බටහිර බලවතුන් සිවිල් යුද්ධය අවුලුවද්දී සිරියානු හමුදා‍වන්ගේ මරන සංඛ්‍යාව ඉහල යයි

Syrian army casualties rise as West inflames civil war

By Bill Van Auken, 5 June 2012

එක්සත් ජනපදය හා එහි සහචරයන් වන නැටෝ බලවතුන් හා පර්සියානු ගල්ෆ් රාජාන්ඩු, තන්ත්‍ර මාරුවක් සඳහා වන සිය උද්ඝෝෂනය තීව්‍ර කරද්දී, සමස්ත විපතටපත්වූවන් ගනන අඩු වී තිබෙද්දී පවා සිරියාව තුල මරා දැමෙන සොල්දාදුවන් ගනන තියුනු ලෙස ඉහල නැග ඇත.

වාර්තා වන පරිදි සවුදි හා කටාර් පාලන තන්ත්‍රයන් විසින් අරමුදල් සපයනු ලබන ලන්ඩනයේ පදනම් වන සංවිධානයක් වන මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂනායතනයට (එස්ඕඑච්ආර්) අනුව සති අන්තයේ දී දමස්කස් තදාසන්න ප්‍රදේශවල හා ඉබ්ලිබ් පලාතේ සොල්දාදුවන් 100ක් තරම් ඝාතනය කරනු ලැබිනි.

එරට වෛද්‍ය වාර්තා සමගින් මැරුනු භටයන්ගෙන් 80කගේ නම් තහවුරු කර ඇති බව එම සංවිධානය ප්‍රකාශ කලේ ය. 2011 මාර්තුවේ සිවිල් කැලඹිල්ල ඇරඹුනු තැන් පටන් විශාලතම මරන සංඛ්‍යාව වාර්තා කරමින් සෙනසුරාදා සිදු වූ ගැටුම්වලින් සිරියානු සොල්දාදුවන් 57ක් මරා දැමුනු බව එම සංවිධානය කීවේ ය.

“භටයන් වීදි සටන්වලට පුහුනු කර නොමැති නිසා ප්‍රහාරවලට නිරාවරනය වීම හේතුවෙන් විශාල පරාජයන්ට ඔවුන් ගොදුරු වෙනවා” යයි එස්ඕඑච්ආර් ප්‍රධානී සැමී අබ්දූල් රහ්මන් ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය. මෙම ප්‍රහාරවලට කාර් බෝම්බ ප්‍රහාර, භටයන් ගෙනයන රථවලට පහර දීම හා හමුදා මුරපොලවලට ප්‍රහාර එල්ල කිරීම අයත් වේ.

භටයන්ගේ මරන පිලිබඳ නවතම වාර්තා, එක්සත් ජා‍තීන්ගේ නියෝජිත කොෆි අනන් විසින් තැරැව්කාරකම් කල සටන් විරාම සැලැස්ම ඇරඹුනු අප්‍රේල් මාසයේ පටන් සමස්ත ප්‍රචන්ඩ මරන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇතත් ඝාතනය වුනු මිලිටරි භටයන් සංඛ්‍යාව තියුනු ලෙස වැඩි වී ඇත යි යන්න පෙන්නුම් කරමින් මැක්ක්ලැචි පුවත්පත්හි ඩේවිඩ් එන්ඩර්ස් කල විශ්ලේෂනයක් සමග එකට ගැලපේ.

මානව හිමිකම් සඳහා වන සිරියානු ජාලය විසින් එක්රැස් කරන ලද ගනන් හිලවු උපුටා දක්වමින් මාර්තු මාසයට සාපේක්ෂව සමස්ත ප්‍රචන්ඩත්වය සියයට 36කින් අඩු වී ඇතැයි එන්ඩර්ස් වාර්තා කරයි. “ආන්ඩුවේ ප්‍රවෘත්ති ඒජන්සියේ වෙබ් අඩවියේ පලකරන ලද ප්‍රවෘත්ති ලිපිවලට අනුව මාර්තුවේ පටන් පොලිස් නිලධාරීන් 953ක් මියගොස් ඇත. ඉන් 404ක් හෝ සියයට 42ක් මරා දැමුනේ මැයි මාසය තුල ය” යි එන්ඩර්ස් වාර්තා කරයි.

සිරියානු ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් මරා දැමීම ඉහල යා‍ම, නිදහස් සිරියානු හමුදාව යයි තමන්ව ම හඳුන්වා ගන්නා ආන්ඩු විරෝධී සටන්කාමීන්ව සන්නද්ධ කිරීමට හා පුහුනු කිරීමට බටහිර පිටුබලය ලබන උත්සාහය සැලකිය යුතු ලෙස තීව්‍ර වී ඇතැයි පෙන්නුම් කරයි. විශේෂයෙන් ම ලෙබනන දේශසීමාව හරහා වැඩිවෙමින් කෙරෙන ආයුධ ප්‍රවාහනය ඇතුලු සන්නද්ධ නවුකා අල්ලා ගැනීම් ගැන සිරියානු ආන්ඩුව වාර්තා කර ඇත. ආන්ඩු විරෝධී හමුදාවලට මුදල් සැපයීම හා පුහුනු කිරීම කෙරෙහි තමන්ට පවතින අභිලාෂය සවුදි අරාබිය හා කටාරය ප්‍රකාශ කොට ඇත.

සමස්තයක් ලෙස ප්‍රචන්ඩත්වය අඩු වී තිබිද්දී පවා ආන්ඩුවේ හමුදා මත ප්‍රහාර තීව්‍ර වී තිබීම මැයි 25දා හවුලාහි දී පුද්ගලයන් 108 දෙනෙකු සංහාරයට ලක්කිරීම වටා ගොඩ නැගෙන සම්බන්ධිත මාධ්‍ය ප්‍රචාරය මගින් මුලුමනින් ම වසාගෙන ඇත. ඝාතන පිලිබඳව වගකිව යුත්තේ කවුරුන්දැයි තීරනාත්මක සාක්ෂි නැතත් ආන්ඩු හිතවාදී හා ආන්ඩු විරෝධී යන හමුදා දෙවර්ගය ම එක හා සමාන අපරාධ සිදුකොට ඇත.

පසුගිය මාසයේ සිරියාවේ දමස්කස් අගනුවර 55 දෙනකු ඝාතනය කරමින් සිදු කල බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගත් ජබාත් අල්-නුස්රා (අල්-නුස්රා පෙරමුන) යයි තමන්ව ම හඳුන්වා ගන්නා ඉස්ලාමීය කන්ඩායමක්, ඩෙයර් එසර් නමැති නැගෙනහිර කාන්තාර ප්‍රදේශයේ දී දෑත් පිටුපසට ‍කොට බැඳ සමීපයේ සිට හිසට වෙඩි තබා දමා තිබිය දී පසුගිය සතියේ සොයාගත් සිවිල් වැසියන් 13 දෙනාගේ ඝාතනය සිදුකලේ තමන් යයි එහි වෙබ් අඩවියේ ප්‍රකාශයක් පලකොට තිබුනු බව සානා නම් සිරියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ ය.

සිරියානු “කැරලිකරුවන්” විසින් සිදු කරන ලද බොහෝ අපරාධයන් මෙන් මෙම ජන සංහරායට ද බටහිර මාධ්‍ය තුල ලැබුනේ මඳ අවධානයකි.

ඉරිදා කල කතාවක දී ආරක්ෂක හමුදා ඝාතන සිදුක‍ලේ ය යන්න ප්‍රත්ක්ෂේප කල අසාද් එහි වගකීම “රාජ්‍ය හිතවාදී හමුදාවන්” මත පැටවීමට දරන ප්‍රයත්නය පිලිබඳව ප්‍රශ්න කලේ ය. “මෙයින් වාසි ලබන්නේ කවුරුන් ද... අනන්ගේ සංචාරයට පෙර එය අසාර්ථක කිරීමට රාජ්‍ය හෝ රාජ්‍ය-හිතවාදී පුද්ගලයන් එම අපරාධකාරී ක්‍රියාව සිදුකලා ද?” යි අසාද් ඇසීය.

හවුලා ඝාතනවලින් පසුව බටහිර බලවත්තු හා ඔවුන්ගේ අරාබි ගල්ෆ් රාජ්‍ය සහචරයෝ සිරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා හැර සිරියාවේ තන්‍ත්‍ර මාරුවක් සඳහා වන ඇනවීම තීව්‍ර ක‍ලහ. සිරියාව තුල සිටින ආන්ඩු විරෝධී හමුදා ඊට අනුපූරකව කටයුතු කලහ.

බටහිර පිටුබලය ලබන සටන්කාමීන් අනන්ගේ සටන් විරාම සැලැස්මට සහයෝගය දෙමින් සිටිතැ යි කරන කිසිදු මවා පෙන්වීමක් අත්හරිමින් සිටින්නේ යයි කී නිදහස් සිරියානු හමුදාවේ ප්‍රකාශකයෙක්ව රොයිටර් පුවත් සේවය උපුටා දැක්වීය.

“මෙම සටන් විරාමයට ඇති අපගේ කැපවීම අවසන් කිරීමට අපි තීරනය කර තිබෙනවා” යයි නිදහස් සිරියා හමුදා ප්‍රකාශක මේජර් සැමී අල්-කුර්දි රොයිටර් සේවයට කීවේ ය. “අපි අපගේ ප්‍රහාර යලි අරඹා තිබෙනවා. නමුත් අපි කරන්නේ ආරක්ෂක ප්‍රහාරයක්, ඒ කියන්නේ, අපි පහර දෙන්නේ නගරවල හමුදා මුරපොලවලට පමනයි.”

සිරියාව තුල එක්සත් ජාතීන්ගේ මෙහෙයුම “සාමය සඳහා බලකිරීමේ” මෙහෙයුමක් බවට වෙනස් කරන ලෙසත් අසාද්ව බලයෙන් පහකිරීමට උපකාරී වීමට බාහිර බලවතුන් සිරියාව මත පියාසර තහනම් කලාපයක් හා ආරක්ෂක කලාපයක් පැනවිය යුතු බවටත් කුර්දි ආයචනා කලේ ය. සාරභූතව ම මෙය ලිබියාව තුල තන්‍ත්‍ර වෙනස සඳහා වූ නේටෝ යුද්ධය නැවත රඟදැක්වීමට කරන ඉල්ලීමකි.

වොෂින්ටනය හා එහි යුරෝපීය සහචරයෝ තන්ත්‍ර මාරුවක් සඳහා බාහිර මැදිහත් වීමකට දක්වන විරුද්ධත්වය අත්හරින ලෙස රුසියාවට යොදන පීඩනය තීව්‍ර කර තිබෙද්දී මිලි‍ටරි මැදිහත් වීමක් සඳහා කරන ප්‍රසිද්ධ තර්ජන තියුනු ලෙස ඉහල ගොස් ඇත.

“අසාද්ගේ ඉවත් වීම පූර්ව කොන්දේසියක් නො විය යුතු වුවත් එය සිරියානු ගැටුමට දෙන ඕනෑම දේශපාලන විසඳුමක ප්‍රතිඵලයක් විය යුතු” බව රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉරිදා ස්ටොක්හෝම්හි පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා ය.

“විදේශ ඇමතිවරයාට‍ මා දුන් පනිවුඩය ඉතා සරලයි වගේ ම ඍජු යි. දේශපාලන සංක්‍රාන්තියක් වෙනුවෙන් වන අපගේ උත්සාහයන් තීව්‍ර කල යුතු අතර එම සංක්‍රාන්තියට උපකාර වීමේ දී රුසියාව (සාකච්ඡා) මේසයට පැමිනිය යුතුව ඇත” යි රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් සමග පැවති දුරකථන සංවාදයක් පිලිබඳව මතක් කරමින් ඇය කීවා ය.

යෝජිත පියවර ගැන සාකච්ඡා කිරීමට ප්‍රන්සය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය හා ජෝර්දානය ඇතුලු “සිරියාවේ මිතුරෝ” සංධානයේ මූලික සාමාජිකයන්ව මේ සතිය අග භාගයේ ඉස්තාන්බූල් හි දී හමුවන බව ක්ලින්‍ටන් නිවේදනය කලා ය.

ප්‍රන්ස විදේශ ඇමති ලෝරන්ට් ෆේබියස් හා ඔහුගේ ජර්මානු සගයා වන ගිඩෝ වෙස්ටර්වෙල් සඳුදා බර්ලිනයේ දී කීවේ ඔවුන් දෙ‍ගොල්ලන්ගේ ම ආන්ඩු සිරියාව පිලිබඳ මතය වෙනස් කර ගැනීමට රුසියාවට පීඩනය යොදමින් සිටින බව යි.

සඳුදා සාන්ත පීටර්ස්බර්ග් හි දී යුරෝපා නායකයන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව හමුවූයේ සිරියාව ප්‍රමුඛ වන සාකච්ඡා සඳහා ය. හමුවෙන් පසුව සිරියාව පිලිබඳව සාකච්ඡා වී යයි පුටින් පිලිගත්ත ද රුසියාවේ ආස්ථානය පිලිබඳව අදහස් දැක්වූයේ නැත. යුරෝපා කවුන්සිලයේ සභාපති හර්මන් වෑන් රොම්පුයි කියා සිටියේ රුසියාවට හා ජාතීන් 27 සංධානයට “සමහර ප්‍රතිවිරුද්ධ තක්සේරු කිරීම්” ඇති බව යි.

ඒ අතර මාධ්‍ය වාර්තා ඍජු මිලි‍ටරි මැදිහත් වීමක් සඳහා තීව්‍ර වූ සූදානම් වීම් පවතින බව අවධානයට ලක්කර ඇත.

රටෙහි (සිරියාවේ -පරිවර්තක) ගුවන් ආරක්ෂාවන් අකර්මන්‍ය කිරීම සඳහා සයිබර් යුද්ධයක් භාවිතා කිරීමට සූදානම් වීම් ඇතුලුව තීව්‍ර කරන ලද එක්සත් ජනපද මිලිටරි සැලසුම් ගැන ද ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් වාර්තා කලේ ය.

“සිවිල් යුද්ධය පුපුරා ගියහොත් කැරලිකරුවන්ට උපකාර කිරීම සඳහා රටෙහි එස්ඒඑස් භටයන් හා එම් 16 යානා සූදානම්” යයි වයිට්හෝල් මූලාශ්‍ර උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය වාරික පුවත්පතක් වන ද ඩේලි ස්ටාර් වාර්තා කලේ ය.

“ආරක්ෂාකාරී දෙය වන්නේ සිරියාව ආක්‍රමනය කිරීමක් වුවත් අනෙක් අතට ජීවිත බේරාගැනීමේ සම්භාවිතාව ද තිබේ” යයි නම් සඳහන් නො කල ජ්‍යෙෂ්ට වයිට්හෝල් නිලධාරියෙකු උපුටා දක්වමින් පුවත්පත කීවේ ය. “පැය ගනනක් ඇතුලත අල්ලා ගතහැකි ප්‍රදේශ වටා එස්ඒඑස් සන්නද්ධ තිරයක් එලනු ඇත.”

සති අන්තයේ අරාබි ලීගයට කතාකල එක්සත් ජාතීන්ගේ නියෝජිත කොෆි අනන් අනතුරු ඇඟවූයේ සිරියාව අන් කවරදාටත් වඩා “පූර්න-පරිමාන” යුද්ධය දෙසට ඇදී යමින් තිබෙන බවත් එරටේ අභ්‍යන්තර අර්බුදය කලාපීය යුද්ධයක් දක්වා අනෙකුත් රටවල් කරා ව්‍යාප්ත වීමේ අන්තරාය පවතින බවත් ය.

“කාංසා සහගත කන්ඩායමික පරිමානයක් සමගින් පූර්න පරිමාන යුද්ධයේ අවතාරය දිනෙන් දින වැඩේ” යයි අනන් කීවේ ය.

තෙල්වලින් පොහොසත් මැද පෙරදිග කලාපය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ග්‍රහනය විහිදුවීමේ හා කලාපීය ආධිපත්‍යයේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා වන ඉරානය සමග මහා පරිමාන මුනගැටුමකට සූදානම් වීමේ ක්‍රමයක් ලෙස සිරියාව තුල තන්ත්‍ර මාරුවක් සිදු කිරීමට වොෂින්ටනය හා එහි සහචරයින් හිතා මතා ම සූදානම් කිරීමට දත කන ප්‍රතිඵලය හරියට ම මෙය යි.

Share this article: