ශී‍්‍ර ලංකාවේ උසස් පෙල විභාග ප‍්‍රතිඵල ප‍්‍රමිතිකරන ක‍්‍රමවේදය සාවද්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුව විසඳුමක් නොවේ

Suranga Wijesiriwardhana, 19 July 2012

ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පසුගිය 25 දින ප‍්‍රකාශිත නඩු තීන්දුවක් මගින්, 2011 වර්ෂයේ උසස් පෙල විභාග ප‍්‍රතිඵල ප‍්‍රමිතිකරනය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සම්පාදනය කොට විභාග දෙපාර්තමේන්තුව විසින් කි‍්‍රයාවට නැංවූ ක‍්‍රමවේදය සාවද්‍ය බව පිලි ගැනුන අතර නව ක‍්‍රමවේදයක් මගින් එය නිරවද්‍ය කරන ලෙස උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍යංශයන්ට නියෝග කෙරින.

මෙම තීන්දුව දෙනු ලැබුවේ, 2011 දෙසැම්බර් 26 දින විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ උසස් පෙල ප‍්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ලංකා ගුරු සංගමය සහ සිසුන් 16 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පිලිබඳ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය. ප‍්‍රතිඵල ප‍්‍රමිතිකරනයේ දී පැරනි සහ නව විෂය නිර්දේශයන් යටතේ විභාගයට පෙනී සිටි සිසුන් දෙපිරිසක් සඳහා තනි Z- ලකුනක් යොදා ගැනීම ඇතුලු තවත් දෝෂයන් හේතුවෙන් සිසුනට අසාධාරනයක් සිදුව ඇති බැවින් එම ප‍්‍රතිඵල අහෝසි කොට යලි සමීක්ෂනයක් මගින් ප‍්‍රතිඵල නිකුත් කිරීම සඳහා නියෝග කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

කෙසේ වුවද ප‍්‍රතිඵල සම්පූර්නයෙන්ම අත්හිටුවිය යුතු බවට පෙත්සම්කරුවන් කල ඉල්ලීම නිශ්ප‍්‍රභා කල ශ්‍රේෂ්ඨාධිකරනය නව සහ පැරනි විෂය නිර්දේශ යටතේ වෙන වෙනම Z- ලකුන ගනන් කල යුතු බවට පමනක් නියෝග කරන ලදී.

ප‍්‍රතිඵල කෙරෙහි සිසුන්, මහජනතාව හා ශාස්ත‍්‍රාලිකයන් අතර දැඩි අප‍්‍රසාදයක් පලවුනු අතර, විභාගය සඳහා පෙනී සිටි පිරිසගෙන් 147,000 ක් පමන, එනම් සියයට පනහකට ආසන්න පිරිසක්, ප‍්‍රතිඵල නැවත විමර්ශනය සඳහා අයදුම් පත් යොමු කලහ. එසේ වුවද, නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙරාතුව අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක එක දිගට කියා සිටියේ තම අමාත්‍යංශ විසින් යොදා ගත් ක‍්‍රමවේදය ප‍්‍රශස්තම ක‍්‍රමවේදය බවත් එය කිසිදු අයුරකින් ඉවත් කර නොගන්නා බවත් ය.

2001 වර්ෂයේදී Z- ලකුන හඳුන්වා දුන්නේ විශ්ව විද්‍යාලවල ඇති ඉතා සීමිත ඉඩකඩ ප‍්‍රමානය සඳහා "වඩාත්ම සුදුස්සන්” තෝරා ගැනීමේ "සාධාරනම” ක‍්‍රමවේදය ලෙසිනි. සුදුසුකම් ලබන සියල්ලටම සරසවි වරම් ලබා දීමට ඉඩකඩ ඇතිවනසේ විශ්ව විද්‍යාල පද්ධතිය පුලුල්ව පැවතියේ නම් මෙම "වඩාත්ම සුදුස්සන්” තේරීමේ ක‍්‍රමවේදයක අවශ්‍යතාව පැන නොනගී. මේ ක‍්‍රමවේදය හඳුන්වා දීම ධනපති පාලනයට සරසවි වරම් ලබන සියල්ලන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති නොහැකියාවේ ප‍්‍රතිඵලයකි.

විශ්ව විද්‍යාල පද්ධතිය ගුනාත්මකව සහ ප‍්‍රමානාත්මකව වර්ධනය කිරීමට විපරීතව පසුගිය දශක තුන පුරා පැවති සෑම ආන්ඩුවක්ම උත්සාහ කරනු ලැබුවේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන අවශ්‍යතා මත පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුලු අධ්‍යාපන ආයතන ඇතිකරමින් අධ්‍යාපනය ලාභ ගරන පද්ධතියක් බවට පත්කිරීමට ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත අධ්‍යාපනය සඳහා වෙන්කරනු ලැබූ මුදල් වාර්ෂිකව කප්පාදු කරනු ලැබූ අතර පසුගිය අයවැයෙන් ආරක්ෂක වියදම් ලෙස අයවැයෙන් සියයට 10.3 ක් වැය කල ආන්ඩුව අධ්‍යාපනය සඳහා වෙන්කරනු ලැබුවේ සියයට 2.5 ක් තරම් වූ සොච්චමකි.

මෙම කප්පාදු පියවරයන්ගේ ඝෘජු ප‍්‍රතිඵලයක් ලෙස උසස් පෙල සමත්වන සිසුන් වැඩි පිරිසකට විශ්ව විද්‍යාල ප‍්‍රවේශ වරම් අහිමි කෙරී ඇත. මෙහි බරපතල බව කෙතෙක් ද යත්, 2010 වසරේ උසස් පෙල විභාගයෙන් සිසුන් 140,000 ක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශ සුදුසුකම් ලැබුව ද, විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගනු ලැබුවේ එයින් 20,000 ක් පමනි. සුදුසුකම් ලැබූ ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් පැහැර ගනිමින් මේසා පරිමාන අසාධාරනයක් සිදුවෙමින් පැවතිය දී, සීමිත ඉඩකඩ ප‍්‍රමානයට සිසුන් තෝරා ගැනීමේ "වඩාත්ම සාධාරන” ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අධ්‍යාපනයට සම්බන්ධිත වෘත්තීය සමිති, අධ්‍යාපනඥයන් සහ නිලධාරීන් හබයක පැටලී ඇත.

විශ්ව විද්‍යාලවල ඉඩකඩ සීමා කිරීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් උල්ලංඝනයවී ඇතැයි යන අති මූලික කරුන ලංකා ගුරු සංගමය ඇතුලු පෙත්සම්කරුවෝ අභියෝගයට ලක් නොකලහ. එමෙන්ම මෙම ඉඩකඩ සීමා කිරීමේ ඝෘජු ප‍්‍රතිඵලයක් ලෙස Z-ලකුනු අර්බුදය පැන නැංවී ඇති බවට එම පෙත්සම් මගින් හෝ නඩු විභාගයේ දී හෝ පෙත්සම්කරුවෝ තර්ක නොකලහ. එබැවින් නඩු තීන්දුවෙන් මෙම මූලික අයිතිය රජය විසින් පැහැර ගෙන ඇතැයි යන කරුන අභියෝගයට ලක් නොකෙරේ.

මෙම නඩු තීන්දුව පැතිකඩ කීපයක් ඔස්සේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව පාලක පන්තියේ අවශ්‍යතාවය නියෝජනය කරනු ලබයි.

පලමුව, අධිකරනය සම්බන්ධයෙන් සීඝ‍්‍රයෙන් ඛාදනය වෙමින් පවතින මහජන විශ්වාසය යම් අයුරකින් යලි ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාව මෙම තීන්දුව මගින් ප‍්‍රකාශිත වේ. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ පිලිවෙත් වලට අනුගතව අධිකරනය විසින් එක දිගට දෙන ලද තීන්දු හේතුවෙන් අධිකරනයේ ස්වාධීනත්වය දැඩිව විවේචනයට බඳුන් වී තිබේ. එම තීන්දු අතර කම්කරුවන්ගේ වැඩ වර්ජන අයිතියට එරෙහි තීන්දු, කොලඹ පැල්පත් වාසීන් සිය පැල්පත් වලින් ඉවත් කිරීම අනුමත කරමින් ගත් තීන්දු සහ රජය විවේචනය කිරීමට එරෙහිව වෙබ් අඩවි තහනම් කිරීමට ගත් තීන්දු ප‍්‍රමුඛවේ. විපක්ෂයේ හා මාධ්‍යයන්ගේ සහාය ඇතිව මෙම තීන්දුව අධිකරනයේ ස්වාධීනත්වය පිලිබඳ කදිම තීන්දුවක් ලෙසට ආන්ඩුව විසින් නිරතුරුව හුවා දැක්වේ. නමුත් උක්ත තීන්දුව රාජපක්ෂ ආන්ඩුවේ මහජන විරෝධී පිලිවෙත් කිසිදු අයුරකින් අභියෝගයට ලක් නොකෙරේ.

ආන්ඩුවේ මෙම අරමුන සාක්ෂාත් කිරීම පිනිස මේවන විටත් සියලූ දේශපාලන පක්ෂ සහ කල්ලි කන්ඩායම් වැඩට බැස තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ඩී.එම්. ස්වාමිනාදන් පාර්ලිමේන්තු විවාදයකට සහභාගි වෙමින් "Z - ලකුන ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය දිදුලන තීන්දුවක් දී තිබේ. මම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට එහි අනගි තීන්දුව සම්බන්ධයෙන් කෘතඥතාවය පල කිරීමට මෙම අවස්ථාව ගනිමි” යනුවෙන් ප‍්‍රකාශ කලේය. ද අයිලන්ඩ් පුවත් පතේ පලවූ වාර්තාවකට අනුව ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ට සම්බන්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සංවිධායක නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ "මෙම ශ්‍රේෂ්ඨාධිකරන නියෝගය ශිෂ්‍යයන්ගේ පමනක් නොව සමස්ත ජාතියේ ම ජයග‍්‍රහනයක්” බවයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටැලින් ද මෙය ඓතිහාසික තීන්දුවක් බවට පාරම් බෑවේය. ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට උසස් අධ්‍යාපන අයිතිය අහෝසි කෙරෙන ආන්ඩුවේ පිලිවෙත් කවර ආකාරයට හෝ අභියෝගයට ලක් නොකෙරෙන මෙම නඩු තීන්දුව වග වර්නනා කිරීම මගින් සිදුකරනුයේ සමස්ත සංස්ථාපිතය කෙරෙහි භංග වී යන මහජන විශ්වාසය යලි ගොඩනගා ගැනීමේ ආන්ඩුවේ දුබල උත්සාහයට සේවය කිරීමයි. ඒ මගින් අයිතීන් රැක ගැනීම සඳහා ස්වාධීන මහ ජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට වල කැපීමයි.

අනෙක් අතට මෙම තීන්දුව යහමින් භාවිතා කරමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල සිදු කෙරෙන දැවැන්ත කප්පාදු වලට එරෙහිව පැන නැගී ඇති මහජන වෛරය, උසස් සහ අධ්‍යාපන අමාත්‍යවරුන් දෙදෙනා සහ තවත් උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ කර මතින් යැවීමේ උත්සාහයක ද ආන්ඩුව නිරත වේ. සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ කන්ඩායම් ආන්ඩුවේ මෙම උත්සාහය ජනතාව අතර වපුරා ලීමට දැනටමත් කටයුතු කරමින් සිටී.

පසුගිය ජුනි 26 අයිලන්ඩ් පුවත්පත වාර්තා කලේ "මෙම අමාත්‍යවරුන් දෙපල රටේ අධ්‍යාපන පද්ධතිය අවුල් කොට ඇති බවත් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවත්” ජවිපෙ පාර්ලිමේන්තු කන්ඩායම් නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කල බවයි.

එජාපය ද අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු යැයි කියා සිටි අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර ද කෙටි මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම වැරැද්ද අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල පැතිර පවත්නා නොසැලකිල්ලේ ප‍්‍රකාශනයක් බවයි.

මේ සියලූ කල්ලි කන්ඩායම් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ මෙය ඇමතිවරුන් දෙදෙනෙකුගේ සහ තවත් ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුගේ නොසැලකිල්ලේ ප‍්‍රතිඵලයකැයි පවසමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අර්බුදය වනාහි සමස්ත ධනපති ක‍්‍රමය මුහුන දී සිටින අර්බුදයේ ප‍්‍රකාශනයක් වේ යන්න කම්කරු පීඩිතයන්ගෙන් වසන් කිරීමටයි. එමගින් ධනපති ක‍්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම වැලැක්වීම ඔවුනගේ අරමුනයි.

එනම්, ඔවුන් කි‍්‍රයා කරන්නේ, අනෙකුත් ක්ෂේත‍්‍රයන්හි මතුවෙමින් පවතින පන්ති අරගල සමග අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල ද මතුවී ඇති අරගලය සමග ඒකාබද්ධ වීම වලක්වා අධිකරන කි‍්‍රයාමාර්ග වැනි වට වංගු හරහා ආන්ඩුවට බලපෑම් දැමීම මගින් අයිතීන් දිනාගත හැකිය යන මිථ්‍යාව මහජනතාව අතර වපුරාලීමටයි. පාලක පන්තියේ අත්ගෙඩි ලෙස කටයුතු කරන මෙම සෑම කන්ඩායමක් ම කම්කරු පන්තිය අවමංගත කිරීමේ වැඩ පිලිවෙලට මහා පරිමානයෙන් දායක වේ.

සැබවින්ම නඩු තීන්දුවට අනුව ප‍්‍රමිතිකරනය සඳහා නව ක‍්‍රමවේදයක් යොදා ගැනුන ද සරසවි ප‍්‍රවේශය ලබන සිසුන් සංඛ්‍යාවේ කිසිදු වැඩි වීමක් සිදු නොවනු ඇත. අවසාන අර්ථයෙන් ගතහොත් උල්ලංඝනය කෙරී ඇති මූලික අයිතිය සම්බන්ධයෙන් කවර හෝ වෙනසක් නඩු තීන්දුව මගින් ප‍්‍රකාශයට පත් වී නැත.

ශිෂ්‍යයන්, තරුනයන්, බුද්ධිමතුන් ඇතුලු සමස්ත කම්කරු පීඩිතයන් මෙම කරුනු බරපතල ආකාරයෙන් සැලකිල්ලට ගත යුතුයි. අර්බුදයේ ගිලී පවතින ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් කිසිදු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියක් දිනාගත නොහැකි අතර අධ්‍යාපනය ඇතුලු කම්කරු පන්තියේ සියලු ගැටලු විසඳාලිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. ඒ සඳහා ධනපති පක්ෂ හා ඔවුන්ගේ වැඩ පිලිවෙල ක‍්‍රියාවට නගන වෘත්තිය සමිතිවලින් හා ව්‍යාජ වාම පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තිය රාජ්‍ය බලය ගැනීම සඳහා සිය අරගලය මෙහෙයවිය යුතුය. මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂයත්, එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරයත් පමනි.

Share this article: