ගෝලීය වශයෙන් අවපාතය තුලට ලුහුටා යාම

A global slide into depression

22 June 2012

2008 සරත් කාලයේ දී ලෙහ්මන් බ්‍රද'ස් ඇදවැටීමේ සිට මේ වන විට අවුරුදු හතරක් සම්පූර්න වෙමින් තිබේ. පසුගිය මාස කීපයේ සිදුවීම්, පසුව සිදුවූ මූල්‍ය බිඳවැටීමෙන් මතුවුන අතිමූලික ලක්ෂන දෙකක් අවධාරනය කර යි: 1) එහි තාවකාලික නොව පද්ධතිමය ස්වභාවය හා 2) එහි ගෝලීය ස්වභාවයයි. ලෝකයේ සෑම රටකට ම එහි බලපෑම දැනී තිබේ. ගෝලීය ව ඒකාබද්ධ වූ ධනවාදය ගෝලීය ව ඒකාබද්ධ වූ විනාශයක් නිර්මානය කර ඇත.

මෙම සතියේ දී නිකුත් කර ඇති ආර්ථික සංඛ්‍යාලේඛන මාලාවක් මෙම විශ්ලේෂනය තහවුරු කරමින්, යුරෝපයේ නය අර්බුදය ජර්මනියේ ආර්ථික වර්ධනය මගින් මගහැරිය හැකි ය, නැතිනම් සමස්තයක් වශයෙන් බටහිර දුබලතා ආසියාවේ ශක්තිමත් නිෂ්පාදනය මගින් ප්‍රතිතුලනය කල හැකි යයි ධනේශ්වර විස්තර විචාරකයන් පල කරන බලාපොරොත්තු, ගෙවී යන සෑම දිනක ම සුන්වෙමින් තිබේ.

සත්‍ය වශයෙන් නම්, බොහෝ කොටම පහත වැටෙන නිර්යාත හේතුවෙන් ජර්මනිය හා චීනය යන දෙරටෙහි ම නිෂ්පාදනය හැකිලෙමින් තිබේ. 22දා පලවූ සංඛ්‍යා‍ලේඛන අනුව, ජර්මනියේ සංයුක්ත මිල දී ගැනීමේ කලමනාකරුවන්ගේ දර්ශකය මාසයකට පෙර තිබූ 49.3 සිට ජූනියේ දී 48.5ට වැටෙමින් අවුරුදු තුනකට පසු පහලම අගය වාර්තා කලේ ය. එච්එස්බීසී චීන නිෂ්පාදන මිල දී ගැනීමේ කලමනාකරුවන්ගේ දර්ශකය ද ඒ ආකාරයෙන් ම මැයි මස පැවති 48.8 සිට ජූනියේ දී 48.1ට පහත වැටුනි. එහි 50ට වඩා පහල අගයක් වාර්තාවුන අඛන්ඩ අටවැනි මාසය සලකුනු කරන්නේ, හැකිලීමකි.

අනෙකුත් ප්‍රධාන "සංවර්ධනය වෙමින් පවතින” ආර්ථිකයන් ද ඊට වඩා සතුටුදායක නැත. වසරේ පලමු කාර්තුව තුල ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය වූයේ සියයට 5.3කින් පමනි. එය අවුරුදු නවයක් තුල එහි පහල ම වෘද්ධි අනුපාතය වන අතර 2011න් පසු ආසන්න වශයෙන් ඒකක හතරක වැටීමකි. බ්‍රසීල මධ්‍යම බැංකුව පසුගිය සතියේ ප්‍රකාශ කලේ කලින් වසර සමග සසඳන විට විය හැකි පරිදිම රටේ ආර්ථිකය අප්‍රේල්හි දී හැකිලුනු බවයි. එය 2009න් පසු එවැනි පලමු වාර්ෂික වැටීම යි.

ලෝක ධනවාදයේ මූලස්ථානය වන එක්සත් ජනපදය තුල, පුලුල් වශයෙන් නොපවතින "සුවවීමක්” පසුපසින් එන පැහදිලි පිරිහීමක්, ඔබාමා පාලනය විසින් මීපැනි තැවරූ වචනවලින් මුලුමනින් ම වසා දැමීමට උත්සාහ කරයි. ආර්ථික නීරෝගිතාවයේ සියළලු ම මූලික දර්ශක මාර්තුවේ සිට මන්දගාමී වී ඇතැ යි ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව වාර්තා කලේ ය. ඒ අතර ඊට ප්‍රතිකර්ම වශයෙන් මේ දක්වා ෆෙඩරල් ආන්ඩුව කිසිවක් කර නැති බව ද එය පැහදිලි කලේ ය.

දැවන්ත විරැකියා තත්වයන් යටතේ සංගත, බඳවාගැනීම් අවුරමින් සිටින අතර බැංකු, නයදීම් කපා හරිමින් සිටී. මෙම සතියේ, විරැකියා ප්‍රතිලාභ සඳහා නව ඉල්ලීම් ඉදිරිපත් කරන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව බොහෝ ඉහල මට්ටම්වල පවතී. නව ඉල්ලීම් සඳහා සති හතරක ජංගම අනුපාතය දෙසැම්බර් මාසයෙන් පසු එහි ඉහලම මට්ටමේ පවතී. කම්කරු දෙපාර්තමේන්තුවට අනුව, අප්‍රේල් රැකියා අවස්ථා සංඛ්‍යාව 325,000කින් පහල වැටුනි, එය 2008න් පසු විශාල ම තනි මාසික පහල යාම යි.

සැබවින් ම යුරෝපය එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇදී යයි. ස්පාඤ්ඤ බැංකු ඇපදීමෙන් පසු කොටස් වෙලඳපොලේ ඇතිවූ පිම්බීම පැවතු‍ෙන් යන්තම් එක් දිනක් පමනි. මූල්‍ය කවයන් තුල මුල්බැසගත් දොම්නස් සහගත හැඟීම යලි වෙලඳපොලවල් අරක්ගත්තේය. දේශපාලන අංශභාගය පිලිබඳ සාමාන්‍ය හැඟීම මෙක්සිකෝවේ පැවති ජී20 සමුලුවේ අවාසානවන්ත නිගමනයන් විසින් සංකීර්න කෙරුනි. එය යුරෝපය මුල්කරගත් පොදු එකඟතාවයක් සහිතව නිමාවනු ඇතැයි අපේක්ෂා කල නමුත් සැබවින් ම අවසන් වුනේ ප්‍රධාන බලවතුන් අතර විසංවාදය උග්‍ර කරමිනි.

පාලක කවයන් තුල ව්‍යාකූලතාව මධ්‍යයේ හා ප්‍රධාන බලවතුන් අතර කටුක හා වර්ධනය වන ගැටුම් හමුවේ මෙම අර්බුදයට මුහුන දිය යුත්තේ කෙසේ ද යන ඒකායන සංකල්පයක් ධනේශ්වරයට ඇත: එනම්, කම්කරු පන්තියට එරෙහිව නිර්දය, අධිෂ්ඨාන සහගත හා අවසානයක් නැති ප්‍රහාරයක් සමගින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුය යන්න යි. සත්තකින් ම ධනසම්පත් පහල සිට ඉහලට මාරුකරන නූතන ඉතිහාසයේ දැවැන්තම ක්‍රියාවලිය පෙලගස්වමින් එය, බැංකුවලට ඇපදීම හා කවදාවත් නො වූ කප්පාදු සමග අර්බුදයේ එක් එක් අවධියකට ප්‍රතික්‍රියා කර ඇත. අර්බුදය සමතයකට පත්කිරීමේ ක්‍රියා දාමය ගමන් කරනු ඇත්තේ අති දරුනු පන්ති යුද්ධයක් හරහා පමනි.

ග්‍රීසියේ සිදුව ඇත්තේ කුමක් ද යන්න, සෑම රටක් තුල ම සූදානම් කෙරෙමින් හා ක්‍රියාත්මක කෙරෙමින් පවතින්නේ කුමක් ද, යන දේ ලෝක කම්කරු පන්තියට පෙන්වා දෙයි. රටේ තරුනයන්ගෙන් භාගයකට වඩා සංඛ්‍යාවක් ද ඇතුලුව ශ්‍රම බලකායෙන් හතරෙන් එකක් රැකියා විරහිත ය. 20දා ඇතන්ස්හි නොමිලේ දෙන භාන්ඩ සඳහා දහස් ගනනක් පෙලගැසෙමින් සිටිනු දක්නට ලැබුනි. එය 1930 ගනන්වල මහා අවපාතය සිහිගැන්වූ දර්ශනයකි.

21දා, ගෝලීය කොටස් දර්ශක සම්පාදකයෙකු වන එම්එස්සීඅයි ආයතනය, ග්‍රීසියේ ආර්ථිකය පුනරීක්ෂනය මත තබා ඇතැ යි පවසමින්, දියුනු රටක තත්වයේ සිට "දියුනුවෙමින් පවතින” රටක තත්වයට බාල්දු කිරීමට ඉඩ ඇති ලෝකයේ පලමු රට බවට එය පත්වීමට ඇති ඉඩකඩ ගැන අනතුරු ඇඟවීය.

කෙසේ නමුත් "දියුනුවෙමින් පවතින” යන ප්‍රකාශය තත්වය පිලිබඳ මුලුමනින් ම වැරදි අර්ථකතනයකි. යෝධ බැංකු හරහා ලෝක ධනවාදය, ග්‍රීක කම්කරුවන්ගේ ජීවන තත්වයන්හි කම්පා කරවන උඩුයටිකුරු පෙරලීමක් සිදු කරමින් සිටියි. එක් ආර්ථික විචාරකයෙකු සටහන් කල පරිදි, "එක්තරා විදියකට ඔවුන්ට ඇත්තෙන් ම පුපුරාගිය සංවර්ධිත වෙලඳපොලක නව කාන්ඩයක් අවශ්‍ය ය”.

2008 ජනවාරියේ දී, ලේහ්මන් බ්‍රද'ස් බිඳවැටීමට මාස කීපයකට පෙර, හා එක්සත් ජනපදයේ නිවාස වෙලඳපොල බුබුල පුපුරායාමේ අද්දර දී, ලෝක සමජාවාදී වෙබ් අඩවිය මෙසේ විස්තර කලේ ය, "ලෝක මූල්‍ය වෙලඳපොලේ කැලඹුම හුදෙක් ප්‍රසාංගික පහල වැටීමක ප්‍රකාශනයක් නොවන අතර මේ වන විටත් ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවර කරමින් පවතින ප්‍රගාඪ පද්ධතිමය කැලඹීමකි.” කෙසේ නමුත් නව ගෝලීය සමතුලිතතාවක්, ලෝක ආර්ථික වර්ධනය සඳහා නව පදනමක් සොයා ගනු ඇතැයි යනුවෙන් ධනේශ්වර විචාරකයන් ප්‍රවර්ධනය කල බලාපොරොත්තු සුන් කෙරී ඇත. වචනයේ ප්‍රගාඪම අර්ථයෙන් මෙම අර්බුදය, ලෝක ධනවාදී පද්ධතියේ අර්බුදයකි.

අර්බුදයේ ගෝලීය ස්වභාවය කම්කරු පන්තියෙන් ගෝලීය ප්‍රතිචාරයක් ඉල්ලා සිටි යි. සෑම රටකම කම්කරු පන්තිය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්, එනම් ධනේශ්වර නිෂ්පාදන පද්ධතිය සමග ඔවුන්ගේ පොදු සම්බන්ධතා මගින් එක්සත් කෙරෙන්නේය යන්න මාක්ස්වාදයේ මූලික ඉගැන්වීමකි. මෙය කවරදාකටත් වඩා අද දිනයේ සත්‍යයකි. අසාර්ථකව ඇති තම ආර්ථික පද්ධතිය නිර්දය ලෙස රැකගැනීම පිනිස පාලක පන්තීන් දරන උත්සාහය මගින් ගෙවී යන දිනක් පාසාම ඉස්මතු කෙරෙන්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ දැවෙන අවශ්‍යතාවයි.

ඇන්ඩ්‍රෙ ඩැමෝන්

Share this article: