සිරියානු වෙඩිබෙහෙත් හෙප්පුවට ගිනි ඇවිලවීම

Igniting the Syrian powder keg

29 June 2012

සිරියාව තුල වේගවත් වන ලේ හැලීම් නැවැත්වීමේ අවසාන උත්සාහය ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිත කොෆී අනන් සෙනසුරාදාට කැඳවා ඇති විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම, වොෂින්ටනය හා එහි හවුල්කරුවන් විසින් සිරියාව තුල තන්ත්‍ර වෙනසක් සඳහා තීව්‍ර කල හඬගෑමට වේදිකාවක් සකස යි.

රැස්වීමට පෙර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා අනෙකුත් බටහිර නිලධාරීන්, සිරියාව තුල විදේශීය මැදිහත්වීමට විරුද්ධ වූ රුසියාව තම ආස්ථානය වෙනස්කර ඇති බවත්, දැන් ජනාධිපති බෂාර් අල් අසාද් ඉවත් කිරීමට සහයෝගය දෙමින් සිටින බවත්, ප්‍රසිද්ධියේ ඉඟි කරමින්, අනාන්ගේ උත්සාහය ඵලදරනු ඇතැ යි පුළුල් ශුභවාදී ප්‍රකාශන නිකුත්කර ඇත.

රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව් රොව් අඟහරුවාදා ටියුනීසියාවේ පැවති මාධ්‍ය සමුළුවක දී මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කලේ ය. අපි කිසිදු බාහිර මැදිහත්වීමකට සහාය නොදෙමින් සිටින අතර අනාගතයේ දී ද සහාය නොදෙන්නෙමු. මෙය බෂාර් අල් අසාද්ගේ ඉරනමට ද අදාල යයි” ඔහු පැවසී ය.

වොෂින්ටනය මෙහි දී දෙපිටකාට්ටු වැඩ කරමින් සිටින්නේය යන්න අවිවාදිතය. එක් අතකින්, සිරියාව තුල අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ තත්වයකට නමා ගැනීම පිනිස මොස්කව් මත හැකි සෑම පීඩනයක් ම යෙදීමට එය උත්සාහ කරමින් සිටී. අනෙක් අතට, එය වෙනත් ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා අත්තිවාරම් දමමින් සිටී. එහි එල්ලය , එක්සත් ජනපදය හා එහි මිතුරන් ඔවුන්ගේ එතරම් වසං නො වූ යුද්ධය යස රඟට වේගවත් කරමින් සිටිය දී රුසියාව, “සාමයට ” බාධාවක් ලෙස මූර්තිමත් කිරීම ය.

දමස්කස් අගනගරය තුල හා එය වටා ත්‍රස්ත ප්‍රහාරයන් රැල්ලකින් සලකුනු කෙරුනු මෙම යුද්ධය, සිරියාව තුල කවාදාවත් නො වූ තරම් මාරාන්තික ස්වභාවයක් ගෙන ඇත. 26දා දමස්කස් නගර මධ්‍යයෙහි පිහිටි යුක්තියේ මාලිගාවට මෙන් ම, ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට ද බලගතු කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලවුනි.

ඊට පෙර දින, “කැරලිකරුවෝ ” දමස්කස් අවට පිහිටි පොලිස්ථානයකට පහර දුන්හ. ඒවා පුපුරවා විනාශ කිරීමට පෙර ඔවුහු කාර්යාල හා මැදිරි කොල්ල කෑ අතර, වාර්තාකරුවන් හත්දෙනෙකු හා ආරක්ෂක මුරකරුවන් බැඳදමා, දනගැසීමට බලකොට අමු අමුවේ මරා දැමූහ.

අනාන් කපුකම් කල අප්‍රේල් 12දා සටන් විරාම ගිවිසුමට පෙර පැවති මට්ටම්වලට සිරියාවේ ප්‍රචන්ඩ ක්‍රියා "ලඟා වී හෝ ඉක්මවා” ඇතැ යි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත. ඝාතන තවදුරටත් ආන්ඩු පක්ෂ හා විපක්ෂ හමුදාවන් අතර කාරනයක් නොවේ යයි ඔවුන් සටහන් කර ඇත. ඇත්තෙන් ම, “ප්‍රහාරයට ගොදුරුවූවන් ඔවුන්ගේ ආගමික බැඳීම් නිසා ඊට ඉලක්ක කෙරුනු බව පෙනේ”.

"ප්‍රජාතන්ත්‍රවාද‍ෙය්”, "මානව අයිතීන්ගේ ”, හා "මානුෂීයවාද‍ෙය්” නාමයෙන්, එක්සත් ජනපදය හා එහි මිතුරන් විසින් සිරියාව නිකායික සිවිල් යුද්ධයකට ඇද දමා ඇත. අනාන්ගේ සටන් විරාමය සඳහා සහාය මාවාපාන ගමන් වොෂින්ටනය, අල් කයිඩාවට සම්බන්ධ අය ඇතුළු සුන්නි ඉස්ලාමීය කන්ඩායම් වැඩි වැඩියෙන් ආධිපත්‍ය දරන ඊනියා "කැරලිකරුවන්” සන්නද්ධ කර ඇත. එක්සත් ජනපදය මෙම හමුදාවලට " මාරක නොවන” ආධාර, එනම් ප්‍රහාරයන් සම්බන්ධීකරනයට භාවිතා කෙරෙන සන්නිවේදන ආම්පන්න හා ඔත්තු සේවා සපයමින් සිටින බව ප්‍රකාශ කලත්, වොෂින්ටනයේ කලාපීය අගනුචර ආන්ඩු, එනම් සෞදි අරාබි හා කටාර් රාජාන්ඩු ඒකාධිපතිත්වයන් වියදම් දරන ආයුධ බෙදාහැරීම සම්බන්ධීකරනයට සීඅයීඒ ක්‍රියාකාරීන් තුර්කි-සිරියානු දේශ සීමාවට යවා ඇත.

ගෙවී යන සෑම දිනක් පාසා ම එක්සත් ජනපද ප්‍රතිපත්තියේ සාපරාධී හා ඉව බව නැති ස්වභාවය වඩ වඩා පැහදිලි වෙමින් පවතී. අධිරාජ්‍යවාදී බලවතුන් සිරියාව තුල අවුස්සා ඇති කලාපීය, වාර්ගික හා ආගමික ආතතිය, එරට තුල ලේ ගැලීමක් නිර්මානය කරනවා පමනක් නොව මුළු කලාපය ම යුද්ධයකට ද ඇද දමයි.

සිරියාව පසුගිය සතියේ තුර්කි ප්‍රහාරක යානාවක් වෙඩි තබා බිම දැමීමට ප්‍රතිචාර වශයෙන් තුර්කිය, යුද ටැන්කි, රොකට් විදිනයන් හා කාල තුවක්කු ගෙනයන හමුදා වාහන සේනාංක සිරියානු දේශ සීමාවට යවා ඇතැ යි 28දා වාර්තා කෙරුනි. බිම හෙලන ලද ජෙට් යානය නියත වශයෙන් ම සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය ගැන ඔත්තු බලමින් සිටින්නට ඇත.

තුර්කි අගමැති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් "සිය ශක්තියේ සීමා පරීක්ෂා කිරීමට තරම් නිර්භීත වන අයට පාඩමක් උගන්වන්නෙමි” යි ගුගුරා ඇති අතර ඇන්කාරා නුවර නිලධාරීහු, දේශ සීමාවේ කටයුතු පිලිබඳ නීති වෙනස් කර ඇතැ යි ඉඟි කලහ. ඒ අනුව පෙරමුන දෙසට එන ඕනෑ ම සිරියානු හමුදාවක් පසමිතුරු හමුදාවක් ලෙස සැලකේ. අනෙකුත් නේටෝ බලවතුන් තුර්කියට සහාය දැක්වීමට පොරොන්දුවීමත් සමග මෙම තත්වය විවෘත යුද්ධයකට පසුබිම සකස් කර යි.

මේ අතර සිරියාව තුල මුදා හැරෙන නිකායික ගැටුම්, රටේ දේශ සීමාවන් හරහා, මේ ආකාරයේ ම දිග්ගැස්සුන සිවිල් යුද්ධයක පැටලී සිටින ලෙබනනයට හා, 2006 -07 එක්සත් ජනපද හමුදා වාඩිලාගැනීම මගින් අවුළුවන ලද නිකායික ලේ හැලීම් නැවතත් ගිනි අවුළුවමින්, මේ මාසයේ දී ෂියයිට් වන්දනා කරුවන් හා සිද්ධස්ථාන ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර වැලකින් පුද්ගලයන් 150ට වඩා ඝාතනය කර ඇති ඉරාකයට පැතිරෙමින් තිබෙන බවට ඉහල ඇඟවුම් පවතී.

වොෂින්ටනයේ සැබෑ අපේක්ෂාවේ එක් පැහදිලි ඇඟවුමක් වනුයේ, මෙම 30දා පැවැත්වීමට නියමිත ජිනීවා සම්මේලනයට ඉරාන‍ෙය් සහභාගිත්වය වැලැක්වීමට ඔබාමා පාලනය ගන්නා උත්සාහය යි. අනාන් යෝජනා කර ඇති ඉරානයේ සහභාගිත්වය, එක්සත් ජනපද වර්ජනයට හේතු වන "රතු ඉරක්” වීමට ඉඩ ඇතැ යි රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ය.

අරමුන, සටන් විරාම ගිවිසුමක් සාකච්ඡා කිරීම නම්, සිරියාවේ ප්‍රධාන කලාපීය මිතුරා වන ඉරානයේ සහභාගිත්වය අත්‍යාවශ්‍ය බව පෙනෙනු ඇත. කෙසේ නමුත්, එක්සත් ජනපද අභිප්‍රාය තුල ඇත්තේ එය නොවේ. එය තන්ත්‍ර වෙනසක් ගෙන ඒමට අධිෂ්ඨාන සහගත ය. සිරියානු ජීවිත කීයක් බිලිවේදැ යි ඔවුන්ට ප්‍රශ්නයක් නැත. එමෙන් ම ඉරානයේ ආන්ඩුව ද පෙරලා දැමීම සඳහා පලල් හා වියහැකි ලෙස, වඩාත් ලේ වැකි ව්‍යාපාරයකට ආධාරකයක් ලෙස එක්සත් ජනපදය, සිරියාව තුල රූකඩ ආන්ඩුවක් නිර්මානය කිරීමට මාන බල යි. සිරියාව හා ඉරානය යන දෙරටෙහි තන්ත්‍රයන් පෙරලා දැමීමේ උත්සාහයන්, මෙම රටවල් සිය මූලෝපායාත්මක හවුල් කරුවන් ලෙස සලකන චීනය හා රුසියාව සමග නොවැලැක්විය හැකි ගැටුමකට මෙහෙයවෙයි.

ඇෆ්ගනිස්තානය හා ඉරාකය තුල පසුගිය දශක දෙක පුරා ප්‍රධාන යුද්ධ දෙකක් ගෙන ගොස් ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, බලශක්තියෙන් ආඨ්‍ය, මධ්‍යම ආසියාව හා පර්සියන් බොක්ක කලාපය මත ඇමරිකානු ආධිපත්‍යය ස්ථාපිත කිරීමේ ඉලක්කය ඇතිව ලිබියාවේ සිට යේමනය, සෝමාලියාව, පකිස්තානය හා සිරියාව දක්වා, අවසානයක් නැති හමුදා මැදිහත්වීම් මාලාවක් දියත් කර ඇති බව පෙනී යනු ඇත.

ශේෂව පවතින හමුදා ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් සිදු කරන මෙම ආක්‍රමනකාරී ව්‍යාපාරය, ඇමරිකානු ධනවාදයේ ආර්ථික බිඳවැටීම මගහැරීමට ගන්නා උත්සාහයකි. 2008 මූල්‍ය උනුවී යාම මගින් මුදාහැරුනු ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට මෙම බිඳවැටීම උත්සන්න වී ඇතිවා පමනි.

සිය පසමිතුරන්ගේ වියදමින් ලෝකය නැවත බෙදීමට අධිරාජ්‍යවාදීන් ගන්නා උත්සාහය, 20වැනි සියවසේ කටුක අත්දැකීම් මගින් ඔප්පු කර ඇති ආකාරයට, නිර්ධය ලෝක යුද්ධ කරා මග පාද යි.

සිරියාව තුල සැබෑ අභිප්‍රායන් මේවා ය. අසාද් තන්ත්‍රය සමග ගනුදෙනු බේරාගැනීම කම්කරු පන්තියේ කාර්යභාරය මිස, මුළු කලාපය ම යටත් විජිත වර්ගයේ යටත් කර ගැනීමකට ආධාර කරනු පිනිස නිකායික යුද්ධයක් ඇවිස්සීමට උත්සාහ දරන කොල්ලකාරී අධිරාජ්‍යවාදීන්ගේ කාර්යභාරයක් නොවේය යන පදනම මත, කම්කරු පන්තිය එක්සත් ජනපදය මෙහෙයවන මැදිහත්වීමට විරුද්ධ විය යුතු ය.

බිල් වෑන් ඕකන්

Share this article: