ලිබෝ මගඩිය බැංකුවල ගෝලීය පොලී අනුපාත වංචාව හෙලිදරව් කර යි

Libor scandal exposes banks’ rigging of global rates

6 July 2012

ධනේශ්වර මූල්‍ය පද්ධතිය එහි ම සාපරාධිත්වය තුල කුනුවෙමින් පවතින අතර එය විස්තාපනය කර මහජන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පුනස්ථාපනය කිරීම සඳහා කවදාවත් නොවූ ප්‍රබල තර්කයක් නිර්මානය කර යි.

එක්සත් රාජධානියේ බාර්ක්ලේස් බැංකුවට එරෙහිව එල්ල වන මෑත ම බැංකු මගඩිය, ඉන් ඔබ්බෙහි, මූල්‍ය පද්ධතියේ ගෝලීය හදවතට ම ගමන් කර යි. යෝධ බැංකු අතලොස්සක් ඒවායේ ලාභ ද විධායකයන්ගේ හා මහා ආයෝජකයන්ගේ ධනසම්භාරය ද වැඩි කර ගැනීමට ඊනියා "නිදහස් වෙලඳපොල" කොල්ලකෑමේ යාන්ත්‍රනය යොදාගන්නා ආකාරය පිලිබඳ දැක්මක් ඉන් සැපයේ. එය ආර්ථික කොල්ලකෑමේ ක්‍රියාදාමයක් වන අතර එහි ප්‍රතිඵලය මහජන විරැකියාව, දිලිඳුකම හා හැමදා වැඩිවන සමාජ අසමානතාවය යි.

ජාත්‍යන්තර පොලී අනුපාත සඳහා ඉතාමත් ම වැදගත් පාද සලකුන එනම් ලන්ඩන් අන්තර් බැංකු පිලිගැන්වීමේ අනුපාතය (ලිබෝ) වංචා කල බව පිලිගත් පලමු බැංකුව බවට බාක්ලේස් පත්විය. ප්‍රධාන බැංකු අතර කෙටි කාලීන නය සඳහා පොදු පිරිවැය මැනීමට අපේක්ෂිත දෛනික ලිබෝ අනුපාත, ලෝකය වටා කෝටි සංඛ්‍යාවක් මිනිසුන්ට බලපාන නය හා ආයෝජන සඳහා පොලී අනුපාත තීරනය කර යි.

ඇස්තමේන්තු ගත ඩොලර් ට්‍රිලියන 360ක නය හා නය පැහරහැරීම් හුවමාරුවලට ලිබෝ සම්බන්ධය. එය චිකාගෝ වානිජ්‍ය හුවමාරුවේ ඩොලර් ට්‍රිලියන 564ට වඩා ජාතික වටිනාකමක් සහිත ඉදිරි ගිවිසුම්වලට බලපායි.

ලිබෝ මෙන්ම බැංකු උපාමාරුවල ඉලක්කයක් බවට පත්ව ඇති, බ්‍රසල්හි පිහිටි එහි සහකරුවෙක් වන යුරිබෝ ද (යුරෝපීය අන්තර් බැංකු පිලිගැන්වීමේ අනුපාතය) උකස් නය, ශිෂ්‍ය නය හා නය කාඩ්පත්වල ඩොලර් ට්‍රිලියන 10ක අගයක් සඳහා නය අනුපාත ඉදිරිපත් කරයි. එක්සත් ජනපද වානීජ හා උකස් නයවලින් සියයට 90ක ප්‍රමානයක් මෙම දර්ශකයට සම්බන්ධ ය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් විස්තර කථිකයෙකුට අනුව, ලිබෝ කොල්ලකෑම, "ජල සැපයුම දූෂනය කිරීමට සමාන මූල්‍ය දූෂනයකි."

වත්කම්වලින් ලෝකයේ හතරවැනි විශාලත ම බැංකුව වන බාර්ක්ලේස් පසුගිය සතියේ, බ්‍රිතාන්‍ය මූල්‍ය සේවා බල මන්ඩලය (එෆ්එස්ඒ), එක්සත් ජනපදයේ අනාගත භාන්ඩ තොග වෙලඳ කොමිසම (සීඑෆ්ටීසී) හා එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව සමග ගනු දෙනු පියවීමේ දී කල "විෂමාචාරය” පිලිගත්තේ ය. 2005 හා 2009 අතර කාලයේදී ලිබෝ අනුපාත වංචාකිරීමට උත්සාහ දැරීම වෙනුවෙන් එය ආයතන තුනට ඩොලර් මිලියන 453ක මුදලක් ගෙවීමට එකඟ විය.

බැංකුව විසින් දැනුවත්ව ම ලිබෝ මන්ඩලයට අන්තර් බැංකු නය ගැනුම් පිරිවැයේ, බොහෝ ඉහල ව්‍යාජ ඇස්තමේන්තු ඉදිරිපත් කල බව පෙන්වන 2005 සිට 2007 දක්වා විද්‍යුත් තැපෑල, ලිඛිත පනිවිඩ හා දුරකථන සංවාද ඇතුලත් වාර්තා ආයතන තුන විසින් නිකුත් කරන ලදී. එය එසේ කලේ, නය පැහැර හැරීම් හුවමාරු හා අනෙකුත් ද්විතීයික ගනුදෙනු සඳහා ඔට්ටු තැබීමට උපකාර වනු පිනිස ව්‍යාජ නිවේදනයන් ඉල්ලූ එහි ද්විතීයක වෙලඳාම් කවුන්ටරයේ සේවකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙනි.

2007 සිට 2009 දක්වා, ගෝලීය මූල්‍ය අර්බුදය මුදුනේ දී, සිය දුර්වල වූ මූල්‍ය තත්වය වසන්කිරීම සඳහා බාක්ලේස්, අනෙකුත් බැංකුවලින් ගන්නා නය පිරිවැය පිලිබඳව ලිබෝ මන්ඩලයට ඉදිරිපත් කල වාර්තා හිතාමතා ම අවතක්සේරු කලේ ය.

ලිබෝ හා යුරිබෝ මෙන්ම ටෝකියෝහි ටයිබෝ අනුපාත සමග ගෙන ගිය මේ වර්ගයේ සූදු, සැබවින් ම සියලු ජාත්‍යන්තර බැංකු විසින් ද සිදුකරන ලදී. ලෝකය වටා නියාමකයින් දුසිමක් පමන පිරිසක්, එච්එස්බීසී, වැඩි වශයෙන් රජයට අයත් ස්කොට්ලන්තයේ රෝයල් බෑන්ක්, ඩොයිෂ් බෑන්ක්, ක්‍රෙඩිට් සුයිස්, යූබීඑස්, ජේපීමෝගන් චේස්, සිටිගෘප්, බෑන්ක් ඔෆ් ඇමරිකා, බෑන්ක් ඔෆ් ටෝකියෝ-මිට්සුබිෂි ඇන්ඩ් සුමිටෝමෝ මිට්සූයි ඇතුලු බැංකු 12ක් හා 20ක් අතර සංඛ්‍යාවක් විමර්ශනය කරමින් සිටිති. බාර්ක්ලේස් ගනු දෙනුවේ මාවත ගත් තවත් බේරුම් කිරීම් ඉදිරි සතිවල දී බලාපොරොත්තුවේ.

මෙම බැංකුකරුවන්ගේ කුමන්ත්‍රන, පොදු ජනතාවගේ ජීවිත මත සැබෑ හා විශාල බලපෑමක් සිදුකර තිබේ. බැංකු කෘතිම ලෙස ලිබෝ අනුපාත මිල ඉහල නංවමින්, නව නිවාස හිමිකරුවන්ගෙන්, නැතහොත් විචල්‍ය අනුපාත උකස් නයකරුවන්ගෙන්, නය කාඩ්පත් හිමියන්ගෙන්, විද්‍යාල නය ගත් සිසුන්ගෙන්, කුඩා ව්‍යාපාර නය ගැනුම්කරුවන්ගෙන් හා වෙනත් පාරිභෝගිකයන්ගෙන් ගිනිය නොහැකි බිලියන ගනන් සොරා ගෙන තිබේ. අතිරේක 0.3ක ප්‍රතිශත ඒකකයක්, ඩොලර් 500,000ක ගැලපිය හැකි අනුපාත උකසක මාසික වාරිකයක්, ඩොලර් 100කින් වැඩි කිරීමට ඉඩ ඇතැ යි වෝල් ස්ට්‍රීට් ජර්නලය සටහන් කර යි.

අනෙක් අතට ලිබෝ අනුපාත අඩු තක්සේරු කිරීමෙන්, කුමන්ත්‍රනයට පාර්ශ්වකරුවන් නො වූ බැඳුම්කර හිමියන්ගේ ප්‍රතිලාභ පහත හෙලීමට තුඩු දෙන අතර අප්‍රමාන බිලියන ගනනක් පාඩු සිදු කරයි. රැකියා, වැටුප් හා සේවා කප්පාදු කිරීම මගින් අයවැය හිඟ පියවා ඇති ආන්ඩු හා පලාත් පාලන ආයතන ද මෙයට ඇතුලත් ය. ඔවුන්ගේ ආදායම් සැලකිය යුතු ලෙස පහත හෙලන ලද අතර විශ්‍රාම වැටුප් හා ස්ථාවර තැන්පතු සහිත විශ්‍රාමිකයන් ද මෙයට ගොදුරු විය.

බාර්ක්ලේස් සමග සමථය, බැංකුවල ඉහල විධායකයන් ‍ෙකාක්කෙන් මුදා හැරීමටත්, වංචාව පිලිබඳව ආන්ඩුව හා බැංකු නියාමකයන් දැක්වූ උදාසීනත්වය වසන් කිරීමටත් සැලැසුම් කල සුදුහුනු ගෑමකි. ඩොලර් මිලියන 453ක දඩය, ලිබෝ හා යුරිබෝවලට තම නය අනුපාත වංචා කිරීම මගින් බාර්ක්ලේස් වසර ගනනාවක් නීති විරෝධීව උපයා ගත් බිලියන ගනන් වලින් සොච්චමකි. එය සාරභූතව, සාපරාධී ගනදෙනුව දිගට ම ගෙනයාම සඳහා ගෙවන සුලු මුදලකි.

විද්‍යුත් තැපෑල හා අනෙකුත් සාක්ෂි නොතකා නියාමකයෝ, බාර්ක්ලේස්හි ඉහල විධායකයන් වංචාවට හවුල් යැයි තීරනය කල නොහැකි බව නිගමනය කිරීම මවිතකරය. එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව සමග ඇතිකරගත් ඩොලර් මිලියන 160ක සමතය, බැංකුව අපරාධ නඩුවකින් නිදහස් කලේ ය. බාර්ක්ලේස් හෝ අනෙකුත් කිසි ම බැංකුවක නිලධාරියෙකුට අද දක්වා සාපරාධී හෝ සිවිල් අපරාධ චෝදනා එල්ල කොට නැත. මෙයට පසුගිය සතියේ ඉල්ලා අස් වූ ප්‍රධාන විධායක නිලධාරී රොබට් ඩයමන්ඩ් ද ඇතුලත් ය.

පසුගිය වසරේ ඩයමන්ඩ් සම්පූර්න දිමනා වශයෙන් ඩොලර් මිලියන 39ක් පමන උපයා ගත්තේ ය. 2005 දී බාර්ක්ලේස් විධායක මඩුල්ලට එක්වූ තැන් සිට ඔහු, වැටුප්, ප්‍රතිලාභ, පාරිතෝෂික හා කොටස් ත්‍යාග වශයෙන් ඩොලර් මිලියන 311.7ක් ලබාගෙන ඇත. වසරකටත් අඩු කාලයකට පෙර බැංකුවල "පසුතැවීම හා සමාව අයදීම" අවසන් යැයි කියා සිටි ඩයමන්ඩ්, 04දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ භාන්ඩාගාර තේරුම් කමිටුවේ එම කන්ඩායම ඉදිරියේම පෙනී සිටියේය.

එක්සත් ජනපද හා යුරෝපීය ආන්ඩු හා නියාමකයන්ට හැකි ඉක්මනින් මෙම මගඩිය වසන් කිරීමට අවශ්‍ය වන එක් කාරනයක් වනුයේ ඔවුන් ද ඍජුව ම එයට පැටලී සිටින නිසා ය.

අඩු වශයෙන් 2007 තරම් ඈත දී, බැංකු ලිබෝ අනුපාත වංචා කරමින් සිටින බවට චෝදනා මතු කෙරුන අතර එක්සත් ජනපද, යුරෝපීය ආන්ඩු හා නියාමකයෝ ඒවා නොසලකා හැරියහ. 2007 දී මූල්‍ය අර්බුදය පිපිරුන අවස්ථාවේ, අර්බුදයේ ගැඹුර සැඟවීමට හා මූල්‍ය ප්‍රභූව ආරක්ෂා කිරීම පිනිස ඔවුහු, සැබවින් ම, පහල නය අනුපාත ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට බැංකු දිරිගන්වමින් සිටියහ. 2008 ඔක්තෝබරයේ දී එංගලන්ත මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පෝල් ටකර්, ලිබෝ මන්ඩලයට බැංකුව ඉදිරිපත් කල වාර්තා බොහෝ ඉහලින් තක්සේරුකර තිබුනේ යැයි ඩයමන්ඩ්ට කියා සිටි බව බාක්ලේස් කියා සිටියි.

පසුගිය වසර 30 තිස්සේම, සියලු වර්ගයේ, එනම් නාමිකව "වාම" මෙන් ම සංස්ථිතික ධනේශ්වර ආන්ඩු ද ගෙන යන ලද බැංකු නීති බිඳ දැමීමේ නිර්මිතයකි ලිබෝ අනුපාත ක්‍රමය. 1980 ගනන්වල මැද දියත් කෙරුනු එය, වෙලඳපොල වංචා කිරීමට හා මහජනයා කොල්ලකෑමට බැංකුවලට නිදහස දීම සඳහා යෙදූ මොලොක් වචනයක් වන "ස්වයං නියාමනයේ" අනර්ග උදාහරනයකි.

වර්තමානයේ දී බාක්ලේස් බැංකුවේ සභාපති මාර්කස් ඇගියුස් ප්‍රධානත්වය දරන, පෞද්ගලික බැංකු වෙලඳ කටයුතු හා බලපෑම් කිරීමේ කන්ඩායමක් වන බ්‍රිතාන්‍ය බැංකුකරුවන්ගේ සංවිධානය (බීබීඒ) එහි සභාපතිත්වය දරන අතර, තමන්ගේ ම වෙලඳ ඔට්ටු බැඳී ඇති ගෝලීය අනුපාත සැකසීමට උදව් වනු පිනිස, ලෝකයේ විශාල ම බැංකු 18ක් සෑම උදෑසනක ම නය දත්ත ලිබෝ මන්ඩලයට ඉදිරිපත් කරති. බීබීඒ පාලනය කරන්නේ මෙම බැංකු විසින් ය.

බොහෝ අනෙකුත් වෙලඳපොල යාන්ත්‍රන මෙන් ම මෙය ද විවිධ උත්සුකයන් මත හටගන්නා ගැටුම් සමග සහජයෙන් ම දූෂිතය, අභිරහස් ය.

ධන ලෝභයේ හා දූෂනයේ මෙම කසල වල "ප්‍රතිසංස්කරනය" කල හැකි ය යන ඕනෑ ම ප්‍රකාශයක්, අඥානකමේ, ස්වයං මිත්‍යාවේ හෝ දැනුවත් කපටිකමේ ප්‍රතිඵලයකි. වංචා කර ඇති බැංකුකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු අතර නීති විරෝධීව ලබාගත් ඔවුන්ගේ වස්තුව අත්පත් කර ගෙන රැකියා විරහිත, නිවාස නැති හා මූල්‍ය මාෆියාව විසින් ගොදුරු කර ගත් සියල්ලන්ට සහන සැපයීමට යොදා ගත යුතු ය.

මනුෂ්‍යත්වයේ ඉරනම විසින් ඉල්ලා සිටින්නේ, ලෝක වාසීන්ට යහපත සැලැසීමට හා සමාජ විනාශයට තවදුරටත් ඇද වැටීම වැලැක්වීම සඳහා, කම්කරු පන්තිය බැංකු අත්පත් කර ගෙන, ලාභය සඳහා නොව, සම්පත් තාර්කිකව හා ප්‍රගතිශීලී ලෙස බෙදා හැරීම හා සමාජ අවශ්‍යතාවන් සැපිරීම පිනිස ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරෙන මහජන සේවාවන් බවට පරිවර්තනය කිරීමකි.

බැරී ග්‍රේ

Share this article: