ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය උසස් පෙල සඳහා පාසැල් මාරුව තහනම් කරයි

By Kapila Fernando, 4 June 2012

තමා කැමති පාසැලක අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් සතු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියට බලගතු ප‍්‍රහාරයක් එල්ල කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ මස මුල දී සුවිශේෂී චක‍්‍ර ලේඛයක් බල ගැන්වීය. මෙම චක‍්‍ර ලේඛයට අනුව, යම් ශිෂ්‍යයකු උසස් පෙල හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව තමා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි පාසල තුල පවතින්නේ නම් ඔහුට උසස් පෙල සඳහා වෙනත් පාසැලක් ඉල්ලුම් කල නොහැක.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධනගේ නියෝගයකට අනුව අධ්‍යාපන ආමාත්‍යංශයේ ලේකම් එච්.එම්. ගුනවර්ධන විසින් මෙසේ බල ගන්වනු ලැබුවේ 2009 දී නිකුත් කල චක‍්‍ර ලේඛයකි. මෙම වක‍්‍ර ලේඛය ඛන්ඩනය කරන විදුහල්පති වරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍යයන්ට ප‍්‍රකාශ කලේ ය.

සිසුන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල වූ මෙම නවතම ප‍්‍රහාරයට එරෙහිව පැනනැගි සිසු-දෙමාපිය විරෝධතා මධ්‍යයේ අධ්‍යාපන අමාත්‍යාංශය චක‍්‍රලේඛය තාවකාලිකව හකුලා ගත් නමුත් ලබන වසරේ දීම නැවත එය ක‍්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත.

ඇමති ගුනවර්ධන හා ලේකම් ගුනවර්ධන යුගලය ස්වර්නවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප‍්‍රකාශ කලේ ජාතික පාසැල් අතර සිසුන් මාරු වීම හේතුවෙන් ප‍්‍රාදේශීය පාසල්වල සිසුන්ට ජාතික පාසල්වල උසස් පෙල හැදෑරීමේ අවස්ථාවන් ඇහිරී යන බැවින් එය වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

ප‍්‍රාදේශීය පාසල්වල සිසුන් වෙනුවෙන් පෙන්නුම් කෙරෙන මෙම ව්‍යාජ මානව සාධාරනත්වය සියලු සිසුන්, කම්කරුවන් හා පීඩිතයන් පිලිකුලෙන් බැහැර කල යුතුය. ගම්බද දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාවන් නගා සිටුවීමේ අපේක්ෂාවක් ආන්ඩුවට කිසිත්ම නොමැති අතර මෙම පියවර ගෙන ඇත්තේ පාසැල් අතර ඇතිව පවත්නා දැවැන්ත අසමානතාව හේතුවෙන් පහසුකම් සහිත "ජනපි‍්‍රය පාසල්”වලට ඇතුලුවීම සඳහා සිසුන් අතර පවත්නා දැඩි තරගකාරිත්වය බලහත්කාරයෙන් මැඩ ගම්බද හා නගරබද දුගී දරුවන් අඩු පහසුකම් සහිත පාසැල්වල සිර කොට තැබීමටයි.

මෙම මංමුලා සහගත පියවරයන්ගෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දිග හැරෙන දරුනු අර්බූදය හා එම අර්බූදයට වගකිව යුතු ධනපති පාලකයන් මහජන අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන පරිපූර්න නො තැකීමත් ය. ලංකාව ‘දැනුමේ කේන්ද්‍රයක්’ බවට පත් කිරීමේ බොරු කයිවාරුවලට යටින් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගයන් මත අධ්‍යාපනය සඳහා කරන ප‍්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කරමින් අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත්කිරීමේ වැඩපිලිවෙලයි.

ආන්ඩුව විසින් ඉහල පහසුකම් ඇතැයි සලකනු ලබන "ජාතික පාසැල්” මධ්‍යම ආන්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර රට පුරා විහිදි ඇති අනෙක් රජයේ පාසල් දස දහසකට වැඩි සංඛ්‍යාවක් ඒ ඒ පලාත් සභා මගින් පාලනය කරනු ලබයි. ජාතික පාසල්, නවෝද්‍යා පාසල්, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල, ආදි විවිධ නම් යටතේ පාසල් වර්ග කොට ඇත්තේ බලයට පත් ආන්ඩුවල අධ්‍යාපන කප්පාදු වැඩපිලිවෙල වසා ගැනීමේ කඩතුරාවක් ලෙස පමනි. එහි නවතම ප්‍රෝඩාව වන්නේ සුපිරි පාසල් ව්‍යාපෘතිය යටතේ පාසල් දහසක් නගා සිටුවීමේ වැඩසටහනයි.

ජාතික පාසල් සංකල්පය ද 1980 ගනන්වල ඉදිරියට ගනු ලැබුවේ මෙම කප්පාදුවේ ආරම්භක පියවරක් ලෙස වන අතර සාපේක්ෂ වශයෙන් ඉහල පහසුකම් සහිත පාසැල් ජාතික පාසල් ලෙස නම් කෙරින. කෙසේ වෙතත්, ජාතික පාසලක් ලෙස නම් කිරීම සඳහා යම් කොන්දේසි මාලාවක් සම්පූර්න කල යුතු විය. පාසලේ සිසුන් 2,000 කට වැඩි වීම, උසස් පෙල විද්‍යා හා ගනිත විෂයන්ගේ ලමුන් සංඛ්‍යාව 200 කට වැඩි වීම, උසස් පෙල ප‍්‍රතිඵල පාසලේ යහ තත්වය පෙන්නුම් කිරීම හා ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය කෙරෙන ගොඩනැගිලි, පුස්තකාල හා විද්‍යාගාර ඇතුලූ පහසුකම් සම්පූර්න වී තිබීම ආදී කොන්දේසි ඒ අතර විය.

මෙම පහසුකම් සහ කොන්දේසි සපුරා ලූ පාසැල් පමනක් ජාතික පාසැල් ලෙස තෝරා ගැනුනේමත් එම පහසුකම් සපුරා ලීමේ කර්තව්‍යයෙන් රජය මුලුමනින්ම පාහේ ඉවත් වෙමින් එම වගකීම දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුලු පාසැල් ප‍්‍රජාව මත පැටවීමේ අරමුනෙනි.

ආරම්භයේ දී පාසැල් 18 ක් පමනක් ජාතික පාසැල් ලෙස නම් කර තිබූ නමුත් පසු කාලීනව පලාත්බද දේශපාලනඥයන්ගේ බලපෑම මත ඉතා අවම පහසුකම් සහිත පාසල් සිය ගනනක් ජාතික පාසල් ලෙස නම් කෙරුනු අතර අද දින දිවයිනේ සමස්ත ජාතික පාසැල් සංඛ්‍යාව 323 කි. තම දූ දරුවන්ට පහසුකම් සහිත පාසැලක අධ්‍යාපනය ලබා දීමේ මහජන අවශ්‍යතාව ගසා කමින් මෙම ඊනියා නාමකරනය හරහා ඡන්දය ගරා ගැනීම දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව විය. මහජනතාව බලාපොරොත්තු වූ පහසුකම් කිසිවක් මෙම ඊනියා ජාතික පාසැල්වලට නොලැබුනු අතර පහසුකම් සපයා ගැනීම වඩ වඩාත් දෙමාපියන් මත පැටවින.

විවිධ නම් යටතේ පාසල් වර්ග කලත් බලයට පත් ධනපති ආන්ඩු මගින් නිර්මානය කර ඇත්තේ පන්ති දෙකක අධ්‍යාපනයකි. එනම් ධනවත් අතලොස්සකගේ දරුවන් සඳහා පහසුකම් සහිත පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතියක් හා කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ දරුවන් සඳහා තම වියදමින් නඩත්තු කර ගැනීමට බල කර ඇති ගරා වැටෙන පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියකුත් වශයෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය පලමු වතාවට ප‍්‍රසිද්ධ කර ඇති අංක එකේ පාසල් සාධන දර්ශකය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දිවයිනෙන්ම පාසල් 56 ක් පමනි. මින් පාසල් 25 බස්නාහිර පලාතටත් පාසල් 9 ක් මධ්‍යම පලාතටත් අයත්ව තිබේ. නැගෙනහිර, සබරගමුව හා ඌව යන දුෂ්කර පලාත්වලට මෙම දර්ශකයට අයත්ව ඇත්තේ එක් පාසලක් බැගිනි.

‘අධ්‍යාපන අමාත්‍යංශයේ විභාග ප‍්‍රතිපත්තිය හා අනාගත සැලසුම්’ යන මාතෘකාව යටතේ පැවැත්වූ ඉහත සඳහන් කල ස්වර්නවාහිනී සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ප‍්‍රකාශ කලේ "දර්ශකය සකස් කර ප‍්‍රසිද්ධ කලේ ඒ ඒ පාසල සිටින්නේ කුමන මට්ටමේ ද යන්න දැන ගනිමින් තම අඩුපාඩු සකස් කර ගැනීම සඳහා” මෙම දර්ශකය මෙවර ප‍්‍රසිද්ධ කල බවයි.

කෙසේ නමුත් පාසල්වල "අඩුපාඩු සකස් කර ගැනීම” සම්පූර්නයෙන්ම පවරා ඇත්තේ දෙමාපියන් වෙතයි. පාසල් සංවර්ධන මන්ඩල, ආදි ශිෂ්‍ය සංගම් හරහා ගුරුවරුන්ගේ වැටුප් හැර අනෙක් සියලු වියදම් දෙමාපියන් වෙත පවරමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ කම්කරු පන්තියේ අතීත ජයග‍්‍රහනවලින් ඉතිරි වු සීමිත නිදහස් අධ්‍යාපන අයිතිය ද මුලුමනින්ම අතුගා දැමීමේ වැඩකටයුතු දැනටමත් ක‍්‍රියාත්මකව පවතී.

2005 දී සියයට 49 ක් වූ සමාන්‍ය පෙල විභාගය සමත් ප‍්‍රතිශතය මෙවර සියයට 60 ක් දක්වා වැඩිවීම පිලිබඳව ඇමති ගුනවර්ධන මෙම සාකච්ඡාවේදී පම්පෝරි ගැසීය. කෙසේ නමුත් මෙම විභාගයෙන් සිසුන් 12,795 දෙනෙක් විෂයන් නවයම අසමත් වීම පෙන්නුම් කරන්නේ ගම්බද පාසල්වල පහසුකම්වල හා ගුරු හිඟයේ දැවැන්ත පරිමාවයි.

දිනා ගත් සීමිත අධ්‍යාපන අයිතිය යටතේ සාක්ෂාත් කෙරුනු ඉහල සාක්ෂරතාවය වැනි මුලික සාධක යලි ආපස්සට හැරවෙමින් පාසල් හැර යෑමේ ප‍්‍රතිශතය හා ගම්බද පාසල් වැසී යාම දැන් වේගවත් වී තිබේ.

රාජපක්ෂ ආන්ඩුව යටතේ අධ්‍යාපනය ඇතුලු සුභසාධන කප්පාදුව වේගවත් කර ඇත්තේ ලෝක පරිමාන ධනේශ්වර අර්බූදයක් යටතේ ය. අර්බූදයේ සියලූ බර කම්කරු පන්තිය මත පැටවීම ලොව පුරා සියලු පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇති අතර ඊට ප‍්‍රතිචාර ලෙස කම්කරු පන්තියේ, තරුනයන්ගේ හා ශිෂ්‍යන්ගේ අරගල වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තරව හා ලංකාවේ ද අත්දැකීම වන්නේ වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංගම්වල ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂන මගින් මෙම ධනේශ්වර ප‍්‍රහාර ආපස්සට හැරවිය නොහැකි බවත් එමගින් සිදුවන්නේ ධනපති ආන්ඩුවලට තම ප‍්‍රහාර එල්ල කිරීමට කාලය ලබා දීම පමනක් බවයි.

රාජපක්ෂ බලයට ගෙන ඒමටත් අධ්‍යාපනය ඇතුලු සමාජ සුබ සාධන සඳහා වෙන් කල හැකිව තිබූ බිලියන ගනන් මුදල් නාස්ති කල වර්ගවාදී යුද්ධයටත් සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුනේ ලංකා ගුරු සේවා සංගමයේත්, හිටපු රැඩිකලුන්ගේ හා ව්‍යාජ වම්මුන්ගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක ලංකා ගුරු සංගමයේත් අවසන් ක‍්‍රියාමාර්ගය වී ඇත්තේ ආන්ඩුවේ පිලිවෙතට විරුද්ධව රාජ්‍ය අධිකරනයට පැමිනිලි කිරීමයි.

පාසල් අධ්‍යාපනයේ අසමානතාවය අවසන් කරමින් ගුනාත්මක ඉහල අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා බිලියන ගනන් මුදල් වෙන් කල හැක්කේ සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට නගන කම්කරුන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් යටතේ පමනි. මෙම වැඩපිලිවෙල යටතේ ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සටන් කිරීමට ගුරු සිසු දෙමාපියන්ගේ ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඉදිරියට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂයත් එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරයත් සියලු ගුරුවරුන්ට, ශිෂ්‍යන්ට හා දෙමාපියන්ට කැඳවුම් කර සිටී.

Share this article: