පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලත් හලාවත ධීවරයා සියදිවි නසා ගනී

Our correspondents, 27 June 2012

fishermanකිංග්ස්ලිගේ බිරිඳ සහ දරුවන් සිය නිවස ඉදිරිපිට දී

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව පසුගිය පෙබරවාරි මස විරෝධතාවයේ යෙදුනු හලාවත වැල්ලේ ධීවරයන් හට එල්ල කල පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් ආබාධිත වූ හතලිස් වියැති සිව් දරු පියෙකු වන ඩබ්ලිව්. ජේසුමරිය කිංග්ස්ලි ප‍්‍රනාන්දු මේ මස 15 දා සිය නිවසේදීම ගෙල වැල ලා ගනිමින් සියදිවි හානි කර ගෙන තිබේ.

කිංග්ස්ලිගේ මරනය, අධික ලෙස තෙල් මිල ඉහල දැමීම ඇතුලු කප්පාදු පියවර හරහා දශ ලක්ෂාධික ධීවරයන්ගේ රැකියාවන්ට හා පවුල්වලට රාජපක්ෂ ආන්ඩුව විසින් එල්ල කොට ඇති ප‍්‍රහාරයේ ඝෘජු ප‍්‍රතිඵලයකි. නමුත් ධීවර වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, කතෝලික පල්ලිය හා ජන මාධ්‍ය විසින් මරනයේ සැබෑ හේතුව මහජනයාගෙන් වසන් කරමින් සිටී.

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, දරුවන්ට නිසි ආහාරයක් ලබා දීමට ඇති නොහැකියාව හා කඩේ නය ගොඩ ගැසීම පිලිබඳව කිංග්ස්ලි දැඩි කම්පාවෙන් පසු වූ බවත් පවුලේ මෙම ආර්ථික දුෂ්කරතා ඔහුගේ මරනයට හේතුව බවත් බිරිඳ ජෙනිටා නිලන්ති ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවාය. "පොලිස් වෙඩි තැබීමෙන් තුවාල නොවුනානම් එයා අදටත් ජීවත් වෙනවා” යයි ජෙනිටා හඬමින් ප‍්‍රකාශ කලා ය.

පෙබරවාරි 15 දා පොලිස් වෙඩි තැබීමෙන් දනහිසෙහි ඇති වූ දරුනු තුවාල හේතුවෙන් කිංග්ස්ලි හලාවත රෝහලින් කොලඹ ජාතික රෝහලට මාරු කොට යැවුනි. මාසයකුත් දින 10 ක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසුව නිවසට පැමිනි කිංග්ස්ලි හට මාසිකව කොලඹ රෝහලේ සායනයන්ට පැමිනෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබූ නමුත් ජුනි 6 දා ඔහු සායනයට නොගියේ දරුනු ආර්ථික ගැටලු උග‍්‍රවීම හේතුවෙනි.

කිංග්ස්ලි එදා සිටම කුලී පදනම මත ධීවර රැකියාවේ නිරත වී සිටි අතර ඇතැම් අවස්ථාවල ගස් කැපීම හා පොල් කැඩීම මගින් ද දිවි ගැට ගසා ගෙන ඇත. ඔහුගේ කුඩා නිවස කාමර දෙකකට සීමා වූ අතර ඔහු පසුගිය පෙබරවාරියේ දී එහි බිමට සිමෙන්ති දමා අලුත් වැඩියා කිරීමෙහි නිරතව සිටියේ ය.

ආබාධිත වීමෙන් පසුව ඔහුගේ වයස දාහතරක් සහ හතක් වන පුතුන් දෙදෙනාගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති අතර ලොකු පුතා දැල්වල මාලු බේරීමෙන් යන්තම් රුපියල් 200 ක් පමන දිනකට උපයා ගනී. අපස්මාර රෝගයෙන් පෙලෙන ජෙනිටා හට කුලියට මාලු වේලීමේ යෙදී උපයා ගත හැක්කේ ද එවැනි ම මුදලකි.

කිංග්ස්ලි සමග දරුනු තුවාල ලබා කොලඹ ජාතික රෝහලේ සති කිහිපයක් ප‍්‍රතිකාර ලබා දැන් ආබාධිතව සිටින සෙබස්තියන් රීගන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප‍්‍රකාශ කලේ ය.

fishermanසෙබස්තියන් රීගන් සිය පවුලේ සාමාජිකයන් සමග

"පෙබරවාරි 15 දා හලාවත වැල්ලේ පල්ලියේ ස්වාමිගේ මූලිකත්වයෙන් ධීවරයෝ තුන් දහසක් සහභාගී වූ රැස්වීමක් තිබුනා. ඉන් විශේෂ යමක් සිදු නොවන නිසා මම ගෙදර ආවා. ටිකකින් ධීවරයන්ට විශේෂ කාර්ය බලකායෙන් පහර දෙනවා කියන ආරංචියට මමත් ගියා. ඒ ටිකකින් ම ගහපු කඳුලු ගෑස් ප‍්‍රහාරයට මාත් හසු වුනා. මූදට ගිහින් මුහුන හෝදගෙන ගොඩට එද්දීම ඇන්ටනි ප‍්‍රනාන්දු මගේ මිත‍්‍රයා බිම ඇදන් වැටුනා. ඒ ටිකෙන් ම මටත් වෙඩි වැදුනා. මම සිහිය ආවට පස්සෙයි දන්නේ ඇන්ටනි මැරිලා කියලා. කොලඹ රෝහලේ දී සිවිල් ඇඳුමෙන් පැමිනි නාඳුනන කීප දෙනෙක්ම පොලිසියට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා මට තර්ජනය කලා. මම ප‍්‍රතිකාර නතර කරලා ගෙදර ආවා. උරහිසට වැදුනු වෙඩි පහරින් මගේ දකුනු අත පන නෑ. දැන් බේත් ගන්නවත් සල්ලි නෑ.”

fishermanඇන්ටනි රෝෂාන්

දුම් බෝම්බයක් හෝ කඳුලු ගැස් ප‍්‍රහාරයක් වැලැක්වීමට ගොස් බරපතල තුවාල ලැබූ අනෙක් ධීවරයා වන ඇන්ටනි රෝෂාන්ගේ අතක ඇඟිලි හතරක් ඉවත් කොට ඇත. කිංග්ස්ලි ඇතුලු වෙඩි වැදී ආබාධිත වූ කිසිවකුට ආන්ඩුවෙන් කවර හෝ වන්දියක් ලැබී නැත. මාසයකට වැඩි කාලයක් කොලඹ නැවතී ප‍්‍රතිකාර ලබා ගන්නා විට ගමන් ගාස්තු ඇතුලු රුපියල් දහසක් පමන දෛනික වියදම් මෙම පවුල්වලට ලබාදුන්නේ අසල්වාසීන් හා ඔවුන්ගේ ඥාතීන් විසිනි.

තෙල් මිල ඉහල දැමීමට එරෙහි ලංකාවේ බටහිර හා වයඹ දිග වෙරල තීරයේ කුඩා බෝට්ටු හිමියන්ගේ හා පංගුවට වැඩ කරන ධීවර කම්කරුවන්ගේ උද්ඝෝෂන පැන නැගි අතර හලාවත ඉන් ප‍්‍රමුඛ තැනක් ගත්තේ ය. උතුරු නැගෙනහිර හා දකුනු ප‍්‍රදේශවල ධීවර විරෝධතා නවතා දැමුවේ ආන්ඩුවේ බිය වැද්දීම් මගිනි.

තෙල් මිල වැඩි වීමට කලින් කුඩා බෝට්ටුවකට තෙල් සඳහා දිනකට රුපියල් 1,000 සිට 1,500 ත් අතර වැය වූ අතර දැන් දිනකට රුපියල් 2,500 ක් 3,000 ක් පමන වැය වේ. කලින් මසක වියදම රුපියල් 24,000 ක් පමන වූ අතර දැන් එය 60,000 පමන වේ. මසකට රුපියල් 9,325ක් වන ආන්ඩුවේ තෙල් සහනාධාරය අඩු කල පසුත් මසකට රුපියල් 26,675 ක් වැඩිපුර වියදම් කල යුතු බව ද සහනාධාරයෙන් කිසිදු සහනයක් නොවන බව ද ධීවරයෝ පවසති. ඉන්ධන පිරවුම්හල්වලට රජයෙන් ලැබිය යුතු සහනාධාර මුදල් ලබා නොදීම හේතුවෙන් හලාවත වැල්ල සමහර ධීවරයන්ට මේ මස සහනාධාරය ලැබී නොමැත.

තෙල් මිල හා සමගාමීව අනෙකුත් අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ගනන් හා දැල් ආම්පන්න ඉහල යෑම නිසා ධීවරයන් හට වෙන කවරදාටත් වඩා ධීවර රැකියාව දුෂ්කර වී තිබේ.

2010 දී අශ්ව බල 25 එන්ජිමක් රුපියල් 200,000 වූ අතර දැන් එය රුපියල් 250,000 දක්වා ඉහල ගොස් තිබේ. එම කාලයේ දී දැල් ජෝඩුවක් රුපියල් 12,000 කට පමන මිල දී ගත හැකි වුවද අද එය රුපියල් 17,000 කි. අධික මිලක් යටතේ අලෙවිය අඩුවන බැවින් තෙල් මිල හා ආම්පන්න මිල ඉහල යාමෙන් ඇතිවන හානිය පූරනය කිරීම සඳහා මාලු මිල ගනන් ඉහල දැමීම ද කල නොහැක්කක් බව ධීවරයෝ පවසති.

මේ හේතුවෙන් ධීවරයන්ගේ නය බර වැඩි වී ඇති අතර, බඩු උකස් කිරීම, කුලී වැඩ වැනි වෙනත් රැකියාවන්හි නිරත වීමට ඔවුන්ට සිදුව ඇත, ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යෑමේ ප‍්‍රවනතාවය ධීවර කාන්තාවන් අතර වර්ධනය වී තිබේ. මේ මස මුල දී හලාවත, උඩප්පුව ධීවර පවුල්වල සාමාජිකයන් ද ඇතුලු 150 ක් පමන දෙනෙක් ඕස්ටේ‍්‍රලියාවට බෝටුවකින් යෑමට ගොස් පොලිස් අත් අඩංගුවට පත්ව සිටිති.

නිරිතදිග මෝසම් සුලංවල බලපෑමත් සමග ලංකාවේ බටහිර වෙරල තීරය රලු වන අතර මෙම ධීවරයන්ගේ රැකියා හා ජීවිත තවත් වඩාත් අවදානම් සහගත වේ. හලාවත අලුත්වත්ත ධීවරයෝ මෙසේ සිය දුෂ්කරතා පැහැදිලි කලහ. "අපට තිබෙන ලොකුම ගැටලුව තමයි වාරකන් කාලයට කලපුව වැලිවලින් පිරෙන එක. දැන් කිලෝමීටරයක් පමන දුරක් අපට බෝට්ටු ඇදගෙන යන්න වෙනවා. එමගින් වන ප‍්‍රමාදය හා පාඩුව එමටයි. වාරකන් මූදේ රස්සා කරද්දී වසරකට සාමාන්‍යයෙන් ධීවරයෙක් මිය යනවා තවත් අයට තුවාල වෙනවා. මේ ගැටලු අපේ සීයලාගේ මුත්තලාගේ කාලේ ඉඳන් තියෙන එවා. පැවතුන කිසිම රජයක් අපට මේ බාධක ඉවත් කලේ නෑ.”

යුද්ධයට පෙරාතුව මෙම වාරකන් කාලය තුල ධීවරයන්ගෙන් සැලකිය යුතු කොටසක් උතුරු නැගෙනහිර වෙරල තීරයට සංක‍්‍රමනය වී තම රැකියාවේ නිරත වූ නමුදු යුද්ධය හේතුවෙන් එය මුලුමනින්ම නවතා දැමීමට සිදු විය. යුද්ධය අවසන් වී වසර තුනක් ගත වී ඇතත් එම ප‍්‍රදේශවල ධීවර කටයුතුවලට රජයේ ආරක්ෂක අංශවලින් පනවා තිබෙන බාධක හා ධීවරයන්ට එරෙහි අඩන්තේට්ටම් නතර වී නැත.

පෙරවාරියේ දී තෙල් මිල ගනන් ඉහල දැමූ ආන්ඩුව ලෝක වෙලඳපොලේ තෙල් මිල පහල බැස ඇති තතු යටතේ මිල පහත නොදමන්නේ ඇයි දැයි ධීවරයෝ ප‍්‍රශ්න කල අතර ඔවුන් මුහුන දෙන ප‍්‍රශ්නවලට විසඳුමක් අවශ්‍ය බවත් ආන්ඩුව හෝ විපක්ෂයේ කිසිදු පක්ෂයක් පිලිබඳව විශ්වාසයක් නොමැති බවත් ප‍්‍රකාශ කලහ.

දැල් ආම්පන්න හා මාලු මිල ගනන් මෙන්ම ඉන්ධන මිල ද පාලනය වනුයේ ජාත්‍යන්තර ධනේශ්වර වෙලඳපොල බලවේගයන් විසිනි. එම බලවේග ක‍්‍රියාත්මක වන්නේ මහජන අවශ්‍යතා මත නොව ජාතික හා ජාත්‍යන්තර ධනපතියන් අතලොස්සකගේ ලාභ පොදිය තර කිරීම සඳහායි. රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත තෙල් මිල ඉහල දැමීම, රුපියල අවප‍්‍රමානය කර ආනයන භාන්ඩවල මිල නැංවීම හා අත්‍යවශ්‍ය භාන්ඩ මත ඉහල බදු පැනවීමට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සුභසාධන කප්පාදුව වේගවත් කර ඇත්තේ එහි කොටසක් ලෙසයි. යුරෝපයේ හා ඇමරිකාවේ උග‍්‍ර වී ඇති අවපාත කොන්දේසි ලංකාවේත් ආසියාවේත් ආර්ථික අර්බුදය ගැඹුරු කරන අතර එය රාජපක්ෂ ආන්ඩුවේ නය අර්බුදය හා මහජනයා මත බර පැටවීමේ කප්පාදු පිලිවෙත් වේගවත් කරනු ඇත.

ධීවර ජනයා ඇතුලු සමස්ත කම්කරු පීඩිත මහජනතාවට එල්ල කෙරෙන ප‍්‍රහාරයේ මෙම යථා මූලයන් වසන් කරමින් ආන්ඩුවට බලපෑම් දැමීම මගින් තත්වය වෙනස් කල හැකිය යන මිථ්‍යාව වපුරන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), තම ධීවර සමිතියක් හරහා "ලෝක වෙලඳපලේ තෙල් මිල පහල යාමේ වාසිය ධීවරයන්ට ලබා දෙන ලෙසත් දැල් ආම්පන්න මිල අඩු කරන ලෙසත් ඉල්ලා ආන්ඩුවට බලකරන” පෙත්සමක් අත්සන් කරගෙන යයි. යුද්ධයේ ප‍්‍රමුඛතම උද්ඝෝෂකයකු මෙන්ම රාජපක්ෂ බලයට පත් කිරීමේ ප‍්‍රධාන ආධාරකරුවකු වූ ජවිපෙ කිංග්ස්ලිගේ මරනයට ද ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට ද සෘජුව වගකිව යුතුය.

1983 දී වර්ගවාදී යුද්ධයත්, 2002 දී "යලි පුබුදමු ශ‍්‍රී ලංකා” වැඩ පිලිවෙල යටතේ මෙම කප්පාදු වැඩපිලිවෙලත් ආරම්භ කල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ධීවරයන්ගේ විරෝධය ගසා කෑම සඳහා පොලිස් වෙඩි පහරින් මිය ගිය ඇන්ටනිගේ පවුලේ සාමාජිකයන්ට මුදල් පරිත්‍යාගයක් ලබා දී ඇති අතර වෙඩි වැදුනු ධීවරයන්ගේ පවුල්වලට බෝට්ටු ලබා දෙන බවට පොරොන්දු දී ඇත. බලයට පත්වුවහොත් මෙම ප‍්‍රහාරය ම ඉදිරියට ගෙන යාම සඳහා සැදී පැහැදී සිටින එජාපයේ මෙම මවාපෑම්වලට ධීවර ජනයා හසු නොවිය යුතුය.

ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයට පිවිසි ධීවර ජනයාට කම්කරු පන්තියේ සහාය කැඳවුම් කරමින් සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සටන් වැදුනේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. ඉන්ධන මිල අඩුකර ධීවර ආම්පන්න සහන මිලට සපයමින් ධීවර රැකියාව නව තාක්ෂනින ක‍්‍රම මගින් නගා සිටුවිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නගන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

මෙම වැඩ පිලිවෙල සාකච්ඡා කිරීම සඳහා "ධීවර අරගලය ජය ගැනීමට සමාජවාදී වැඩපිලිවෙලක්” යන මාතෘකාව යටතේ මේ මස 30 වන සෙනසුරාදා සවස 3.30 ට හලාවත "සුදසුන ශාලාවේ” පවත්වන ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගි වන ලෙස ධීවරයන්ගෙන්, කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Share this article: