පැරගුවේ රටෙහි කුමන්ත්‍රනය

The Paraguayan coup

3 July 2012

පැරගුවේහි තේරී පත්වූ ජනාධිපති ෆර්ඩිනැන්ඩෝ ලූගෝ ජූනි 22 දින, ඊනියා ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයකින් බලයෙන් පහ කිරීම, ලතින් ඇමරිකාව ද සමස්තයක් ලෙස ලෝකයම ද වෙලාගෙන ඇති වර්ධනය වන පන්ති ආතතීන් පිලිබඳව මෙන්ම, ධනවාදය යටතේ පාලනයේ ප්‍රජාතන්ත්‍ර රූපාකාරයන් එන්ට එන්ටම වියැකී යන බවට තවත් ඇඟවුමකි.

රටේ පාලක කතිපයාධිකාරී සම්ප්‍රදායික පක්ෂ දෙක චෝදනා එල්ල කර යාන්තම් පැය 30ක් ගතවීමටත් මත්තෙන්, පැරගුවේ පාර්ලිමේන්තුවෙහි ප්‍රධාන ව්‍යවස්ථාදායක සභා දෙකම හරහා ඉදිරියට දමන ලද ලූගෝට එරෙහි කඩිනම් දෝෂාභියෝග දෙක, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශීර්වාදය මත සිදුවූ බවට විශ්වාස කල හැකි සාක්ෂි සෑම අතින්ම ගොනුව තිබේ.

හිටපු කතෝලික පූජකවරයෙකු හා විමුක්ති දේවධර්මාචාර්යවරයෙකු වන ලූගෝ, 2008 වසරේදී තේරී පත් වූයේ දූෂනය පිටුදකින බවට හා “සමාජීයව වගකීමට බැ‍ඳෙන ධනවාදයක්” නඟාසිටුවන බවට පොරොන්දු වෙමිනි.

තමන්ටම කියා පක්ෂයක් නොමැති ඔහු බලයට පත් වූයේ, ඇල්ෆ්‍රඩෝ ස්ට්‍රෝස්නර්ගේ ආඥාදායකත්වය පැවති 35 වසර පුරාම හීලෑ විපක්ෂයක්ව කටයුතු කල පැරගුවේහි කතිපයාධිකාරයේ දක්ෂිනාංශික මෙවලම වන ලිබරල් පක්ෂය සමග සහයෝගීව සිටි ගොවි හා ස්වදේශීය කන්ඩායම් සමගින් වාම ජාතිකවාදී කොටස් ඇතුලත්වූ සභාගයක් තුලිනි. තම හිටපු නායකයාට එරෙහි දෝෂාභියෝගයකට සහාය දීමෙන් පසුව දැන් ජනාධිපති තනතුරට හිමිකම් කියන්නේ ලූගෝගේ උප ජනාධිපතිව සිටි ලිබරල් පක්ෂයේ නායක ෆර්නැන්ඩෝ ෆ්‍රැන්කෝය.

බලයේ සියලු සැබෑ ලීවරයන් අතැතිව සිටින්නේ, පෞද්ගලික දේපොල ආරක්ෂා කිරීමට කැපවූ ලිබරලුන් හා 2008 මැතිවරනයට පෙර දශක හයක් රට පාලනය කල ස්ට්‍රෝස්නර්ගේ කොලරාඩෝවන් වන අතර පැරගුවාහි ප්‍රතිගාමිත්වයට නිරන්තරව අනුගත වෙමින් සිටි ලූගෝට කල හැකි වූයේ සුලු ප්‍රතිසංස්කරනයන් පමනි.

එසේ වුව ද, ලූගෝගේ සොච්චම් ප්‍රතිසංස්කරන වුව පැරගුවාහි කම්කරුවන් හා පීඩිතයින් අතර ව්‍යාජ බලාපොරොත්තු දල්වනු ඇතැයි බියපත්ව සිටි පාලක කතිපයාධිකාරයට මෙන්ම අන්තර්ජාතික කෘෂිකාර්මික ව්‍යාපාරිකයින්ට ලූගෝ ජනාධිපතිකම නොඉවසියහැකි විය. ආන්ඩුවේ අව්‍යාජ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරන ක්‍රියාවලියක් නොමැති කමෙන් කිසිදු සහනයක් නොලබන ඉඩම් නොමැති ගොවීන් ප්‍රශ්නය සියතට ගනු ඇතැයි යන විශේෂිත උත්සුකයක් පවතියි. ජනගහනයෙන් සියයට දෙකක් විසින් භූමියෙන් සියයට 75කටත් වඩා පාලනය කරන හා මෙම ඉඩම්වලින් වැඩි පංඟුවක් ඒවායේ මුල් අයිතිකරුවන්ගෙන් ගසාකා ඒවා ස්ට්‍රෝස්නර්ගේ ආඥාදායකත්වය යටතේ හිතවත් දේශපාලඥයින් අතට පත්කල රටක් තුල, එවැනි බියකට සාධාරන හේතු තිබේ.

දෝෂාභියෝගයට මූලික නිමිත්ත වූයේ, ස්ට්‍රෝස්නර් අවධියේ සිටි ධනවත් කොලරාඩෝ දේශපාලඥයෙකුගේ ඉඩමක් අත්පත්කරගෙන සිටි ගොවීන් 100ක් පමන ඉවත් කිරීමට දරන ලද උත්සාහයකදී ආරක්ෂක හමුදාවන් සිදුකල ඝාතනයකි. ගොවීන් 11 දෙනෙක් හා එක් පොලිස් භටයෙකු මිය ගියේය. ඒ අතර තවත් බොහෝ සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර අත්අඬංගුවට ගනු ලැබුනි. පැරගුවේ කොන්ග්‍රසයේ දක්ෂිනාංශික පක්ෂ, ගොවීන්ට වෙඩි තැබිම ප්‍රමාද කිරීම හා දැඩි මර්දනයක් යෙදීමට අසමත් වීම පිලිබඳව ලූගෝට චෝදනා නැගූහ.

2012 ජූනි මාසයේ පැරගුවේහි කුමන්ත්‍රනයත් 2009 වසරේ හොන්දුරාස්හි ජනාධිපති මැනුවෙල් සෙලායා පෙරලා දැමූ කුමන්ත්‍රනයත් අතර පැහැදිලි සමාන්තරයක් තිබේ. සිදුවීම් දෙකෙහිදීම කතිපයාධිකාරී පාලක පන්තියේ දේශපාලන නියෝජිතයින් තමන් "වාමාංශිකයින්” යයි හඳුන්වාගත් ජනාධිපතිවරු පෙරලා දමනු ලැබුවේ, සිය ධනය හා බලය මත සුලු හෝ කෙනිත්තිල්ලක් පවා නොඉවසියහැකිවූ බැවින්ය. අවස්ථා දෙකෙහිදීම නීතිමය හා ව්‍යවස්ථාමය රෙගුලාසි, ආන්තික ප්‍රජාතන්ත්‍ර විරෝධී අරමුනු වෙනුවෙන් සේවය කිරීම සඳහා හරවාගන්නා ලදී.

සෙලායා සිද්ධියේ දී හමුදාව ජනාධිපති මන්දිරයට කඩාවැදී පිජාමා ඇඳුමෙන් සිටි ජනාධිපති ගුවන් යානයක නංවා පිටුවහල් කරන ලදී. ලූගෝ සිද්ධියේ දී එවන් ක්‍රමවේදයන් අවශ්‍ය කෙරුනේ නැත. ඔහු තමාට එරෙහි දෝෂාභියෝගය ප්‍රසිද්ධියේම පිලිගත් අතර විරෝධතාවන්ට සම්බන්ධ වුනේ ඉන් පසුව පමනි. කෙසේ වෙතත් හොන්ඩුරාස්හි මෙන්ම පැරගුවේහිදී ද සැබෑ ප්‍රචන්ඩත්වය මුදා හැරුනේ කුමන්ත්‍රනයෙන් පසුවය. එය එල්ල කෙරුනේ රටේ කම්කරුවන්ට, ගොවීන්ට හා සිසුන්ට එරෙහිව ය.

දෙරටේම සමාජ ව්‍යූහයන් ද පොදු සමාන කමක් පෙන්වයි. දකුනු ඇමරිකාවේ දෙවන දුප්පත්ම රට ලෙස පැරගුවේ හා මධ්‍යම ඇමරිකාවේ දෙවන දුප්පත්ම රට ලෙස හොන්ඩුරාස්හි බොහෝකොටම අන්තර්ජාතික ප්‍රාග්ධනයේ විනිවිදීම හේතුකොටගෙන සමාජ අසමානතාවය පෙර නොවූ විරූ මට්ටම් කරා නැඟී ඇත.

දෙරටෙහිම දේශීය හවුල්කරුවන් සමග සමීප සම්බන්ධකම් පවත්වාගෙන යන එක්සත් ජනපද මිලිටරි හා බුද්ධි අංශවල අවධානය එම රටවල් වෙත යොමුව තිබේ. දෙරටෙහි ම ආරක්ෂක හමුදා පෙන්ටගනය විසින් පුහුනු කර උපදෙස් ලබාදෙන තතු යටතේ, පවත්නා ආන්ඩුවක් එහි අනුමැතියකින් තොරව පෙරලා නොදමනු ඇත.

වොෂින්ටනය ලතින් ඇමරිකාවේ සිය විශාලතම මිලිටරි කඳවුර ස්ථානගත කර ඇත්තේ හොන්ඩුරාස්හි ය. ලූගෝ බලයෙන් පහ කරන තෙක් ගතවූ කාලය තුල එක්සත් ජනපද ජෙනරාල්වරු, ලූගෝට එරෙහි දොෂාභියෝගය ගෙන ආ එම දක්ෂිනාංශික දේශාපලඥයින් සමග එරටෙහි සිය මූලෝපායික සුරක්ෂිතකම තහවුරු කර ගැනීමේ සාකච්ඡාවන්හි නිරතවූහ.

පැරගුවේ කොන්ග්‍රස් සභාවේ පහල මන්ත්‍රී මන්ඬලයේ ආරක්ෂාව පිලිබඳ කොමිෂන් සභාවෙහි ප්‍රධානියා වූ ජොසේ ලෝපෙස් චාවේස් මන්ත්‍රී වරයා, රටෙහි සංචාරයක නිරත වූ එක්සත් ජනපද ජෙනරාල්වරු කන්ඬායමක් සමග එරට තුනී ජනගහනයක් වාසය කරන චකෝ පලාතේ ඇමරිකානු කඳවුරක් පිහිටුවීම පිලිබදව සාකච්ඡා පැවැත්වූ බව පසුගිය වසරේ අගෝස්තුවේ පැරගුවේහි ප්‍රමුඛ දක්ෂිනාංශික පවත්පත වන ඒබීසී කලර් වාර්තා කලේය. ලෝපෙස් චාවේස්, හිටපු කුමන්ත්‍රන නායක ජෙනරාල් ලිනෝ ඕවිඩෝ විසින් නායකත්වය දරන ලද කොලරාඩෝ පක්ෂයෙන් කැඩීගිය කන්ඩායමක නායකයා ද පාර්ලිමේන්තු කුමන්ත්‍රන‍ෙය් සංවිධායකයෙක් ද විය.

එක්සත් ජනපද විශේෂ කාර්ය බලකායේ හමුදාවන්ට රටට ඇතුලුවීමට හා "ත්‍රස්තවාදය මැඩීමේ” ක්‍රමෝපායන් හා "නාගරික ප්‍රදේශවල නවීන මිලිටරි ක්‍රියාන්විතයන්” පිලිබඳව පැරගුවේ හමුදාව පුහුනු කිරීමට ඉඩ කඩ සලසමින් ලූගෝ වොෂින්ටනය සතුටු කිරීමේ උත්සාහයක නිරතවූ නමුත් 2010 වසරේදී විශාල පරිමානයේ යුද අභ්‍යාස පැවැත්වීමට පෙන්ටගනය කල යෝජනාව ප්‍රතික්ෂේප කලේය. විකිලීක්ස් විසින් මුදාහල එක්සත් ජනපද තානාපති කාර්යාලීය රහසිගත කේබල් පනිවිඩයකට අනුව තානාපති නිලධාරීහු, ආන්ඩුවේ ඇමතිවරු හා පැරගුවේ මිලිටරි ආඥාපතීන්ට, “නිව් හොරයිසන්” යනුවෙන් නම්කර තිබුනු එම ක්‍රියාන්විතය පිලිගැන්නවීමට බලකරමින්, “දැඩි උත්සාහයක” නිරතවූහ. තෙල් අපනයන මත වාසිදායක ගනුදෙනුවක් වෙනුවෙන් වෙනිසියුලාවේ හියුගෝ චාවේස් සමග හිතවත්කම් ගොඩනඟමින් තමන්ට "හරස් කැපීම” පිලිබඳව කේබල් පනිවිඩයෙන්, ලූගෝට චෝදනා නඟා තිබුනි.

"පාර්ලිමේන්තු කුමන්ත්‍රනයකට යොමුවුනු පැරගුවානු ඡන්ද මගඩි” හා "ලූගෝට එරෙහි දෝශාභියෝග කට කතා යලිත්” වැනි ශීර්ෂ පාඨ යටතේ විකිලීක්ස් විසින් තවත් රහසිගත කේබල් පනිවිඩ 2009 වස‍ෙර් නිකුත් කර තිබුනි. ඒ අනුව පැහැදිලි වන්නේ, එක්සත් ජනපද තානාපති කාර්යාලය නිසැකව ම, ‍පැරගුවානු දක්ෂිනාංශය විසින් සූදානම් කරමින් තිබුනු කුමන්ත්‍රන පිලිබඳව හොඳින් දැනසිටි බවත් රහසිගතව ඒවාට සම්බන්ධව සිටි බවත්ය.

හොන්ඩුරාස්හි කුමන්ත්‍රනයට හා මෙක්සිකෝවේ ද මධ්‍යම ඇමරිකාවේ ද “මත්ද්‍රව්‍ය යුද්ධයට” එක්සත් ජනපදයේ මැදිහත්වීම පුලුල් වීමෙන් පසුව සිදුවූ පැරගු‍ෙව් රටෙහි කුමන්ත්‍රනය, ඇමරිකානු ධනවාදය චීනයේ හා යුරෝපයේ බලගතු ආර්ථික එදිරිවාදීන් සමග හැප්පීමේ දී ඔබාමා පාලනය, ලතින් ඇමරිකාව තුල එක්සත් ජනපද බලාධිකාරය පිහිටුවා ගැනීම පිනිස වෙන කවරදාකටත් වඩා විවෘත ලෙස ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනයන්හි හා මිලිටරි බලය යොදාගැනීම කරා හැරී සිටින බවට තවත් ඇඟවුමකි.

සමාජවාදය සඳහා අරගලයේ දී කම්කරු පන්ති‍ෙය් ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමකින් තොරව, ලතින් ඇමරිකාව තුල වැඩකරන ජනතාවට, අධිරාජ්‍යවාදයේ මැදිහත්වීම් හා දේශීය පාලක පන්තීන්ගේ පීඩාව පරාජය කල නොහැකි බව පැරගුවේ හා හොන්ඩුරාස්හි සිදුවීම්, යලිදු වතාවක් තහවුරු කරයි. දෙරටෙහිදී ම, දක්ෂිනාංශික ධනපති පක්ෂවල අත යටට පත්ව සිටි ලූගෝ හා සෙලායා යන ධනපති දේශපාලඥයින්ට කම්කරුවන්, ගොවීන් හා පීඩිතයින් දේශපාලනිකව යටත් කිරීම මගින් ප්‍රතිවිප්ලවවාදී මෙහෙයුම් සඳහා දොර විවර කලේය.

මෙම රටවල් දෙකෙහි සිදුවූ ඊනියා පාර්ලිමේන්තු කුමන්ත්‍රන පිලිබඳ අතිශය වැදගත් පාඩම, ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වාධීනව ඇමරිකානු එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වදින කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීමේ අවශ්‍යතාවයි.

බිල් වෑන් ඕකන්

Share this article: