චිකාගෝ අවනඩුව: “ත්‍රස්තයට එරෙහි යුද්ධය” සියරට පැමිනෙයි

The Chicago frame-up: The “war on terror” comes home

15 june 2012

පසුගිය මාසයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝහි නේටෝ සමුළුව අතරතුර දී “ත්‍රස්තවාදී” කුමන්ත්‍රන චෝදනා මත විරෝධතාකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ට එරෙහි නඩු විභාග සමස්ත කම්කරු පන්තියට ම කෙරෙන අනතුරු ඇඟවීමකි. එය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අතරතුර දී ගොඩනැගූ රාජ්‍ය බලය දැඩි ලෙස දේශීය විරුද්ධ පාක්ෂිකයන්ට එරෙහිව යොදාගැනීමේ අනිටු පියවරක් සලකුනු කර යි.

මෙම සතියේ දී පුද්ගලයන් පස්දෙනා උසාවියට ඉදිරිපත් කල නමුත් පැමිනිලිකරුවන් ඔවුන්ට එරෙහි චෝදනා පිලිබඳව මොන ම තොරතුරක් හෝ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. චෝදනාවක් නොමැතිව ඔවුහු ආසන්න වශයෙන් මසක කාලයක් රඳවා තබා ඇත. නඩුවේ මුලසන දරන විනිසුරු පවා පැමිනිලිකරුවන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකිරීම “පුදුම සහගත ” යයි පැවසීය. දැන් එය ජූලි 2වැනිදා නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

නඩු විභාගයේ ප්‍රධාන ඉලක්කය බව පෙනෙන්නට තිබෙන්නේ, අත් පා විලංගු ලූ චූදිතයන් භයානක අපරාධකරුවන් ලෙස ඉදිරිපත් කිරීම ය. ප්‍රධාන චූදියන් තිදෙනාට ඩොලර් මිලියන 1.5ක් වන අසාමාන්‍ය ඇපය ද ඇතුළුව, ඔවුන් තබා ඇති තත්වය, ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රධාන කාරනාවක් ලෙස නඩුව ඉදිරිපත් කිරීමට ද උපකාරී වෙයි.

චූදිතයන් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ආඥාපනත් යටතේ චෝදනා ලබනු ඇති බව ඉලිනොයිස් ප්‍රාන්ත නීතිපති ඉඟිකර ඇත. සමාන නීති සමුදායන් සමග මෙම ආඥා, අනෙකුත් ප්‍රාන්ත හා එක්සත් ජනපදය තුල 2001 සැප්තැම්බර් 11වැනිදා ප්‍රහාරයෙන් පසු සම්මත කෙරුනි. “ත්‍රස්තවාදයට” අයත්වන්නේ මොනවාදැ යි යන්න නිර්වචනය කිරිමේ දී විශේෂයෙන් ම ඉලිනොයිස්වල නීතිය විශාල පරාසයක පැතිර යයි. උදාහරන වශයෙන්, ඒ අනුව, පශු සම්පතට හා භව භෝගවලට සැලකිය යුතු හානියක් කරන ඕනෑ ම ක්‍රියාවක් පවා එයට ඇතුලත් ය. එක් චූදිතයෙකුගේ නීතිඥයා පැවසූ ආකාරයට, “මීවදයක් විනාශ කිරීම මත ඔබට ත්‍රස්තවාදී චෝදනා එල්ල කල හැක”

ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ, චූදිතයන් පස්දෙනාගෙන් තිදෙනෙක්, එනම් ජාඩ් චේස්,බ්‍රෙන්ට් බෙටෙර්ලි හා බ්‍රයන් චර්ච් ඩෙමොක්‍රටික් පක්ෂ ආයතනවලට එල්ල කිරීමට තෙල් අඩංඟු ගිනි බෝම්බ සකස් කරමින් සිටියේ යයි ඉලිනොයිස් ප්‍රාන්ත නීතිපති ඇනිටා අල්වාරෙස් පැවසුවා ය.

සෙබස්තියන් සෙනාකීවික්ස් හා මාරක් නේවීම් යන අනෙක් පුද්ගලයන් දෙදෙනා එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් සඳහා ත්‍රස්තවාදී චෝදනා ලබති. එවැනි කිසිවක් නොතිබිය දී සෙනාකීවික්ස්, පුපුරන ද්‍රව්‍ය ඇතැ යි කයිවාරු ගැසී ය. ප්‍රතිඵලය ව්‍යාජ බෝම්බ තර්ජනයක් ඇතිකිරීමේ චෝදනාවකට ලක්වීම යි. නේවීම් පයිප්ප බෝම්බයක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල ලැයිස්තුවක් සැකසී ය. එහි ප්‍රතිඵලය පුපුරන ද්‍රව්‍ය “සන්තකයේ තබාගැනීමට තැත්කිරීමේ” චෝදනාවකට ලක්වීම යි.

නඩු තුන හා වගඋත්තරකරුවන් පස්දෙනා එකට කැටිකරන්නේ, “මෝ ” හා “ග්ලවුස්” යන වෙස්වලාගත් පොලිස් ඔත්තුකරුවන් දෙදෙනාගේ සම්බන්ධය යි. මාස කීපයකට පෙර ඔවුන් චිකාගෝ වාඩිලාගනු සංවිධානය විනිවිද තිබුනි. කායික සාක්ෂි ඉදිරිපත් කලේ හෝ නඩු ගෙතීමට චෝදනා ඉදිරිපත් කර තිබුනේ හෝ නැත. තව ද, සැහසිකම් සඳහා වන කුමන හෝ සැලැසුමක් මුළුමනින් ම පොලිස් ඔත්තුරුවන් විසින් උසිගන්වන ලද ඒවා බව පෙනේ.

අත්අඩංගුවට මග පෑදූ මෙහෙයුම විරෝධතාව අතරතුර පුළුල් පොලිස් බලමුළු ගැන්වීමක කොටසකි. පොලීසිය වහාම චිකාගෝ නගර කේන්ද්‍රය දින හතරකට වසා දැමූ අතර පෙලපාලිකරුවන් 100ක් අත්අඩංගුවට ගත්හ. විරෝධතාකරුවන්ට ඉවබව නැතිව පහර දුන්හ.

ත්‍රස්තවාදී අවනඩුව ඇතුළුව චිකාගෝවේ සිදුවීම්වලට ඔබාමා පාලනයේ ප්‍රතිචාරය වූයේ, පොලීසියට ප්‍රශංසා කිරීම යි. පොලීසිය,"සැලකිය යුතු පීඩනයක් හා බොහෝ පිරුක්සුම් යටතේ විශිෂ්ට කාර්යක් ඉටු කලේ ය” යි ඔබාමා කීවේ ය. එසේ කිරීමෙන්, ඔහු ඔහුගේ පාලනය කඩා පැනීම අනුමත කල බව තහවුරු කලේ ය.

පොලිස් ප්‍රකෝපකරන ක්‍රමවේදය මත වාරුවීම ඇමරිකානු සමාජය තුල ඉරිතලන සමහන් කල නොහැකි ගැටුම් පිලිබිඹු කර යි. ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ මහා පක්ෂ දෙක මුළුමනින් ම කැපවුන ප්‍රතිපත්තිවලට, එනම් රැකියා හා සමාජ වැඩසටහන්වලට පහරදීම, බැංකුවලට ඇපදීම හා අවසානයක් නොමැති යුද්ධවලට, එරෙහිව කම්කරු පංතියේ ක්‍රෝධය නැගෙමින් තිබේ.

මෙම සමාජ ගතිකය ම, 2,000 ජනාධිපතිවරනය කොල්ලකෑමෙන් ඇරඹුන, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” වර්ධනය කෙරුනු දශකය තුල ඇමරිකානු ධනවාදයේ ප්‍රගාඪ ඛාදනය අවධාරනය කර යි. සැප්තැම්බර් 11වැනිදා ප්‍රහාරයේ සිට, පාලක පන්තිය, පලමුව බුෂ් යටතේ හා දැන් ඔබාමා යටතේ විශාල ලෙස ආන්ඩුවේ බලතල පුළුල් කර ඇත. "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” එක්සත් ජනපදය තුල පොලිස් ආන්ඩුවක නීති රාමුව නිර්මානය කිරීමේ පියවර සඳහා සියළු ම යුක්තිසහගත කිරීම් ඇතුලත් යෙදුම විය.

ද්විපාක්ෂික සහයෝගය සහිතව බුෂ් පාලනය, ආන්ඩුවේ ඔත්තු බැලීමේ බලය ව්‍යාප්ත කල, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කල, එක්සත් ජනපදය පාලනය කරන හමුදා අනදෙන මඩුල්ලක් නිර්මානය කල, දේශමාමක පනතේ නීතිරීති අධීක්ෂනය කලහ. එය වධහිංසා කිරීමට, යුද වැදීමට හා ඇමරිකානු මහජනතාව ගැන ඔත්තු බැලීමට විධායක බලය ඓතිහාසිකව පෙර නොවූ විරූ තරම් දුරකට පුළුල් කිරීම තහවුරු කලේ ය. ජාතික ආරක්ෂක ඒජන්සිය එක්සත් ජනපද පුරවැසියන්ගේ තොරතුරු හුවමාරුව නියාමනය සඳහා නීති විරෝධී ක්‍රමවේදයක් ඇති කලේ ය.

ඔබාමා පාලනයේ ප්‍රතිපත්ති ද්විපක්ෂ ක්‍රමයේ සීමාවන් ඇතුලත එක්සත් ජනපදය තුල පොලිස් පාලනයක් දෙසට යාමට දරන උත්සාහයේ අසාර්ථකත්වය හා බංකොලොත්කම ප්‍රදර්ශනය කර ඇත.

ඔබාමාගේ ධවල මන්දිරය එහි පූර්වගාමියාගේ නීතිවිරෝධී ක්‍රියාවන් ගැන නඩු දැමීම කෙසේ වෙතත් ඒවා විභාග කිරීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට පවා විරුද්ධ වී ඇති අතර ඒ වෙනුවට කාලය හෝ අවකාශය තුල කිසිදු බාධාවකින් තොර ව ගෝලීය යුද්ධය තුල එක් "සටන් බිමක්” ලෙස එක්සත් ජනපදය හැසිරවීමට තල්ලුවෙමින් සිටී. එය චෝදනා හෝ නඩු විභාගවලින් තොරව එක්සත් ජනපද පුරවැසියන් දින නියමයක් නැතිව හමුදා බාරයේ රඳවා තැබීමට ඉඩ ලබාදෙන 2012 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතේ ඡේද අධීක්ෂනය කලේ ය.

ඉතා ම මෑත දී ඔබාමා, කිසි ම නීතිමය විමර්ශනයකින් තොරව එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය කිරීමේ ජනාධිපති අයිතිය තහවුරු කරනු ලැබීය. නීතිපති එරික් හෝල්ඩර් නියමිත ක්‍රියාදාමයේ ව්‍යවස්ථාමය අයිතිය, එනම් විධායකයේ අත්තනෝමතික පාලනයට එරෙහිව මූලික ආරක්ෂාව, ජනාධිපතිගේ හා ඔහුගේ කිට්ටු උපදේශකයන්ගේ අභ්‍යන්තර සාකච්ඡාවක් මගින් සැපිරේ යයි තර්ක කර ඇත. මෙම පදනම මත, මුළුමනින් ම ජනාධිපතිගේ කීම මත, ඕනෑ ම අයෙකු ඝාතනය කල හැක. එසේ නැත්නම් මූලික අයිතීන් ඉවත් කල හැක.

මෙම සිදුවීම් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අනතුරු ඇඟවීම්වල නිවැරදි භාවය සනාථ කර යි. "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අතරතුර දී ගොඩනැගූ ප්‍රජාතන්ත්‍ර විරෝධී සංවිධානවල ප්‍රධාන ඉලක්කය ඇමරිකානු මහජනතාව ම බව හා නිල දේශපාලනයට පිටත දී පමනක් එයට ප්‍රකාශනයක් සොයා ගත හැකි සමාජ විරෝධයේ නැග ඒමෙන් බියපත් පාලක පන්තිය බියගැන්වීම් හා අවනඩු මගින් එය තලා දැමීමට උත්සාහ කරන බව එමගින් පැහැදිලි කර දෙනු ලැබුනි.

ජෝසෆ් කිෂෝර්

Share this article: