ගුරු-විදුහල්පති වැටුප් අරගලය සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්

By Socialist Equality Party and International Students for social Equality , 12 June 2012

ගුරුවරු හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගනිමින් අරගලයක් සංවිධානය කිරීමේ ප‍්‍රකාශිත අරමුන මත ලංකා ගුරු සංගමය (ලගුස) හා ගුරු ක්ෂේත‍්‍රයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් අද කැඳවුම් කර ඇති නියෝජිත සම්මේලනය පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර හා නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන කප්පාදුව වඩ වඩා තීව‍්‍ර කරන කොන්දේසි යටතේ ය.

නියෝජිත සම්මේලනයේ මූලික ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ඇත්තේ අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව ක‍්‍රියාත්මක කිරීම හා ගුරු විදුහල්පති ව්‍යවස්ථා සංශෝධනය පස්ස දොරෙන් ක‍්‍රියාවට දැමීම හා පාසල් කාලය දීර්ග කිරීම නතර කිරීමය.

ගුරුවරුන්ගේ මෙම ඉල්ලීම් රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික හා සමාජ සුබසාධන කප්පාදු පිලිිවෙත සමග ඍජුව ගැටෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත රුපියල අඛන්ඩව අවප‍්‍රමානය වීමට ඉඩ හැර ඇති ආන්ඩුව ඉන්ධන හා විදුලිය සඳහා වූ සහන ඉවත් කර, අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ඉහල දැමීමේ ද නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා රාජ්‍ය වියදම් කපා හරිමින් ඒවා පුද්ගලීකරනය කිරීමේ ක‍්‍රියාවලිය කඩිනම් කර තිබේ.

පසු ගිය වසර කිහිපය තුල පාසල් සිය ගනනක් වසා දැමු ආන්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල පහසු කම් කපා හරිමින් පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පටන් ගෙන ඇත. පාසල් කාලය දීර්ඝ කිරීම අධ්‍යාපන කප්පාදුවේ ම කොටසකි. ශ‍්‍රම වෙලඳපල ඉලක්ක කර ගත් "වෘත්තීය අධ්‍යාපනයක්” සඳහා නැඹුරුව පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය ශ‍්‍රාස්ත‍්‍රීය දැනුම ගවේෂනයෙන් වෙන් කොට ලාභ ලැබීමේ ක‍්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ ආන්ඩුවේ උවමනාව යි.

යෝජිත ගුරු සේවා ව්‍යවස්ථාව තුල අනුමත සේවක සංඛ්‍යාව 197,279 කට සීමා කර තිබේ. දැනට ගුරු සේවය තුල 215,000 කට අධික සේවක සංඛ්‍යාවක් සිටින තත්වය තුල දී අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල රැකියා කප්පාදුවක් මෙමගින් ආන්ඩුව බලාපොරොත්තු වේ. පහල ශ්‍රේනිවලට නවකයින් ලෙස බඳවා ගැනෙන ගුරුවරුන්ට වැටුප් වර්ධක හිමිවන ඉහල ශේනිවලට ගමන් කිරීම මෙම නව ව්‍යවස්ථාව මගින් අහුරා තිබේ.

ලංකාව තුල පමනක් නොව ලෝකය පුරාම කම්කරුවන් මුහුන දී සිටින්නේ එක හා සමාන ප‍්‍රහාරවලට ය. සෑම රටකම ධනපති පාලක පන්තීහු ගෝලීය ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මතට කඩා පාත් කිරීමේ උත්සාහයක නිරතව සිටිත්. එහෙයින් සෑම රටකම කම්කරුවන් මුහුන දී සිටින්නේ සිය මුලික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් විනාශ කරන ධනපති පාලක පන්තීන් විසින් සුදානම් කරනු ලබන සමාජ ප‍්‍රති විප්ලවයකට ය.

රාජපක්ෂ ආන්ඩුව ද කම්කරු පන්තියට එරෙහිව සුදානම් කරමින් සිටින්නේ එවන් සමාජ ප‍්‍රතිවිප්ලවයකි. ගුරුවරුන් මෙන්ම වැටුප් හා සේවා ඉල්ලීම් මත අරගලයට එලඹ සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හා අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර එම අරගල තලා දැමීමේ තැතක ආන්ඩුව යෙදී සිටී.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් කුනු කූඩයට දමා ඇති ආන්ඩුව සිය රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහි අරගලයට එලඹෙන කම්කරු පන්තියට විරුද්ධව පන්ති යුද්ධය වඩ වඩා තීව‍්‍ර කරමින් සිටී.

ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමට නම් ඊට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන අරගලයක් සූදානම් කල යුතු ය. ලගුස ඇතුලු ගුරුසංගම් එවන් අරගලයකට හතුරුය. ඔවුන්ගේ ඉදිරිදර්ශනය රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් එකකි. නියෝජිත සම්මේලනය කැඳවුම් කරමින් ඔවුන් නිකුත් කල පත‍්‍රිකාවක මෙසේ කියයි. "සමස්ත ගුරු විදුහල්පති ප‍්‍රජාව සමග අරගල මාවත තෝරා ගැනීමේ අත්හල නො හැකි වගකීම ඉටු කිරීමට අප සූදානම් ය.”

ඔවුන්ගේ "අරගල මාවත” ගුරු අරගලය ආන්ඩුවට බලපෑම් දැමීමේ තැනක හිරකර, සෙසු කම්කරු පන්තික අරගලවලින් හුදකලා කර ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව යලි වර්ධනය වෙමින් තිබෙන ගුරුවරුන්ගේ අරගලය මොට කර දැමීම ය.

මෑත වසර කිහිපය තුල ගුරු සංගම්වල ඊනියා අරගලයේ ශේෂ පත‍්‍රය දැන් කැඳවුම් කර ඇති "අරගල මාවතේ” දිශානතිය පිලිබඳ පූර්වාදර්ශයකි.

ගුරුවරුන්ගේ වැටුප් අරගලය ආරම්භ කෙරෙන්නේ 1994 දී ය. වැටුප් ප‍්‍රශ්නය විසඳන ලෙස බලයට පත් හැම ආන්ඩුවකින්ම ඉල්ලා සිටි නමුත් කිසිම ආන්ඩුවක් තම ඉල්ලීම් ඉටු නොකල බවට ලගුස ඇතුලු ගුරු සංගම් අ‍ඳෝනා නගති.

2007 වර්ෂයේ දී පැන නැගි වැටුප් අරගලයේ දී සිංහල ස්වෝතමවාදී ජනතා විමුක්ති පෙරමුනේ ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) ඇතුලු මෙම සමිති සියල්ල රාජපක්ෂගේ යුද්ධයේ වියදම් කම්කරු පන්තියේ කර මතින් යෑවීමට ඉඩ සැලසූහ. සමිති නායකත්වය හා රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවක දී යුද්ධය නවතා වැටුප් වැඩි කරන්න දැයි රාජපක්ෂ ඇසු ප‍්‍රශ්නයට කට පියාගත් සමිති නායකත්වය පසුව ගුරු වර්ජනය නවතා දැමුවේ ය.

ගුරු සංගම්වල පාවා දීමෙන් අත ශක්තිමත් කර ගත් ආන්ඩුව, 2008 ජුනි මස දින දෙකක් පැවති ගුරු වර්ජනය ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයකින් තහනම් කොට ගුරුවරුන්ට එරෙහි දඩයමක් ද දියත් කලේය.

ගුරුවරුන් අතර රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව කෝපය සහ අතෘප්තිය වර්ධනය වන තතු තුල පලල් සමිති පෙරමුනක හා වමේ පොදු පෙරමුනක් තුල ඔවුන් සිර කොට දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට යටත් කිරීමට ගුරු සමිති නායකයෝ දැන් තැත් කරති.

සම්මේලනයට මූලිකත්වය ගෙන ඇති ලගුස එක් අතෙකින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති පෙරමුන තුල ගාල්වී සිටින අතර අනෙක් අතින් රාජපක්ෂ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට උඩගෙඩි දෙමින් කම්කරු පන්තියේ අරගලවලට වල කැපූ ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳුන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂය හා දෙමල ධනපති පක්ෂ සමග පෙරමුනු ගත වී සිටින අවස්ථාවාදී නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය සමග පෙල ගැසී සිටී. මෙම පක්ෂ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට හතුරු ධනපති පන්තියේ අත්ගෙඩි ය. කම්කරු පන්තියට උගුල් ඇටවීම සම්බන්ධයෙන් කුප‍්‍රකට ය.

ගුරුවරු ගුරු සංගම්වල මෙම බංකොලොත් හා ප‍්‍රතිගාමී කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කලයුතුය. නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් ගුරුවරුන්ට තම වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ අයිතීන් තහවුරු කර ගත හැක්කේ අතලොස්සක් ධනපතින්ගේ හා ජාත්‍යන්තර බැංකු කරුවන්ගේ මන දොල පිරවීමට පේවී සිටින රාජපක්ෂ ආන්ඩුව පලවා හැර සමාජයේ බහුතරයකගේ සමාජ අවශ්‍යතාවයන් සම්පුර්න කල හැකි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවලක් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි.

මෙම අරගලය වර්ධනය කිරීම සඳහා ගුරුවරු ප‍්‍රතිගාමී වෘත්තීය සමිතිවලින් හා ධනපති හා අවස්ථාවාදී පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට මූලිකත්වය ගත යුතුය. ඒ සඳහා නව සංවිධාන රූප අවශ්‍යය. ගුරු කි‍්‍රයාකාරී කමිටු සෑම පාසලක් තුලම පිහිටුවා ගැනීම ඒ සඳහා තබන ප‍්‍රථම පියවර වනු ඇත. එම ක‍්‍රියාකාරී කමිටු වටා විශ්වවිද්‍යාල ආචාර්යවරු, අනධ්‍යයන සේවකයින්, දෙමව්පියන් හා ශිෂ්‍යයන් බලමුලුගන්වා ගනිමින් ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි බලගතු අරගලයක් සංවිධානය කිරීමට මුලිකත්වය ගත යුතුය.

මෙම ඉදිරිදර්ශනය ඉදිරිපත් කරමින් ඒ සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) පමනි. සසපට බැඳී එය ගුරුවරුන්ගේ හා අවශේෂ කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට ඉදිරිපත්වන ලෙස සසප හා සසජාශි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: