ක්විබෙක් ශිෂ්‍ය වර්ජනය හා අධ්‍යාපනය සුරැකීම සඳහා වූ ගෝලීය අරගලය

The Quebec Student Strike and the global struggle to defend education

Statement of the International Students for Social Equality , 2 July 2012

කැනඩාවේ ප‍්‍රාන්ත රාජ්‍යක් වන ක්විබෙක්හි ශිෂ්‍යයෝ තම අමතර පන්ති ගාස්තු සියයට 82කින් ඉහල දැමීමට රජය දරමින් සිටින ප‍්‍රයත්නයට එරෙහිව මාස 5කට ආසන්න කාලයක් තිස්සේ ධෛර්ය සම්පන්න අරගලයක් ගෙන යමින් සිටිති. ප‍්‍රාන්තය පුරාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා කනිෂ්ඨ විද්‍යාල ශිෂ්‍යයන් ජනතා සහයෝගය දිනා ගෙන ඇති අතර ඔවුන්ගේ අරගලය ක්විබෙක් ප‍්‍රාන්තයේ නගර බොහොමයක සහයෝගීතා පෙලපාලි පැන නංවා ඇත.

ඕනෑම විරෝධතා දැක්වීමක් අපරාධයක් ගනයට ලා සැලකිය හැකි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි අංක 78 දරන පනත ක්විබෙක් ශිෂ්‍යයන් විවෘතව ම අභියෝගයට ලක් කර තිබේ. ජීන් කාරෙස්ට්ගේ ලිබරල් ආන්ඩුව මේ ශිෂ්‍ය අරගලයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පොලිසිය මැදිහත් කරවා සියගනන් ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීමෙනි. පන්ති යලි ආරම්භ කිරීමේ අවසන් කාල සීමාව වන අගෝස්තු මැද කිට්ටු වනවාත් සමග ආන්ඩුව පන්ති වර්ජනය බිඳදැමීම සඳහා වඩාත් දරුනු මර්දනයක් දියත් කිරීමට අර අඳිමින් සිටී.

ක්විබෙක් ශිෂ්‍ය අරගලය වූ කලි පොදු අධ්‍යාපනයට එරෙහිව ලොව පුරාම එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන්නා වූ ප‍්‍රතිරෝධයේ ම කොටසකි. මෑත දී අධ්‍යාපන අරමුදල් කපා හැරීමට එරෙහිව මෙක්සිකෝවෙහි හා චිලියෙහි දස දහස් සංඛ්‍යාත ශිෂ්‍යයෝ විරෝධතා ව්‍යාපාරයන්හි නිරත වූහ. පසුගිය වසරේ බි‍්‍රතාන්‍යයේ සිය දහස් සංඛ්‍යාත ශිෂ්‍යයෝ අධ්‍යාපන වියදම් දෙගුන කිරීමට එරෙහිව පෙලපාලි දැක්වූහ. ඇමරිකා එක්සත් ජනපදයෙහි, කැලිෆෝනියා, නිව් යෝක් හා අනෙක් ප‍්‍රාන්තවල ද ශිෂ්‍යයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කර ඇත්තාහ.

සෑම රටක ම පාහේ සංගත හිමියන් හා මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රය උත්සාහ දරනුයේ පොදු හා උසස් අධ්‍යාපනය වෙත එලඹීමේ අවස්ථාව ධනවතුන්ගේ පුතුන් හා දූවරුන්ට පමනක් හිමි ව තිබු අඳුරු යුගය කරා සමාජය ආපස්සට ඇද දැමීමටයි. තරුනයන් හට අධ්‍යාපනය හා සුරක්ෂිත අනාගතයක් සැපයීමට ධනපති ක‍්‍රමය දක්වන නො හැකියාව තරම් අන් කිසිවක් එහි අසමර්ථභාවය හෙලි දරව් නො කරයි.

ග‍්‍රීසියේ හා ස්පාඤ්ඤයේ තරුන විරැකියාව සියයට 50 ඉක්මවා තිබීම තරුනයන් "අතරමං වූ පරම්පරාවක්” ලෙස මාධ්‍යන් තුල කෙරෙන සඳහන් කිරීම් එන්න එන්නම වැඩි වීමට හේතු වී ඇත. ලොව පුරා සියලු අධ්‍යාපන තලයන්හි සිටින තරුන කොටස් මුලුමනින්ම අනාගතය පිලිබඳ අපේක්ෂා රහිත තත්වයකට මුහුන දෙති. ඇමරිකා එක්සත් ජනපදයෙහි සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ උපාධිධාරින්ගෙන් අඩක්ම රැකියා විරහිතයන් වන අතර එසේ නැතහොත් ශිෂ්‍ය නය ගෙවා දැමීම සඳහා අඩු වේතනයන් යටතේ රැකියාවල නිරත වීමට ඔවුන්ට බලකෙරී ඇත. පාසල් වසා දමනු ලැබෙමින්, ගුරුවරුන්ගේ සේවය අත්හිටවනු ලැබෙමින් හා මහජන අධ්‍යාපනය එන්න එන්නම ලාභ ඉපයීම කරා ධාවනය කරනු ලබමින් තිබේ.

මෑතක දී ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික පාසලක මහාචාර්යවරයෙක් අධ්‍යාපන විද්‍යා පීඨ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් සපයා ගැනීමට පෞද්ගලික අයෝජකයන් සමග ගිවිසුමකට එලඹිය යුතු බවට යෝජනා කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගිවිසුම්වලට බැඳී සිටින සේවකයන් මෙන් තමන්ගේ අනාගත ඉපැයීම්වලින් කොටසක් ධනපතියන්ගේ ව්‍යාපර සඳහා ගෙවීමට ශිෂ්‍යයන් බැදී සිටිනු ඇත.

මහජන අධ්‍යාපනය විනාශ කිරීම වූ කලි කම්කරු පන්තිය විසින් ශතවර්ෂයකට අධික කාලයක් පුරා සිදු කරන ලද අරගල මගින් දිනා ගෙන ඇති සියලු ප‍්‍රතිලාභ යලි උදුරා ගැනීම සඳහා පාලක ධනපති පන්තිය මගින් දියත් කොට ඇති පුලුල් ප‍්‍රහාර මාලාවක එක් කොටසකි. ලෝකයේ සෑම ප‍්‍රදේශයක් පුරාම සෞඛ්‍යාරක්ෂනය, විශ‍්‍රාම ප‍්‍රතිලාභ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සමාජ සේවාවන් අන්තයට ම කප්පාදු කරනු ලබමින් ඇත. කැරෙස්ට් වේවා ඔබාමා වේවා හොලන්ඩේ වේවා ඔවුන් සියල්ලන්ම ගායනා කරන්නේ එකම ගීතිකාවකි. එනම් අත්‍යාවශ්‍ය සේවා හෝ යහපත් ජීවන තත්වයක් ලබා දීමට "මුදල් නොමැති” බවයි.

මෙය මුසාවකි. ගෝලීය වශයෙන් බැංකු ඇප දී ගලවා ගැනීමට ද, ප‍්‍රධාන පෙලේ මූල්‍ය සංස්ථාවන්ගේ ලාභ නැංවීමට ද යුද යන්ත‍්‍රයට අරමුදල් සැපයීම සඳහා ද ටි‍්‍රලියන ගනන් මුදල් වැය කෙරේ. 2008 වෝල් වීදිය ඇද වැටීමේ සිට ලෝ පුරා සිටින ධනපති ආන්ඩු පහල ස්ථරයන්ගේ සිට ඉහල ස්ථරයන් කරා ඉතිහාසයේ සිදු කල විශාලතම ධන සම්පත් මාරුව සිදු කොට ඇත. අද ලෝක ජනගහනයෙන් ධනවත් ම සියයට 0.002 ක් ලෝකයේ වාර්ෂික දල ජාතික නිෂ්පාදිතයට සමාන තරම් වූ ඒකාබද්ධ ධනයක් පාලනය කරයි.

ක්විබෙක් ශිෂ්‍යයෝ අධ්‍යාපනය සමාජ අයිතියක් බව උදක්ම කියා සිටිති. එනමුදු මෙම අයිතිය ආරක්ෂා කිරීමට සටන් කිරීමේ දී ඔවුන්ව සමස්ත ආර්ථික හා දේශපාලන පද්ධතිය හා ගැටුමකට තල්ලු කරනු ලබයි. ධනවාදයට තරුනයින් හට අනාගතය සඳහා ඇති අයිතිය සහතික කල නො හැකි නම්, සමාජයේ වටිනාකම් නිෂ්පාදනය කරනු ලබන කම්කරුවන් හට යෝග්‍ය ජීවන මට්ටමක් ලබා දිය නො හැකි නම් එය විස්ථාපනය කල යුතු ය.

පුද්ගලික ලාභය මත නොව මානව අවශ්‍යතා පදනම් කරගනිමින් ආර්ථික ජීවිතය යලි සංවිධානය කිරීමේ මෙම විප්ලවීය පරිවර්ථනය සිදු කල හැකි එකම සමාජීය බලවේගය කම්කරු පන්තියයි. අරගලයන්ගේ ආරම්භයේ පටන් ම ශිෂ්‍යයන්ව කම්කරු පන්තියෙන් ඈත් කර තැබීමට පාලක පන්තියේ සමස්ත දේශපාලනික හා ප‍්‍රචාරක සම්පත් පෙල ගස්වනු ලැබ ඇත්තේ මේ නිසාය. යෝධ ව්‍යාපාර හා ඒවායෙහි දේශපාලනික අත වැසියන් වඩාත් ම බිය වන්නේ ශිෂ්‍ය අරගලයන් කාරෙස්ට් හා හාපර්ගේ ආන්ඩුවල කෲර පටිතද කිරීමේ පිලිවෙත්වලට එරෙහි වන්නා වූ පුලූල් කම්කරු පන්ති ව්‍යාපාරයකට ජවයක් සපයන තත්වයකට පත් වේ ය යන්නට ය.

කම්කරුවන් ශිෂ්‍ය අරගලයන් නොතකා හරින බවත් එපමනක් නොව ඒවාට හතුරු වන බවත් නිරන්තරයෙන්ම ශිෂ්‍යයන්ට කියනු ලැබේ. මීටත් වැඩි මුසාවක් තවත් ඇත්තේ නැත. 78 පනත සම්මත කිරීමෙන් පසු මිලියන ගනනක් කම්කරුවෝ ශිෂ්‍යන්ට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රහාරය සමස්ත කම්කරු පන්තියට එරෙහිව සිදු කරනු ලබන්න ප‍්‍රහාරයක් ලෙස දැක ගත්තාහ.

එනමුදු වෘත්තීය සමිති ලාභ පද්ධතියට හා මහ ව්‍යාපාරික පක්ෂවලට එරෙහි අරගලයන්ට විරුද්ධ වී ඇත. ව්‍යාපාර සංගත හා ආන්ඩුව වෙනුවෙන් කම්කරු පොලීසියක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වී ඇති වෘත්තීය සංගම් ශිෂ්‍යයන් ආරක්ෂා කර ගැනීම සඳහා කවර හෝ ”සමාජ අරගලයක්” දියත් කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට වෘත්තීය සමිති සිය සාමාජිකයන් හට අංක 78 දරන පනත හා බැඳී සිටින ලෙස නියම කර ඇත. මේ අතරවාරයේ දී වෘත්තීය සමිති "පාර්ටි ටි‍්‍රබෙකෝ” පක්ෂයට මැතිවරනයේ දී සහාය පල කර ඇත්තේ මෙම ධනපති පක්ෂය ලිබරල් පක්ෂවලට විකල්ප පක්ෂයක් ය යන මුසාව මත පදනම්වය. කෙසේ වුවද මෙම පක්ෂය බලයේ සිටි කාලයේ සමාජ සේවා හා වැඩ වර්ජිත කම්කරුවන් මත ම්ලේච්ඡ ප‍්‍රහාරයන් එල්ල කලේ ය.

ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරීමේ අර්ථය වනුයේ සංගත ගැති වෘත්තීය සමිතිවල හා මහ ධනපති පක්ෂවල පාලනයෙන් කැඩී වෙන්වීමට කම්කරුවන් හට සහයෝගය දීමේ අරගලයයි. ඉන් අදහස් කරනුයේ කම්කරු පන්තියේ ස්වාධීන කාර්මික හා දේශපාලනික ශක්තිය බලමුලූ ගැන්වීමට සටන් කල යුතු බවයි.

මහජන අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයට තවදුරටත් ඉදිරියට යා හැකි වන්නේ එය කම්කරු පන්තියේ ව්‍යාපාරයක් බවට පත් වී ගනිමින් සමස්තයක් ලෙස, රැකියා සඳහා ඉල්ලීම්, ප‍්‍රමානවත් වැටුප්, සෞඛ්‍යාරක්ෂක හා විශ‍්‍රාමික ප‍්‍රතිලාභ සඳහා වන ඉල්ලීම් සමග බද්ධ වූවහොත් පමනි. සමස්තයක් ලෙස කම්කරු පන්තිය මත කෙරෙන ප‍්‍රහාරයන් හා ශිෂ්‍ය අරගලයන් අතර සම්බන්ධතාව තහවුරු කිරීමට ශිෂ්‍යයන් සටන් වැදිය යුතුව තිබේ.

පසුගිය මාස කිහිපයේ අත්දැකීම් මගින්, ශිෂ්‍ය අරගලය ශිෂ්‍යයන්ට පමනක් සීමා කිරීමටත් ක්විබෙක් ජාතිකවාදයට හා ලාභ ගැරීමේ පද්ධතියේ රාමුව පිලිගැනීමේ මට්ටමෙහි රඳවා තැබීමේ "ක්ලාසේ” [classe] නැමැති ශිෂ්‍ය සංවිධානය ඇතුලුව ක්විබෙක් ශිෂ්‍ය සංවිධානවල ඉදිරිදර්ශනයන්ගේ බංකොලොත්භාවය මනාව හෙලිදරව් කර තිබේ. පෙර නොවු විශාලම විරෝධතා මගින් කාරෙස්ට තම අදහස් වෙනස් කර ගැනීමට බල කල හැකි යයි යන ඔවුන්ගේ ප‍්‍රකාශවල ප්‍රෝඩාකාරී (අසාර්ථක) බව ඔප්පු කොට තිබේ.

පන්ති නැවත ආරම්භ කල යුතු කාලය අගෝස්තු මස මැද දී අවසන් දිනය ලඟා වීමත් සමග ශිෂ්‍යයන් අතර තමන්ට මේ සටන තනිව ජය ගත නො හැකි ය යන්න වැඩි වශයෙන් පිලිගැනෙමින් තිබේ. ශිෂ්‍යයන් ක්විබෙක් ජාතිකවාදය ප‍්‍රතික්ෂේප කර කැනඩාව පුරාමත්, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය දෙසට හැරිය යුතුය.

අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමේ අරගලයට ඉදිරියට යා හැකි වනුයේ සමාජවාදය සඳහා වූ සටනේ කොටසක් ලෙස ම පමනි. එනම් බැංකු හා ව්‍යාපාර සංගත පාලක පන්තියේ ග‍්‍රහනයෙන් මුදා ගෙන ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය කිරීමෙනි. කම්කරුවන්ගේත් ශිෂ්‍යන්ගේත් සමාජ අයිතීන්ගේ ආරක්ෂාව මුදුන් පමුනුවා ගත හැකි වන්නේ සමාජ සමානතාව සඳහා සටනේත් ආර්ථික ආඥාදායකත්වය අවසන් කිරීමේ හා සමාජ සම්පත් යුක්ති යුක්ත ලෙස බෙදී යාමට සැලැස්වීමේ පදනම මත පමනි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සටන් කරනුයේ මෙම වැඩපිලිවෙල උදෙසා වේ. අවංකවම මහජන අධ්‍යාපනය ආරක්ෂා කිරීමට කැප වන ශිෂ්‍යයන් හා තරුන කොටස් වෙත අප උදක්ම කියා සිටිනුයේ සසජාශි හා සම්බන්ධ වී සමාජවාදය සඳහා සටනට උර දෙන ලෙසයි.

Share this article: