අධිරාජ්‍යවාදය හා හූලා ඝාතනය

Imperialism and the Houla massacre

14 June 2012

මැයි 25දා සිරියාවේ හූලාහි සිදුවූ ඝාතනය පිලිබඳ පරීක්ෂන, වොෂින්ටනය හා එහි අනුචරයින් එරට තුල සිය මිලිටරි මැදිහත්විම තීව්‍ර කිරීම යුක්තිසහගත කිරීමට යොදාගත් බේගල් සුනු විසුනු කර තිබේ.

ජර්මනියේ ප්‍රමුඛ දිනපතා පුවත්පතක් වන ෆ්‍රැන්ක්ෆර්ටර් ඇල්ජෙමයින් සේතුං අනුව, හූලාහි ඝාතනයට ලක්වූ පුද්ගලයින් 108 දෙනා පිලිබඳ වගකීම වැටෙන්නේ සිරියානු හමුදාව මත නොව, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව එක්සත් ජනපදය විසින් සන්නද්ධ කරනු ලබන "කැරලිකාර” හමුදාවන් මතය. සුන්නි කට්ටිවාදී ඝාතක කල්ලි ලෙස ක්‍රියාත්මක වන ගරිල්ලා භටයින්, එහි ෂියායිට් මුස්ලිම් සුලුතරයෙන් වැඩි කොටසක් මුලිනුපුටා දැමූ බව පුවත්පත වාර්තා කලේය. එය තොරතුරු සපයාගෙන ඇත්තේ අසාද් තන්ත්‍රයෙන් නොව, සිරියාවේ ප්‍රන්ස ආගමික කනඩායම්වලින් හා එරට කැරලිකාර විපක්ෂයෙන්ම ය.

මෙම හෙලිදරව්වේ ඇඟවුම් හූලාහි ප්‍රචන්ඩත්වයට වඩා බොහෝ දුර දිග ගමන් කරයි. එය සිරියාව සමග යුද්ධය සඳහා එක්සත් ජනපදයේ මූලිකත්වය යටතේ ගෙන යන ව්‍යාපාරයේ පදනම් කරාම ගමන් කරයි. ඝාතන පිලිබඳ විපක්ෂයේ විස්තර හා මානව ව්‍යසනයක් වැලැක්වීමේ මානවවාදී අභිලාශයක් සහිත ක්‍රියා බව නරුම ලෙස විස්තර කල, විපක්ෂයට අවි සැපයීම වෙනුවෙන් සහාය ගොනු කිරීමට නැත්නම්, සිරියාවට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනයක හැකියාව සහිතව, බටහිරෙන් සිදුවන අසාද් හෙලාදැකීම්, මාධ්‍ය විසින් අවිවේචනාත්මකව වාර්තා කලේය.

එවන් වාර්තා පලකල මාධ්‍ය ජාලයන් ක්‍රියාකොට ඇත්තේ, එක්සත් ජනපද මැදිහත්වීමක් සඳහා මග හෙලි කරන ප්‍රචාරක ඒජන්සිවලට නොඅඩු ලෙසින්ය. එක්සත් ජනපද‍ෙය් හා එහි අනුචරයින්ගේ අරමුන, එක්සත් ජනපදයේ මූලිකත්වය සහිත මැදිහත්වීමක් කෙරෙහි රුසියාව හා චීනය දක්වන විරුද්ධත්වය අතහැර දැමීමට බල කෙරෙන පරිදි, එම රටවලට අඩන්තේට්ටම් කිරීම හා ඉන් පසුව, අසාද් නෙරපා හැර එක්සත් ජනපද ගැති රූකඩ තන්ත්‍රයක් එහි ස්ථාපිත කිරීම ය.

හූලා ඝාතනය මෙම ව්‍යාපාර‍ෙයන් නොවෙන්කල හැකි කොටසකි. දින දහයකට පමන පෙර එක්සත් ජනපදය, සවුදි හා කටාර් රාජාන්ඩු විසින් මුදල් ගෙවනු ලබන අවි තොග සැපයීම වැඩිකිරීම සම්බන්ධීකරනයට හවුල් වන බව නිවේදනය කර තිබුනි. ඝාතනය පිලිබඳ මුල් වාර්තා පලවීමත් සමග බටහිර බලවත්තු, සිරියාව සමග සම්බන්ධතා අත්හලහ. එක්සත් ජනපදය, ප්‍රන්සය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව හා කැනඩාව, ඝාතනය සැබවින්ම සිදුකර තිබුනේ තම හෙංචයියන් විසින් වුවත්, විරෝධය දැක්වීමක් ලෙස තම රටවල සිරියානු තානාපතිවරු නෙරපා හලහ.

වොෂින්ටනයේ ධනවත් අරාබි අනුචරයින් "කැරලිකාර” ගරිල්ලන් වෙත ආයුධ ගොඩගසද්දී, අසාද් තන්ත්‍රය සන්නද්ධ කරන්නේ යයි එක්සත් ජනපද තානාපතිවරු රුසියාවට චෝදනා කරති.

මෙම සිදුවීම් කිසිවක්, පසුගිය වසරේ මැද පෙරදිග ඇතිවූ විප්ලවකාරී නැගිටීම් මගින් නිර්මානය කල දේශපාලන අර්බුදයෙන් වෙන්කොට වටහාගත නොහැකිය. කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහජන විරෝධතා හමුවේ, ටියුනීසියාවේ හා ඊජිප්තුවේ එක්සත් ජනපද ගැති ආඥාදායකයින් බලයෙන් පහවිය. කෙසේ වෙතත්, බලය අල්ලාගැනීමේ සටනකින් සමාජවාදය සඳහා අරගලයකට අවතීර්න වීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් නොපැවති තතු හමුවේ, එක්සත් ජනපදයට හා එහි අනුචරයින්ට යලි කාන්ඩ ගැසී ප්‍රති විප්ලවවාදී මූලෝපායක් වාත්තුකර ගැනීමට අවකාශ ලැබුනි.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අරමුන වන්නේ, සමස්ත මැද පෙරදිගම තවදුරටත් යටත් විජිතවාදී සපත්තුවෙන් පාගා ගැනීමය. එක්සත් ජනපද ගැති තන්ත්‍රයන්ට එරෙහි විරෝධතා තලා දැමිය යුතුය. ලිබියාව හෝ සිරියාව වැනි වොෂින්ටනය සමග සමීප බැඳීම් නැති රටවල විරෝධතා සම්බන්ධයෙන් ගත් කල, එම විරෝධතා වාර්ගික හෝ කට්ටිවාදී රේඛා ඔස්සේ හරවා යැවෙන පරිදි දක්ෂිනාංශික බලවේගයන් යටතට පත්කල යුතුය. ඉන් පසුව ඔවුන් එක්සත් ජනපදය මූලිකත්වය ගත් සිවිල් යුද්ධයන්ගේ බලල් අඬු ලෙස සේවය කරනු ඇත. වොෂින්ටනය "අරාබි වසන්ත‍ෙය්” මිතුරෙකු ලෙස පෙනී සිටියේ, ඔවුන් මැද පෙරදිග තන්ත්‍රයන් නෙරපා හැරීමේ ව්‍යායාමයකට අතගසා සිටි බැවින්ය.

සවුදි රාජාන්ඩුව බහරේනයේ පැනනැගි විරෝධතා රුදුරු ලෙස මැඩීමෙන් පසුව එක්සත් ජනපදය, 50,000කගේ ජීවිත බිලිගනිමින් නේටෝ හා ඉස්ලාමීය කැරලිකරුවන් විසින් දියත් කල ම්ලේච්ඡ යුද්ධයක් මගින් පෙරලා දමනු ලැබූ ලිබියාවේ නායක කර්නල් මුවම්මර් ගඩාෆිට එරෙහිව ඉස්ලාමීය හා ගෝත්‍රික කොටස් දිරිගැන්වීය. සිරියාවේ දී එක්සත් ජනපදය බොහෝ කොටම විශ්වාසය තබා ඇත්තේ, ෂියා විරෝධී සවුදි රාජාන්ඩුව විසින් මුදල් සම්පාදනය කරන මුස්ලිම් සහෝදරත්වය වැනි සුන්නි ඉස්ලාමීය කොටස් මතය. හූලා ඝාතනය විය හැකි පරිද්දෙන්ම, මෙම ප්‍රතිගාමී බලවේගයන් නඟා සිටුවීමේ වොෂින්ටනයේ ප්‍රයත්නයෙහි ප්‍රතිපලය විය.

එක්සත් ජනපදයේ මූලෝපාය විශ්වාසය රඳවා ඇත්තේ, මැද පෙරදිග ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයන්ගේ බංකොලොත්කම මත හා සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව මහ බලවතෙකුගේ ආරක්ෂාව අහිමි වීමෙන් ද එම තන්ත්‍රයන්ගේ අපකීර්තිමත් වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරන තුලින් සිදුවූ ඔවුන්ගේ පරිනාමය ද මතය. මේ තත්වය හමුවේ ගැඹුරු වාර්ගික හා කට්ටිවාදී බෙදීම් ඔවුන් වෙලාගත් අතර එක්සත් ජනපදයේ මැදිහත් වීමකට නිරාවරනය විය. "ලිබරලීකරන‍ෙය්” පිලිවෙත් යලි යලිත් ක්‍රියාවට නගමින් ද තම පාලනයේ පුද්ගලයින් අලවයිට් ආගමික සුලුතරයෙන් ඇද ගනිමින් ද වැඩ කල අසාද් තන්ත්‍රය, විශේෂයෙන්ම ඊට නිරාවරනය විය.

පශ්චාත් සෝවියට් අවධියේ යුගොස්ලාවියානු හා ඉරාක යුද්ධවල අත්දැකීමේවලින් ලියන ලද ක්‍රීඩා පොතට අනුව වැඩ කරමින් එක්සත් ජනපදය, කට්ටිවාදී හා ගෝත්‍රික එදිරිවාදීකම් උසිගැන්වූ අතර, කලිකලහ පැනනැඟීමෙන් පසුව, ප්‍රචන්ඩත්වය බෙහෙවින් අතිශයෝක්තියට නංවමින් හෝ ඉලක්ක කල තන්ත්‍රයට ප්‍රචන්ඩත්වයන් පිලිබඳව ගොතන ලද චෝදනා නගමින්, මැදිහත්වීමට එය කඩතුරාව කරගත්තේය.

සියල්ලටත් වඩා වොෂින්ටනය, ඇමරිකානු හා යුරෝපීය මාධ්‍යයේ හා ධනේශ්වර "වමේ” වංචනික පක්ෂවල බියගුලු යට්ත්වීම මත ඔට්ටු අල්ලයි. එම මාධ්‍ය ජාල, පලමුව හූලා ඝාතනය සිදුකල සිරියානු විපක්ෂ "කැරලිකාර” බලවේගයන්ගේ හඬ ගිරවුන් සේ නරුම ලෙස ප්‍රතිරාවය කල අතර දැන් ෆාස්හි වාර්තා නොසලකා හරිති.

හූලා ඝාතනය සිදුවීමෙන් මඳකට පසුව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, අසාද් හෙලා දකිමින්, "අසාද් අලුගෝසුවා” යන හිසින් කතුවැකියක් පල කලේය. පුවත්පත, එක්සත් ජනපදය මූලිකත්වය ගත් මිලිටරි මැදිහත්වීමට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම මගින් තම අත්වල ලේ තවරාගත් බවට මොස්කෝවට හා බීජිනයට චෝදනා නැඟීය.

ප්‍රන්සයේ ධනපති විරෝධී පක්ෂය හෝ ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි සුලු ධනපති හිටපු වාම පක්ෂ, සිරියානු "කැරලි” බලවේග හුවා දැක්වූහ. දැන් ඔවුන් මානවවාදයේ වහන්තරාව යටතේ සිදුකරන අධිරාජ්‍යවාදී ඝාතනයන්ගේ ආධාරකරුවන් ලෙස එලිදරව් කෙරී තිබේ.

මැද පෙරදිග දී එකම ඉදිරි මාවත වන්නේ, අධිරාජ්‍යවාදයේ ද මැද පෙරදිග එහි සියලු ඒජන්තයින්ට ද ක්ෂමා විරහිතව විරුද්ධ වෙමින් ධනේශ්වර තන්ත්‍රයන්ට එරෙහිවත් සමාජවාදය සඳහාත් කම්කරු පන්තියේ නව අරගලයකි. මෙම අරගලයේදී මැද පෙරදිග කම්කරු පන්තියේ ප්‍රධාන මිතුරන් වන්නේ, ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටින හා එක්සත් ජනපදය ද යුරෝපය ද විසින් ඉදිරියට තල්ලු කරන යුද්ධයන්ට සතුරු, අධිරාජ්‍යවාදී රටවල ම කම්කරු පන්තියයි.

Share this article: