ශ්‍රී ලංකාවේ ආන්ඩුවට හිතවත් මැරයෝ ජවිපෙ ආධාරකරුවන් දෙදෙනෙකු මරා දමති

Sri Lanka: Pro-government thugs kill two JVP supporters

By Sujeewa Amaranath and Wasantha Rupasinghe, 29 June 2012

ජූනි 15 දින පැවැති විපක්ෂ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ ) දේශපාලන රැස්වීමක් අතරතුර එහි සාමාජිකයන් දෙදෙනෙකු ආන්ඩුව පිටුබලය සපයන දාමරිකයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. මෙම මිනීමැරුම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි ආන්ඩුව ක්‍රියාවට දමා තිබෙන කප්පාදු පිලිවෙත්වලට එරෙහිව නැගෙන ඕනෑම විරුද්ධත්වයක් මර්දනය කිරීමට යොදා ගන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්හි කොටසකි.

ටී-56 ගිනි අවිවලින් සන්නද්ධව යතුරු පැදිවලින් පැමිනි අටත් දහයත් අතර මැර කල්ලියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රදේශයේ පැවැති ජවිපෙ ප්‍රචාරක රැලියකට වෙඩි තැබූහ. තිදරු මවක වූ එදිරිමාන්නගේ මාලනී (51) හා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වූ 18 හැවිරිදි නිශාන්ත හේසාන් තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූ අතර තවත් දුසිමකට වැඩි පිරිසකට තුවාල සිදු විය.

වෙඩි තැබීම සිදුවන මොහොතේ ජවිපෙ පලාත් සභා මන්ත්‍රීවරයෙකු, 80ක පමන සහභාගීත්වයෙන් එම ස්ථාන‍යේ පැවති රැස්වීමක් අමතමින් සිටියේය. රැස්වීම, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් තියුනු ලෙස ඉහල යාමට තුඩු දුන් ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහිව පක්ෂය පැවැත්වීමට නියමිත දින 45ක ජාතික පරිමානයේ ප්‍රචාරක වැඩසටහනක කොටසක් වූ අතර එහි ඛාදනය වෙමින් තිබෙන මහජන පදනම පුම්බා ගැනීමට ජවිපෙ පැත්තෙන් දරන මංමුලා සහගත වෑයමකි.

ජවිපෙ, 2005 නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සහය ලබා දුන් අතර පූර්වයෙන් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අටවාගත් පාලක සන්ධානයක කොටස්කරුවෙක් වී සිටියේ ය. කෙසේවෙතත්, පක්ෂය දෙවතාවක් කැඩී ගියේය: එක් කන්ඩායමක් 2008 වසරේදී රාජපක්ෂ ආන්ඩුව සමඟ මාට්ටු වූ අතර මෙම වර්ෂයේ දී බිඳීගිය අනෙක් කන්ඩායම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පිහිටු වී ය.

ජවිපෙ හෝ එයින් බිඳීගිය කන්ඩාම් එකක්වත් සමාජවාදය ‍ නියෝජනය කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පදනම් වී සිටින්නේ සිංහල අන්තවාදයත් පුහු ජනතාවාදී පොරොන්දුත් යන සම්මිශ්‍රනයක් මත ය. මේ දෙකොටසම, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි රාජපක්ෂගේ නිර්දය වර්ගවාදී යුද්ධයට පිටුබලය දී තිබේ. ජවිපෙ ත් පෙසප ත් යන පක්ෂ දෙකම වෑයම් කරන්නේ, ක්‍රමයෙන් නරක අතට හැරෙන ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ආන්ඩුව එකදිගට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව නැගෙන පුලුල් පරිමාන මහජන වෛරය ගසා කෑමට ය.

කෙසේ නමුත්, රාජපක්ෂ ආන්ඩුවට කිසිදු දේශපාලන විරුද්ධත්වයක්, කොටින්ම සීමිත විරුද්ධත්වයක් පවා ඉවසීමට නොහැක. ජනාධිපතිගේ ගම් ප්‍රදේශය වන බැවින් කටුවන දී එල්ල කල ප්‍රහාරය විශේෂයෙන්ම වැදැගත් ය.

දාමරිකයෝ රැස්ව සිටි පිරිසට වෙඩි තැබීමෙන් නොනැවතී ඔවුන්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඔවුන්ගේ වාහන හා බඩු භාන්ඩ කුඩු පට්ටම් කලහ. ප්‍රහාරය පැය භාගයකට ආසන්න කාලයක් එක දිගට පැවතුනි. ප්‍ර‍දේශයේ පොලිස් ස්ථානය කිලෝමීටර් තුනකට නොඅඩු දුරකින් පිහිටා තිබුනේ වී නමුත් පොලිසිය කිසිදු මැදිහත් වීමක් සිදු නොකලේ ය. තුවාල ලැබූ ආධාරකරුවන්ගෙන් ලද දුරකථන ඇමැතුම් නොතකා හල පොලිසිය පැය දෙකකට වඩා ගත වන තෙක් සිද්ධිය වූ ස්ථානයට ලඟා වූයේ නැත.

අපරාධකරුවන්ට පැන යාමට අවශ්‍ය තරම් කාලය ලබා දෙමින් පොලිසිය සිදුකල ප්‍රමාදය පෙන්නුම් කරන්නේ ප්‍රචන්ඩ ක්‍රියාව පිලිබඳ පොලිසියේ නොතැකීම යි. ජනාධිපතිගේ ගම් ප්‍රදේශය නිසා එය අධි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන අතර එනිසාම පොලිසිය, විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) හා හමුදා භටයින් දිවා රෑ දැඩි ලෙස රැකවලේ යෙදෙයි. ආරක්ෂක අංශවල පිටුබලය ලැබීමෙන් තොරව මෙවැනි අපරාධයක් කොට පැන යාමට කෙනෙකුට පහසුවන්නේ නැත.

වෙඩිතැබීමෙන් පැය කීපයක් ඇතුලත, කිසිදු පරීක්ෂනයක්වත් ආරම්භ වීමට පෙරාතුව, ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්, ලක්ෂ්මන් හුලුගල්ල නිවේදනයක් නිකුත් කරමින් දිව්රා කියා සිටියේ සිදුවීම ජේවීපී කන්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි. ජවිපෙ හා පෙසප යන දෙකම මෙම කියාපෑම එකහෙලාම ප්‍රතික්ෂේප කලේ ය. පූර්වයෙන් සිදු වූ මෙවැනි ප්‍රහාර හැ‍මෙකකදීම, ආන්ඩුව එම සිදුවීම්වලට තමන්ගේ සම්බන්ධය වසං කිරීම පිනිස මෙවැනිම වංචනික ප්‍රකාශ කර තිබේ.

ඇසින් දුටු සාක්ෂිකරුවන් තුවක්කුකරුවන්ගෙන් ඇතමෙක් හඳුනාගෙන තිබියදී පවා, පොලිස් පති පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ, මොනයම්ම හෝ අත්අඩංගුවට ගැනීමක් කිරීමට තවත් සාක්ෂ්‍ය ඔහුට අවශ්‍ය බවයි. අපරාධයට සම්බන්ධ වූවන්ගෙන් එක් අයෙකුට පූර්වයෙන් කරන ලද අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු කීපයක් තිබිය දීත් නිදැල්ලේ හැසිරෙන බව එක් මාධ්‍යකරුවෙක් පෙන්වා දුන් කල, අවශ්‍යව සිටින පුද්ලයා කොහේ සැඟව සිටිනේද යන්න පිලිබඳව තොරතුරු ලබා දෙන්න යැයි ඔහු නරුම ලෙස ජනතාවට දන්වා සිටියේ ය.

ඝාතනයට ලක් වූ අයගේ අවමංගල්‍ය උත්සවයේදී විරෝධතා හටගනු ඇත යන බියෙන්, විරෝධතා පාගමන්, කලු කොඩි එසවීම, අත්පත්‍රිකා බෙදා හැරීම, පෝස්ටර් ඇලවීම හා ප්‍රදේශයේ බැනර් ප්‍රදර්ශනය කිරීම වලක්වන උසාවි නියෝගයක් පොලිසිය ලබා ගෙන තිබිනි. තහනම නොතකාම, දැඩි ආරක්ෂාව මැද පැවැත් වූ අවමංගල්‍ය උත්සවවලට දහස් ගනන් ජනයා සහභාගි වූහ.

දේශපාලන රැස්වීමකට එල්ල කරන ලද ලේ වැකි ප්‍රහාරය කෙරෙහි පැන නැඟි පුලුල් මහජන වෛරය නිසා මෙම අපරාධය නොතකා සිටීමට පොලිසියට නොහැකි විය. සාමාන්‍යයෙන් සිදු වන්නේ, ආන්ඩුවේ-ආධාර ලබන මැරයින් අපරාධ සිදුකර තිබෙන විටෙක පොලිසිය කිසිවක් නොකරන අතර "පරීක්ෂන අඛන්ඩව සිදුවෙමින් තිබේ" යැයි සරලවම කියා පෑම පමනකි.

කෙසේවෙතත් මේ වතාවේදී, ජූනි 19 දින තංගල්ල ඉහල අධිකරනයට භාර වූ ප්‍රධාන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ගමගේ අමරසිරි අධිකරනයට ඉදිරිපත් කිරීමට පොලිසියට බල කෙරිනි. මාධ්‍ය වාර්තාවලට අනුව, අමරසිරි පලාතේ ඇතැම් ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට සමීප දේශපාලන සබඳතා ඇති පාතාල ලෝකයේ දාමරිකයෙකි.

විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ උසාවියේදී කියා සිටියේ අමරසිරිට එරෙහිව වරෙන්තු සියයට වැඩි ප්‍රමානයක් නිකුත් කර ඇති බවයි. "එහෙත් පොලිසිය කවදාවත් ඔහු අත්අඩංගුවට ගෙන නැත," ඔහු කීවේ ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙය වාර්තා කලේ "සිත් කම්පාකරවන හෙලිදරව්වක්" වසයෙනි. ඇත්ත වශයෙන් ම නම් මෙම වාර්තාව පෙන්නුම් කරන්නේ, ඊනියා නීතිය ක්‍රියාත්මක කරනවා යැයි කියන ආයතන නිරන්තරයෙන් ආන්ඩුවට-හිතපක්ෂ සහාසිකයන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න යි.

මෙවැනි මැරයින් එලිපිටම යොදා ගැනීම, ආන්ඩුව විසින් ගොඩ නඟන ලද පොලිස් රාජ්‍ය යාන්ත්‍රනයේ කොටසකි. එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධය අතරතුරදී ගොඩනඟන ලද මෙයට ජවිපෙද ඇතුලු සංස්ථාපිතයේ සියලුම පක්ෂ සිය දායකත්වය ලබා දී තිබේ. දැන් ආන්ඩුව මෙවැනි විසකුරු පිලිවෙත් විපක්ෂයේ පක්ෂවලට පමනක් නොව ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව නැ‍‍‍‍‍ගෙන කම්කරු පන්තියේ විරුද්ධත්වයට එරෙහිව ද යොදා ගනිමින් සිටී.

පසුගිය ජූනි මාසයේදී, නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) තරුන කම්කරුවෙකු වූ රොෂේන් චානක පොලිසිය ‍විසින් වෙඩි තබා මරා දැමූ අතර තවත් ගනනාවකට තුවාල සිදු කලේය. ඒ, සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙලඳපොලේ ආයෝජනය කිරීමට මංමුලා සහගත අයුරින් වෑයම් කල ආන්ඩුවට එරෙහිව නිවෙකයේ කම්කරුන් විරෝධය පෑ අවස්ථාවේදී ය. පොලිසිය විසින් මුදාහල ප්‍රචන්ඩත්වය සඳහා වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට මේ දක්වා කිසිදු පරීක්ෂනයක් පවත්වා නැත.

මෙම වසරේ ජනවාරි මාසයේදී, ආන්ඩුවේ තෙල් මිල ඉහල දැමීම්වලට එරෙහිව බටහිර වෙරල තීරයේ හලාවත ධීවරයින් විරෝධය පෑ අවස්ථාවේදී එක් ධීවරයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය කෙරුනු අතර තවත් කීප දෙනෙකුට තුවාල සිදු කෙරින. මෙකී ඝාතන ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පිලිවෙත්වල තියුනුම ප්‍රකාශනය යි.

ප්‍රසිද්ධ රැස්වීමක දී ජවිපෙ ආධාරකරුවන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම හෙලා දැකිය යුතු ය. එහෙත් රාජපක්ෂ බලයට ගෙන ඒමට හා රාජ්‍ය යාන්ත්‍රනය ගොඩ නැඟීමට සහාය වීම, 2009 වසරේ මැයි මාසයේදී නිමා වූ එල්ටීටීඊයට ‍එරෙහි රාජපක්ෂ විසින් අලුත් කරන ලද යුද්ධය සමයේ කරන ලද එහි අපරාධවලට ආධාර දීම පිලිබඳව දේශපාලනිකව වග කිව යුත්තේ ජවිපෙය.

ඊනියා-රැඩිකල් නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුනාරත්න, මෙම සිද්ධිය මුල්කරගෙන පෙසප ද සමඟ පුවත්පත් සාකච්ඡාවකට සම්බන්ධ විය. "ඝාතකයන් උසාවිය හමුවට ගෙන එන ලෙස ආන්ඩුවට බලපෑම් කල" බව කියමින් ඔහු රැස්ව සිටි පිරිස හමුවේ කයිවාරු ගැසීය. මෙවැනි කියාපෑම් හුදෙක්ම සේවය කරන්නේ, ප්‍රහාරයට සම්බන්ධ රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම හරහා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගත හැකිය යන බරපතල මිත්‍යාව වැපිරවීමට පමනි.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට, තරුනයින්ට හා ගම්බද දිලිඳු ජනයා වෙත අනතුරු අඟවා සිටින්නේ, ඔවුන්ගේ මූලික අයිතීන් සුරක්ෂිත කරගත හැකි වන්නේ මෙම ආන්ඩුව පෙරලා දැමීමට කරන අරගලයකින් හා සමස්තයක් වසයෙන් ධනේශ්වර පාලනය ම අවසන් කිරීමෙන් පමනක් බවයි. මෑත ඝාතනවලට සම්බන්ධ වූවන් උපායාත්මක දේශපාලනික හේතූන් උඩ උසාවිය හමුවට ගෙන ආවේ වී නමුත්, ආන්ඩුවේ මෙම පිලිවෙත් වෙනස්වනු නැතිවාක් මෙන් ම එහි කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී මීටත් වඩා අපරාධ හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන විධික්‍රම තවතවත් ඉල්ලා සිටිනු ඇත.

Share this article: