාවගේ තවත් පිපිරීමකට එරෙහි ප්‍රධාන ප්‍රාකාරයක් ලෙසය. පසුගිය වසරේ කම්කරු පන්තියේ දැවන්ත නැගිටීම, දීර්ග කාලීන එක්සත් ජනපද පඹයකු වූ හොස්නි මුබාරක්ගේ වැටීමට මුල්වූ අතර ඊජිප්තු ධනවාදය හා මැදපෙරදිග අධිරාජ්‍යවාදී පාලනය එහි පදනමට ම සොලවා දැමී ය.

කම්කරු පන්තිය නැවතත් ප්‍රහාරයට ඇදෙමින් සිටින බවට සංඥා පවතී. ක්ලින්ටන් ටන්ටාවි මුනගැසුන දිනයේ ම, නයිල් ඩෙල්ටාවේ මහල්ලා අල්-කුබ්‍රා කාර්මික නගරයේ ආන්ඩුවට අයත් මහල්ලා ස්පිනිංග් හා වීවින්ග් සමාගමේ රෙදිපිලි කම්කරුවන් 25,000ක් වැඩවර්ජනයකට පිවිසුනහ. පසුගිය වසරේ විප්ලවය තුල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල මහල්ලා කම්කරුවෝ, සමාගමේ කලමනාකරනය ඉවත් කිරීම, 2011 ලාභයෙන් විශාල පංගුවක් හා දරිද්‍රතා වැටුප් මට්ටම්වල වැඩිවීමක් ඉල්ලා සිටිති.

අලුත් වූ මහජන අරගලවලට බිය වන වොෂින්ටනය, හමුදාව හා ඉස්ලාම්වාදීන් අතර තීව්‍රවන ගැටීමක් මගින් ඊජිප්තුව අස්ථාවර වීම වැලක්වී‍ෙම් උත්සාහයක යෙදී සිටියි. ඇගේ සංචාරය අතරතුර දී ක්ලින්ටන්, ජුන්ටාවට වොෂින්ටනයේ සම්පූර්න සහයෝගය ඇති බව ටන්ටාවි වෙත සහතික කලා ය. කෙසේ නමුත් ඇය, ඊජිප්තුව තුල ක්‍රියාත්මක වන හමුදා පාලනයට ආවරනයක් ලෙස ඉස්ලාමීය ජනාධිපතිට පුලුල් බලතල දීමට ජෙනරාල්වරු මත පීඩනයක් ද යෙදුවා ය.

රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රවලට අනුව, එහි අඛන්ඩ මූල්‍ය සහයෝගයට හිලව් වශයෙන්, "එක්සත් ජනපදය ඊජිප්තුවෙන් බලාපොරොත්තු වන නිශ්චිත දේවල් ඇති බව ” ක්ලින්ටන් මෝසිට පැවසුවා ය. එක්සත් ජනපදයේ එක් ඉල්ලීමක් වනුයේ මුබාරක් තන්ත්‍රයේ එක්සත් ජනපද ගැති ප්‍රතිපත්තිය ඊජිප්තුව විසින් ඉදිරියට ගෙන යාමයි.

අල්-අහ්රාම් මාර්ගස්ත ප්‍රවෘත්ති සේවය සමග නිලධාරියෙකු කල කතාබහකට අනුව, සාකච්ඡා කෙරුනු ප්‍රධාන කරුනු වලින් එකක් වූයේ, ඊස්රායලය සමග අවුරුදු 30ක් පුරා පවතින සාම ගිවිසුම අඛන්ඩව ගෙන යාමට ඊජිප්තුවේ කැපවීම යි. "මුස්ලිම් සහෝදරත්වය ගාසා තීරයේ හමාස් සංවිධානය සමග ඇතිකරගන්නා බැඳීම්, ඊස්රායලය සමග උත්සන්න වීමට ඉඩ ඇති හමාස් සංවිධාන‍ෙය් මොනයම් හෝ සැලැසුම් නතර කිරීම සඳහා ඊජිප්තුව විසින් ප්‍රයෝජනයට ගනු ඇතැ” යි එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව එම නිලධාරියා පැවසී ය.

නිලධාරියාට අනුව ඉරානය සමග ඊජිප්තුවේ සම්බන්ධකම් සීමා කිරීම මෝසි දිගට ම කර ගෙන යනු ඇතැ යි එක්සත් ජනපදය බලාපොරොත්තු වේ.

තමා හා සහෝදරත්වය, වොෂින්ටනය සමග කිට්ටුවෙන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බව මෝසි ඇඟවී ය. කයිරෝවේ ධනවත් උප නගරයක් වන හේලියෝපෝලිස්හි ජනාධිපති මාලිගයේ පැවති ඔවුන්ගේ රැස්වීමේ දී "ඔබ හමුවීමට අපි බොහෝ උනන්දුවෙන් සිටියෙමු. ඔබ මෙහි පැමිනීම අපට සතුටක්” යයි මෝසි පැවසී ය.

රැස්වීමෙන් පසු ක්ලින්ටන් ඇගේ සතුට ප්‍රකාශ කලා ය: "ඔහුගේ ජනාධිපතිකමේ හා ඊජිප්තු පරිවර්තනයේ සාර්ථකත්වය, ඊජිප්තු දේශපාලන පරාසය හරහා එකඟත්වය ගොඩනැගීම; සිවිල් සමාජය ආරක්ෂා කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් මත වැඩ කිරීම; සියලු දෙනා විසින් ගරු කරනු ලබන හා ජනාධිපතිකමේ පූර්න අධිකාරය අවධාරනය කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මත රඳා පවතින බව ඔහු වටහා ගන්නා බව ජනාධිපති මෝසි පැහැදිලි කර ඇත”.

ක්ලින්ටන් හා මෝසි අතර සාකච්ඡා අතරතුර දී හා ඉන් පසුව විරෝධතාකරුවන් දහස් ගනනක් ඊජිප්තුව තුල එක්සත් ජනපද මැදිහත්වීම හා වොෂින්ටනය සමග මුස්ලිම් සහෝදරත්වයේ සහයෝගය හෙලාදැකීමට එක්සත් ජනපද තානාපති කාර්යාලය හා හිල්ටන් හෝටලය පිටත රැස්වූහ. විරෝධතාකරුවන් ඔසවා ගෙන සිටි පුවරුවලින්, "ක්ලින්ටන් අපායට ”, හෝ "හිලරි, උඹ ඉස්ලාම්වාදීන්ට කැමති ද? උඹත් එක්ක ඔවුනුත් ගෙනියපන්” යයි ප්‍රකාශ වුනි.

වොෂින්ටනයේ සහාය ලබන ජෙනරාල්වරු, තම බලය අත හැරීමට අපේක්ෂා නොකරන බව ජුන්ටාව පැහැදිලි කලේ ය. 15දා ඉස්මාලියා නගරයේ හමුදාවන්ට කතා කරමින්, "ඊජිප්තුව හා එහි ජනතාව ආරක්ෂා කිරීමට හමුදාව ඉටු කරන කාර්යභාරයේදී එය අධෛර්ය කිරීමට ඉඩ නොදෙන” බව ටන්ටාවි පැවසී ය.

කෙසේ නමුත් තම කොන්දේසි මත හමුදාව, ඉස්ලාම්වාදීන් සමග සම්මුතියක් ඇති කර ගැනීමට කැමත්තෙන් සිටින බව ටන්ටාවි ඉඟි කලේ ය. "සන්නද්ධ බලකායන් හා හමුදා කවුන්සිලය නීතිමය හා විධායක අධිකාරයන්ට ගෞරව කරන” බව පවසමින් ඔහු ජනාධිපතිට ගෞරව කරන ලෙස ඉල්ලා සිටියේ ය.

සන්නද්ධ හමුදාවන්ගේ උත්තරීතර මන්ඩලය මේ දක්වා මෝසිට ප්‍රදානය කර ඇති බලය නම් මහජනතාවට එරෙහිව හමුදාව යෙදවීම යි. එක්සත් ජනපදයේ පිටුබලය ලද කුමන්ත්‍රනයෙන් පසු හමුදා මන්ඩලය නිකුත් කල ව්‍යවස්ථාමය රෙගුලාසි මගින් මෝසිට "සන්නද්ධ හමුදාවන්ගේ මැදිහත්වීම අවශ්‍ය කෙරෙන අභ්‍යන්තර කැලඹීමකට රට මුහුන දේ නම්, ආරක්ෂාව පවත්වාගෙන යාමට හා පොදු දේපොල ආරක්ෂා කිරීමට, ආඥාපති මන්ඩලයේ අනුමැතිය ඇතිව සන්නද්ධ හමුදා යෙදවීමට ජනාධිපතිට තීන්දුවක් නිකුත් කල හැක."

ක්ලින්ටන්ගේ සංචාරය, "ප්‍රජාතන්ත්‍රවාදය” ප්‍රවර්ධනය කිරීමේ එක්සත් ජනපද ප්‍රකාශයේ සම්පූර්න නරුමත්වය හා කුහකත්වය පෙන්ව යි. ක්ලින්ටන් ඊජිප්තු ජුන්ටාව හා සහෝදරත්වය යන දෙකට ම ප්‍රශංසා කරද්දී වොෂින්ටනය, පසුගිය වසරේ නැගිටීම අතරතුරදී මෙන්, ඊජිප්තුවේ ධනවාදයට තර්ජනය කරන යලි ප්‍රානවත් වූ ඕනෑ ම කම්කරු පන්ති අරගලයක් ලෙයින් මැඩීමට සහාය දෙන බව ද සංඥා කරයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊජිප්තු ජුන්ටාව හා සහෝදරත්වය, සිරියාවට හා ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද ප්‍රයත්නයට සහාය පුද කලහ. ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, විදේශ ඇමති අවිග්ඩෝර් ලිබර්මාන් හා ආරක්ෂක ඇමති ඉහුඩ් බරක් හා ජනාධිපති සිමොන් පෙරෙස් සමග ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හා සිරියාව තුල යුද්ධය ගැන සාකච්ඡා කිරීමට කයිරෝ සංචාරයෙන් පසු ක්ලින්ටන් ඊස්රායලයට ගියා ය.

Share this article: