ශ‍්‍රී ලංකාව ඇමරිකාව දෙසට නැඹුරු වෙයි

Sri Lanka tilts toward the US

By Sarath Kumara, 23 June 2012

චීන බලපෑමට යටින් වල කැපීම සඳහා ඔබාමා පරිපාලනය ආසියාව දෙසට තම රාජ්‍ය තාන්ති‍්‍රක හා මූලෝපායාත්මක බලපෑම උත්සන්න කිරීමත් සමග ම ලංකාව තම හැඩ ගැස්ම වෙනස් කරමින් - බීජිංවලින් තරමක් ඈත් වෙමින්, වොෂිංටනය දෙසට තම නැඹුරුව වැඩි කරගැනීමට උත්සාහ දරමින් සිටී.

මෙම මාසය මුල සිංගප්පූරුවේ පැවති ෂැංග්රි-ලා ආරක්ෂක සාකච්ඡාවල දී මෙම උපාමාරුව වඩාත් ඉස්මත්තට පැමිනියේ ය. මෙම සාකච්ඡා අතරවාරයේ ජූනි 5 ඇමරිකානු යුද ප‍්‍රධානීන්ගේ ඒකාබද්ධ මන්ඩලයේ සභාපති ජෙනරල් මාටින් ඩෙම්ප්සේ සමග ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ ඇමති ජී.එල්. පීරිස් සාකච්ඡ‍ා පැවැත් වූ හ. ශ‍්‍රී ලංකාවේ ඉල්ලීම පිට ලංකාවට මිලිටරි ආධාර සැපයීමට, විශේෂයෙන්ම නාවික හමුදාවට, ඩෙම්ප්සේ එකඟ වී ඇත.

සාකච්ඡා ගැන විස්තර පලවී ඇත්තේ ස්වල්පයකි. නමුත් "ආරක්ෂක නිලධාරීන්ගේ හැකියාවන් දියුනු කිරීම සඳහා ඉහල පුහුනු අවස්ථාවක්” ලබා දෙන ලෙස රාජපක්ෂ කල ඉල්ලීමට එක්සත් ජනපදය හා ඉන්දියාව "සාධනීයව ප‍්‍රතිචාර” දැක්වූ බව ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සඳහන් කලේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකි.

වාර්තාව තවදුරටත් කියා සිටියේ "දූ පත් රාජ්‍යයක් ලෙස ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමට ශී‍්‍ර ලංකාවේ නාවික හමුදාවට ඉටු කල හැකි අතිශය වැදගත් කි‍්‍රයාකලාපය පිලිගත් සාකච්ඡාව ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා ඒකාබද්ධව වැඩ කිරීමට එකඟත්වය” දැක්වූ බව ය.

සරලව කියන්නේ නම්, "ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම” යන්න යොදාගෙන ඇත්තේ වර්ධනය වන නාවික සහයෝගීතාවයේ ඇත්ත අරමුන ව්‍යාකූල කිරීමට ය. 2020 වන විට ආසියානු පැසිෆික් කලාපයේ තිබෙන ඇමරිකානු නාවික සේනාංක සියයට 60 දක්වා වැඩි කරන බව සිංගප්පූරු සාකච්ඡාවේ දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටා ප‍්‍රකාශ කලේය.

එක්සත් ජනපදෙය් මෙම නාවික ශක්තිය වැඩි කිරීමේ අරමුන, මැද පෙරදිග හා අපි‍්‍රකාවේ සිට චීනයට තෙල් හා අමුද්‍රව්‍ය ගෙන එන ප‍්‍රධාන මුහුදු මාර්ග පාලනය කිරීම ය. චීනය සමග ගැටුමක් වර්ධනය වන අවස්ථාවක, අත්‍යවශ්‍ය චීන ආනයනයන් නැවැත්වීමට ආර්ථික සම්බාධක පැනවීමට එක්සත් ජනපද නාවික හමුදාවට මෙමගින් හැකි වනු ඇත.

ශී‍්‍ර ලංකාව ඉන්දියානු උප මහාද්වීපයේ දකුනු තුඩුවේ මැද පෙරදිග සහ අපි‍්‍රකාවේ සිට ඉන්දියානු සාගරය හරහා දිවෙන ප‍්‍රධාන නාවික මාර්ග අසල මූලෝපායිකව පිහිටා තිබේ. දෙවන ලෝක යුද්ධයේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට ලබා දුන් අයුරු ඇමරිකානු චීන ගැටුමක දී තීරනාත්මක භූ-ද්‍රව්‍යමය සම්පත් සැපයීමේ කි‍්‍රයාකලාපයක් ලංකාවට ඉෂ්ට කල හැක. සිංගප්පූරුව හා බුරුමය ජපන් හමුදාවන් අතට පත්වීමත් සමග ම මිත‍්‍ර පාර්ශවික හමුදාවන්ගේ අග්නිදිග ආසියාවේ ඒකාබද්ධ අනදෙන මූලස්ථානය නුවර මධ්‍යම කඳුකරයට ගෙන එන ලදි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධයේදී, ජනාධිපති රාජපක්ෂ ආර්ථික, දේශපාලන හා මිලිටරි සහයෝගය සඳහා දැඩි ලෙස චීනය මත රැඳුනි. ඊට ප‍්‍රතිඋපකාර ලෙස ඔහු දිවයිනේ දකුනු කොනේ හම්බන්තොට ප‍්‍රධාන වරායක් ගොඩ නැගීමට චීනයට ඉඩ දුනි.

විදේශ සම්බන්ධතා පිලිබඳ එක්සත් ජනපද සෙනට් කමිටුවේ "ශී‍්‍ර ලංකාව: යුද්ධයෙන් පසු එක්සත් ජනපද මූලෝපාය නැවත සැකසීම” නැමැති 2009 දෙසැම්බර් වාර්තාව සඳහන් කරන ලද්දේ එක්සත් ජනපදයට ශී‍්‍ර ලංකාව "අහිමි” නො කරගත යුතු බවයි. වොෂිංටනයේ කක්ෂය තුලට ලංකාව ගෙන ඒම සඳහා උත්සාහය දැඩි කල යුතු බව එය කියා සිටියේය.

2009 මැයි මාසයේ දී එල්ටීටීඊය පරාජය කිරීමට පෙර සිවිල් වැසියන් දස දහස් ගනනකගේ ජීවිත හානි කරමින් කොලඹ ආන්ඩුවේ මිලිටරිය මිලේච්ඡ යුද්ධයක් ගෙන ගියේ ය. ඔබාමා පරිපාලනය මෙම යුද්ධයට සහාය දුන් නමුත් වොෂිංටනය සමග වඩා සමීප සම්බන්ධතාවයකට ඒමට රාජපක්ෂ තන්ත‍්‍රය මත වඩවඩා පීඩනය යෙදීමට යුද අපරාධ පිලිබඳ පරීක්ෂන යොදා ගත්තේ ය.

පසුගිය මාර්තුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ දී කොලඹ ආන්ඩුව ”යුක්තිය, සාධාරනත්වය, වගවීම හා සංහිදියාව” තහවුරු කල යුතුය යන යෝජනාවක් සම්මත කිරීම සඳහා ඇමරිකාව මූලිකත්වය ගත්තේ ය. යෝජනාවේ අරමුන වූයේ කිසිසේත්ම දෙමල සුලුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම නොව, ලංකාව මත ඇමරිකානු රාජ්‍යතාන්ති‍්‍රක පීඩනය වැඩි කිරීමට ඇති හැකියාව ගැන අනතුරු ඇඟවීම ය.

ඇමරිකාව සමග සම්බන්ධතාවයන් යලි තහවුරු කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව තීන්දු කර තිබේ. පශ්චාත් යුද සංහිඳියාව සම්බන්ධ ආන්ඩුවේ කටයුතු ගැන නාමික වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විදේශ ඇමති පීරිස් මැයි 19දා වොෂිංටනයට ගියේ ය.

ශී‍්‍ර ලංකාවේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ගෙනයන "පුනරුත්ථාපන හා ප‍්‍රතිසංස්කරන” වැඩ කටයුතු ගැන පීරිස්ගේ වාර්තාව සම්බන්ධව ඇමරිකානු මිලිටරි ප‍්‍රධානී ඩෙම්ප්සේ සහ ඉන්දියානු ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි තෘප්තිමත් වූ බව මාධ්‍ය වාර්තා කලේය. දෙමල බහුතරයක් ජීවත් වන මෙම ප‍්‍රදේශ මිලිටරි පාලනය යටතේ පැවතීම ගැන එක්සත් ජනපදය හා ඉන්දියාව මෙහිදී නොතකා හැරිය හ. මෙම ප‍්‍රදේශවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දැඩිලෙස කප්පාදු කෙරුන අතර 17,000ක පමන සිවිල් වැසියන් තවමත් සරනාගත කඳවුරු වල සිටිති.

ඔබාමා පරිපාලනයේ ආක‍්‍රමකාරී ආසියානු මැදිහත්වීම ගැන රාජපක්ෂ ආන්ඩුවේ අනුගතවීම අතිශය හෙලිදරව්කාරීය. ප‍්‍රදේශයේ අනෙක් රටවල් මෙන්ම කොලඹ ආන්ඩුව ද මූලික උභතෝකෝටිකයකට මුහුන දී සිටියි. ආධාර හා ආයෝජන සඳහා මෙන්ම තම අමුද්‍රව්‍ය සඳහා වෙලඳපොලක් ලෙස ද ශී‍්‍ර ලංකාව චීනය මත දැඩි ලෙස රැඳී සිටී. ලෝක මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ මූල්‍ය ආධාර සැපයීම කෙරෙහි මූලික බලපෑමක් කරන හා ලෝකයේ ප‍්‍රමුඛතම මිලිටරි බලය වන එක්සත් ජනපදය අමනාප කර ගැනීමට ද ලංකාවට නුපුලුවන.

නමුත්, වොෂිංටනය හා බීජිනය අතර උපාමාරු දැමීමට කොලඹ ආන්ඩුවට තිබූ ඉඩ ප‍්‍රස්ථාව ක‍්‍රමයෙන් නැතිවී යමින් පවතී. කඩා වැටෙන ජීවන තත්වයන්ට එරෙහි වැඩෙන විරෝධය පීලිපැන්වීමේ මාවතක් ලෙස තමන්ට එරෙහි යුද අපරාධ පිලිබඳ චෝදනා "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක්” ලෙස පරිස්සමින් හෙලාදැකීම රාජපක්ෂ තන්ත‍්‍රය තවමත් සිදු කරයි. කෙසේ වෙතත්, කොලඹ ආන්ඩුව වඩ වඩාත් වොෂිංටනය දෙසට නැඹුරු වෙමින් සිටී.

Share this article: