සසප සාමාජික නිව්ටන් සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!

Socialist Equality Party (Sri Lanka), 27 July 2012

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගුකාලීන සාමාජිකයෙකු වූ කේ.වී. නිව්ටන් සහෝදරයා පසුගිය 26 දා අභාවප‍්‍රාප්ත විය. වසර 11 ක පමණ කාලයක් ඔහුට වද දුන් වකුගඩු ආබාධයෙන් ඇති කෙරුණු රෝගී තත්වය උත්සන්න වී එදින උදයේ ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු වේලාවකට පසු තම ආදරණීය බිරිඳ, එකම දියණිය හා අප සැමගෙන් සමුගත් නිව්ටන් ඒ වන විට ජීවිතයේ 63 වන විය ගත කරමින් සිටියේ ය.

1970-77 ශ‍්‍රීලනිප, ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) සභාග ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන පක්ෂ ගොඩ නැගීම සඳහා සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) විසින් ගෙන ගිය අරගලය තුල දී නිව්ටන් පක්ෂයට සම්බන්ධ වූ අතර ඒ වන විට ඔහු 25 වියැති තරුණයෙකි. ලංකාවේ පැරණිත ම ට්‍රොට්ස්කිවාදී පක්ෂය වන ලසසප හා කොමියුනිස්ට් පක්ෂය විසින් කම්කරුවන් හා තරුණයන් ධනේශ්වර පාලනයට බැඳ දැමීමේ ප‍්‍රයත්නයට එරෙහි ව වමේ පක්ෂ සභාගයෙන් කැඩෙන ලෙස බලකරමින් විකොස ගෙන ගිය උද්ඝෝෂණය ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් දහස් ගණනින් පක්ෂය වෙත යොමු කලේ ය. ප‍්‍රදේශයේ සභාග විරෝධීන් අතර වූ තවත් කිහිපදෙනෙකු සමග පක්ෂය හා සාකච්ඡා කිරීමට නිව්ටන් යොමු වන්නේ ද එම අරගලය තුලදී ය. සමසමාජ පක්ෂයේ පාවාදීම පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හෙලි පෙහෙලි කල මෙම සාකච්ඡා තුලින් අත්පත් කර ගැනුනු දේශපාලනික න්‍යායික අවබෝධය විසින් පුබුදුවනු ලැබූ නිව්ටන් පක්ෂයේ හික්කඩුව ශාඛාවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස පක්ෂය තුල ක‍්‍රියාකාරී විය. ප‍්‍රදේශයේ ධීවරයන් ඇතුළු ගම්බද දුගීන්, වතු කම්කරුවන් හා විශ්ව විද්‍යාල තරුණයන් පක්ෂයට දිනා ගැනීම සිය දේශපාලන ජීවිතයේ මූලික අර්ථය ලෙස ඔහු අවධාරණය කර ගත්තේ ය.

1951 පෙබරවාරි 15 දා හික්කඩුව කළුපෙ ගොඩේගෙදර වත්තේ සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් යුත් පවුලක බාල ම දරුවා ලෙස උපත ලද නිව්ටන්, හික්කඩුව විමලබුද්ධි මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අතිශයින් ම ලෙන්ගතු පුද්ගලයකු වූ ඔහුට අවසාන මොහොත දක්වා පවුලේ සැමගේ ආදර ගෞරවය නො මඳ ව ලැබුනි. පක්ෂ සාමාජිකයකු හා ප‍්‍රතිපත්තිගරුක මිනිසෙකු ලෙස ඔහු අසල්වැසි සියල්ලන්ගේ ම ගෞරවයට පාත‍්‍ර ව සිටියේ ය. කවදත් ප‍්‍රියමනාප දේහදාරියෙකු වූ නිව්ටන් සහෝදරයා රෝගී ව ඔත්පල ව සිටිය දී පවා තාරුණ්‍යයේ හා ජවබලසම්පන්නභාවයේ සලකුණු එකක්වත් තමන් තුලින් මැකී යා නො දීමට හැම විට ම ක‍්‍රියා කලේ ය.

බරපතල රෝගී තත්වය නො තකා පක්ෂ කටයුතුවලට යොමු වූ නිව්ටන්ට අවසාන වරට සහභාගී විය හැකි වූ ප‍්‍රසිද්ධ දේශපාලන කටයුත්ත වූයේ ගාල්ල නගර ශාලාවේ පැවති පියසීලි විජේගුණසිංහ අනුස්මරණ දේශනය යි. එම වසරේ පැවති මැයි දින රැලියට සහභාගී වූ නිව්ටන්, මිට මෙලවූ දකුණත ඉහලට ඔසවා ලෙලවමින් ජාත්‍යන්තර ගීතය ගායනා කරනවිට නම් අසනීපයක සලකුණකදු ඔහු තුල නො වීය. අසනීප ව බැහැරට යාමට නො හැකි වූ අවස්ථාවල දී පක්ෂ සහෝදරවරුන් තම සුවදුක් බැලීමට එනතෙක් ඔහු නො ඉවසිල්ලෙන් බලා සිටියේ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ නවත ම වර්ධනයක් අසා දැන ගැනීමට ය. "ධනවාදයට තව දුර යන්න බෑ. පක්ෂය හදන එකයි දැන් කරන්න තියෙන්නේ” යන කාරනය මේ සෑම හමුවක දී ම නිව්ටන් අවධාරණය කලේ ය. මේ සාකච්ඡාවලට තම එක ම දියණිය සහභාගී කර ගැනීමට ඔහු උත්සාහ කලේ ය. අවසාන කාලයේ නිව්ටන් පක්ෂ රැස්වීම්වලට සහභාගී වූයේ තම දියණිය ද කැටුව ය.

සමාජවාදය සඳහා වූ මෙම විශ්වාසය පෙන්නුම් කලේ පක්ෂය හා බැඳුනු දා සිට වර්ධනය කෙරුනු මූලධර්ම කෙරේ ඔහුගේ බැඳීම ය. පක්ෂය 1977 මැතිවරණ ව්‍යාපාර තුල ගෙනගිය අරගලය නිව්ටන් ඇතුළු බොහෝ තරුණයන් අධ්‍යාපන ගත කලේ ය. මාතර ආසනයට තරග කල පක්ෂ නියෝජිතයන් සමග වැඩකල නිව්ටන් ලෝක දේශපාලනය හා කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉතිහාසය ගැන බොහෝ දේ උගත්තේ ය. සමසමාජ-කොප පාවා දීමෙන් ශක්තිමත් කෙරුනු ජේ. ආර්. ජයවර්ධනගේ යූඇන්පිය බලය ඩැහැගත් මෙම මැතිවරණයේ දී සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ අතුගෑවී ගියේය. මැතිවරණ උද්ඝෝෂන තුලින් විකොස අවධාරනය කල පරිදි ම අළුත් ආන්ඩුව මහජනතාව මුහුණ දුන් එකදු ප‍්‍රශ්නයක්වත් විසඳිය නො හැකි බව තහවුරු කරමින් කම්කරු පන්ති සංවිධාන මත කඩාපනිමින් මිලිටරිය හා මැර බලය මත වාරු වූවක් විය. එය වෘත්තීය සමිති නායකයන් හා ඊනියා වමේ පක්ෂ ප‍්‍රතිගාමීත්වයේ කාල පරිච්ඡේදයක් නිවේදනය කරමින් සියළු කම්කරු අරගල ප‍්‍රතික්ෂේප කල සමයකි. මේ මෘගත්වය තුල ක‍්‍රියාකාරී ව සිටි එක ම පක්ෂය විකොස පමණි. එම මැර තර්ජන රාජ්‍ය බලඇනිවල බාධක මධ්‍යයේ කම්කරු මාවත හා තොලිලාර්යෙහි පාදෛ පුවත්පත් රැගෙන ප‍්‍රදේශවාසීන් අතර නිව්ටන් සහෝදරයා කල මැදිහත්වීම උද්වේගජනක ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල 1980 ගනන්වල පැන නැගි ජාත්‍යන්තරවාදයට එරෙහි ජාතික සමාජවාදී පක්ෂ ගොඩ නැගීමේ පිලිවෙත් වර්ධනය කිරීමේ උත්සාහයට එරෙහි ව පැන නැගි භේදය, දේශපාලන අවස්ථාවාදීන්ගේ උන්මාදයට හේතු වූ පෙරෙස්ත්‍රොයිකාවට එරෙහි ජාත්‍යාන්තර කමිටුවේ සටන හා පසුව 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් අනතුරු ව ධනවාදයේ අපරාජිතභාවය නිවේදනය කිරීමට එරෙහි ව වර්ධනය කෙරුනු මාක්ස්වාදී ඉදිරි දර්ශනය, නිව්ටන් සහෝදරයාගේ ජීවිතය ගොඩ නැංවුන මුල් ගල් ය. 1977 යූඇන්පී ආන්ඩුව දියත් කල දෙමළ විරෝධී වර්ගවාදී ප‍්‍රහාරය හා ම්ලේච්ඡ යුද්ධයට මෙන්ම පසුව ඉස්මත්තට ගැනුනු ජවිපෙ ෆැසිස්ට් ප‍්‍රහාරයන්ට එරෙහි ව ප‍්‍රදේශයේ රැස්වීම් හා සාකච්ඡා ගොඩනැගීමට ඔහු ධෛර්යවන්තව සටන් වැදුනේ ය. වාමාංශික හා සමාජවාදී සටන්කරුවන්ට එරෙහිව මාරක ප‍්‍රහාරයන් එල්ල කල ෆැසිස්ට්වාදී තුවක්කුකරුවන්ගෙන් හා රාජ්‍ය දඩයක්කාරයන්ගෙන් කම්කරු පන්තිය හා පීඩිතයන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ එක්සත් පෙරමුණක් ගොඩනැගීම පිනිස විකොස ගෙන ගිය අරගල තුල ඔහු තම සටන් ශක්තිය මුවහත් කලේ ය. හැටදාහකට අධික ගම්බද තරුනයන් ඝාතනය කල යූඇන්පී ආන්ඩුවේ ලේ වැකි ප‍්‍රහාරවලට එරෙහිව ඔහු පක්ෂය සමග අත්වැල් බැඳගෙන සටන් වැදුනේ ය.

ලෝක ධනවාදය වචනයෙන් විස්තර කල නො හැකි අර්බූදයක ගිලී ඇත. රාජපක්ෂ තන්ත‍්‍රය එල්ටීටීඊය පරාජය කිරීමෙන් සිංහල දෙමල පීඩිතයන්ගේ හා තරුණයන්ගේ එකදු ප‍්‍රශ්නයක්වත් විසඳා නැත. නිව්ටන් සහෝදරයා සටන් වැදුන මූලධර්මයන්ගේ සත්‍යතාව තහවුරු වී ඇත. නිව්ටන් සහෝදරයා පිලිබඳ මේ මතකයන් බොහෝ කල් නො මැකී පවතිනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂයට බැ‍ඳෙන්න.

අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.wsws.org

Share this article: