එජාපයේ සහයෝගය ඇතිව ආන්ඩුව පැල්පත් 35ක් ඉවත් කරයි

Kalpa Fernando and Vilani Peiris, 23 July 2012

කොලඹ ඉබ්බාවත්තේ දශක ගනනාවක් පදිංචිව සිටි පැල්පත් වාසී පවුල් 35ක් පදිංචියට නුසුදුසු තොටලඟ නාගලගම් වීදියේ පිහිටි තාවකාලික නිවාසයන්ට පසුගිය ජූනි මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් (නාසඅ) පිටත් කර යවන ලදි. එම මහජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ද සහයෝගය ඇතිව තමන් කිසිදු පහසුකමකින් තොර තාවකාලික නිවාසයන්ට බලහත්කාරයෙන් පිටත් කෙරුනු බවයි.

මෙසේ පැල්පත් ඉවත් කරනු ලැබූයේ, කොලඹ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වෙලඳ හා වානිජ මධ්‍යස්ථානයක් ලෙස තහවුරු කිරීමේ අරමුනින් පැල්පත් හා අඩු අදායම්ලාභි නිවාස 70,000 ක් ඉවත් කිරීමේ වැඩපිලිවෙල යටතේ ය. කොලඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩාව දක්වා දිවෙන දුම්රිය මාර්ගය හා තෙල් නල මාර්ගය අවට පැල්පත් 400ක් ඉවත් කිරීමට නියමිත ය. පසුගිය මාසයේ ඉවත් කර ඇත්තේ ඉන් ඉබ්බාවත්තේ පිහිටි නිවාස 35 කි.

2007 සිට ම ආන්ඩුව මෙම නිවාස ඉවත් කිරීමට උසාවි නියෝග මගින් ප‍්‍රයත්න දැරූ නමුත් පැල්පත් වාසීහු ස්ථිර නිවාස ලබා දෙන තුරු ඉවත්ව නොයන බව පවසමින් ආන්ඩුවට අභියෝ කල හ.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී කොලඹ මහ නගර සභාවේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වූයේ නගරය තුල පැල්පත් ඉවත් කිරීම ය. ආන්ඩුව මෙන්ම එජාපය ද ස්ථිර නිවාස කොලඹ නගරය තුල ලබා නොදී පැල්පත් ඉවත් නොකරන බවට පොරොන්දු වූහ. ආන්ඩුවේ ප‍්‍රයත්නයට එරෙහිව මහජනයා එජාපයට වැඩි ඡුන්ද ප‍්‍රමානයක් ලබා දී මහ නගර සභාවේ බලය ලබා දුන් හ. දැන් එජාපය, ආන්ඩුවේ වැඩපිලිවෙල සම්පූර්නයෙන්ම අනුමත කර ඇත.

එජාපයේ සහය ලැබූ ආන්ඩුව මෙම නිවැසියන්ට පිටත්ව යන ලෙසට බල කරනු ලැබුවේ කිසිදු මාධ්‍යයකට මේ බව නොදන්වන ලෙසට ද අවවාද කරමිනි. මහජනයා සාකච්ඡා කල යුත්තේ නාසඅ සමග පමනක් බව ද එම නිලධාරීන් පැල්පත් වාසීන්ට පවසා ඇත.

ආන්ඩුව නිවාස ඉවත් කිරීමට එරෙහිව වැඩුන මහජන විරෝධය මැඩීම සඳහා නාසඅ ආරක්ෂක අමාත්‍යංශය යටතට පැවරීය. 2008 දී හා 2010 දී ආන්ඩුව දෙමටගොඩ හා කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශ වලින් පැල්පත් හා අඩු අදායම් ලාභී පවුල් ඉවත් කලේ මහජන විරෝධය, පොලිස් හමුදා බලයෙන් මැඩලමිනි. එසේ ඉවත් කල බොහෝ නිවැසියන් අද දක්වා ම ජීවත් වන්නේ තාවකාලික පදිංචියට නුසුදුසු තාවකාලික ලෑලි නිවාසවල ය.

පැල්පත්වාසීන් සියල්ලන් ම මෙන්ම තෙල් නල පද්ධතිය අවට පදිංචි මහජනයා ද දශක ගනනාවක් මූලික පහසුකම් නොමැතිව තෙල් නල පිපිරීමේ අන්තරාය ද සහිතව එසේ ජීවත් වූයේ බලයට පත්වූ ආන්ඩු නිවාස ප‍්‍රශ්නය විසඳීමට කිසිදු පියවරක් නොගත් බැවිනි. දැන් ආන්ඩුව මෙසේ මහජනතාව පලවාහැර ඇත්තේ එම පැල්පත්වල කොන්දේසීන්ටත් වඩා දුෂ්කර කොන්දේසි සහිත නිවාස වලට ය.

තොටලඟ නාගලගම්වීදියේ ඇති තාවකාලික නිවාස ගොඩනගා ඇත්තේ වැසි කාලයේදී එම ප‍්‍රදේශයේ සෙසු තැන්වල ජලය එකතු වන පහත් භූමියක ය. කුඩා වැස්සක දී පවා එම භූමිය ජලයෙන් යටවේ. ඩුරා (DURRA) නම් පාටිෂන් බෝඩ් විශේෂයකින් ඉදිකර ඇති එම නිවාසයක දිග අඩි 16ක් වන අතර පලල අඩි 12 කි. එම බෝඩ් වතුරට පහසුවෙන්ම කැඩී යන අතර නිවැසියෝ අනතුරුදායක තත්වයක සිටිති. එක් නිවාසයක් කොටස් දෙකකින් සමන්විත වන අතර මුලුතැන්ගෙයක් නොමැත. නිවාස 67 කට ඉදිකර ඇත්තේ පොදු වැසිකිලි 16 කි. ස්තී‍්‍රන්ට හා පුරුෂයන්ට වෙන වෙනම නෑම සඳහා ඇත්තේ ජල ටැංකි 2කි.

ආන්ඩුව නිවාස ඉවත් කර ඇත්තේ දැනට තාවකාලික නිවාස ද පසුව ස්ථිර නිවාස ලබා දෙන බව මෙම මහජනයාට පොරොන්දු දෙමිනි. එහෙත් නිවාස ලැබේ යැයි මහජනයාට විශ්වාසයක් නොමැත. 70,000 ක් පැල්පත් ඉවත් කිරීමට නියමිතව ඇතත් තවමත් ගොඩනැගෙමින් ඇත්තේ ආන්ඩුවේ වාර්තාවලට අනුව නිවාස ඒකක 10,000 කි.

ගොඩනැගෙන බොහෝ මහල් නිවාසයන්හි තවමත් සිදුකරන්නේ ජම්බාර ගැසීම ය. ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව කොලඹ නගරය තුල මෙම මහල් නිවාස මයුරාවීදිය, දෙමටගොඩ, හේනමුල්ල, සිරිමාවෝ බන්ඩාරනායක මාවත, සාලමුල්ල හා කොලොන්නාව යන ප‍්‍රදේශවල ගොඩනැගේ. දෙමටගොඩ මහල් නිවාසයන්හි නිවාස ඒකක 500 ක් 2013 අපේ‍්‍රල් මාසයේ දී අවසන් කරන බවට පවසතත් සෙසු ගොඩනැගිලි සාදා නිම කරන දිනයක් සඳහන් කර නැත.

ඉබ්බාවත්ත පැල්පත්වලින් ඉවත් කරන ලද නිවැසියන් ඊට ප‍්‍රථම ලෝසවෙඅට කියා සිටියේ, පහසුකම් සහිත මහල් නිවාස ලබා දෙන්නේ නම් පමනක් තමන් දැනට සිටින නිවාසවලින් ඉවත් වීමට කැමති බව ය. නමුත් එසේ පහසුකම් සහිත නිවාස ලැබේ යැයි විශ්වාසයක් ඔවුනට නොමැති බව කියා සිටී. තව ද ඔවුන් පවසන්නේ දැනට ගොඩනැගෙන මහල් නිවාස මුදල් ගෙවිය හැකි අයට පමනක් ලබා දෙනු ඇති බව ය. 2008 දී ලබා දුන් දෙමටගොඩ මහල් නිවාස රුපියල් 25,000ක් ගෙවීමට හැකි වූ පවුල්වලට පමනක් ලබා දුන් බව ඔවුහු පෙන්වා දෙති.

තොටලඟ පෙට්ටි ගෙවල් වලට පලවා හරින ලද නිවැසියෝ ලෝසවෙඅ ට තමන් මුහුන දෙන කොන්දේසි මෙසේ ප‍්‍රකාශ කලහ. විවාහක මුස්ලිම් දෙදරු මවක් මෙසේ පැවසුවාය: "අපි ඉබ්බාවත්තේ හිටියෙත් පැල්පතක. සමහර පැල්පත් ගල් වලින් ගොඩනගා තිබුනා. ඉබ්බාවත්තේ හැම පැල්පතකම පාහේ වැසිකිලියක් තිබුනා. 'ජල හා විදුලි පහසුකම් තිබුනා' අපි මුස්ලිම් කාන්තාවො හැටියට පොදු වැසිකිලි පාවිච්චි කරන්න පුරුදු නැහැ. පොදු තැන්වල නාන්නත් කැමති නැහැ. මට ඉන්නෙ ගැහැනු ලමයි දෙන්නෙක්. මේ පොඩි ගෙදර නිදාගන්නෙ, උයන්නෙ, කන්නෙ, කතාබහ කරන්නෙ එකම තැනක. පිරිමි කව්රුහරි ගෙදර ඉන්නකොට ඇඳුමක්වත් මාරු කරගන්න තැනක් නැහැ.”

"ආන්ඩුව ස්ථිර ගෙයක් දෙන එක ගැන නම් කිසි විශ්වාසයක් නැහැ. හැමතැනම ලොකු බෝඩ් නම් ගහලා තියෙනවා ගෙවල් දෙනවා කියලා දෙනකම් විශ්වාසයක් නැහැ. ලඟපාත ඡන්දයක් නැති නිසා කිසිම පක්ෂයකින්වත් එන්නෙ නැහැ. අඩුගානෙ අපිව ඉබ්බාවත්තෙන් පිටමං කරනකොටවත් කිසිම මන්ත‍්‍රීවරයෙක්වත් විරෝධය පල කලේ නැහැ.”

තවත් කාන්තාවක් විස්තර කලේ, ඔවුනගේ ආදායම් බිඳවැටී ඇති බව ය. ඇය මෙසේ පැවසුවා ය: "මගේ මහත්තයා කම්කරුවෙක් ඔහුගේ වැටුපෙන් ලමයින්ගෙ ඉගෙනීමෙ කටයුතුවලට වියදම් දරන්න අපහසුයි. ඒ නිසා මම කඩයප්පන් හදලා විකුනලා අමතර ආදායමක් ලබා ගත්තා. ඉබ්බාවත්ත, රෙඩ්බානාවත්තල, බ්ලූමැන්ඩල්වල පදිංචි අය ඒවා මිලට ගත්තා. මේ ගෙදර ඉඩකඩ නැහැ එහෙම කරන්න.”

දෙදරු පියෙක් මෙසේ පැවසීය: "නාසඅ කිව්වා අවුරුදු 3 කින් ස්ථිර නිවාස දෙන බව. නිවාස නොදී එලියට දමන අදහසිනුයි එහෙම පොරොන්දු වුනේ. මාධ්‍යයට තොරතුරු දෙන්න එපා කිව්වා. 2008 -2009 නිවාසවලින් පලවා හැරිය මහජනයාට තවම නිවාස දීල නැහැ. දැනට දෙමටගොඩ හදන නිවාසවල වැඩකටයුතු බාගයක් වත් ඉවර නැහැ. අනිත් තැන්වල තවම මුල් ආරම්භය පයිල් කිරීමයි කෙරෙන්නෙ. ”

"එජාපයේ මන්තී‍්‍ර රවී කරුනානායක ඉස්සර අපිව නඩු මගට යොමු කලා. සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිවැරදිව පෙන්නා දුන්නා නඩුවලින් තීන්දු කලොත් මෙම නිවාස අනවසර ඒවා බව අපට අනවසර පදිංචිකරුවන් ලෙස එම ස්ථානවලින් ඉවත් වීමට සිදුවන බව.”

"නගර සභා ඡන්දෙදි එජාප නගරාධිපති මුසම්මිල් ප‍්‍රකාශ කලා, මහල් නිවාස සාදා පැල්පත් වාසීන්ට නිවාස ලබා දෙන බව. අද කියනවා මෙම නිවාස අතහැර තාවකාලික නිවාසවලට යා යුතුයි කියලා. එජාපය දැන් ආන්ඩුවේ වැඩපිලිවෙලට සම්පූර්නයෙන් පක්ෂයි. ආන්ඩුව විරෝධතා මැඩ පවුල් 35ක් ඉවත් කරනු ලැබුවේ එජාපයේ ආධාරය ලැබුන නිසයි.” සසප පවසන පරිදි දුගී නිවැසියන්ගේ නිවාස අයිතිය රැක ගත හැක්කේ සමාජවාදී වැඩපිලිවෙල යටතේ සංවිධානය වීමෙන් පමනයි.

Share this article: