ඔබාමාගේ සෞඛ්‍ය සේවා අලුත්වැඩියාව පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව

The Supreme Court ruling on Obama’s health care overhaul

30 June 2012

2010 මාර්තුවේ දී, රෝගී ආරක්ෂාව හා දැරිය හැකි මිලකට ලැබෙන සෞඛ්‍ය සේවාව පිලිබඳ පනත ඡන්දයෙන් නීතිගත කෙරුනු විට, ජනාධිපති බරක් ඔබාමා එය ප‍්‍රශංසාවට ලක්කලේ, "ඇමරිකානු සිහිනය” සනාථවීමක් සහ "මහජනතාව විසින් ගෙනයනු ලබන මහජනතාවගේ ආන්ඩුව තවමත් මහජනතාව සඳහා වැඩ කරන” බව ඔප්පු කරන සාක්ෂියක් ලෙසය.

පනතේ මූලික විධිවිධාන අනුමත කරමින් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය බ‍්‍රහස්පතින්දා දුන් තීන්දුව ද ජනාධිපති, පනතේ ඩිමොක‍්‍රැටික් ආධාරකරුවන් සහ එක්සත් ජනපදයේ ලිබරල් මාධ්‍ය ලෙස සැලකෙන පාර්ශවයන් වෙතින් ඊට සමාන ප‍්‍රතිචාරයක් දැනවීය. අධිකරන තීන්දුව උත්කර්ෂයට නැංවීමේ ඔවුන්ගේ මූලික පදනම වූයේ, සෞඛ්‍ය සේවා පනත, සාමාන්‍ය ඇමරිකානුවන් සඳහා සේවා ආවරනය පුලුල් කරනු ඇති හා ගුනාත්මක සේවාවක් සහතික කරන ආරක්ෂක විධිවිධාන කි‍්‍රයාවට දමනු ඇති සැබෑ ප‍්‍රතිසංස්කරනයක් ය යන තර්කයයි. වෙනත් කිසිවක් සත්‍යයෙන් මෙතරම් දුරස්ථ නොවේ.

පනත කෝටි සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ සෞඛ්‍ය සේවාවන්ට එරෙහි පුලුල් ප‍්‍රහාරයකින් සමන්විත වේ. එහි ප‍්‍රධාන ඉලක්කය වන්නේ මහජන සෞඛ්‍ය ආවරනයක් සැපයීම නොවේ. මිලියන සංඛ්‍යාත ජනයා එහි විධිවිධාන යටතේ සෞඛ්‍ය රක්ෂනයකින් තොරව සිටිනු ඇත. ඒ වෙනුවට, එහි එල්ලය වන්නේ, බොහෝ සෙයින්, ධනවතුන් හැර අන් සියල්ලන් සඳහා සෞඛ්‍ය සේවය සලාකනය කිරීම මගින්, සංගත හා ආන්ඩුව මත පැටවෙන වියදම් අඩුකිරීමයි. එපමනක් නොව, පනත අනුමත කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, ඒ හැටියට ගත් කල ද, ඇමරිකානු ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සම්බන්ධයෙන් වඩා දුර දිග යන ඇඟවුම් සහිත ගැඹුරින්ම ප‍්‍රතිගාමී තීරනයකි.

සෞඛ්‍ය සේවා පනත සකසා ඇත්තේ පුද්ගලික රක්ෂන ආයතනවල, ඖෂධ සමාගම්වල හා දැවැන්ත සෞඛ්‍ය සේවා ජාලවල අවශ්‍යතාවන්ට සේවය කිරීම පිනිස ය. එහි විධිවිධානවලින් විපුල ලෙස ලාභ ගැරීමේ අවස්ථාවන් ඔවුනට ලැබෙනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරනයේ 5-4 තීන්දුවකින් අනුමත කරන ලද, පනතේ කේන්ද්‍රීය අංශය වන, ඊනියා තනි පුද්ගල වරයට අනුව, දරිද්‍රතම පුද්ගලයන් හැරුනු කොට අන් සියල්ලන්ම පුද්ගලික සමාගම්වලින් සෞඛ්‍ය රක්ෂනයක් ලබා ගත යුතු ය, නැතහොත් දඩයක් ගෙවිය යුතුය. මෙය මුදල් ගෙවන අලුත් පාරිභෝගිකයන් කෝටි ගනනක් පුද්ගලික රක්ෂන සමාගම් වෙත යවනු ඇත.

පනතේ සෙසු අංගයන්ට මේවා ඇතුලත් ය:

* වියපත් පුද්ගලයන් සඳහා වන මෙඩිකෙයා වැඩසටහන්වලින් ඩොලර් බිලියන 500ක් කපාහැරීම

* මෙඩිකෙයා යටතේ පවතින සෞඛ්‍ය සේවා සලාකනය සඳහා ස්වාධීන ගෙවීම් උපදේශක මන්ඩලයක්

* සෞඛ්‍ය සේවා සපයන ආයතනවලට මෙඩිකෙයා යටතේ කෙරෙන ගෙවීම් වියදම් කප්පාදුවට යටත් කිරීම

* සමිතිගත හා සෙසු සේවකයන්ගේ ඊනියා "කැඩිලැක්” සෞඛ්‍ය සේවා රක්ෂන සැලසුම් මත බද්දක්

යමෙකුට රක්ෂන ආවරනයක් නැති නම් එම පුද්ගලයන් සිය ආදායමෙන් සියයට 2 දක්වා දඩයකට යටත් කල හැකි අතර ම, සිය සේවකයන්ට රක්ෂනය සැපයීමට අපොහොසත් වන හාම්පුතුන් සඳහා දඩය කෙතරම් පහල අගයක් ද යත් එය තම රක්ෂන වැඩසටහන් අතහැර දැමීමට සමාගම්වලට දෙන දිරිගැන්වීමක් වැනිය. එය වඩා අඩු මට්ටමේ ආවරනයක් සපයන තනි පුද්ගල රක්ෂන ඔප්පු මිලදී ගැනීමට කම්කරුවන්ට බල කරනු ඇත. මෑත අධ්‍යයනයකට අනුව, ව්‍යාපාරිකයන්ගෙන් සියයට 9ක් තරම් ප‍්‍රමානයක් 2014 වන විට සිය සේවකයන් වෙනුවෙන් රක්ෂන ආවරන සැපයීම අතහැර දැමීමට සැලසුම් කරයි.

එවන් ප‍්‍රතිගාමී පිලිවෙතක් ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරනයක් ලෙස ගසාබසා දැමේ යන කරුන, එය අනුමත කල ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව මෙන්ම, 21 වන සියවසේ ඇමරිකාව පිලිබඳව බොහෝ දේ ප‍්‍රකාශ කරයි. දක්ෂිනාංශික අග විනිසුරු ජෝන් රොබර්ට්ස් විසින් ලියන ලදුව, අධිකරනයේ සිටින නාමික ලිබරලුන් සිවු දෙනෙකු විසින් අනුමත කරන ලද, තීන්දුව, සංගත සංස්ථාපිතය මෙම පනතේ බොහෝ සෙයින් ආයෝජනය කෙරී ඇත යන කරුන පිලිබිඹු කරයි.

සෞඛ්‍ය සේවා පනතත් සෑම පුද්ගලයෙකුම සෞඛ්‍ය රක්ෂනයක් ලබා ගත යුතු බවට එහි සඳහන් විධිවිධානයත්, අන්තර්-ප‍්‍රාන්ත වානිජ කටයුතු නියාමනය කිරීමට ආන්ඩුවට පවත්නා අධිකාරියේ (එක්සත් ජනපද ව්‍යවස්ථාවේ වානිජ වගන්තියට අනුව) පදනම මත, ව්‍යවස්ථානුකුල බවට ඔබාමා පාලනාධිකාරයේ තර්කය ප‍්‍රතික්ෂේප කිරීමෙහිලා විනිසුරු රොබර්ට්ස් සෙසු දක්ෂිනාංශක විනිසුරන් සමග එක් විය. ඒ වෙනුවට රොබර්ට්ස් තනි පුද්ගල වරය අනුමත කරන සිය තීන්දුව පදනම් කලේ, ආන්ඩුවේ බදු ගැනීමේ බලතල මතය. එනම්, රක්ෂනයක් මිලදී නොගන්නා පුද්ගලයන්ගෙන් අය කෙරෙන දඩය බද්දකට සම කිරීම මගිනි.

ෆෙඩරල් සමාජ පනතේ පදනම ලෙස වානිජ වගන්තිය ප‍්‍රතික්ෂේප කිරීම, 1930 ගනන්වල නිව් ඩීල් පිලිවෙතේ පටන් මේ දක්වා ම, ව්‍යවස්ථාමය නීති විද්‍යාව පිලිබඳ විසඳුනු කාරනයක් ලෙස සැලකුනු දෙයකට එරෙහිව පුලුල් වන දක්ෂිනාංශික ප‍්‍රහාරයක කුලුගැන්වීමයි. අවම වැටුප, ලමා ශ‍්‍රමය පිලිබඳ නීති, සමාජ සංරක්ෂනය, මෙඩිකෙයා, මෙඩිකේඩ් සහ සිවිල් අයිතීන් පිලිබඳ පනත් මෙන්ම සංගතවල කි‍්‍රයාකාරකම් නියාමනය වැනි ප‍්‍රතිසංස්කරන සඳහා ව්‍යවස්ථාමය පදනම ලෙස කොංග‍්‍රස් මන්ඩලය වානිජ වගන්තිය උපුටා දක්වා තිබුනි. රොබර්ට්ස් ඇතුලු, අධිකරනයේ දක්ෂිනාංශිකයන් පස් දෙනාගේම එල්ලය වූයේ, මොන යම් හෝ සමාජ ප‍්‍රතිසංස්කරනයක් හෝ සංගත ලාභ ගැරීම සීමා කිරීම හෝ පිලිබඳ අනපනත් සම්මත කිරීමට කොංග‍්‍රස් මන්ඩලයට පවතින බලය දුර්වල කරන නෛතික පූර්වාදර්ශයක් සැපයීමයි.

විනිසුරු රුත් බැඩර් ගින්ස්බර්ග්, වානිජ වගන්තිය පිලිබඳ රොබර්ට්ස්ගේ "දැඩි කියවීම” "අතිශයින්ම ප‍්‍රතිගාමී” කි‍්‍රයාවක් ලෙස ගුනාංගීකරනය කලාය. එය, ශ්‍රේෂ්ඨාධිකරනය සමාජ ප‍්‍රතිසංස්කරන පනත් සහ සංගතවල කි‍්‍රයාකාරකම් නියාමනය කරන නීති පුරුද්දක් වසයෙන් නිෂ්ප‍්‍රභා කල, පසුගිය සියවසේ ප‍්‍රථම භාගය කරා අවධානය යොමු කරන බව ඇය සටහන් කලාය.

සෞඛ්‍ය සේවා පනතේ, අධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද, එක් විධිවිධානයක් නම්, මෙඩිකේඩ්, එනම්, ප‍්‍රාන්ත හා ෆෙඩරල් ආන්ඩු විසින් හවුලේ පාලනය කරන, දුගී ජනයා සඳහා වන සෞඛ්‍ය සේවා වැඩසටහන, පුලූල් කිරීමට සම්බන්ධිත පියවරකි. දරිද්‍රතා මට්ටම මෙන් සියයට 133ක් හෝ ඊට අඩුවෙන් ආදායම් ලබන අවුරුදු 65ට අඩු සියලූ පුද්ගලයන් දක්වා මෙඩිකේඩ් ආවරනය පුලුල් කිරීම මගින් මිලියන 11ක් ලෙස තක්සේරු කෙරෙන ජනකායකට ආවරනය සැපයීමට පනතින් බලාපොරොත්තු විය.

මෙම පුලුල් කිරීම කි‍්‍රයාවට දැමීම ප‍්‍රතික්ෂේප කරන මොන යම් හෝ ප‍්‍රාන්තයකට ලැබෙන මෙඩිකේඩ් අරමුදල් අත්හිටුවීමේ බලය එමගින් ෆෙඩරල් ආන්ඩුවට ලැබේ. බ‍්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, ෆෙඩරල් ආන්ඩුවට එම බලය අහිමි කලේ, එක් එක් ප‍්‍රාන්ත මගින් මෙඩිකේඩ් වැඩසටහන පුලුල් කිරීම, ප‍්‍රායෝගිකව ගත් කල, සිය කැමැත්ත අනුව කල හැකි දෙයක් බවට පත් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරනයේත් සමස්තයක් ලෙස පාලක ප‍්‍රභූවේත් ඉලක්කය ලෙස පවතින්නේ, මෙඩිකේඩ් පමනක් නොව, සමාජ සංරක්ෂනය, මෙඩිකෙයා හා ආහාර මුද්දර වැනි සමාජ වැඩසටහන්වලින් සමන්විත සමස්ත රාමුව මෙන්ම, සිවිල් අයිතිවාසිකම් පනත හා ඡන්ද අයිතිය පිලිබඳ පනත වැනි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අනුමත කරන නීති පනත් ය.

2010 දී ඔබාමාගේ සෞඛ්‍ය සේවා පනත සම්මත කිරීම, කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයේ නව අදියරක ආරම්භය විය. ප‍්‍රාන්ත ආන්ඩු මෙඩිකේඩ් හා සෙසු සමාජ වැඩසටහන්වල ගැඹුරු කප්පාදු කි‍්‍රයාවට දමමින්, රට පුරා කප්පාදු පිලිවෙත් කි‍්‍රයාත්මක කෙරී ඇත. මහා අවපාතයෙන් පසුව මෙතෙක් පැවති දරනුතම රැකියා අර්බුදය මධ්‍යයේ, ධවල මන්දිරය හා කොංග‍්‍රස් මන්ඩලය විරැකියා ප‍්‍රතිලාභවල කාල සීමාව අඩු කිරීමේ එකඟතාවකට එලඹුනි.

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හා ලාභ සඳහා නිෂ්පාදනය, සෞඛ්‍ය සේවය වැනි මූලික සමාජ අවශ්‍යතාවන් සමග පෑහිය නොහැකිය යන කරුන, දැරිය හැකි මිලකට ලැබෙන සෞඛ්‍ය සේවාව පිලිබඳ පනතත් එය අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවත් මගින් අවධාරනය කෙරෙයි. ධනපති ආර්ථික හා දේශපාලන පද්ධතියේ රාමුව තුල සැබැවින්ම ප‍්‍රගතිශීලී සමාජ වෙනසකට කිසිදු හැකියාවක් නැත.

පොදු, ගුනාත්මක සෞඛ්‍ය සේවාවක්, වෛද්‍ය සේවා ප‍්‍රතිපාදනයෙන් ලාභ ගැරීම ඉවත් කොට සෞඛ්‍ය සේවා පද්ධතිය සමාජවාදී පදනම් මත පිහිටුවාලීම ඉල්ලා සිටී. රක්ෂන ආයතන, ඖෂධ සමාගම් හා සෞඛ්‍ය සේවා ජාල ජනසතු කොට වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ පවත්නා පොදු ආයතන බවට පරිවර්තනය කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය සහ 2012 මැතිවරනයේ එහි අපේක්ෂකයෝ, ජනාධිපති තනතුර සඳහා ජෙරී වයිට් හා උප ජනාධිපති තනතුර සඳහා පිලිස් ස්චෙරර්, කම්කරු පන්තියේ මූලික සමාජ අයිතියක් ලෙස, ඉහල ගුනාත්මක භාවයකින් යුක්ත, පොදු සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සටන් වැදීමට කැප වී සිටිති. සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන උද්ඝෝෂන වෙබ් අඩවියට පිවිසෙන්න.

කේට් රැන්ඩල්

Share this article: