ගෝලීය අර්බුදයේ නව අදියරක්

A new stage in the global crisis

4 June 2012

සතියක් තිස්සේ ලෝකයේ හතරදිග් භාගයෙන්ම ගලා ආ අපේක්ෂා භංග ආර්ථික ප‍්‍රවෘතිවල උච්චස්ථානය සලකුනු කරමින්, අපේක්ෂිත මට්ටමෙන් අඩකටත් වඩා අඩු ව්‍යසනකාරී රැකියා වාර්තාව, සිකුරාදා ප‍්‍රකාශයට පත් විය.

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ, ආර්ථික ප‍්‍රකෘතියක් පිලිබද කතා නොමේරූ පමනක් නොව තරයේම ව්‍යාජ ද වන බවයි. සියලු කතාන්තරවලට සපුරා පටහැනි ලෙස අර්බුදය යලි යලිත් සනාථ කර ඇත්තේ, එය පාලනය නොකලහැකි බවයි.

ලෝකයේ කවර කොටසක් හෝ පල්ලම් බැසීමට නිර්මුක්ත නැත. යුරෝපයේ හා එක්සත් ජනපදයේ ආර්ථික රෝගී භාවය, සංවර්ධනය වන ලෝකයේ වර්ධයකින් ඌන පූරනය කරනු ඇතැයි යන බලාපොරොත්තුව සුන්ව ගොසිනි. ඉන්දියාවේ පලමු කාර්තුවේ වර්ධන අනුපාතය වසරකට පෙර පැවති සියයට 9.2 සිට වසර 9කට පසු වාර්තාවූ පහතම මට්ටම වන සියයට 5.3 දක්වා පල්ලම් බැස තිබේ. බ‍්‍රසීල ආර්ථිකය වර්ධනය වූයේ සියයට 0.2න් පමනක් වන අතර චීනයේ ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය තියුනු ලෙස පහත වැටුනි.

එක්සත් ජනපද සංඛ්‍යාලේඛන ප‍්‍රකාශයට පත්වීමට මඳකට කලින් යුරෝස්ටැට්, වසර 13කට පසුව වාර්තාවූ ඉහලම මට්ටමට යුරෝ කලාපයේ විරැකියාව නැග ඇති බව නිවේදනය කලේය. මෙයට පෙර යුරෝ කලාපයේ නිෂ්පාදන ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය වසර තුනකට පසුව එහි පහතම අගය කරා වැටුනු බව නිවේදනය කරමින්, මෙම කාර්තුවේ යුරෝ කලාපීය ආර්ථිකයේ හැකිලීමක් පිලිබඳව අනාවැකි පලකරන්නට වාර්තාව නිකුත් කල අයට සිදුවිය.

ස්පාඤ්ඤයේ බැංකු ක්ෂේත‍්‍රය පිලිබඳ කනස්සල්ල ද සමග එන මෙම සංඛ්‍යා, එක්සත් ජනපද හා ජර්මානු බැදුම්කර පොලී වාර්තාගත පහත් මට්ටම්වලට ඇද දමමින්, සාපේක්ෂව සුරක්ෂිත රාජ්‍ය සුරැකුම්පත් වෙත තල්ලුවක් ඇති කරයි. මේ අතර ස්පාඤ්ඤයේ හා ඉතාලියේ නය ගැනීමේ පිරිවැය, ග‍්‍රීසියට හා පෘතුගාලයට ඇප ඉල්ලීමට බල කල මට්ටම් කරා සේන්දු විය.

මෙම වසරේ මුල් කාර්තුව තුල යුරෝ බිලියන 97ක් රටෙන් පිටවගොස් ඇති බව 02දා ස්පාඤ්ඤ මහ බැංකුව විසින් නිවේදනය කිරීමත් සමග මෙම තත්වය හටගත්තේය. සතියකට පෙර රටේ හතරවන විශාලතම බැංකියා බැංකුව, එම රටේ ඉතිහාසයෙහි විශාලම බැංකු ඇපදීම ලෙස සැලකෙන යුරෝ බිලියන 19ක් ඇප වන ලෙස, ස්පාඤ්ඤ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

වසරක් තුල එක්සත් ජනපදයේ නරකම රැකියා වාර්තාව, ඉපැයීම් ශුන්‍යවී, වැඩකල කාලය පහත වැටී, විරැකියා තත්වයේ පසුවන සාමාන්‍ය කාලසීමාව දිගුවී ඇති බවත්, දිගු කලක් රැකියා නොමැතිව සිටින ලැයිස්තුව දිගුවී ඇති බවත් පෙන්නුම් කලේය.

රැකියා වාර්තාව එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින් පිලිගත්තේ පුදුම සහගතවය. ඔබාමා හා ඔහුගේ රිපබ්ලිකානු එදිරිවාදීහු, ව්‍යාපාරවලට වාසි සැලසීම හා බිඳ විසුරුවා හැරීමේ නීති ඇති තරම් වේගයෙන් සම්මත නොකිරීම පිලිබඳව එකිනෙකාට චෝදනා නගාගත්හ. පාලක පන්තියේ සියලු කොටස් රැකියාවන්ට පහර දීම හා සමාජ වියදම් කැපීම අඛන්ඩව සිදුවිය යුතු බවට එකඟ වෙති.

ව්‍යාපාර සඳහා වාසි සැලසීමේ, තම රැකියා ලේඛනය සඳහා ඉඩ සලසන ලෙස ඔබාමා යලි කියා සිටියේය. පසුගිය මාසයේදී එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔබාමා, "අවපාත තත්වයක් තුල ආන්ඩුවේ සේවා නියුක්තිය පහත වැටුනු එකම අවධිය” තම පාලන කාලය පමනක් යයි කයිවාරු ගසන තරම් දුර ගමන් කලේය.

මෙය සෑම රටකදීම දැකගත හැකි පොදු ප‍්‍රතිචාරයකි. එනම්, පාලක පන්තියේ අතිශයින්ම ආත්මාර්ථකාමී මූල්‍ය ආසක්තයන් සමග කුමන ආකාරයෙන් හෝ ගැටෙන පිලිවෙතක් යෝජනා කිරීම පවා කල නොහැකි වීමයි. දශ ලක්ෂ සංඛ්‍යාවක් විරැකියාවට හා දුප්පත්කමට ඇදවැටෙද්දී, පක්ෂ දෙකේම සාකච්ඡාව යොමුවී ඇත්තේ, සමාජ පිරිවැය පහත හෙලන අතර ව්‍යාපාර බදු කපාහරින්නේ කෙසේ ද යන්න වෙතය.

රැකියා වාර්තාව පිලිබඳ මාධ්‍ය ප‍්‍රකාශය තුල පිලිබිඹු වූ ආකාරයට, මෙම නව ව්‍යසනයට මුහුනදීමේදී පාලක පන්තිය අතර අවමංගතවීමේ සලකුනු දැකගත හැකිය. "වර්ධනය වන්නේ කුමක්දැයි ග‍්‍රහනය කරගැනීමට ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ පැත්තෙන් විශ්වාසනීයත්වයක් පැවතීමේ කිසිදු හේතුවක් මට නම් නොපෙනේ” යයි ලිව්වේ අන්තර් ජාලය පාදක කරගත් ක්‍රෙඩිට් බබ්ල් බුලටින්හි විශ්ලේෂක ඩොව් නොලන්ඩ් ය. "දිගහැරෙමින් ඇත්තේ, 2008ට වඩා බෙහෙවින් ගැටලු සහගත වීමේ ශක්‍යතාව සහිත දෙයක් බව නම් මට විශ්වාසය.”

අර්බුදයට ඒකාබද්ධ ප‍්‍රතිචාරයක් දැක්වීමට රටවල්වලට ඇති නොහැකියාව ගැන වැලපෙන, නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ ෆ්ලොයිඩ් නොරිස් මෙසේ ලිවීය. "මාස කිහිපයකට පෙරාතුව දකින්ට ලැබුනාට වඩා තත්වය බෙහෙවින් නරක අතට හැරී තිබේ.”

ඔහු මෙසේ ද සටහන් කරයි. "සිව් වසරකටත් වඩා අඩු කාලයකට පෙර, ලෝක මූල්‍ය පද්ධතිය බිඳ වැටීමේ අනතුරට මුහුනපෑ කල, ගෝලීය අවපාතයක් වලක්වා ගැනීම පිනිස එකට සම්බන්ධීකරනය කල මගකට පිවිසීමට ප‍්‍රධාන රටවලට හැකි විය. එහෙත් දැන් පෙනෙන්නට ඇත්තේ, ප‍්‍රධාන රටවලට යලි වතාවක් එක්ව කටයුතු කිරීමේ කැමැත්ත හීනවී නැත්නම්, හැකියාව ක්ෂයවී ඇති බවයි.”

එහෙත් නොරිස් සිය ලිපිය අවසන් කරන්නේ, "තම අසල්වැසියන් ගලවා ගැනීමේ බිලෙන් වැඩි පංගුව දැරිය යුතු වන ජර්මනිය, මුදල් වියදම් නොකිරීමෙන් විශාල අන්තරායන් හටගන්නේ යයි තීරනය කල හැකි” බවට ශුභවාදී චිත‍්‍රයක් අඳිමින්ය. "රාජ්‍ය මූල්‍යයේ පීඩනයත්, විදේශ ආධාර කෙරෙහි පවතින කොන්ග‍්‍රසයේ සතුරුකමත් තිබිය දී ම එක්සත් ජනපදයට, උදව් කිරීමේ ක‍්‍රම සොයාගත හැකිය. පොදු බැංකු නියාමනයන් පිලිබඳ නව එකඟතා ඉස්මතු විය හැකිය.” එහෙත් දින ගතවෙද්දී, එවන් ප‍්‍රතිපල ජනනය කිරීමේ අඩමාන තත්වය පහව යා දැයි කතුවරයාම සැක පහල කරයි.

ධනේශ්වර විස්තර විචාරකයින් අතර සියලු බලාපොරොත්තු දැල්වෙන්නේ, යුරෝ කලාපයේ ප‍්‍රබලම ආර්ථිකය වන ජර්මනිය, බැංකු ස්ථාවරත්වයකට ගෙන ඒමට හා අමාරුවට වැටී ඇති යුරෝපීය සංගමයේ රටවල් නගා සිටුවීමට අරමුදල් සැපයීම සඳහා කැමති වනු ඇතැයි යන්න මතය. සති අන්තයේ දී බිලියනපති ආයෝජක ජෝර්ජ් සොරෝස් පැවසුවේ, "නායකත්වය ගෙන, යුරෝපීය සංගමය රැක ගැනිමට ජර්මනිය එකඟකරවා ගැනීම සඳහා අප අපට කල හැකි සියල්ල කිරීම අවශ්‍යය.” යනුවෙනි.

එහෙත්, පොදු ප‍්‍රතිචාරයක් දැක්වීමෙහිලා ප‍්‍රමුඛ බලවතුන්ගේ නොහැකියාව, යුරෝපය කලඹවාලන අර්බුදයේ හදවතට ම කිඳා බැස තිබේ.

පාලක පන්තීන්ගේ අවමංගතවීම පැන නගින්නේ, සෑම ධනපති පන්තියකම ජාතික අවශ්‍යතා, ගෝලීය ආර්ථිකය සමග ගලපා ගැනීමෙහිලා ඔවුන් දක්වන අසමත්කමෙනි. ධනවාදය යටතේ, සියලු ජාතික රාජ්‍යයන් අර්බුදයට ප‍්‍රතිචාර දක්වන්නේ එකම ක‍්‍රමයකට ය. එනම්, ස්වකීයමය වූ අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමේ සටනේ දී, අවශ්‍ය නම් මිලිටරි බලය යොදාගැනීම ය.

සෑම පැත්තකින්ම වත්මන් අර්බුදය, 1930 ගනන්වල සේම අති මූලික හා ප‍්‍රගාඪ වන්නේය. වත්මන් තත්වය සේම මහා අවපාතය ද ආර්ථික අර්බුදයක් විය. එය, අවසානයේදී පාලක පන්තියට දෙවන ලෝක සංග‍්‍රාමයේ බිහිසුනු ලේ හැලීම හැරෙන්නට වෙනත් පිලිතුරක් නැති තැනටම පත්වන තුරු භූ දේශපාලනික ප‍්‍රතිවිරෝධතා උත්සන්න කලේය.

ආර්ථික බිඳ වැටීම උත්සන්න වීමේ කාරනය, 2008 අර්බුදය වාරිකව සිදුවන පහත වැටීමක් බවත්, ධනවාදය යලි ප‍්‍රකෘතිමත් වන බවත්, පෙන්නුම් කිරීමට වෑයම් කල නිල ප‍්‍රකාශයන් හෑල්ලුවට පත් කරයි. මාක්ස් ද එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි ද ඇතුලු ශ්‍රේෂ්ට මාක්ස්වාදීන්, ධනවාදයේ ඓතිහාසික ප‍්‍රතිවිරෝධයන් අලලා කල විශ්ලේෂනය පිලිබඳ කාරනය වෙත යොමුවන එය, ඒවායේ වලංගු භාවය ඉස්මතු කරයි.

මෙම පරස්පර විරෝධයන් විසඳීම කෙසේ වෙතත්, ඒවා, පශ්චාත් යුද්ධ කාලපරිච්ඡේද ස්ථාවරත්වයේ සියලු යාන්ත‍්‍රනයන් බිඳ දමමින් හා දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් විරැකියාවට හා අසරන භාවයට ඇද දමමින්, දවැන්ත බලයකින් හිස ඔසවා තිබේ. අනෙක් අතට මෙම ප‍්‍රතිවිරෝධතා යෝධ සමාජ අරගල හා විප්ලවවාදී නැගිටීමේ නව අවධියක් බිහිකරනු ඇත.

ඇන්ඩෲ ඩිමොන්

Share this article: