ඩ්‍රෝන් මිසයිල ඉලක්ක තෝරාගැනීම තුල ඔබාමාගේ භූමිකාව

Obama’s role in the selection of drone missile targets

1 June 2012,

"මිනීමරුවෝ අප පාලනය නොකරති, නමුත් ඔවුන්ගේ මිතුරෝ පමනක් පාලනය කරති” යි සියවසකට පෙර රඩ්යාඩ් කිප්ලින්ග් ලීවේ ය. ඔබාමාගේ ධවල මන්දිරය ක්‍රියාත්මක කරනු ලබන ඝාතන වැඩසටහන විස්තර කරන නිව් යෝක් ටයිම්ස් ලිපිය, කවියාගේ මෙම ඇනුම් පදය බලාපොරොත්තු රහිත ලෙස යල්පැන ඇති බව පැහදිලි කරයි.

මැයි 29දා ටයිම්ස් පත්‍රයේ දීර්ඝ ලිපිය බරක් ඔබාමාගේ කාලයෙන් විශාල කොටසක් පෞද්ගලිකව ඝාතන සැලැසුම් කිරීමට හා ඉලක්ක තෝරාගැනීමට මිඩංගු කර තිබෙන බව තහවුරු කර යි. ඔබාමා, හමුදා හා බුද්ධි අංශ නිලධාරීන්ගේ ව්‍යාජ "ත්‍රස්ත අඟහරුවාදා” රැස්වීම්වල මුලසුන ගැනීමත් සමග, ක්‍රියාදාමය සතිපතා චර්යාවක් ලෙස සංවිධානය වෙයි. "ඝාතන ලැයිස්තුවේ” සිටින අයගේ ඡායාරූප හා ජීව දත්ත අධ්‍යයනයට ඔවුහු සෑම සතියක ම ධවල මන්දිරයේ රැස්වීම් ශාලාවේ දී හමුවෙති. තෝරාගන්නවුන්ගෙන් සමහරෙක් බාල වයස්කරුවන් වන අතර එක සිද්ධියකට සම්බන්ධ ගැහනු ලමයාගේ වයස "17 වන වියටත් වඩා අඩු බව පෙනෙන්නට තිබේ.”

අවසානයේ දී, ඉලක්කවලින් බොහෝ කොටස තෝරා ගන්නේ ඔබාමාය. ටයිම්ස් පත්‍රයට අනුව ඔහු "යේමනයේ හා සෝමාලියවේ ප්‍රහාරයන් මෙන් ම පකිස්තානයේ සංකීර්න හා අවදානම් ප්‍රහාරයන්ගෙන් තුනෙන් එකක් පමන ද තෝරා ගෙන තිබේ.”

ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් "සැක කරනු ලබන සටන්කාමීන්" ඝාතනය කරන්නේය යන ප්‍රවෘත්ති වාර්තා හෝ ඉන් පසුව පලවන කතාන්තරවලින් එලිදරව් වන පරිදි "සටන්කාමීන්" සැබවින් ම නිරායුද මිනිසුන්, කාන්තාවන් හා ලමුන් බව මෙසේ අසන්නට හෝ දකින්නට ලැබෙන විට යමෙකු, ඒ ඝාතනවලට පෞද්ගලිකව ම අන දුන්නේ ඔබාමා බව නිගමනය කල හැක.

මෙම ලිපිය හෙලිදරව් කිරීමක් නොවේ. ඔහුගේ ඝාතන වැඩසටහනේ අපේක්ෂිත සාර්ථකත්වයට තුති ගී ගයමින් හා දක්ෂිනාංයේ රිපබ්ලිකානුවන් පසුබස්වමින්, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" තුල පසුබට නොවන අනදෙන නිලධාරියා වශයෙන්, ඔබාමා නැවත පත්කිරීමට ගෙනයන මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ඒවා, පරිපාලනය විසින් ම නිකුත්කොට ඇති බව පෙනෙන්නට තිබේ.

රාජ්‍ය ඝාතන තුල ජනාධිපතිගේ භූමිකාව මතු කර දැක්වීම පිලිබඳ කතාන්තර, පැහදිලිව අනුමත කරන ලද හා දිරිමත් කරන ලද “ඔහුගේ (ඔබාමාගේ) වර්තමාන හා හිටපු උපදේශකයන් දුසිම් තුනක්” සමග කල සම්මුඛ සාකච්ඡා මත ලිපිය පදනම් වේ යැයි කතුවරු සටහන් කරති.

කෙසේ නමුදු, ඔබාමාගේ හා ඔහු නායකත්වය දරන ආන්ඩුවේ ඝාතන සංවිධානවල දර්ශනයෙන් ඇඟ කිලිපොලා යයි. ඇමරිකානු "ප්‍රජාතන්ත්‍රවාදයේ" පිරිහුනු තත්වය හා එහි පාලක ස්ථරයේ පරිපූර්න දේශපාලන පිරිහීම පිලිබඳව එම ලිපිය තවත් සාක්ෂියකි. එහි ස්වරය මගින් පරිපාලනයේ දේශපාලන නරුමත්වයේ වැඩි ප්‍රමානයක් වාෂ්ප කර හැරිය ද අන්ඩුවේ සාහසිකත්වය පිලිබඳ එහි හෙලිදරව්වට අවසානයේ දී දුර දිග යන ගම්‍යයන් පවතිනු ඇත.

ටයිම්ස් පත්‍රය සඳහන් කරන විශේෂ සිදුවීම්වලින් එකක් වනුයේ, 2009 දෙසැම්බර් 17දා යේමනය තුල ඔබාමා අනකල පලමු ප්‍රහාරය යි. අද දක්වාමත් එක්සත් ජනපදය කෙරෙහි වෛරය අවුලුවමින්, කාන්තාවන් 14දෙනෙකු හා ලමුන් 21කු ඇතුලුව දුසිම් ගනනාවක් ඝාතනය කරමින් හුදකලා ගමකට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කලේය. දුරස්ත පාලිත මෙම ප්‍රහාරය "අක්‍රමවත් ප්‍රහාරයක්" යයි ටයිම්ස් පත්‍රය සඳහන් කර යි.

ගැටලු සහගත යයි ටයිම්ස් පත්‍රය විස්තර කරන තව සිද්ධියක් නම්, පකිස්තාන් තලේබාන් නායක බයිතුල්ලා මෙහ්සුඩ් ඝාතන සිද්ධිය යි. "පකිස්තානයට ඔහු මරා දැමීම අවශ්‍ය වූ" නිසා, 2009දී ඔහු ඉලක්ක කෙරුන අතර එක්සත් ජනපදයේ ඩ්‍රෝන් ප්‍රහාරවල දී පරිපාලනය වාරුවු‍ෙන් ඒ පිලිබඳව පකිස්තානය දක්වන උදාසීන පිලිවෙත මතය. "ඝාතන ලැයිස්තුවෙන්” ඉලක්ක තෝරා ගැනී‍ෙම් අපේක්ෂිත උපමානය වන "එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක්” බවට මෙහ්සුඩ් පත්ව තිබුනේ නැත. පකිස්ථානය තුල රැඳී සිටින එක්සත් ජනපද නිලධාරීන්ට තර්ජනයක් වී යයි මවාපාමින් පරිපාලනය, මෙම උපමානය ගෙතුවේ ය. යථාර්තය නම්, තමන්ගේ මව්බිම තුල එක්සත් ජනපද වාඩිලෑමට හෝ මැදිහත්වීමට විරුද්ධවීමේ "අපරාධය” නිසා ඉලක්ක කල අයගෙන් විශාල කොටසක් ඝාතනය සඳහා තෝරා ගනු ලැබු බවයි.

ඉලක්කයේ අනෙක් ගැටලු සහගත පැත්ත වූයේ, ප්‍රහාරයට අනදුන් අවස්ථාවේ දී මෙහ්සුඩ් ඔහුගේ පවුල සමග සිටීම යි. අහිංසකයන් මැරීම පිලිබඳ උත්සුකයන් පසකෙට අතු ගා දමමින් ඔබාමා "ඉලක්කය ගනු යි" රහස් ඔත්තු සේවයට දැන්වූ අතර, පකිස්තාන නිලධාරින්ගේ විරෝධයට ඔහුට මුහුන දීමට සිදු නොවෙතැ යි ඔහු විශ්වාස කලේය. ප්‍රහාරයෙන් මරා දැමූවන් වූයේ මෙහ්සුඩ්, ඔහුගේ බිරිඳ, බිරිඳගේ පියා හා මව, ඔහුගේ මාමා සහ තවත් අටදෙනෙකි.

ඔබාමා සිවිල් වැසියන්ගේ මරන සමග ගනදෙනු කර ඇත්තේ, ඔවුන් ගනන් කිරීම ප්‍රතික්ෂේප කරමිනි. "සාමාන්‍ය වැසියන්ගේ මරන ගනන් ගැනීම වෙනුවට ඔබාමා මහතා, තමන් කොටුකිරීමට වැඩි හැකියාවක් නැති විවාදයට තුඩුදෙන ක්‍රමවේදයක් අනුගමනය ක‍ෙල්” යයි ටයිම්ස් පත්‍රය වාර්තා කර යි. සුවිශේෂී ශාක්ෂි නැතිනම්, හමුදාවට බැඳෙන වයසේ ඕනෑ ම පිරිමියෙකු ප්‍රහාරක කලාපයක දී ඝාතනය කලහොත්, පරිපාලනය ලෙහෙසියෙන් ම ඔහු සටන්කරුවෙකු ලෙස හඳුන්ව යි.

"ඔහුගේ උද්ද්‍යෝගීමත් ආධාරකරුවන් සමහරෙකු මෙන් නොව, ඔහු යතාර්ථවාදියෙකු වන අතර කවදාවත් මහුගේ ම වාචාලකමෙන් හැඟීම්බර වූයේ නැත. ඒ වෙනුවට ඔහු, ත්‍රස්තවාදය සමග සටන් කිරීම පිනිස ප්‍රයෝජනවත් යයි තමන් දැකගෙන තිබෙන මෙහෙයුම් මැදිරියේ, උපාමාරු දැමීම සඳහා උපරිම වාසිය යොදා ගැනීමට, සිය නීතිඥ මනස මේ වන විටත් යොදා ගන්නේ" යයි ටයිම්ස් පත්‍රය ඔබාමා ගැන විස්තර කර යි.

මෙය ඔබාමාගේ "ප්‍රතිපත්තිවල" "උපරිම පරීක්ෂනය" ලෙස ටයිම්ස් සඳහන් කරන දෙය වෙතට යොමු වේ. ඒ, පසුගිය සැප්තැම්බරයේ දී යේමන‍ෙය් දී ඉලක්ක කෙරුනු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කල, නව මෙක්සිකෝවේ දී උපන් මුස්ලිම් පූජකවරයෙකු මෙන් ම එක්සත් ජනපද පුරවැසියෙකු වන අන්වර් අල්-අව්ලාකි සිද්ධිය වෙතය.

අව්ලාකි ඝාතනය කිරීමට කල යෝජනාව ඔබාමාට "ක්ෂනික ප්‍රශ්නයක්” මතුකල බව ටයිම්ස් පවස යි. "එක්සත් ජනපදය යුද්ධයකට පැටලී නැති රටක් තුල, නඩු විභාගයකින් තොරව, රහසිගතව, ඔහුට ඇමරිකානු පුරවැසියෙකු ඉලක්ක කර ඝාතනය කිරීමට අන දිය හැකි ද?"

"නියමිත ක්‍රියාමාර්ගය පිලිබඳ පස්වැනි සංශෝධනයේ (ව්‍යවස්ථාවේ) සහතිකය යොදාගනු ලබන විට එය, විධායකයේ අභ්‍යන්තර ගනන් බැලීම්වලින් යුක්තිසහගත කල හැකි වනු ඇත” යනුවෙන් ටයිම්ස් පත්‍රය වාර්තා කරන ආකාරයට, අධිකරන දෙපාර්තමේන්තුවේ නීති උපදේශනය පිලිබඳ කාර්යාලය එවැනි ප්‍රහාරයක් යුත්තිසහගත කරන සටහනක් ජනාධිපතිට සැපයී ය. මෙම තීරනය තුල ඇති දැක්ම වූයේ, එක්සත් ජනපද ආන්ඩුවේ හතරවැනි ශාඛාවක් ලෙස ඔබාමාගේ "ඝාතන ලැයිස්තු" කමිටුව පිහිටුවීමයි. එය නායකයාගේ තීරනවලින් පරම නීතිය සමන්විත වූ නාසි ජර්මනියේ "පූරර් (නායක) ප්‍රතිපත්තිය" සමග මුලුමනින් ම ගැලපේ.

ඔබාමාගේ ප්‍රතිචාරය? පූජකවරයා ඝාතනය කිරීම ගැන ඔහු මනස්තාපයක් දැක්වූයේ නැතැ යි ටයිම්ස් පත්‍රයට පැවසූ නිලධාරීන් එසේ කියද්දී, "මේක ලේසි යි," යන හිටපු ව්‍යවස්ථාදායක නීති මහාචාර්යවරයාගේ කියමන උපුටා දැක් වේ.

ඔබාමාගේ පරිනාමය තුල පැහදිලිව ම පුද්ගල මනෝවිද්‍යාවේ මූලිකාංගයක් ඇත. ඔහු පෞද්ගලිකව ආන්ඩුවේ ඝාතන මෙහෙයවන්නේ නම්, ඒ යම් දුරකට ඔහු එය ආස්වාදනය කරන නිසා ය. ටයිම්ස් මෙසේ ද වාර්තා කර යි: "ඔබාමා මහතා පිලිබඳව තමා වඩාම පුදුම වන්නේ කුමක් නිසා ද යි ඇසූ විට, ජාතික ආරක්ෂක උපදේශක, (තෝමස්) ඩොනිලොන් මහතා වහා ම පිලිතුරු දුන්නේ ය: "එක්සත් ජනපදය වෙනුවෙන් බලය යෙදීමේදී ඔහු මුලුමනින් ම සුව පහසුව සිටින ජනාධිපතිවරයෙකි."

ඔබාමාගේ "ප්‍රතිපත්තිවල" රහස නම්, ඔහුට එවන් කිසිවක් නොතිබීම යි. ස්වාධීන අදහස්, ප්‍රජාතන්ත්‍රවාදී පරිඥානය හෝ සදාචාරමය චකිතය නොමැති දේශපාලන කටුස්සෙකු වන ඔබාමා, නිලධාරිවාදී රාජ්‍ය බලධාරියෙකුගේ පුද්ගල භාවය උරුමකරගෙන සිටියි. තම ත්‍රස්තවිරෝධී උපදේශකයා වන හිටපු සීඅයිඒ නිලධාරී ජෝන් බ්‍රෙනන්ගේ පරීක්ෂාකාරී බැල්ම යටතේ ඔහු හැම විටම, තමන් නිල වශයෙන් අන දෙන හමුදා හා ඔත්තු සේවා සංවිධාන සමග අනන්‍යවී ගනියි.

කෙසේ නමුත්, ඔබාමා පුද්ගලයෙකු ලෙස ගෙන ආන්ඩුවේ ඝාතන වැඩසටහන ගැන කියන දේට වඩා වැදගත් වන්නේ, සමස්ත පාලක දේශපාලන සංස්ථාපිතය පිලිබඳව එයින් හෙලිදරව් වන්නේ කුමක් ද යන්න යි. ඉහල ම මට්ටමේදී, කේන්ද්‍රීය ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති තොග වශයෙන් ප්‍රතික්ෂේප කිරීම හා සමස්ත එක්සත් ජනපද ආන්ඩුවේම දේශපාලනික හා සාදාචාරාත්මක බිඳවැටීමට එය සාක්ෂි දරයි.

ඇමරිකානු පුරවැසියෙකු ඝාතනය කිරීම "ලෙහෙසි" නම්, ජනාධිපති හා ඔහුගේ පරිපාලනයට කල නොහැක්කේ මොන අපරාධය ද? පැහදිලිව ම, ඝාතන ලැයිස්තු, ඉලක්ක කිරීමේ කමිටු හා ආන්ඩුවේ මිනීමැරුම් සඳහා ෆැසිස්ට්වාදී යුක්තිසහගත කිරීම්, ආයතනීකරනය කිරීමට, රට තුල මෙන් ම විදේශයන්හි ද ප්‍රගාඪ ඇඟවුම් ඇත.

අසීමිත සංඛ්‍යාවක් ව්‍යාජ වාම "විරෝධතා" සංවිධානවල සිය සහකරුවන් සමග අසික්කිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලිබරල්ලු, සමහරවිට තරමක පැකිලීමක් සහිතව, ඔබාමා "අඩු නපුර" නියෝජනය කරන්නේ ය යන දේශපාලනිකව වංචනික හා බුද්ධිමය වශයෙන් පදනම් විරහිත තර්කය මත පදනම් ව, ජනාධිපති ලෙස ඔබාමා යලිත් පත්කර ගැනීමට තවමත් සහාය දෙති. මෙහි මවිත කරවන කිසිවක් නැත. ඔවුන් ඕනෑ ම දෙයක් සමග ඔට්ටුය.

නීතියෙන් පිටස්තර ඝාතන පිලිබඳ ව්‍යවස්ථා විරෝධී හා තරයේම සාපරාධී වැඩසටහනකට ගොදුරු කරගන්නවුන් නම් කිරීමට පුද්ගලිකව ම හවුල්වූ කෙනෙක් ධවල මන්දිරයේ ලැග සිටින්නේය යන ප්‍රවෘත්තියෙන් කම්පාවට පත් ගිනිය නොහැකි මිලියන සංඛ්‍යාවක් පුද්ගලයෝ එක්සත් ජනපදයේ සිටිති. ඇමරිකානු කම්කරු පන්තිය විසින් තවමත් ගෞරවයෙන් සලකනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තුල ගැඹුරින් මුල්බැසගත් මෙම විරුද්ධ පාර්ශ්වය, වැඩි කල් යාමට පෙර එලිමහනට පැමිනෙනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: