ශ්‍රී ලංකාව යුරෝපා අර්බුදයට නිරාවරනයවීම පිලිබඳව නය වර්ගීකරන ආයතනය අනතුරු අඟවයි

Ratings agency warns of Sri Lanka’s exposure to European crisis

By Saman Gunadasa, 18 June 2012

යුරෝපීය රාජ්‍ය නය අර්බුදය නිසා, ශ්‍රී ලංකාව හා ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි සෙසු ආසියානු රටවල නය වර්ගීකරන තත්වය පහත දැමීමේ අන්තරායට මුහුන දී සිටින බවට ෆිච් රේටින් ආයතනය පසු ගිය සතියේදී අනතුරු ඇඟවීය. නය වර්ගීකරනයට බල පෑ හැකි "තනි විසාලතම" බාහිර ගැටලුව යුරෝපා අර්බුදය බව ෆිච් ආයතනයේ ආසියා-පැසිපික් රාජ්‍ය නය වර්ගීකරන අංශයේ ප්‍රධානි ඇන්ඩෲ කොලිකූන් මාධ්‍යවලට පැවසුවේය.

ඉහල බාහිර නය අවශ්‍යතා සහ දුර්වල ගෙවූම් ශේෂය නිසා, ගෝලීය මූල්‍ය වෙලඳ පොලේ ඇතිවන කවර හෝ අවහිර වීමක් අන් සියලු රටවලට වඩා ශ්‍රී ලංකාවට "වඩාත් අන්තරායකාරී" ලෙස බලපාන බව ඔහු පැවසුවේය. ප්‍රක්ෂේපනය කිරීම්වලට අනුව මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ දල බාහිර මුල්‍ය අවශ්‍යතාවයන් රටේ විදේශ සංචිතවලින් සියයට 95 ට සමාන ය.

ෆිච් නය වර්ගීකරන ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධ වර්තමාන ශ්‍රේනි ගත කිරීම බීබී- ය. එය ඉන්දියාව සහ ඉන්දුනීසියාව සම්බන්ධයෙන් සමාගමේ වර්ගීකරනය වන බීබීබී- වඩා පහත මට්ටමකි. බීබීබී- යනු වර්ගීකරන සමාගමේ පහලම ආයෝජන ශ්‍රේනියයි. " ලෝකයේ අනෙකුත් පැතිවලින් පැමිනෙන පීඩනයන් තීව්‍ර වුනොත් රාජ්‍ය නය මත ඉතා ඉක්මනින් නිෂේධනීය පීඩනයකට මුහුන දෙන රටවල්වලට" ආසියානු රටවල් තුනක් ඇතුලත් බව හොංකොංහි පැවති සම්මේලනයක දී කොලිකූන් සඳහන් කලේය.

මුලිකව ම, යුරෝපීය ආර්ථික අර්බුදය විසින් නිර්මානය කරන ලද අපනයන කඩා වැටීමක් හා ආනයනවල අඛන්ඩ නැගීමක් නිසා ශ්‍රී ලංකාව බරපතල ගෙවුම් ශේෂ හිඟයකට මුහුන දෙයි.

පසුගිය වසර හා සැසඳීමේ දී මේ වසරේ පලමු මාස හතර තුල ශ්‍රී ලංකාවේ අපනයන, සියයට 3.1 හෙවත් ඩොලර් බිලියන 3.3 දක්වා පහත වැටුනි. පසු ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මාර්තු හා අප්‍රේල් මාසවල අපනයන පහත වැටීම පිලිවෙලින් සියයට 10 හා 9 කි. ගෝලීය අර්බුදය ආරම්බයේ 2009 දී වාර්තාගත සියයට 13 වාර්ෂික කඩා වැටීමකින් පසුව සිදු වූ අපනයන පහත වැටීම පිලිබඳ නරකම සංඛ්‍යා ලේඛන වුයේ මේවාය.

මුල්‍ය අර්බුදය හා ආන්ඩු විසින් කම්කරු පන්තිය මත කප්පාදු පිලිවෙත් පැටවීම හේතු කොට ගෙන යුරෝපයේ සහ ඇමරිකාවේ ප්‍රධාන වෙලඳ පොලවල මෙම නිෂ්පාදන සඳහා මිල පහත වැටීම නිසා ලංකාවේ මූලික අපනයන වන ඇඟලුම්, තේ හා පොල් අපනයන ආදායම් පහත වැටෙමින් තිබේ.

අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ආනයන මේ වසරේ මුල් මාස හතර තුල ඩොලර් බිලියන 6.6 දක්වා සියයට 12 ඉහල ගියේය. වෙලඳ ‍ෙශ්ෂ හිඟය ඩොලර් බිලියන 3.3 දක්වා සියයට 32 වර්ධනය විය. ආනයන ඉහල යාම සිදු වුයේ, රුපියල අවප්‍රමානය කිරීම, පොලී අනුපාත ඉහල දැමීම හා ආනයන බදු වැඩිකිරීම ඇතුලු පියවරයන් මගින් ආනයන පහලට දමා ගැනීමේ ආන්ඩුවේ උත්සාහය තිබිය දී ම ය.

පරතරය පියවා ගැනීම සඳහා ආන්ඩුව වඩ වඩා විදේශ නය මත යැපෙයි. රටේ සමස්ත නය ප්‍රමානය පසුගිය වසර තුල රුපියල් බිලියන 5,133 (ඩො.බි. 36) දක්වා සියයට 12 ඉහල ගියේ ය. නය සේවා වියදම රුපියල් බිලියන 895 දක්වා සියයට 9 වර්ධනය විය. මහ බැංකුව මේ වසර අගදී රාජ්‍ය බැඳුම්කර මගින් ඩොලර් බිලියනක් ලබා ගැනීම සඳහා විදේශ බැංකුවලට කැඳවුම් කර තිබේ.

2009 දී දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.6 න්අවසන් වාරිකය වන ඩොලර් මිලියන 400 නිකුත් කිරීමට පෙරාතුව ආන්ඩුව එහි කොන්දේසි ක්‍රියාවට දමා තිබේදැයි තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කන්ඩායමක් දිවයිනට පැමින සිටී. සමහර වාර්තාවලට අනුව ආන්ඩුව ඩොලර් මිලියන 500 තවත් අමතර නයක් ජාමුඅ ගැනීමේ උත්සාහයක නිරතව සිටින්නේය.

විදේශ නය ගැනීම් මත ආන්ඩුව යැපීම පිලිබඳව අසතුට ඇඟවුම් කරමින් ශ්‍රී ලංකා වානිජ මන්ඩලය ජුනි 13 නිකුත් කල ප්‍රකාශයක මෙලෙස අවධාරනය කර තිබුනි. "හුදෙක් වඩ වඩා විදේශ නය ගැනීම් මගින් ගෙවුම් ශේෂය ස්ථාවර පදනමක තැබිය නොහැකි බව තේරුම් ගැනීම අවශ්‍යය. එය තුඩුදෙනු ඇත්තේ වර්ධනය වී ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව සමග සම්බන්ධ වූ අන්තරාය තදුරටත් ඉහල දැමීමට පමනි” .

ව්‍යාපාරික සංවිධානය "වර්ධනය වූ අපනයන, විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වැඩිකර ගැනීම හා නය නිර්මානය නොකරන ඉහල මට්ටමක ප්‍රාග්ධන ගලා ඒමේ (කොටස් වෙලඳපොල තුලට ගලා එන ඍජු විදේශ හා දේශීය ආයෝජන)" අවශ්‍යතාවය අවධාරනය කලේය.

"විශාල වෙලඳ පරතරය විදේශ ශ්‍රමික මුදල්, සංචාරක ඉපයීම් සහ ප්‍රාග්ධන ගලා ඒම් මගින් පියවා ගැනීමට බලා පොරොත්තු වීම අතිශයින්ම සාරදර්ශීය. බැංකුවලින් නය ගැනීම, විදේශ ආධාර ගලා ඒම, ජාමුඅ ඉතිරි නය වාරිකය හා ජාමුඅ තවත් නයක් ගැනීම සමස්ත ගෙවුම් ශේෂ අතිරික්තයක් අත්කර ගැනීමේ එකම මාවත විය හැකිය. එහෙත් මේවා, නය බර වැඩිකරන අවිනිශ්චිත බැරකම්ය" සන්ඩේ ටයිම්ස් ආර්ථික විශ්ලේෂක නිමල් සඳරත්න ලියුවේ ය.

තෙල්වලින් පොහොසත් මැදපෙරදිග රටවල වැඩකරන බහුතරයක් කාන්තාවන්ගෙන් යුක්ත විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 2012 වසරේ මුල් මාස හතර තුල ලැබුන මුදල ඩොලර් බිලියන 2 ට ආසන්න විය. සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 340 කි. දේශීය නය ඇතුලුව ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 238 ක් හා සෙසු විදේශ ආයෝජන ඩොලර් මිලියන 182 කි. ඒවා කිසිසේත්ම වෙලඳ ශේෂ පරතරය පියවීමට ප්‍රමානවත් නොවේ.

විදේශ ශ්‍රමික ඉපයීම්, එක්සත් ජනපදය හා සෙසු අධිරාජ්‍යවාදී බලයන් විසින් මැදපෙරදිග තුල තීව්‍ර කරන, විශේෂයෙන්ම සිරියාවට හා ඉරානයට එරෙහි යුද තර්ජනයට ගොදුරු වීමේ අවදානමට මුහුන දී ඇත. ෆිච් ආයතනයේ අසතුටුදායක වර්ගීකරනය මගින් පිලිබිඹු කරන පරිදි ඍජු විදේශ ආයෝජන හා සමාගම් සන්තක ආයෝජන ද දැනටමත් රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට නිරාවරනය වී තිබේ. කොලඹ කොටස් වෙලඳ පොල දකුනු ආසියාවේ නරක ම කොටස් හුවමාරු වෙලඳ පොල බවට පත්ව ඇත. මැයි මාසයේ දී පමනක් එය දර්ශක 587 න් හෙවත් සියයට 11 කඩා වැටුනි.

2011 ජුනි මාසයේදී ඩොලර් බිලියන 8.1 වූ විදේශ සංචිතය මේ අවුරුද්දේ පෙබරවාරි වන විට ඩො.බි 5.52 දක්වා අඩුවන තෙක් පසු ගිය වසර පුරාම මහ බැංකුව රටේ විදේශ සංචිත විකුනුවේය. වඩ වඩා නරක අතට හැරෙන වෙලඳ පරතරය මධ්‍යයේ මෙම විකිනීම මගින් රුපියලේ අගය කෘතිමව ඉහල මට්ටමක තබා ගැනීමට උත්සාහ කලේය. එහෙත් ජාමුඅ නියෝගවලට අවනත වෙමින් මහ බැංකුව පෙබරවාරි මාසයේ සිට විදේශ සංචිත විකිනීම නතර කලවිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 13 පහත වැටීම මුල්‍ය අස්ථාවරත්වය පිලිබඳ තවත් ඇඟවුමකි.

තියුනු තෙල් මිල වැඩි කිරීමත් සමග රුපියලේ අගය අවප්‍රමානය කිරීම, සාමාන්‍ය ජනතාවට තව දුරටත් දුෂ්කරතාවයන් ඇති කරමින් මැයි මාසයේ නිල උද්ධමනය සියයට 7 දක්වා ඉහල ගියේ ය. එය මාස නවයක් තුල අත්දුටු ඉහලම උද්ධමන රේට්ටුව ය.

Share this article: