රොම්නි, ඔබාමා “හුදෙකලා වී” ඇතැයි එකිනෙකාට චෝදනා එල්ලකර ගනිති

Romney, Obama trade charges of being “out of touch”

12 June 2012

මිට් ‍රොම්නිගේ රිපබ්ලිකන් කඳවුරත්, ඩිමොක්‍රටික ඔබාමා කඳවුරත්, ඇමරිකානු ජනතාවගෙන් "හුදෙකලාවී” ඇතැයි එක්සත් ජනපද මැතිවරන තුල එකිනෙකා සමග විසුලු සහගත වචන හරඹයක පැටලී සිටිති.

පසුගිය 08දා ආරවුල ආරම්භ වූයේ, ආර්ථිකය පිලිබඳ මාධ්‍ය හමුවකදී ඔබාමා, "ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වාර්තාගත ලාභ” පෙන්වා ඇති බවට ගැසූ කයිවාරුවත් සමග ය. "පෞද්ගලික අංශය හොඳින් කටයුතු කරන” බව කියා සිටිමින් ඔහු, ව්‍යාපාරික ඇමරිකාව "රැකියා නිර්මානය කරමින් මනාව වැඩ කරන” බව පැවසීය.

මෙම සැඳහුම් කරනු ලැබුවේ, නිල විරැකියා අනුපාතය සියයට 8.2 දක්වා ඉහල නංවමින්, මැයි මාසයේ නව රැකියා උත්පාදනය ජනගහන වර්ධන වේගය සමග ඉදිරියට යාමට අවශ්‍ය නව රැකියා ප්‍රමානයෙන් අඩකටත් අඩු 69,000ක් පමනක් වූ බව කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්තාව පලවී දෙසතියක් ගතවීමෙන් පසුව ය. මැයි වාර්තාව, රැකියා උත්පාදනය හැකිලී ගිය, එක දිගට ආ තෙවන මාසය සලකුනු කලේය. එය ආර්ථික ප්‍රකෘතියක් පිලිබඳ ඔබාමා පාලනයේ කතා කුඩුකර දමමින් විරැකියාව තවදුරටත් ඉහල නැංවීය.

එහෙත් ඔබාමා, සිය මාධ්‍ය හමුවේදී, "ශක්තිමත් හා ප්‍රබල ප්‍රකෘතියක්” ගැන සඳහන් කලේය. මෙම වචනවල ඇති නරුමත්වය, 1990 ගනන් මුල පටන් අත්කරගෙන තිබුනු සියලු වාසි අතුගා දමමින්, ඇමරිකානු මධ්‍යම මට්ටමේ පවුලක ශුද්ධ වටිනාකම සියයට 39න් පහත වැටී ඇති බව 11දා ෆෙඩරල් මහ බැංකුවේ වාර්තාව පලවීමත් සමග ඉස්මතු කර දැක්වෙයි. 2007 හා 2010 අතර පමනක් පිරිහීම සියයට 7.7ක් බව ද වාර්තාව පෙන්වා දෙයි.

ඔහු ද ඔහුගේ පාලනය ද ඩිමොක්‍රටික් පක්ෂය ද සේවය කරන්නාවූ සැබෑ පන්ති අවශ්‍යතා හා මිලියන ගනන් ඇමරිකානුවන්ගේ දුක් කම්ක‍ෙටාලු කෙරෙහි ඔවුන් දක්වන නොතැකීමේ තරම ඔබාමා සිය කටින් පිට කලේය. ඔහු කයිවාරු ගැසූ බැංකු හා ව්‍යාපාර වාර්තාගත ලාභ උපායාගෙන ඇත්තේ, කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ගේ වියදමෙන් බව ඔහු හොඳාකාරවම දැන සිටියි.

අංශය "හොඳින් කටයුතු කරන්නේ” ඩොලර් ට්‍රිලියන දෙකක් තරම් මුදල් පොදිගසාගෙන, ඒවා කුඩා ව්‍යාපාරවලට හා පාරිභෝගිකයින්ට නය සම්පාදනය කිරීම සඳහා හෝ තත්‍ය නිෂ්පාදනයක ආයෝජනය කිරීම හෝ ප්‍රතික්ෂේප කරගෙන සිටින අතරය. හිඟන වැටුපකට වේගවත් කරන වැඩ කන්දරාවක් කම්කරුවන්ට පිලිගැන්නවීම පිනිස තමන්ගේම නිර්මානයක් වූ අර්බුදය ඔවුහු ගසාකති.

පසුගිය මාස 27 පුරා එක්සත් ජනපද ව්‍යාපාරිකය, නව රැකියා මිලියන 4.3ක් නිර්මානය කර තිබෙන බවට ඔබාමා කටමැත දෙඩීය. තවමත් එක්සත් ජනපදය තුල ඇත්තේ 2008 ජනවාරියේ තිබුනාට වඩා රැකියා මිලියන 4.6ක් අඩුවෙන්ය යන කාරනය ඔහු මග හරියි. එසේම ඔහු, විරැකියා දීමනාව ගෙවීමේ කාලය අඩු කරමින් පසුගිය පෙබරවාරියේ දී තමන් කපුකම් කල ද්විපාර්ශවික ගිවිසුම නිසා, විරැකියා දීමනාව මේතාක් දුරට අහිමිවී ගිය පන් ලක්ෂයකට අධික කම්කරුවන් ගැන ද කිසිවක් නොපැවසිය.

මහා අවපාතයේ පටන් ඇතිව තිබෙන නරකම විරැකියා අර්බුදය විසඳීමේ හෝ දිගු කලක් රැකියාවක් නැතිව සිටින වාර්තාගත සංඛ්‍යාවකට සහන සැලසීමේ නව පියවර කිසිවක් ඔහු ඉදිරිපත් කර ඇත්තේ නැත.

පෞද්ගලික අංශය "හොඳින් කටයුතු කරන්නේය” යන ඔබාමාගේ කතාව, සාමාන්‍ය ඇමරිකානුවන්ගෙන් "හුදෙකලාවී ඇතැයි” ඔහු හෙලා දැකීම සඳහා රොම්නි විසින් වහාම ඩැහැ ගත්තේය. අර්බුදය සඳහා ඉදිරිපත් කරන ඔහුගේ බෙහෙත් වට්ටෝරුව වනාහි, වඩ වඩාත් රාජ්‍ය සේවකයින් දොට්ට දැමීමත් ලාභ ගැරීමේදී ව්‍යාපාර මත පනවා තිබෙන ඉතිරි සියලු සීමාවන් ඉවත් කිරීමත් බව රොම්නි පැහැදිලි කලේය.

මුදල් හිඟකමෙන් පෙලෙන රාජ්‍ය හා ප්‍රාන්ත ආන්ඩුවලට නාමික වශයෙන් අරමුදල් සම්පාදනය කිරීමේ ඔබාමාගේ යෝජනාව හෙලා දකිමින් රොම්නි, මෙසේ පැවසීය. "ඔහුට තවත් උත්තේජකයක් අවශ්‍යවී ඇත. ඔහුට තවත් රජයේ නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය වී තිබේ. අපට තවත් ගිනි නිවන භටයින්, තවත් පොලිස් භටයින්, තවත් ගුරුවරුන් අවශ්‍ය යයි ඔහු කියා සිටියි.”

10දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔබාමාගේ උපදේශක ඩේවිඩ් ඇක්සල්රෝඩ්, රාජ්‍ය අංශයේ තවත් දොට්ට දැමීම් සඳහා රොම්නි කරන කැඳවුම පෙන්නුම් කරන්නේ, "හුදෙකලාවී ඇත්තේ” ඔහු මිස අන් කවරෙකුවත් නොවන බවයයි පැවසීය.

11දා, 2008 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ජෝන් මැකේන් රොම්නිගේ චෝදනාව යලි එල්ල කලේය. ෆොක්ස් නිව්ස් වෙත ඔහු මෙසේ පැවසීය. "ඔහු (ඔබාමා) කියන පරිදි ඔහු විශ්වාස කරන්නේ, ෆෙඩරල් හා ප්‍රාන්ත ආන්ඩු තව තවත් මිනිසුන් බඳවා ගැනීම පිලිතුර බවයි. රැකියා නිර්මානය කරන්නේ ව්‍යාපාර විසින් බව මිට් රොම්නි, විශ්වාස කරයි.”

මෙම දෙඩවිලි මගින් ඉස්මතු කෙරෙන්නේ, අපේක්ෂකයින් දෙදෙනා ද ඔවුන් නියෝජනය කරන පක්ෂ ද සමස්ත දේශපාලන පද්ධතියම ද ජනතාවගෙන් හුදෙකලාවී ඇතුවා පමනක් නොව, ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි දක්වන නොපෑහෙන සතුරු කම පමනි. 1930 ගනන්වලින් මෙපිට පැනනැඟී තිබෙන ගැඹුරුම සමාජ අර්බුදය මධ්‍යයේ "ඔවුන්ට කේක් කන්ට කියාපල්ලා” වැනි ප්‍රකාශ කරන්නට ඔබාමාට හැකිවීම තුලින් පෙන්නුම් කරන්නේ, මූල්‍ය කතිපයාධිකාරයේ සේවය සඳහා මුලුමනින්ම කැපවී සිටින හා වැඩකරන ජනතාවගෙන් හාකල නොහැකි ආගාධයකින් වියෝවී ඇති දේශපාලන ක්‍රමයක් පිලිබඳ යථාර්තයයි.

හිටපු ව්‍යාපාරික වස්තු සමාගමක විධායකයෙක් වන රොම්නි, දහස් ගනන් කම්කරුවන්ගේ රැකියා හා වැටුප්වල වියදමෙන් වත්කම් කොල්ල කෑම හා සමාගම් බංකොලොත් කරවීමෙන් මිලියන 250ක් උපයාගෙන ඇති අතර රිපබ්ලිකානු ජනාධිවරන අපේක්ෂකයා තේරීමේ අවධිය තුල සිය දුරාචාරය පෙන්නුම්කර තිබෙන පුද්ගලයෙකි. "මට සේවය කල පුද්ගලයින් නෙරපා හැරීමට හැකිවීම ගැන මම සතුටු වන්නෙමි.” "මම ඉතා දුප්පත් අය කෙරෙහි උනන්දුවක් නොදක්වමි.” "කැඩිලැක් වාහන කිහිපයක් පදවන” ඔහුගේ බිරිඳ ගැන ඔහු පවසා ඇති දේ ද රූපවාහිනී විවාදයකදී ඔහුගේ ප්‍රතිවාදියට එරෙහිව ඔට්ටු ඇල්ලීම පිනිස ඩොලර් 10,000ක් පිරිනැමීම වැනි දේ.

ඔහුගේ පැත්තන් ඔබාමා, බහු මිලියනපතියෙකි. ඔහු චිකාගෝවේ හියට් හෝටල් හිමිකාර බිලියනපති පෙනී ප්‍රිට්ස්කර් වැනි ධනකුවේරයන්ගේ දිගුකාලීන දේශපාලන හෙංචයියෙකි. තොග පිටින් දොට්ට දැමීම, වැටුප් කැපීම හා කප්පාදු මධ්‍යයේ ජීවිතය සඳහා අරගලයක නිරතව සිටින කම්කරුවන් හා තරුනයින් කෙරෙහි ඔහුගේ ප්‍රකාශ මගින් ඇතිකල හැකි බලපෑම පිලිබඳව ඔහු හොඳාකාරව ම දැන සිටියි.

එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව මුහුනදී සිටින නොඉවසියහැකි ජීවන කොන්දේසි පිලිබඳව මොනම හෝ සාකච්ඡාවක් නිල මැතිවරන ව්‍යාපාරය තුලින් ඉවත්ව තිබීමේ තරම, මේ දබරය තුලින් ඉස්මතු කර තිබේ. ප්‍රධාන පක්ෂ හා මාධ්‍ය නියෝජනය කරන ව්‍යාපාරික පැලැන්තිය සතුව මෙම ප්‍රශ්නවලට විසඳුම් සපයන කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බැවින් ඒවා සාකච්ඡා කිරීම කල නොහැක්කක් බවට පත්ව තිබේ.

කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන්නේ ද ඒවා ගැන කතා කරන්නේ ද සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් වන ජෙරී වයිට් හා ෆිලිස් ෂෙරර් පමනි. මක්නිසා ද යත් ඔවුන්, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, මූල්‍ය ප්‍රභූ තන්ත්‍රයේ ගල ග්‍රහනය බිඳ සමාජයේ නිෂ්පාදන බලවේග වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ තැබීම වෙනුවෙන් සටන් වදින බැවිනි.

ඩිමොක්‍රටිකයින්ගෙන් ද ධනපති ද්වි පක්ෂ ක්‍රමයෙන් ද බිඳී වෙන් වෙමින්, කම්කරු බලය හා සමාජවාදය පිහිටුවීමේ මහජන පක්ෂයක් ගොඩනැඟීම සඳහා කම්කරු පන්තියට නව දේශපාලන ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීම පිනිස සසප මෙම මැතිවරනයට තරග වදියි. මෙවන් අරගලයක අවශ්‍යතාව වටහා ගන්නා සියලු දෙන ක්‍රියාශීලීව සසප උද්ඝෝෂනයට සහයෝගය දිය යුතුය.

බැරී ග්‍රේ

Share this article: