ග්‍රීසියට ඇති ඉදිරි මග කුමක් ද?

What way forward in Greece?

19 June 2012

නව ප්‍රජාතන්ත්‍ර නායක ඇනටෝනිස් සමරාස්, යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව යන ත්‍රිත්වය සමග එකඟවී ඇති කුරිරු කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම පිනිස ග්‍රීසිය තුල හවුල් ආන්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වෙයි.

නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය බලයට පත්වීම අන් සියල්ලටත් වඩා ප්‍රධාන විපක්ෂය ලෙස මතුවී ආ සිරිසා සංවිධානයට එල්ල වන චෝදනාවකි. එය කියා සිටියේ යුරෝපීය සංගමය හා ග්‍රීක ධනේශ්වරය පෙරලා දමන අරගලයකින් තොරව කප්පාදු නියෝගවලට විරෝධය පෑ හැකි බවය.

පවත්නා දේශපාලන සංස්ථාපිතය තුලින් ත්‍රිත්වයේ හා බැංකුවල නියෝගවලට එරෙහිව සටන් වැදිය හැකි කිසිදු මගක් නොමැතිකම ග්‍රීසියේ මහා මැතිවරනයෙන් නිර්දය ලෙසට සනාථ කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රයේ ජයග්‍රහනය, අමු අමුවේ කප්පම් ඉල්ලීමේ ව්‍යාපාරයක අවසන් ප්‍රතිපලය විය. එක් යුරෝපීය නායකයෙකුට පසුව තවෙකෙක් වශයෙන්, ත්‍රිත්වය සමග කප්පාදු වැඩසටහනට එකඟව ගිවිසුමකට එලඹි ප්‍රධාන පක්ෂය වන, නව ප්‍රජාතන්ත්‍ර පක්ෂයට ඡන්දය නොදුන්නොත්, යුරෝ කලාපයෙන් ග්‍රීසියට පිටමං වීමට බල කෙරෙමින් විනාශකාරී ආර්ථික කඩාවැටීමකට රට යොමු කෙරෙන්නාවූ, ග්‍රීක බැංකුවලට ඇප දීමේ අරමුදල් අත්හිටුවන බවට තර්ජනය කලහ.

එසේ වුවත් නිල වශයෙන් එම සම්මුතියට විරෝධය පල කල පක්ෂ බහුතරයක් ඡන්ද හිමිකර ගැනීමට සමත් විය. සිරිසාහි ඡන්ද ප්‍රතිශතය සියයට 27ක් බවට පත් විය. වාර්තාගත සියයට 37.5ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මෙය සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහිම පුලුල්ව පැතිර ඇති පිලිකුල මෙන්ම ඡන්දය දීම සඳහා සිය ගම් බිම්වල සිට නගර කරා යාමට හා ඒමට ප්‍රවාහන වියදම් දරාගැනීමට ඡන්දදායකයින්ට පැවති නොහැකියාව ද පිලිබිඹු කලේය.

ගිවිසුමට විවෘතව ම සහාය දැක්වූ එනම්, පැසොක් හා නව ප්‍රජාතන්ත්‍ර වැනි පක්ෂවලට, ඡන්දය පාවිච්චි කල අයගෙන් සියයට 40ක් පමනක් ඡන්දය දී තිබුන නමුත් මෙම ගර්හිත පක්ෂ දෙක දැන් ආන්ඩුවක් පිහිටුවීම පිනිස සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි. ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන නීති යටතේ නව ප්‍රජාතන්ත්‍රය ජයග්‍රහනය කල පක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ ආසන වලින් 50ක ප්‍රසාද දීමනාවකට හිමිකම් පාන බැවින් ඊට පින්සිදු වන්නට ඔවුන්ට පාර්ලිමේන්තු බහුතරයක් හිමිව තිබේ. එවන් ආන්ඩුවකට එහි ප්‍රතිපත්ති සඳහා බහුතර මහජන සහායක් හිමි නොවන බැවින් ධනේශ්වරය හා කම්කරු පන්තිය අතර ගැටුමකට මග පෑදීම පමනක් සිදුවනු ඇත.

තම තත්වය අඩමාන බව සමරාස් දැන සිටියි. එබැවින් ඔහු ප්‍රජාතන්ත්‍ර වම, සිරිසාවෙන් කැඩීගිය කන්ඩායමක් හා තවත් කුඩා පක්ෂයක් ඇතුලු "හැකි තරමක් පක්ෂ එකතුකරගත් ගැලවීමේ ආන්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක නිරත වන අතර ගිවිසු‍ෙම් කොන්දේසි යලි සාකච්ඡා කරන බව ද නිවේදනය කරයි.

තම නිර්දේශයන්හි සැලකිය යුතු වෙනසක් ඇතිවීමේ කිසිදු හැකියාවක් නැති බව යුරෝපීය නායක‍යෝ කියා සිටින අතර මතිවරන පූර්ව සිය තර්ජන අලුත් කරති. මෙක්සිකෝවේ ජී20 සමුලුවේදී මර්කෙල් දැඩි ලෙස මෙසේ පැවසුවාය. "වැදගත් වන්නේ නව ආන්ඩුව, කලින් දී ඇති පොරොන්දු වලට ගරු කල යුතුය. ප්‍රතිසංස්කරන පියවරයන්හි කිසිදු ලිහිල් කිරීමේ ඉඩක් ඇත්තේ නැත.”

ඡන්දදායකයින්ගෙන් බහුතරයක් තවමත් ගිවිසුම අනුමත කිරීම ප්‍රතික්ෂේප කරන අතර ඡන්දය ග්‍රීසියේ හෝ යුරෝපීය සංගමයේ අනාගතය තීරනය කරන්නේයයි සැලකෙන කිසිවකට බැඳීම පිලිකෙව් කිරීම, 2009 පටන් ක්‍රියාවට නගන ලද රුදුරු කප්පාදු මගින් අවුලුවන ලද ගැඹුරු සතුරුකම් පිලිබඳ සාක්ෂියකි. කෙසේ වෙතත් සිරිසා මෙම විරුද්ධත්වය දේශපාලන ආවෘත අන්තයකට හරවා යවයි.

සිය මැතිවරන ව්‍යාපාරය පුරාම සිරිසා නායක ඇලෙක්සිස් ට්සිප්රාස්, තමන් යුරෝපීය සංගමයට කැපව සිටින බවටත්, බදු එකතු කිරීම ඉහල නංවමින් ග්‍රීසියේ නය ආපසු ගෙවන බවටත් පාලක ප්‍රභූවට සහතික කල අතර ඒ වෙනුවෙන් කුඩා සහන හා ආපසු ගෙවීමේ කාලය දික් කිරීමක් ඉල්ලා සිටින බව පැවසීය. කම්කරුවන්ට ඔහු පැවසුවේ යුරෝපීය සංගමයට හා ධනවාදයට විරුද්ධ වීම ගෝචර නොවන බවත් යථාර්තවත් නැති බවත් හා එය ජාතික සියදිවි නසාගැනීමේ මගක් බවත්ය.

මෙය පිලිබිඹු කරන්නේ, සිරිසා ආමන්ත්‍රනය කරන වරප්‍රසාදිත මධ්‍යම පන්තික ස්ථරයන්ගේ දේශපාලන මිත්‍යාවන් හා පන්ති අවශ්‍යතා ය. ග්‍රීසිය තුල දිගහැරෙමින් තිබෙන දේශපාලන ව්‍යසනය පිලිබඳව ඔවුන් කෝපයට පත්ව සිටින නමුත්, සිරිසාහි නායකයින් එයට එරෙහිව සමාජවාදී මූලෝපායක් සඳහා සටන් වැදීමට ඓන්ද්‍රීයව ම සතුරු වෙති. එනම්, යුරෝපීය සංගමයටත් ධනවාදයටත් එරෙහිව අරගලයක් තුල සමස්ත යුරෝපීය කම්කරු පන්ති‍ෙය්ම පුලුල් බලමුලු ගැන්වීමකි.

සිරිසා දැන් කීකරු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කරයි. 18දා ට්සිප්රාස්, නව ප්‍රජාතන්ත්‍ර ආන්ඩුවක් "ජනතාවගේ වරමට” අනුකූල වන්නේ යයි අභූත ප්‍රකාශයක් කලේය. විපක්ෂය "විවේචනශීලී හා වගකිවයුතු එකක් විය යුතු අතර මම සමරාස්ට අපි එසේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවෙමි” යයි ප්‍රකාශ කලේය.

පක්ෂඝාතවී ඇති සිරිසාහි පිලිවෙත ද ජාත්‍යන්තරව ඊට ලැබුනු ව්‍යාජ වම්මුන්ගේ සහයෝගය ද හමුවේ, ග්‍රිසියේ දී අත්දකිනු ලැබූ අන්දමට කප්පාදුවට එරෙහිව යුරෝපය පුරා මහජන විරෝධය දැල්වෙද්දී පවා පාලක පන්තියට ක්‍රියාකිරීමේ අවකාශයක් ලබාදී තිබේ. කප්පාදු පිලිවෙත් සමග සහයෝගීවූ පක්ෂ, ඔවුන්ගේ නිල පැහැය කුමක් වුවත්, ඡන්ද විමසීම්වල දී පොදුවේ දඬුවමට ලක්වෙයි. ස්පාඤ්ඤයේ පීඑස්ඕඊ, පෘතුගාලයේ සමාජවාදී පක්ෂය, ඉතාලියේ බර්ලුස්කෝනිගේ ෆෝර්සා හා ප්‍රන්සයේ චාෂෙස්කුගේ යූඑම්පී එසේ ගොදුරු වූවන් අතරට ගැනේ. කෙසේ වෙතත්, ඔවුන් වෙනුවට පත්වූ සෑම ආන්ඩුවක්මත් තව තවත් කප්පාදු පෙරට ගෙන යන අතර කම්කරු පන්තියේ දේශපාලන ප්‍රහාරයකටත් දැඩි විරෝධයකටත් මුහුන දී සිටිති.

මේ හේතුව නිසා, තවත් දරුනු කප්පාදු හා ග්‍රීසිය යුරෝ කලාපයෙන් දොට්ට වැටීමට බලකෙරෙන ආකාරයට එරට දී ගත් පියවර මගින් දේශපාලන හා ආර්ථික ව්‍යසනයක් වැලැක්විය හැකිවනු ඇති බවට පාලක කවයන් අතර කිසිදු විශ්වාසයක් ඇත්තේ නැත.

ග්‍රීසිය තුල නව ප්‍රජාතන්ත්‍රයේ ජයග්‍රහනය නොතකා වෙලඳපොලවල් තියුනු ලෙස පහත වැටුනි. ස්පාඤ්ඤයේ හා ඉතාලියේ බැඳුම්කර එක දිගටම සමපේක්ෂකයින්ගේ ඉලක්කය බවට පත්ව තිබෙන අතර ජර්මනියේ හා ප්‍රන්සයේ බැංකු කොටස් අගය පහත වැටුනි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ප්‍රධානී චාල්ස් ඩලාරා ජී20 නායකයින්ට අනතුරු අගවමින් කියා සිටියේ, "සිව් වසරක් තුල දෙවන වතාවටත් ගෝලීය පසුබෑමක අන්තරාය දැඩි යථාර්තයක්ව පවතියි.” යනුවෙනි.

එවන් තතු හමුවේ සිරිසාහි හා එහි සහචරයින් කප්පාදුවෙන් ඉවත් නොවිය යුතු බවටත් කම්කරු පන්තියට තව තවත් රුදුරු ප්‍රහාර එල්ල කල යුතු බවටත් පාලක පන්තියට දැනුම් දෙයි. මෙම කොන්දේසි පොලිස් මිලිටරි මර්දනය ද ඇතුලු කුමන හෝ අවශ්‍ය ක්‍රමවේදයන් මගින් ක්‍රියාවට නැගිය යුතුය.

යුරෝපය පුරා කම්කරුවන් හා තරුනයින් ග්‍රීසියේ මූලික පාඩම වටහා ගත යුතු අතර දේශපාලන ගමන් මගෙහි තීරනාත්මක වෙනස්කම් ඇතිකරගත යුතුය. ග්‍රීසියේ කටුක අත්දැකීම තහවුරු කරන්නේ, ඉදිරියේ ඇති කර්තව්‍යය, සිරිසා වැනි ව්‍යාජ වාම පක්ෂවල නායකත්වය යටතේ යුරෝපීය සංගමය ප්‍රතිසංස්කරනය හෝ ව්‍යවස්ථාපිත පක්ෂවලට සහන ඉල්ලා බලපැම් දැමීම නොවන බවයි.

මහා ව්‍යාපාරිකයට, එහි පක්ෂවලට හා ආන්ඩුවලට මෙන්ම ඔවුන්ගේ සාමුහික බලකාරයන් වන යුරෝපීය සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද එරෙහිව දේශපාලන හා වෘත්තීය ප්‍රහාරයක් බලමුලු ගැන්වීම පිනිස කම්කරු පන්තියේ නව පක්ෂ ගොඩනැගිය යුතුය. එල්ලය වනු ඇත්තේ, එක්සත් සමාජවාදී යුරෝපීය සමූහාන්ඩුවක් තුල සංවිධානය කෙරෙන කම්කරුවන්ගේ ආන්ඩු පිහිටුවීම ය. එවන් අව්‍යාජ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී නායකත්වයක්, එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට නොඅඩු කිසිවක් ප්‍රමානවත් වන්නේ නැත.

ක්‍රිස් මාස්ඩන්

Share this article: