මුබාරක් ගැන තීන්දුව

The Mubarak verdict

5 June 2012

ඊජිප්තුවේ බලයෙන් පහකල ජනාධිපති ‍ෙහාස්නි මුබාරක් හා ඔහුගේ ප්‍රමුඛ අනුචරයින්ට එරෙහි නඩු විභාගය අවසානයේ 02දා දුන් තීන්දුව, දේශපාලන විකාරයකි.

2011 ජනවාරි- පෙබරවාරි කාලයේ ඊජිප්තු විප්ලවයෙහි මුල් සතිවල පොලිසිය විසින් විරෝධතා කරුවන් මරා දැමීමට වගකිවයුතු චූදිතයින් අතරින්, මුබාරක් හා හිටපු අභ්‍යන්තර කටයුතු ඇමති හබීබ් එල් ඇඩ්ලි, ඊට සම්බන්ධවූ බවට සාක්ෂි නැතැයි යන පදනම මත නිදොස් කරන ලදී. දෙදෙනාට ම ජීවිතාන්තය ‍ෙතක් සිරදඬුවම් නියම කලේ ඝාතන නතර කිරීමට අසමත් වීමේ කාරනය මත පමනි. නැගිටීමේ ආරම්භක දිනවල පොලිසිය දහසකට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් මරා දැමීය.

විරෝධතාකරුවන්ට එරෙහිව රුදුරු ලෙස බලය පාවිච්චි කල, එල් ඇඩ්ලිගේ සහායකයින් හා ආරක්ෂක හමුදාවේ හා පොලිසියේ විවිධ නායකයින් අධිකරනය විසින් නිදහස් කරන ලදී. මුබාරක් සක්‍රීය ලෙස කිසිදු අපරාධයක් සිදු කල බවට සාක්ෂි නැති බවට නිගමනය කල අධිකරනය, අනාගතයේදී, නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කල හැකි බව ප්‍රකාශ කල අතර ඔහුට සම්පූර්නයෙන් නිදහස් වීමේ අවස්ථාව එමගින් සලසන ලදී.

ඊජිප්තුවේ පාලක මිලිටරි ජුන්ටා‍ෙව් මෙන්ම, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය ද පදනම්ව ඇති ඊජිප්තු රාජ්‍ය යාන්ත්‍රනයට මෙම තීන්දුවෙන් සුදුහුනු ගා තිබේ. දශක ගනනාවක් තිස්සේ මුබාරක් සමග සමීපව කටයුතු කර තිබෙන වොෂින්ටනය හා එහි අනුචරයින්, 2011 පෙබරවාරි නැගිටීම අවධියේ දී මුබාරක්ට පිටුබලය දුන් අතර දැන් ජුන්ටාවට සහාය දෙයි. ඊජිප්තු ආරක්ෂක හමුදා සිය ගනන් මරා දමන විට එම වසරේ ‍ෙපබරවාරි මුල, එක්සත් ජනපද නියෝජිත ‍ෆ්‍රෑන්ක් විස්නර් මෙසේ පැවසීය. "අනාගතය කරා අප අපගේ මාවත සොයාගන්නා කල, එලඹෙන දිනයන්හි ජනාධිපති මුබාරක්ගේ භූමිකාව අතිශයින්ම වැදගත්වනු ඇත.”

තීන්දුව, වර්තමාන ඊජිප්තු තන්ත්‍රය රැඳී සිටින්නේ මුසාවාදයක් මත බව පැහැදිලි කරයි. එනම්, රාජ්‍ය යාන්ත්‍රනයේ මුදුනෙහි, හුදෙක් නිලධාරීන් කිහිපදෙනෙක් වෙනස් කිරීමෙන්, පසුගිය වසරේ කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයන්ට ඇද දමනු ලැබූ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අභිලාශයන් සපුරාලිය හැකිය යන අදහසය.

මුබාරක්ගේ අපරාධ පිලිබඳ කුමන හෝ බැරෑරුම් පරීක්ෂනයක්, ඊජිප්තු පාලක පන්තියේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම හෙලිදරව් කරනු ඇත. මුබාරක්ගේ පැරනි ජෙනරාල්වරුන්ගෙන් සැදුම්ලත් ඊජිප්තු ජුන්ටාව රැඳී සිටින්නේ, මුබාරක් පදනම් කරගත් එම ආරක්ෂක හමුදාවන් මතම ය. අධිකරනය මගින් ආරක්ෂා කරන එය, අධිරාජ්‍යවාදී බලවතුන් අතර ඔහුගේ අනුචරයින් විසින් මුදල් දී සන්නද්ධ කරනු ලබයි.

එම තීන්දුව, ඊජිප්තු මධ්‍යම පන්තික වම්මුන්ගේ දේශපාලන බංකොලොත් කම ද එසේම හෙලිදරව් කර තිබේ. තන්ත්‍රය පෙරලා දමා සමාජවාදය සඳහා සටන් කිරීම පිනිස කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයකට මෙහෙයවීම කෙරෙහි පරම සතුරුකම් පාන ඔවුහු, ඒ වෙනුවට, ජුන්ටාවේ ආඥාදායකත්වය යටතේ තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගිය හැකි බව කියති.

මුබාරක් නඩු තීන්දුව, ජුන්ටා‍වේ අඩිය පිටුපස බඩගෑ, ජූනි 16-17 ජනාධිපතිවරනය ද ඇතුලු ඊනියා "ප්‍රජාතන්ත්‍ර පරිවර්තන‍ෙය්” නින්දිත ස්වභාවය යලි වතාවක් තහවුරු කරයි.

මුබාරක් යටතේ සිටි අවසාන අගමැති අහමඩ් ෂෆික් හා දක්ෂිනාංශික මුස්ලිම් සහෝදරත්වයේ (මුස) මොහමඩ් මුර්සි යන ජනාධිපතිවරනයේ අපේක්ෂකයින් දෙදෙනාම, විප්ලවයට ගැඹුරින්ම සතුරුය. ඝාතනයන් ද රුදුරු ලෙස බලය යෙදීමෙන් ද මසක් ඇතුලත නීතිය සුරකින බවට පොරොන්දු වෙමින් ඇමරිකන් වෙලඳ මන්ඩලය ඉදිරියේ පැවැත්වූ කතාවක දී ෂාෆික්, මුබාරක් හැඳින්වූයේ, "ආදර්ශයක්” ලෙස බව වාර්තා වී තිබුනි.

ජුන්ටාව සමග සහයෝගයෙන් කටයුතු කල හා එක්සත් ජනපදය සමග සමීප සබඳතා පැවති මුර්සි ද තමන් මුබාරක්ගේ පොලිස් රාජ්‍යය මත විශ්වාසය තැබීමට සූදානම් බව පැහැදිලිව කියා තිබුනි. මැතිවරනයේ පලමු වටය ජයගැනීමෙන් පසුව ඔහු, "පොලිස් භටයින්ගේ හා නිලධාරීන්ගේ තත්වය එලෙසම පවතිනු” ඇති බවට ඔවුන්ට සහතික වෙමින්, පොලිසියට හා හමුදාවට ප්‍රශංසා කලේය.

මෙම ප්‍රකාශ තිබිය දී ම මධ්‍යම පන්තික "වාම” බලවේග, මුර්සිට හා ඔහු හරහා සංස්ථාපිතයට සහාය පලකල, ඔවුන්ගේ උද්ඝෝෂනය තීව්ර කලහ. තහ්රීර් චතුරස්‍රයේ දී 02දා විප්ලවකාරී සමාජවාදී කන්ඩායමේ (විස) නායක හිෂාම් ෆාවුඩ් මෙසේ පැවසීය. "ජනාධිපතිවරනයේ දී මම මූලෝපායිකව මොහමඩ් මුර්සි සමග සිටින්නෙමි. ඊජිප්තුවේ චතුරස්‍ර හා වීදිවලට පැමිනෙන ජන සංඛ්‍යාව වර්ධනය වන විට එම තත්වය ෂෆීක්ට ආන්ඩුව තුලට පැන ගැනීම වඩ වඩාත් දුෂ්කර කරන බව අපි විශ්වාස කරන්නෙමු”

තමන් ඊජිප්තු රාජ්‍යය සමග බැ‍ඳෙන, මුස්ලිම් දක්ෂිනාංශයට "මූලෝපායික” ඡන්දයක් දෙන ලෙසට කෙරෙන සුලු ධනපති "වම්මුන්ගේ” කැඳවුම, දේශපාලන පාවාදීම් මාලාවක අලුත්ම එකය.

විප්ලවයේ පලමු මාස කිහිපයේ දී විස, ප්‍රගතිශීලී බලවේගයක් ලෙස ජුන්ටාව හුවාදැක්වූහ. ජුන්ටාවේ ජෙනරාල්වරු, පහතින් යෙදෙන පීඩනය යටතේ ප්‍රතිසංස්කරන සඳහා ද මුබාරක් තන්ත්‍රයේ ආයතන පිරිසිදු කිරීම සඳහා ද මෙහෙයවාගත හැකි වනු ඇතැයි ඔවුහු කියා සිටියහ. පසුගිය වසරේදී විප්ලවකාරී සමාජවාදීන්ගේ විරෝධයට ලක්වූ "දෙවන විප්ලවය” සඳහා ජනතා කැඳවුම මගින්, මෙම ඉදිරිදර්ශනය කුඩුපට්ටම්ව ගිය පසුව, දැන් ඔවුහු ඉස්ලාමීය මුස, මුබාරක් තන්ත්‍රයේ හිටපු නිලදරුවන්ට විකල්පයක් ලෙස ඉදිරිපත් කරති.

ආරම්භක ජයග්‍රහනයන්ගෙන් පසුව, විප්ලවයේ අත්දැකීම් පෙන්නුම් කරන්නේ, විරෝධතා රැලි කෙතරම් දැවැන්ත වුවත් විප්ලවයේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර ඉල්ලීම් ජයග්‍රහනය කිරීමට ඒවා ප්‍රමානවත් නොවන බවයි. මුබාරක් තන්ත්‍රයේ රාජ්‍ය පර්යාය ප්‍රතිසංස්කරනය සඳහා බලපෑම් යෙදීමට වෙර දැරීමෙන්, කම්කරු පන්තිය කිසිවක් දිනා නොගනු ඇත. එකම ඉදිරි මාවත සටනේදී එය පෙරලා දැමීම තුලින් සොයාගත යුතුය.

කම්කරු පන්තිය මුහුනදෙන තීරනාත්මක කර්තව්‍යය, ඊජිප්තුවේ ද මැද පෙරදිග හා ජාත්‍යන්තරව, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගල කරමින්, තන්ත්‍රය පෙරලා දමා කම්කරු රාජ්‍යයක් මගින් එය විස්ථාපනය කිරීමේ පදනම දමා, අරගලයේ තමන්ගේ ම මහජන සංවිධාන ගොඩනඟා ගැනීම යි.

මුබාරක්ගේ හා ඔහුගේ අධිරාජ්‍යවාදී අන්තේවාසිකයින්ගේ අපරාධවලට පූර්න දඬුවම් ලබාදිය හැක්කේ කම්කරුවන්ගේ එවන් රාජ්‍යයකින් පමනි.

ජොහැන්ස් ස්ටර්න්

Share this article: